සිවිල් යුද්ධය අවසන් වීමෙන් දසවසරකට පසු ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව පන්ති යුද්ධය සඳහා සූදානම් වේ

Ten years after civil war ends, Sri Lankan ruling elites prepare for class war

ප්‍රදීප් රාමනායක සහ කේ. රත්නායක විසිනි , 2019 මැයි 22

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය ලේවැකි පරාජයකට ලක්කරමින් ශ්‍රී ලංකාවේ දිග්ගැස්සුනු වාර්ගික යුද්ධය අවසන් වීමෙන් දශකයක් සම්පූර්න වීම මැයි 18 දිනට යෙදුනි.

මිලිටරි ජයග්‍රහනය සමරමින්, 2009 ගැටුම අවසන් වීමෙන් පසුව පලමු වරට මුලු දිවයින අලලා ගත් මහා මෙහෙයුමකට දිගේලි කර ඇති සන්නද්ධ හමුදාවන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උත්කර්ෂවත් උපහාරයක් පිදුවේ ය.

මැයි 19දා පාර්ලිමේන්තු පිටියේ පැවති උත්සවයේ දී සිරිසේන කල ලුහුඬු කතාව මුලුමනින්ම අරක්ගෙන තිබුනේ අහිංසක ජනයා 260ක් පමන ඝාතනය කරමින් අප්‍රේල් 21දා එල්ල වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර විසිනි. ඉස්ලාමීය මූලධර්මවාදී ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස්) විසින්, දේශීය අන්තවාදී කන්ඩායමක් වන නැෂනල් තවුහීත් ජමාත් සමග සම්බන්ධීකරනය කොට දේවස්ථාන හා සුඛෝපභෝගී හෝටල් වෙත මෙම ප්‍රහාර එල්ල කරන ලදී.

“ම්ලේච්ඡ එල්ටීටීඊය ... සදහට ම අවසන් කල වීරෝදාර සොල්දාදුවන්ට” සිරිසේන ප්‍රසංශා කලේය. “එහෙත්, සාමයේ හා සංහිඳියාවේ දසවසරකට පසු, තවත් අනපේක්ෂිත ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු වුනා...” යයි කී ඔහු “30 අවුරුද්දක [යුද්ධයේ] පලපුරුද්ද සහිත” මිලිටරියට “ජාත්‍යන්තර ත්‍රස්තවාදය” අවසන් කිරීමට හැකි වනු ඇතැයි පුරසාරම් දෙඩී ය.

පලමුව, බෝම්බ ප්‍රහාර “අනපේක්ෂිත” වී යයි සිරිසේනගේ කියාපෑම අමු පචයකි. පාස්කු ඉරිදා සුවිශේෂී ඉලක්කයන් ඇතුලු සැලසුම් කරන ලද ප්‍රහාර පිලිබඳ ව ඉන්දීය ඔත්තු සේවයක් විසින් ආරක්ෂක හමුදාවන්ට කල් තබා අනතුරු අඟවා තිබුනි. අනතුරු ඇඟවීම් නො තකා හැර, බෝම්බ ප්‍රහාර සිදුවීමට ඉඩහැරියේ ය. කිසිවෙක් ඒ ඇයි දැයි පැහැදිලි ව විස්තර කර නැත.

එහෙත්, පොලීසියට හා මිලිටරියට පුලුල් බලතල ලබා දෙමින් හදිසි තත්ත්වයක් පැනවීමට සිරිසේන හා ආන්ඩුව එම ප්‍රහාර ඩැහැගෙන ඇත. “ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ” නාමයෙන් හමුදා භටයන් හා පොලිස් නිලධාරීන් දසදහස් ගනනක් දිවයින පුරා දිගේලි කරනු ලැබ තිබේ.

ඒ අතර ම, මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය, මුස්ලිම්වරුන් බියවැද්දීම හා කම්කරු පන්තිය බෙදීම ඉලක්ක කරගත් දුෂ්ට මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයක් අවුලුවාලමින් සිටී. අන් සියල්ලට ඉහලින් මෙම පොලිස්-රාජ්‍ය පියවරයන්ගේ ඉලක්කය වන්නේ, ජීවන කොන්දේසි මත ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයන්ට විරුද්ධ ව වැඩිවැඩියෙන් අරගලවලට පිවිසෙමින් සිටින කම්කරු පන්තිය යි.

සිරිසේන පසුගිය වසර දහය පුරා රටතුල “සාමය හා සංහිඳියාව” පැවතුනු බව කියාපෑම හාස්‍යජනක ය. එල්ටීටීඊයේ පරාජයෙන් ක්ෂනික ව ඉක්බිත්තේ, සිරිසේන ජ්‍යෙෂ්ට ඇමතියෙකු ව සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව “ආර්ථික යුද්ධයක්” ප්‍රකාශයට පත් කලේය.

දශක තුනකට ආසන්න ලේවැකි සිවිල් යුද්ධය විසින් දිවයින ආර්ථික ව්‍යසනයට ඇද දැමූ අතර, 2008-09 ගෝලීය මූල්‍ය අර්බුදය විසින් එය තවත් සංකීර්න විය. සියල්ලට ඉහලින් “ආර්ථික යුද්ධය” එල්ල කරනු ලැබ තිබුනේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීම හරහා ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමට යි.

එයට එරෙහි ව ඉස්මතු වුනු මහජන විරෝධය, 2015 දී රාජපක්ෂ බලයෙන් ඉවත් කර සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒම සඳහා වොෂින්ටනය ක්‍රියාවට දැමූ තන්ත්‍ර-මාරු මෙහෙයුමක් වෙතට හරවා යවන ලදී.

එක්සත් ජනපදය වාර්ගික යුද්ධයට හා රාජපක්ෂගේ ආඥාදායක පාලනයට පිටුබලය දී තිබුන ද බීජිනය සමග ඔහුට තිබූ සමීප සබඳතාවන්ට විරුද්ධ විය. එය ශ්‍රී ලංකාව චීනයට එරෙහි එහි යුද සූදානම්වීම්වලට ඒකාග්‍ර කරගැනීමට උත්සාහ කල අතර, සිරිසේන හා වික්‍රමසිංහ ඊට එක්වූහ.

වසර හතරක් ගත වී යද්දී, සිරිසේන, වික්‍රමසිංහ හා රාජපක්ෂ නායකත්වය දෙන පාලක පන්තියේ තරඟ වැදී සිටින කන්ඩායම් අතර කටුක ගැටුමක් අවුලුවමින් කම්කරුවන්, තරුනයන් හා දුගීන්ගේ මහජන අරගල පුපුරා එලිමහනට පැමින ඇත. මෙම කන්ඩායම් අතර පවතින මතභේද කවරක් වුවත්, වැඩකරන ජනයාට එරෙහි ව පන්ති යුද්ධයට සූදානම් වීම සඳහා ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහි ව සටන් කිරීමේ කඩතුරාව යටතේ මිලිටරිය බලමුලුගැන්වීමට ඔවුන් සියලු දෙනා සහයෝගය දෙයි.

මෙම පොලිස්-රාජ්‍ය පියවරයන්ට එරෙහි ව සටන් වැදීම සඳහා කම්කරුවන් හා තරුනයන්, විශේෂයෙන් ම රටෙහි ලේවැකි සිවිල් යුද්ධයේ පාඩම් ද උකහා ගනිමින් දේශපාලනිකව සන්නද්ධ විය යුතු ය.

සමස්ත කොලඹ සංස්ථාපිතය මෙන් සිරිසේන ද යුද්ධය සලකන්නේ “එල්ටීටීඊ ත්‍රස්තවාදයේ” ප්‍රතිපලයක් ය යන ස්වෝත්තමවාදී භාෂිතයන්ගෙනි. යථාර්ථ වශයෙන් නම්, සිවිල් යුද්ධය වනාහි, 1948 ශ්‍රී ලංකාවේ නාමික නිදහසේ පටන් දෙමල සුලුතරයට එරෙහි ව ගෙන ගිය ක්‍රමානුකූල නිල වෙනස්කම් කිරීම්වල කූටප්‍රාප්තිය විය.

ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජීය අයිතීන් විසඳිය නො හැකි වූ කොලඹ පාලක පන්තිය, වැඩකරන ජනයා වාර්ගික රේඛා ඔස්සේ බෙදීම සඳහා දෙමල-විරෝධී ස්වෝත්තමවාදයට හැරුනි. 1948 එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුවේ මුල්ම ක්‍රියාවන්ගෙන් එකක් වූයේ, දෙමල වතු කම්කරුවන් මිලියනයකගේ පුරවැසි අයිතිය අහිමි කිරීම යි.

එජාප ආන්ඩුව දනගැස්සවූ 1953 හර්තාලයෙන් අනතුරුව, පාලක පන්තිය 1956 දී බලය දිනාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සිංහල අධිපතිවාදය වෙත හැරුනි. එය සිංහල පමනක් රාජ්‍ය භාෂාව කිරීමේ පිලිවෙතක් ක්‍රියාවට දැමීමද 1972 ශ්‍රීලනිප ප්‍රමුඛ හවුල් ආන්ඩුව බුද්ධාගම රාජ්‍ය ආගමක මට්ටමට එසවීම ද දෙමල ජනයා දෙවන ගනයේ පුරවැසියන් බවට පිරිහෙලීය.

1970 ගනන් මැද ආර්ථික බිඳවැටීම විසින් නිෂ්පන්න කල තවත් අර්බුදයක් මධ්‍යයේ, 1977 දී බලය දිනාගත් ජේ. ආර්. ජයවර්ධන නායකත්වය දුන් එජාපය, කම්කරු පන්තිය මත ව්‍යසනකාරී බලපෑමක් ඇති කල “විවෘත වෙලඳපොල” පිලිවෙත් ක්‍රියාවට දැමු ලෝකයේ පලමු ආන්ඩුවලින් එකක් බවට පත් විය.

නැගී එන විරුද්ධත්වයකට මුහුන දුන් ජයවර්ධන, ව්‍යවස්ථාව වෙනස් කොට ආඥාදායක බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමයක් ඇතිකල අතර ම, දෙමල-විරෝධී ප්‍රකෝපකරනයන් දියත් කලේ ය. 1983 ජූලියේ සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කිරීමෙන් පසු, සිය ගනනක් මරා දමමින් දිවයින වෙලාගත් දෙමල-විරෝධී සංහාරයක් දියත් කල එජාප ආන්ඩුව එල්ටීටීඊයට එරෙහි යුද ප්‍රකාශ කලේ ය.

“එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට” එරෙහිව යයි ප්‍රකාශ කල යුද්ධය සියල්ලටත් වඩා කම්කරු පන්තියට එරෙහි යුද්ධයක් විය. ජයවර්ධනගේ පටන් අනුප්‍රාප්තික ආන්ඩු, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය හා දුගීන් සඳහා මිල සහනාධාර ඇතුලු මූලික සමාජ අයිතීන් රුදුරු ලෙස කැපීමට යුද්ධය යොදා ගත්තේය. රාජ්‍ය අංශයේ පුද්ගලීකරනයන් රැකියා විශාල පරිමානයෙන් විනාශ කෙරුනි. කම්කරුවන්ට එරෙහි ව යොදාගත් පොලිස්-රාජ්‍ය පියවරයන් සාධාරනීකරනය කිරීමට ද යුද්ධය යොදාගැනුනි.

දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සඳහා සටන් වදින බව ප්‍රකාශ කල එල්ටීටීඊය ඇත්ත වසයෙන් නම් දෙමල ප්‍රභූන්ගේ අවශ්‍යතා නියෝජනය කල ධනේශ්වර පක්ෂයක් විය. එහි ඉලක්කය වූයේ, ධනේශ්වරයට විදේශ ආයෝජකයන් සඳහා කම්කරුවන්ගේ ලාබ ශ්‍රමය සම්පාදනය කල හැකි ස්වාධීන දෙමල රාජ්‍යයක් ස්ථාපනය කිරීම සඳහා අධිරාජ්‍යවාදී බලයන්ගේ පිටුබලය දිනාගැනීම යි.

එල්ටීටීඊයේ පරාජය සියල්ලටමත් වඩා එහි දේශපාලන බංකොලොත්භාවයේ ප්‍රතිපලයක් විය. ලංකාවේ මිලිටරිය ප්‍රහාරය සඳහා සමීප වන විට, ශ්‍රී ලංකාවේ, ආසියාවේ හෝ ජාත්‍යන්තර කම්කරු පන්තියට කිසිදු ආයාචනයක් කිරීමට එල්ටීටීඊය අසමත් විය. ඒ වෙනුවට එය, රාජපක්ෂ ආන්ඩුවේ ම්ලේච්ඡ යුද්ධයට දේශපාලන, මූල්‍ය හා මිලිටරිමය සහයෝගය සම්පාදනය කරමින් සිටි බලයන්ගෙන් ම අනුකම්පාව යදින සංවිධානයක් බවට ලඝු විය.

බොහෝ කොට ම දෙමල වැසියන් ඇතුලු 100,000කට අධික සංඛ්‍යාවක් මරනයට පත්කරමින් හා තවත් බොහෝ සංඛ්‍යාවක් මානසික හා ශාරීරික තුවාලයන්ට ලක්කරමින් එම ගැටුම දිවයින විනාශ මුඛයට ඇදහෙලී ය. යුද්ධයේ අවසන් සති කිහිපයේ මිලිටරිය දෙමල සිවිල් වැසියන් 40,000කට වඩා සංහාරයට ලක්කල බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් සොයාගත්තේ ය. එක්සත් ජනපදයේ පිටුබලය ලබන සිරිසේන හා වික්‍රමසිංහ, මෙම යුද අපරාධ පිලිබඳ කිසිදු විමර්ශනයක් හෝ චෝදනා නැගීමක් සිදුකිරීම වලක්වා ඇත.

300,000ක් පමන ජනයා මිලිටරිය විසින් පාලනය කෙරුනු රැඳවුම් මධ්‍යස්ථානවලට ගාල් කෙරුනි. තරුන මිනිසුන් හා ගැහැනුන් 12,000ක් අල්ලාගෙන ඊනියා පුනරුත්ථාපන කඳවුරුවල තබා වධබන්ධනවලට හා මොල සේදීම්වලට ලක්කෙරුනි. බොහෝ දෙනා සලකුනක් වත් නො තබා අතුරුදන් වූ හ. කිහිප සියයක් තවමත් බන්ධනාගාරගත ව සිටිති. දිවයිනේ උතුර හා නැගෙනහිර තවමත් පවතින්නේ සොල්දාදුවන් ලක්ෂ ගනනක මිලිටරි වාඩිලාගැනීම යටතේ ය.

දෙමල වැසියන් දහස් ගනනක් තවමත් දුක්ඛිත කොන්දේසි යටතේ මූලික පහසුකම්වලින් තොර ව තාවකාලික නිවාසවල ජීවත් වෙති. ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාර හා රැකියා අහිමි ව ගොස් ඇත. යුද්ධය සමයේ සන්නද්ධ හමුදා විසින් අල්ලා ගත් බොහෝ ඉඩම් තවමත් ඒවායේ හිමිකරුවන්ට ආපසු පවරා නැත. 90,000ක් පමන වන යුද වැන්දඹුවෝ කිසිදු යථා ආදායමකින් තොර ව ඔවුන්ගේ පවුල් නඩත්තු කරගෙන යාමට දෛනික අරගලයක යෙදෙති.

සිරිසේනගේ “සාමයේ හා සංහිඳියාවේ” දසවසරේ හැටි එසේ ය. දැන් සමස්ත දේශපාලන සංස්ථාපිතය ම සූදානම් වන්නේ, පලමුව දිවයිනේ මුස්ලිම්වරුන් ඉලක්ක කරන හා කම්කරු පන්තියේ විරෝධය මැඩීමට ද යොදාගනු ඇත්තා වූ තවත් ව්‍යාජ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයකට” ය. 30 අවුරුදු දුෂ්ට වාර්ගික යුද්ධය තුල ගොඩනගා පෝෂනය කෙරුනු පොලිස්-රාජ්‍ය පියවරයන් ක්ෂනික ව සක්‍රිය කොට දිවයින පුරා බලාත්මක කරනු ලැබ තිබේ.

දෙමල ධනේශ්වරය එකහෙලා මෙය සමග පෙලගැසී ඇත. එල්ටීටීඊයේ හොරනෑව ලෙස ක්‍රියාකල දෙමල ජාතික සන්ධානය (දෙජාස), යුද්ධය අවසන් වීමෙන් පසුව වේගයෙන් දකුනට හැරුනි. හදිසි නීතිය පැනවීමට සම්පූර්නයෙන් සහයෝගය දුන් එය, ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවීමේ තර්ජනය හේතුවෙන් උතුරින් හා නැගෙනහිරින් මිලිටරිය ඉවත් නො කරන්නැයි ආන්ඩුවෙන් ඉල්ලීමක් ද කරයි. කොලඹ එහි සිංහල සගයන් මෙන් දෙජාස ද කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරය කෙරෙහි අන් සියල්ලට වඩා බියපත්ව සිටියි.

කම්කරුවන් සඳහා ප්‍රමුඛ දේශපාලන පාඩම වන්නේ, ඔවුන් බෙදුනහොත් ඔවුන්ට සිය සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කරගත නො හැකි බව යි. භාෂාවේ හා ආගමේ පදනම මත කම්කරුවෙකුට එරෙහි ව කම්කරුවෙකු පිහිටුවීම පිනිස මාධ්‍ය හා ධනේශ්වර දේශපාලන පක්ෂ විසින් පොම්ප කරන විෂකුරු ප්‍රචාරය ප්‍රතික්ෂේප කල යුතු ය. කම්කරු පන්තියේ පොදු සතුරා නම් සූරාකන පන්තිය, එනම් ධනේශ්වරය යි. එය සිය බලය හා ධනය පවත්වාගෙන යාම සඳහා ඕනෑම දෙයක් කරනු ඇත.

කම්කරු පන්තියට එහි පන්ති අවශ්‍යතා සඳහා සටන් කල හැක්කේ, ධනේශ්වරයේ සියලු පක්ෂවලින් ස්වාධීන ව ධනවාදය පෙරලා දමා, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපනය කිරීම සඳහා ඒකාබද්ධ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් පමනි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සටන් වදින්නේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා අරගලයේ අත්‍යන්ත කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවකට යි. ඉදිරියේ එන අරගලවලට නායකත්වය දීම සඳහා අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ලෙස සසපට බැඳී එය ගොඩනගන ලෙස අපි ඔබෙන් ඉල්ලමු.

Share this article: