මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩත්වය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ආන්ඩුව දිවයින පුරා ඇඳිරි නීතිය පනවයි

Sri Lankan government imposes island-wide curfew amid anti-Muslim violence

කේ. රත්නායක විසිනි ,2019 මැයි 14

මුස්ලිම් ප්‍රජාවට එරෙහි ව මුදාහැරෙමින් පවතින ප්‍රචන්ඩත්වය මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ ආන්ඩුවේ උපදෙස් මත ඊයේ පස්වරු 9 සිට පෙරවරු 4 දක්වා පොලීසිය දිවයින පුරා ඇඳිරි නීතිය පැනවී ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පනවා ඇති විෂඝෝර හදිසි නීතිය යටතේ, ඇඳිරි නීතිය පැනවීම ඇතුලු දුරදිග යන බලතල පොලීසියට ලබා දී තිබේ.

මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩත්වය වනාහි, අප්‍රේල් 21දා අහිංසක පුද්ගලයන් 250ක් ඝාතනය කරමින් දේවස්ථාන තුනකට හා හෝටල් තුනකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසුව, ආන්ඩුව, විපක්ෂය, ආරක්ෂක හමුදා හා පොලීසිය විසින් ගෙන යන ක්‍රමානුකූල වාර්ගික ප්‍රචාරනයේ නිෂ්පාදනයකි.

ත්‍රස්තවාදී ප්‍රහාරය සිදු කල බව පෙනෙන්නට තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ නැෂනල් තවුහීත් ජමාත් නමැති ඉස්ලාමීය කන්ඩායම සමග සම්බන්ධිත ඉස්ලාමීය මූලධර්මවාදී ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය කන්ඩායම විසිනි. බෝම්බ ප්‍රහාර සඳහා මුස්ලිම් ප්‍රජාවට වරද පැටවීමට මෙය ඩැහැගෙන ඇත.

සිංහල මැරයන්, අත්හැර දමන ලද නැෂනල් තවුහීත් ජමාත් දේවස්ථානයකට හා මුස්ලිම්වරුන්ට අයත් සාප්පු දෙකකට පහර දීමෙන් පසු, වයඹ පලාතේ හලාවත නගරයට මැයි 12 දා පොලීසිය විසින් ඇඳිරි නීතිය පැනවී ය. ඉන්පසු, එම ඇඳිරි නීතිය එම පලාතේ ම කුලියාපිටිය, දුම්මලසූරිය, බිංගිරිය හා හෙට්ටිපොල දක්වා විස්තාරනය කරන ලදී.

ඊයේ පෙරවරු 4ට ඇඳිරි නීතිය ඉවත් කල ද ප්‍රහාර දිගට ම පැවතීම නිසා හලාවත හැර අනෙක් ප්‍රදේශවලට යලිත් එය පැනවී ය. බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ හා යාබද මුස්ලිම් ගම්මාන තුල පුලුල් ප්‍රහාර එල්ල කරන ආකාරය වීඩියෝ පට මගින් පෙන්වී ය. තමන්ගේ ජීවිත බේරාගැනීම සඳහා මහජනයා පලාගොස් හෝ සැඟවී ඇත. හානියේ සම්පූර්න ප්‍රමානය පැහැදිලි නැත.

ඉන්පසු දිවයින පුරා පැනවූ ඇඳිරි නීතියේ අරමුන ප්‍රචන්ඩත්වය වැලැක්වීම යයි කියනු ලැබේ. එහෙත් ඇඳිරි නීතිය පැනවීමෙන් පසු ද හොඳින් සංවිධානය වී පොලු මුගුරුවලින් සන්නද්ධ මැරයන් විසින් මුස්ලිම්-විරෝධී ප්‍රහාර අඛන්ඩ ව එල්ල කරනු ලැබී ය. මෙය පෙන්නුම් කරන්නේ, දෙමල සහ මුස්ලිම් වාර්ගිකයන්ට සහ ක්‍රිස්තියානි ජනයාට එවැනි වාර්ගික ප්‍රහාර එල්ල කරන විට ආරක්ෂක හමුදා හා පොලීසිය අතීතයේ දී කලාක් මෙන් නුදුටු සේ සිටි බව යි.

හලාවත දී, ෆේස්බුක් හි පල කලා යයි කියන අපරාධකාරී පනිවුඩයක් හේතුවෙන්, මුස්ලිම් තරුනයෙකුට විරුද්ධව ක්‍රියාකරන්නැයි මැරයන් පොලීසියෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ. පොලීසියේ “මන්දගාමී ප්‍රතිචාරය” මැර ප්‍රහාරයට හේතු වූ බව දි අයිලන්ඞ් කියා සිටියේ ය. යථාර්ථයේ දී, මැරයන්ට ප්‍රහාරය සඳහා කාලය ලැබුනේ ඔවුන්ට පොලීසිය දුන් අනුග්‍රහයෙනි. මුස්ලිම් තරුනයා අත්අඩංගුවට ගෙන ඇති අතර, මැරයන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.

බිංගිරියේ දී, සිංහල මැර කන්ඩායමක් පොලිස් ස්ථානය වටකොට අත්අඩංගුවට ගත් මැරයන් කිහිප දෙනෙකු නිදහස් කරන ලෙස ඉල්ලී ය. රූපවාහිනී දර්ශනපටයකින් පෙන්නුම් කෙරුනේ, ප්‍රදේශයේ මන්ත්‍රී හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) ලේකම් වන දයාසිරි ජයසේකර පොලිස් ස්ථානයට ගොස්, ඔවුන් ව “පොලිස් ඇප” මත මුදාගත් බව යි.

මැයි 12දා සවස, ආන්ඩුව අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයේ සිට තුන්වන වරට සමාජ මාධ්‍ය මත තහනමක් පැනවී ය. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කලුවැව එය “තාවකාලික” බව කීව ද එම තහනම් කිරීම් වනාහි සමාජ මාධ්‍ය වාරනය කිරීමට හා සීමා කිරීමට පවතින පුලුල් උද්ඝෝෂනයක කොටසකි.

කම්කරු පන්තිය බෙදීම සඳහා මුස්ලිම්-විරෝධී මනෝගතියට තෙල් දැමීමටත්, ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට වැඩිදුර වලකැපීමටත්, අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාර කොලඹ දේශපාලන සංස්ථාපිතය විසින් ගසා කනු ඇති බව, සමාජවාදී සමානතා පක්ෂය (සසප) මුල පටන් ම අනතුරු ඇඟවී ය.

ප්‍රහාර පිලිබඳ ව විදෙස් ඔත්තු සේවා ආයතනයකින් කල් තබා ලැබුනු අනතුරු ඇඟවීමක් ආන්ඩුවේ නායකයන් හා ආරක්ෂක හමුදා විසින් නො තකා හලේ ය. එම අනතුරු ඇඟවීම තුල සුවිශේෂී දිනයක්, ස්ථාන හා බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කල ඉස්ලාමීය කන්ඩායම පිලිබඳ තොරතුරු අඩංගු වූ බව ජනාධිපති සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ පසුව පිලිගත් හ. එම ලියවිල්ල ප්‍රසිද්ධ කර නැති අතර, අනතුරු ඇඟවීම නො තකා හලේ මන්දැයි කිසිවෙකු පැහැදිලි කර නැත.

දැන් හදිසි තත්ත්වය යටතේ බලාත්මක කෙරී ඇති විෂඝෝර බලතල සහ ආරක්ෂක හමුදාවන් දැවැන්ත පරිමානයෙන් දිගේලි කිරීම, අනිවාර්යයෙන් ම කම්කරු පන්තියේ අරගලවලට එරෙහි වත් ගම්බද දුගීන් හා තරුනයන් අතර පවතින නොසන්සුන්තාව මර්දනය කිරීමටත් යොදාගනු ඇති බවට සසප අනතුරු අඟවා ඇත.

පසුගිය වසර තුල, වැඩකරන ජනයාගේ ජීවන කොන්දේසිවලට වලකැපූ ආන්ඩුවේ කප්පාදුවලට එරෙහි ව වැඩෙන සමාජ අරගල දැකගත හැකි විය. තම දරිද්‍ර මට්ටමේ දෛනික වැටුප දෙගුන කරන ලෙස බලකරමින් පසුගිය දෙසැම්බරයේ වතු කම්කරුවන් 100,000ක් දින නවයක් පුරා වැඩ වැරූ හ. මාර්තු මාසයේ, දිවයින පුරා ගුරුවරු 200,000ක් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් එක් දින වර්ජනයක නිරත වූ හ.

චෝදනා රහිත ව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, වරෙන්තුවකින් තොර ව සෝදිසි කිරීම, පෙලපාලි තහනම් කිරීම, ප්‍රකාශන සීමා කිරීම, දේපොල අල්ලා ගැනීම සහ කම්කරුවන්ගේ වැඩ වර්ජන හා විරෝධතා තහනම් කිරීමට යොදාගන්නා අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීම ඇතුලු දුර දිග යන බලතල හදිසි තත්ත්වය යටතේ මිලිටරියට හා පොලීසියට තිබේ. සංස්ථාපිතයේ සියලු දේශපාලන පක්ෂ, මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී රෙගුලාසිවලට තම අනුමැතිය දී ඇත.

ත්‍රස්තවාදයට එරෙහි ව සටන් කිරීමේ නාමයෙන්, ආන්ඩුව හා රාජ්‍ය යාන්ත්‍රනය මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය වැඩිදියුනු කර ඇත. මුස්ලිම් සැකකරුවන් රඳවාගෙන ඇති ආරක්ෂක හමුදා, ආයුධ හා පුපුරන ද්‍රව්‍ය, හමුදා නිල ඇඳුම් හා ඉස්ලාමීය ප්‍රකාශන සොයාගැනීම් ප්‍රසිද්ධ කර තිබේ. සමහර අවස්ථාවල දී, නිසැකවම ව්‍යාජ තොරතුරු මාධ්‍ය විසින් “නිවැරදි” කර ඇතත්, අනෙක් අවස්ථාවන්හි දී අසත්‍යයන් හා අර්ධ-සත්‍යයන් හුදෙක් ම නො තකා හැර ඇත.

කාන්තාවන්ට බුර්කාව හා නිකාබය පැලඳීම තහනම් කිරීමට ජනාධිපති සිරිසේන හදිසි අවස්ථාව යොදාගෙන තිබේ. සිංහල බෞද්ධයන්ට පීඩා නො වන පරිදි යාඥාවන් ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන විකාශනය නො කරන ලෙස මුස්ලිම් පූජකයන්ට කියා ඇත. සියලු “ත්‍රස්තවාදීන්” ගැන තොරතුරු සැපයීමේ වගකීමක් මුස්ලිම්වරුන්ට ඇතැයි සියලු දේශපාලන පක්ෂ ප්‍රකාශ කොට තිබේ. මෙම පියවරයන් මගින් සිදු කෙරෙන්නේ මුස්ලිම්-විරෝධී උමතුව හා ප්‍රචන්ඩත්වය දිරිමත් කිරීම පමනකි.

ප්‍රධාන දේශපාලන පක්ෂවල පිටුබලය සහිත විවිධ සිංහල-බෞද්ධ අන්තවාදී කල්ලි, මෑත අවුරුදුවල දී මුස්ලිම්වරුන් ඉලක්ක කර ඇත. බෞද්ධ භික්ෂූන් නායකත්වය දෙන බොදු බල සේනා, රාවනා බලකාය, සිංහලේ හා එවැනි තවත් කන්ඩායම්, 2014 ජුනි මාසයේ දී අලුත්ගම දී ද 2018 මාර්තුවේ දී දිගන දී ද දේපොල විනාශ කරමින් හා කිහිප දෙනෙකු මරා දමමින් මුස්ලිම්වරුන්ට ප්‍රහාර එල්ල කල හ.

ජාතිය අමතා ඊයේ කල කතාවක දී, “රට තුල සාමය හා ස්ථාවරත්වය ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලු බලතල ආරක්ෂක හමුදාවන්ට හා පොලීසියට ලබා දී ඇතැ” යි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කලේ ය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ: “ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන පිලිවෙතක් මත බලාත්මක කල යුතු එක් නීතියක් යටතට සමස්ත රට ම ගෙන ආ යුතු ය.”

පාලක ප්‍රභූවේ සෑම කන්ඩායමක් ම, ආඥාදායක පාලන රූපවලට හා කම්කරු පන්තියට එරෙහි පොලිස්-රාජ්‍ය පියවරයන් යොදාගැනීමට අවශ්‍ය වටපිටාව සූදානම් කරයි. නිව්ස් ෆස්ට් රූපවාහිනී නාලිකාවට යුද හමුදාපති මහේෂ් සේනානායක ඊයේ මෙසේ කීවේ ය: “ආන්ඩුව හෝ සන්නද්ධ හමුදා විසින් දෙන නියෝග නො තකන හෝ අගෞරවයට ලක්කරන (කිසිවෙක් හෝ) වේ නම්, අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.”

ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් රවීන්ද්‍ර විජේගුනරත්න සන්නද්ධ හමුදාවන්ට සහයෝගය දෙන ලෙස මහජනයාගෙන් ඉල්ලී ය. තත්ත්වය පාලනය කිරීමට නිල ඇඳුමින් යුත් සොල්දාදුවන් පමනක් නො ව සිවිල් ඇඳුමින් යුත් රහස් භටයන් ද යුද හමුදාව විසින් දිගේලි කර ඇති බව ඔහු කීවේ ය.

වාර්ගික ප්‍රචන්ඩත්වය සමහන් කිරීමේ කඩතුරාව මත හදිසි නීතිය යටතේ වැඩෙන ආඥාදායකත්වයක් ගොඩනගමින් තිබේ. ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසුව, විශේෂයෙන් ම එක්සත් ජනපදය ඇතුලු විදෙස් ඔත්තු සේවා, පොලීසි හා මිලිටරි සමග ශ්‍රීලංකාවේ මිලිටරිය සමීප ව කටයුතු කරමින් සිටී.

මුස්ලිම්වරුන්ට එරෙහි වාර්ගික ප්‍රචන්ඩත්වයට කම්කරු පන්තිය විරුද්ධ විය යුතු අතර, වාර්ගික රේඛා හරහා කම්කරුවන්ගේ එකමුතුවට සටන් කල යුතු ය. විශාල වතු, වැඩකරන ස්ථාන හා නිවහන් ප්‍රදේශවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු හා ආරක්ෂක කමිටු තනාගත යුතු ඔවුන්, සියලු දෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කිරීමට තරුනයන්ගේ හා ගම්බද දුගීන්ගේ සහයෝගය සඳහා කැඳවුම් කල යුතු ය.

ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ, ධනවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කරන සටනක පදනම මත පමනි. හදිසි දේශපාලන කර්තව්‍යය වන්නේ මෙම අරගලයට නායකත්වය දීමට අවශ්‍ය නායකත්වය ලෙස සසප ගොඩනැගීම යි.

Share this article: