2019 ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලියේ සමාරම්භක වාර්තාව

පන්ති අරගලයේ පුනර්ජීවනය හා සමාජවාදය සඳහා සටන

Opening report to Online International May Day Rally: The resurgence of class struggle and the fight for socialism

ඬේවිඞ් නෝර්ත් විසිනි, 2019 මැයි 6

මැයි 4 වන සෙනසුරාදා ජාත්‍යන්තර කමිටුව සිය 2019 ජාත්‍යන්තර අන්තර්ජාල මැයි රැලිය පැවැත්වීය. ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හජාජාකයේ සයවන වාර්ෂික අන්තර්ජාල මැයි දින රැලියේදී, ධනේශ්වර ක්‍රමයේ ලෝක අර්බුදයේ විවිධ පැතිකඩවල් හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල පිලිබඳව ලෝක පක්ෂයේ හා ලොව පුරා ඊට සහාය දක්වන සංවිධානවල ප්‍රමුඛ සාමාජිකයන් 12 දෙනෙකුගේ දේශනවලට සවන්දීමට හැකි විය.

රැලියේදී පවත්වන ලද දේශන ඉදිරි දිනවලදී ලෝසවෙඅහි පලකෙරෙනු ඇත. එහි ආරම්භය වශයෙන්, ලෝසවෙඅහි ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති හා ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති ඬේවිඞ් නෝර්ත් විසින් පවත්වන ලද සමාරම්භක දේශනය අද පල කෙරේ.

***

එතරම් දුර බැහැර නොවන අනාගතයකදී, 21 වන සියවසේ මුල් අර්ධය තුල පැන නැඟුනු විප්ලවවාදී කම්පනයන්හි ප්‍රභවය ප්‍රතිනිර්මානය කිරීමට හා පැහැදිලි කිරීමට ඉතිහාසඥයන් පටන් ගත් විට ද, ධනපති ක්‍රමය නොනැසී පවත්වා ගැනීමටම එරෙහිව එල්ල වී ඇති තර්ජනය පැහැදිලිව හඳුනා ගැනීමට පාලක ප්‍රභූන් සමත් වූ නිශ්චිත මොහොත නිශ්චය කර ගැනීමට ඔවුන් යත්න දරන විට ද එම ශාස්ත්‍රධරයන් විසින් 2019 අප්‍රේල් 29-30 දිනවල ලොස් ඇන්ජලීස්හි පවත්වන ලද මිල්කෙන් ඉන්ස්ටිටියුට්හි වාර්ෂික රැස්වීම කෙරේ සිය සිසුන්ගේ අවධානය යොමු කෙරෙනු ඇත.

සිර ගෙදරින් නිදහස් වූ තැන් පටන් ඩොලර් කෝටි ගනනක සිය සම්පත්වලින් කොටසක් මානවවාදියෙකු ලෙස හා සමාජ චින්තකයෙකු ලෙස තමාගේ කීර්තිය ඔපමට්ටම් කර ගැනීම සඳහා වැය කර ඇති කුප්‍රකට හොර ඇප ජාවාරම්කරුවෙකු වන මයිකල් මිල්කෙන් විසින් සංවිධානය කරන ලද ධනේශ්වර උගතුන්ගේ මෙම හමුව තුලදී, අන් සියල්ල අභිබවමින් හොල්මන් කලේ සමාජවාදයේ අවතාරයයි. කඳු ගැසූ සිය ධන සම්පත් මුදුනෙන් හිස පොවා ක්ෂිතිජය දෙස එබෙන ඔවුනට එලඹෙමින් පවතින කුනාටුව පෙනේ. “කිසියම් ආකාරයකින් සමාජවාදය ආපසු රහසේම රිංගා එනු ඇතැයි යන අදහස පිලිබඳව මම බලවත් ලෙස සැලකිලිමත් වෙමි”යැයි ගූගල්හි ආරම්භකයා වන එරික් ෂ්මිට් ප්‍රකාශ කලේය. ආරක්ෂන අරමුදල් ව්‍යාපාරික කෝටිපතියෙකු වන කෙන් ග්‍රිෆින්, සහශ්‍ර වාර්ෂිකයන්ගෙන් සියයට 44 ක් සමාජවාදී රටක ජීවත්වීමට වැඩි කැමැත්තක් පල කොට තිබූ ජනමත විචාරනයක තැති ගන්වන සුලු ප්‍රතිඵලය කෙරේ අවධානය කැඳවීය.

ගුගෙන්හයිම් පාර්ට්නර්ස්හි මූල්‍ය සම්පාදක ඇලන් ෂ්වාර්ට්ස්, ධනපති පන්තිය පොරබදමින් සිටින අන්තරාය මෙසේ නොසඟවා වඩාත් කෙලින් පැහැදිලි කලේය:

සාමාන්‍ය පුද්ගලයෙකු ගන්න. .. ඔවුන් මූලිකව පවසන්නේ සෑමවිටම 50:50 ලෙස පැවැති යමක් දැන් 60:40 වී ඇත; එය මට හරියන්නේ නැත යන ලෙසිනි.

දක්ෂිනාංශය හා වාමාංශය දෙස බැලූ විට ඔබට පෙනී යනු ඇත්තේ, සැබවින්ම එලැඹෙමින් තිබෙන්නේ පන්ති යුද්ධය බවයි. ශතවර්ෂ ගනනාවක් පුරා අප දැක ඇත්තේ ප්‍රභූන්ට පමනට වඩා දේ ඇතැයි මහජනයා සිතන විට දෙකකින් එකක් සිදු වන බවයි: එනම්, එක්කෝ සම්පත් නැවත බෙදා හැරීම සඳහා නීති සම්පාදනය වීම.. නැතහොත් දේපල බෙදා හැරීම සඳහා විප්ලව ඇතිවීම. දිගට හරහට විවාදයට ලක්වන, ඓතිහාසිකව පස්සට සහ ඉදිරියට වාද කරගන්නා විකල්ප දෙකක් පවතී, එවා මෙසේ කියාගනිති “නැත, එය නම් ධනවාදයය; නැත, එය නම් සමාජවාදයය,” විප්ලවය ජනනය කෙරෙන්නේ මෙයිනි.

මාධ්‍ය වාර්තාවලින් පෙනී යන පරිදි, වර්ධනය වෙමින් පවත්නා සමාජ කෝපාග්නිය සමඟ කෙසේ ගනුදෙනු කල යුතුදැයි යන්න පිලිබඳව යම් ආකාරයක විවාදයක් වැන්නක් ඇති වී තිබේ. ආයෝජන සමාගමක විධායක නිලධාරියෙකුගේ පහත දැක්වෙන ප්‍රකාශය දැඩි මතධාරී බහුතරයේ මතය පිඬු කොට දක්වයි:

“දන්ඩනීය ආකාරයෙන් (සම්පත්) නැවත බෙදාහැරීම හරියන වැඩක් නොවේ.” සුලුතරයේ මතය මූල්‍ය සේවා විධායක නිලධාරියෙකු ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත සිදු කල මෙම ප්‍රකාශයෙන් දැක්වේ: “ලෝකය මීට වඩා යන්තමින් හෝ අඩු බියක් දනවන ස්ථානයක් බවට පත් කර ගැනීම සඳහා මීට වඩා සියයට 5 ක් වැඩියෙන් බදු ගෙවීමට මා සූදානම්ය.” සමාජ විප්ලවයේ අන්තරාය අඩු කර ගැනීමට කෝටිපතියන්ගේ ආදායම මත සියයට 5 ක බද්දක්! පාලක පන්තියේ ප්‍රතිසංස්කාරකයන් අතරින් මතුවන වඩාත්ම රැඩිකල් මතය, මහජන අප්‍රසාදය වෙනුවෙන් සැලසීමට අපේක්ෂා කරන සහනයේ ප්‍රමානය එපමනය!! මාරි ඇන්ටොනට් රැජින පැරිසියේ මහජනයාට කේක් කෑමට යෝජනා කිරීමෙන් පසුව මහජන කැලඹිලි ශමනය කිරීම සඳහා දැරුනු අපූර්වතම ප්‍රවිෂ්ටය මෙයයි.

මිල්කෙන් ආයතනයේ හමුවට සහභාගී වූවන් අතර එලැඹෙමින් පවතින ඉරනම පිලිබඳව පැවැති සංවේදය (එඞ්ගාර් ඇලන්) පෝගේ “මුහුදුබත් නගරය (City in the Sea)”හි එන මුඩුම බව සිහිපත් කරවන සුලුය. කවියා මෙසේ අනතුරු හැඟවීය: “නගරයෙ නැඟුනු සාඩම්බර කුලුන මත - මරනය පෙනෙයි ඉමහත් දුරකින් පහත”

පාලක පන්තියේ භීතීන් මහ පොලොවේ නිසි ලෙසම පදනම් වූ ඒවාය. පසුගිය වසරේ මැයි දින රැලියේදී හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පන්ති අරගලයේ අතිමහත් නැඟීමක් පිලිබඳ පූර්වාපේක්ෂා කලේය. පසුගිය දොලොස් මස තුල එම පෙරදැක්ම සිදුවීම්වලින් සනාථ කෙරී ඇත. සමාජ විරෝධතා හා වර්ජන ලෝකය මුලුල්ලේ පැතිර යමින් පවතී. අවුරුද්දකට පෙර “කහ බැනියම” යන යෙදුම මඟින් වැඩි දෘශ්‍යතාවයකින් යුත් ආරක්ෂක ඇඳුමකට වඩා දෙයක් අදහස් නොවීය. වර්තමානයේදී, අවුරුද්දකින් අඩකට වැඩි කලක් පැරීසියේ හා ප්‍රන්සය පුරාම ද පැවැති අඛන්ඩ මහජන විරෝධතාවලින් අනතුරුව, Gilets jaunes (කහ බැනියම්) යනු සමාජ අසමානතාවයට හා ධනපති ක්‍රමයට එරෙහි මහජන විරෝධයේ සංකේතයක් ලෙස ලොව පුරාම හඳුනා ගැනේ.

ගුරුවරුන්ගේ - එනම්, තරුනතරුනියන්ගේ අධ්‍යාපනයේ වගකීම දරන, එබැවින් තරුන පරපුරේ සමාජ විඥානය අවදි කිරීමෙහිලා තීරනාත්මක කාර්යභාරයක් ඉටුකරන කම්කරු පන්ති කොටසේ - වැඩ වර්ජන එක්සත් ජනපදය, පෝලන්තය, නෙදර්ලන්තය, ඉන්දියාව, ඉරානය, මෙක්සිකෝව, නවසීලන්තය, ටියුනීසියාව හා සිම්බාබ්වේහි ඇති විය. සමාජ අසමානතාවයට, දරිද්‍රතාවයට, ඒකාධිපතිවාදයට හා යුදවාදයට එරෙහි විරෝධතා විසින් මොලවනු ලබන වර්ජන රැල්ල ජාත්‍යන්තර කම්කරු පන්තියේ වඩවඩාත් පුලුල් ස්ථරයන් ග්‍රහනය කර ගනිමින් වර්ධනය වෙමින් පවතී.

ලෝක ගෝලය පුරාම දැකගත හැක්කේ සමාජවාදය පිලිබඳව වැඩෙමින් පවතින උද්‍යෝගයයි. එය පන්ති අරගලයේ තථ්‍ය වෛෂයික තීව්‍රවීම මහජන දේශපාලන විඥානය තුල පිලිබිඹු වීමකි. අප ගෙවා දමමින් සිටින්නේ එම ක්‍රියාදාමයේ, හුදෙක් ආරම්භක අවධීන්ය. එබැවින් - දේශපාලනිකව එක තැන පල්වීමේ දශක ගනනාවකට පසු - අරගලයේ ස්වභාවය හා ගත යුතු මාවත පිලිබඳ අපැහැදිලිකම්, ව්‍යාකූලත්වයන් පවා, පවතී. එහෙත් ලෝක සමාජවාදී විප්ලවයේ විශේෂඥ මූලෝපායයඥ ලියොන් ට්‍රොට්ස්කි ඒ සා මනාව පැහැදිලි කල පරිදි:

මහජනයා විප්ලවයට එලැඹෙන්නේ සමාජ ප්‍රතිසංස්කරනය සඳහා වූ කල් තබා සකස් කර ගන්නා ලද සැලසුමක් සහිතව නොව, පැරැනි තන්ත්‍රය තවදුරටත් උසුලා සිටිය නොහැකිය යන තියුනු හැඟීමක් සහිතවය. සමාජ වැඩපිලිවෙලක් සතුව ඇත්තේ පන්තියකට මඟ පෙන්වන ස්ථරයන්ට පමනක් වන අතර, එය පවා තවමත් පවතින්නේ සිද්ධීන්ගේ පරීක්ෂාවට භාජනය විය යුතු හා මහජන අනුමැතිය ලැබිය යුතු තත්ත්වයකය. ඒ අනුව, විප්ලවයේ මූලික දේශපාලන ක්‍රියාවලිය සමන්විත වන්නේ සමාජ අර්බුදයෙන් පැන නඟින ගැටලු පිලිබඳව ක්‍රමානුකූලව සමවබෝධය ලබා ගැනීම තුලය - එනම්, අනුක්‍රමික සන්නිකර්ෂනයේ විධික්‍රමය මඟින් ඇතිකර ගන්නා ක්‍රියාකාරී මහජන පෙලගැස්ම තුලය.

සමාජ රැඩිකලීකරනයේ හා - ධනේශ්වර පක්ෂවලින් හා ඒවායේ හවුල්කාරයන්ගෙන් ඉවතට සහ සමාජවාදය දෙසටත් මහජන අරගලයේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන නිර්මානය කර ගැනීම දෙසටත් සිදුවන - දේශපාලනික දිශානුයෝජනයේ වෛෂයික ක්‍රියාවලිය දිග හැරෙමින් පවතී. ධනේශ්වර ක්‍රමය ප්‍රතිසංස්කරනය කිරීම නොකල හැක්කක් බවත්, මෙම සූරාකෑමේ හා යුද්ධයේ පර්යාය පෙරලා දැමීමට නොඅඩු දෙයක් අවශ්‍යව ඇති බවත් අවබෝධ කර ගැනීම කරා මෙකී ක්‍රියාවලිය මඟ පෙන්වනු ඇත. එහෙත් මෙම වර්ධනය වෙමින් පවත්නා කම්කරු පන්ති ව්‍යාපාරයේ වැඩී ඒම හා එහි බලය පිලිබඳ විශ්වාසය තැබීම මඟින්, පාලක ප්‍රභූව තමන්ට ප්‍රත්‍යක්ෂ වන තර්ජනය හමුවේ දක්වන ප්‍රතිචාරය විසින් ඉස්මතු කෙරෙන අන්තරායයන් පිලිබඳ කවර හෝ අවතක්සේරුකිරීමක් සාධාරනීකරනය නොකෙරේ. සමාජවාදය යලිත් වරක් කම්කරු පන්තියේ දේශපාලන වාග් මාලාව තුලට ප්‍රවිෂ්ට වන විට ධනේශ්වර පන්තිය ඒකාධිපතිවාදයේ හා ෆැසිස්ට්වාදයේ දෘෂ්ටිවාදයට, භාෂා ව්‍යවහාරයට හා භාවිතයට යලි පන දෙයි.

ඉතාලිය හා ජර්මනිය තුල මුසෝලිනි හා හිට්ලර් බලයට ගෙන ආ ආකාරයේ බහුජන ෆැසිස්ට් ව්‍යාපාර තවමත් බිහි වී නැත. එහෙත් ධනේශ්වර ආඥාදායකත්වයේ වඩාත්ම කුරිරු ආකෘතීන් සඳහා සමාජ පදනමක් වර්ධනය කිරීමේ ප්‍රයත්න ශීඝ්‍ර ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින අතර, මෙම අන්තරායදායක ප්‍රවනතාවය පිලිබඳ උදාහරන ලොව පුරාම දකින්නට ඇත.

සංක්‍රමන - විරෝධී ස්වෝත්තමවාදයට කෙරෙන ට්‍රම්ප්ගේ නිර්දය ආයාචනා, වඩවඩාත් උන්මත්තක ස්වභාවයක් ගනිමින් ඇති ඔහුගේ සමාජවාදය පිලිබඳ හෙලාදැකීම් සමඟ එකට වෙලී පවතින්නේ ය. ප්‍රන්සය තුල දී කහ බැනියම්කරුවන්ට එරෙහිව පොලිසිය හා හමුදාව යොදවන අතරවාරයේ ම ජනාධිපති මැක්‍රෝන්, පැරැනි නාසි සහකරුවෙකු වූත් ෆැසිස්ට් විෂි තන්ත්‍රයේ අපරාධකාරී ප්‍රධානියා වූත් ජනරාල් පිටන්ට ජාතික වීරයෙකු ලෙස ගෞරව දැක්වීය. බෙනිටෝ මුසෝලිනී කෙරේ ඉතාලියේ නියෝජ්‍ය අගමැති මතියෝ සල්වීනි දක්වන ප්‍රසාදය නොරහසකි. 1960 ගනන්වල හා 1970 ගනන්වල බ්‍රසීලය තුල, දහස් ගනන් ජනයා සිරගත කල, වධ බන්ධන පැනවූ හා ඝාතනයට ලක් කල ආඥාදායකත්වය ජනාධිපති ජයර් බෝල්සොනාරෝ උත්කර්ෂයට නංවයි. හංගේරියාවේ වික්ටර් ඕරබන්ගේ ෆිදෙස්(z) පක්ෂය, පෝලන්තයේ යරොස්වාෆ් කචින්ස්කිගේ “නීතිය හා යුක්තිය” පක්ෂය සහ, සත්තකින්ම ජර්මනියේ (අල්ටර්නේටිව් ෆර් ඩොයිෂ්ලන්ඞ් ) ජර්මනිය සඳහා විකල්පය සංවිධානය, ෆැසිස්ට් තන්ත්‍රයන් නිර්මානය කිරීමට ප්‍රයත්න දරන, වර්ධනය වෙමින් පවතින සංවිධානවල වඩාත්ම ප්‍රසිද්ධ ඒවා අතරින් කිහිපයක් පමනෙකි.

මෙම ව්‍යාපාර බිහිවීම හා වර්ධනය වීම යනු ලොව පුරා පාලක ප්‍රභූ තන්ත්‍රයන් විසින් ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදයේ නෛතික ප්‍රතිමානයන්ට සහාය දෙනු ලැබීමේ හා ඒවාට බැඳී සිටිනු ලැබීමේ ලෝක පරිමාන හා බෙහෙවින් දුරදිග ගිය බිඳ වැටීමක් ප්‍රකාශයට පත්වීමකි.

ජුලියන් අසාන්ජ් හා චෙල්සි මැනිංට එරෙහිව නඩු පැවරීම ද, ඉන්දියාවේ මරුටි සුසුකි කම්කරුවන් සිරගත කිරීම ද, මටමොරෝස්හි වැඩ වර්ජිත මෙක්සිකානු කම්කරුවන් සේවයෙන් පහ කර දැමීම ද, සංක්‍රමනිකයන්ට කෲර ලෙස සැලකීම ද, ලෝකය - 1930 ගනන්වල පරිද්දෙන් - දූෂිත සිර කඳවුරක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාදාමයක කොටස්ය.

දේශපාලනික ප්‍රතිගාමිත්වය වර්ධනය වීමේ වෛෂයික ආර්ථික හා සමාජයීය පදනම කුමක්ද?

පසුගිය දශක තුන විසින් දක්නා ලද්දේ ලෝකයේ ධන සම්පත් ලෝක ජනගහනයේ අතිශයින්ම කුඩා කොටසක් අත සංකේන්ද්‍රනය වීම පෙර නොඇසූ විරූ ආන්තික හා අශිෂ්ඨ මට්ටම්වලට නැඟ ගැනීමකි. මෙම සම්පත් සංකේන්ද්‍රනයේ ප්‍රධානතම යාන්ත්‍රනය ව පවතින්නේ ලෝකයේ, හා විශේෂයෙන්ම එක්සත් ජනපදයේ, කොටස් වෙලඳපොලවල කොටස් මිල ඉමහත් ලෙස ඉහල නැඟීමයි.

ආර්ථික පිලිවෙතෙහි ප්‍රමුඛ එල්ලය වී ඇති කොටස් මිලෙහි නිරන්තර ඉහල නැඟීමක් සලකුනු කරන්නේ, සමාගම්වල ඉපැයුම්, තාර්කිකව සාධාරනීකරනය කල හැකි මට්ටමට වඩා බෙහෙවින් එපිට මට්ටමක පවත්වා ගැනීමයි. සාපරාධී සමපේක්ෂනයේ ඍජු ප්‍රතිඵලයක් වූ 2008 බිඳවැටීම විසින් - ප්‍රමානාත්මක සහන සැලසීමේ ආකාරයෙන් - ප්‍රාන්ත ආන්ඩු මූල්‍ය ප්‍රභූවට පරිපූර්නව ම නතුවීම තීව්‍ර කරන ලදී.

2018 වසරේ අවසාන භාගයේ පොලී අනුපාතවල ඇති වූ ඉතා සීමිත ඉහල නැඟීමක් විසින් වෝල් වීදියේ කොටස් මිලෙහි සැලකිය යුතු කඩා වැටීමකට මුල පුරන ලදී. ඒ ක්ෂනයෙන්ම පාහේ ෆෙඩරල් මහ බැංකුව (Federal Reserve) තවදුරටත් අනුපාත වැඩි කිරීමේ සිය සැලසුම් අත්හැර දැමීම කරා යොමු විය. මෙම තත්ත්වය, ඉහල යන කොටස් මිල ප්‍රතිරක්ෂනය කිරීමට අසීමිත ද්‍රවශීලතාවයක් සම්පාදනය කිරීමට ආන්ඩුව දිගටම ක්‍රියාකරනු ඇතැයි තහවුරු කෙරුනි. වෝල් වීදිය, තවතවත් සශ්‍රීකත්වයට පත්වෙමින්, මහ බැංකුවේ මෙම කොන්දේසි විරහිත යටත්වීමට මහත් ප්‍රමෝදයකින් යුතුව ප්‍රතිචාර දැක්වූයේය.

එහෙත් වෝල් වීදියේ මූල්‍ය පරපෝෂිතභාවයට දැක්වෙන සහායය විසින් ජනිත කෙරෙන අතිශයින් තථ්‍ය ප්‍රතිවිපාක පවතී. වෙලඳ යුද්ධය නිසා තවදුරටත් තීව්‍ර කෙරුනු අවපාත පීඩනය වර්ධනයවීමේ කොන්දේසි යටතේ ඉහල නඟින කොටස් මිල දරා සිටීමට අවශ්‍ය මට්ටම්වල ලාභ ජනනය කර ගැනීමට, එසේ නැතහොත් වඩාත් අශුභවාදී ලෙස පවසන්නේ නම් වෙලඳපොල ඇද වැටීම වලක්වා ගැනීමට, සමාගම් කෙසේනම් සමත් වෙත්ද? ඇත්තෙන්ම කිවහොත්, ඩව් ජෝන්ස් සාමාන්‍යය තවත් කොටස් 10,000 කින් - එනම් තවත් සියයට හතලිහක ප්‍රතිශතයකින් - ඉහල යා යුතුයැයි ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කොට ඇත.

පිලිතුර මෙසේය: සමාගම් එසේ කරන්නේ කම්කරු පන්තිය සූරාකෑමේ මට්ටම් ඉමහත් ලෙස තීව්‍ර කිරීම තුලිනි. ෆැසිස්ට්වාදය හා යුද්ධය දෙසට හැරීමට යටින් පවත්නාවූ වෛෂයික ආවේගය වන්නේ මෙයයි.

රට තුල ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිමානයන් උල්ලංඝනය කිරීම අත්වැල් බැඳගන්නේ විදේශ පිලිවෙත් චර්යාවන් තුල මුලුමනින් සාපරාධී පිලිවෙතක් පවත්වා ගෙන යාම සමගය. “ජාත්‍යන්තර නීතිය” යන යෙදුම විරෝධෝක්තියක් බවට පත් වී ඇත. එක්සත් ජනපදයේ ලෝක ව්‍යාප්ත මෙහෙයුම් දේශපාලන සාපරාධීභාවයේ නිම නොවන අභ්‍යාසයෝ වෙති. වෙනිසියුලාව කෙරේ ට්‍රම්ප් පාලනයේ හැසිරීම 1939 දී පෝලන්තය සම්බන්ධයෙන් නාසි තන්ත්‍රයේ හැසිරීම සමඟ කැපී පෙනෙන සාම්‍යයක් දක්වයි.

රටේ අභ්‍යන්තර පිලිවෙත් සම්බන්ධ චර්යාවන් තුල ව්‍යවස්ථාමය ප්‍රතිමානයන් උල්ලංඝනය කිරීමත්, විදෙස් පිලිවෙතේ දී මැර විධික්‍රම උපයෝගී කර ගැනීමත් අවසාන විග්‍රහයේදී මුල් බැස ඇත්තේ ධනේශ්වර ක්‍රමයේ අර්බුදය තුලය. යුරෝපයේ හා ආසියාවේ සිය ප්‍රතිමල්ලවයන්ගෙන් එල්ල වෙන භූ දේශපාලන හා ආර්ථික අභියෝගයන් හමුවේ ගෝලීය ආධිපත්‍යය දරන්නා ලෙස තම ස්ථානය පවත්වා ගැනීමට එක්සත් ජනපදය දරන මංමුලාසහගත ප්‍රයත්නයන්ට අවශ්‍ය කෙරෙන්නේ ස්ථිරසාර හා දිනෙන්දින උත්සන්න කෙරෙන යුද්ධයකි.

මෙම ඔලමොට්ටල ප්‍රතිපත්තිය ට්‍රම්ප් සිටියත් නැතත් පවතිනු ඇත. ඇත්තෙන්ම ඩිමොක්‍රටික් පක්ෂය වෙලා ගෙන ඇති රුසියානු විරෝධී උන්මාදය, එම පක්ෂය යලිත් ධවල මන්දිරයට පත් වුවහොත් ලෝක යුද්ධයක අනතුර වඩාත් වැඩි වනු ඇතැයි යන්න සාධාරන සැකයක් බවට පත් කරයි. තවද, ඉදින් බර්නි සෑන්ඩර්ස් ජයග්‍රහනය කලේ වී නම් එමඟින් “වඩාත් කාරුනික හා වඩාත් මෘදු” අධිරාජ්‍යවාදයක් බිහිවන්නට තිබිනැයි යන මායාවන්හි තවමත් ගැලී සිටින්නවුන්ට සිහිපත් කර දිය යුත්තේ ප්‍රතිපත්තිවිරහිත හා අවස්ථාවාදී දේශපාලනයේ නියුක්තකු වන මෙම තැනැත්තා, ඇමරිකානු උත්සුකයන්ට චීනයෙන් එල්ල වී ඇති තර්ජනය අවතක්සේරු කිරීම සම්බන්ධයෙන් සිය ප්‍රතිවාදී හිටපු උපජනාධිපති බිඩෙන් හෙලා දැක ඇති බවයි.

“කෝටිපති පන්තියට” එරෙහිව මෙම මුඛරි සෙනෙට්සභිකයා කාලයෙන් කාලයට එල්ල කරන වාචික ප්‍රහාර කවරාකාර වුව, සෑන්ඩර්ස් විසින් වෙලඳ යුදවාදය ප්‍රවර්ධනය කරනු ලැබීම ඔහු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධසහායකයෙකු හා අතවැසියෙකු ලෙස නම් කිරීමට ප්‍රමානවත්ය. සෑන්ඩර්ස් විප්ලවවාදියෙකු ලෙස හැඳින්වීම තිබියේවා, සමාජවාදියෙකු ලෙස ඔහුට අනුග්‍රහ දක්වන්නෝ ද දේශපාලන ප්‍රෝඩාවක අපරාධකරුවෝ වෙති.

අවුරුදු 30 කට ඉහත, 1989 දී, ඊලඟට එලැඹි දශකවල සමාජ හා දේශපාලන ජීවිතයේ ගමන් මඟ කෙරේ බලගතු ලෙස බලපෑම් කිරීමට නියමිත වූ සිදුවීම් මාලාවක් ඇති විය. නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත්‍ර ඒවායේ ස්වයං - දියකර හැරීම ආරම්භ කලෝය. චීනයේදී මාවෝවාදී තන්ත්‍රය බීජිංහි තියැන්නාම් චතුරශ්‍රයේ සංහාරයට අන දෙමින් මහජන විරෝධතාවලට ප්‍රතිචාර දැක්වීය.

දේශපාලන ආකෘතීන්හි කෙතරම් වෙනස්කම් පැවතියේ වූ නමුදු මෙම අවස්ථා දෙකෙහිදීම ආර්ථික ප්‍රතිවිපාකය වුයේ ධනවාදය කරා ආපසු යාමයි. ඉන් දෙවසරක ඇවෑමෙන් 1991 දී ක්‍රෙම්ලින් නිලධරය සෝවියට් සංගමය විසුරුවා හරිමින් ධනේශ්වර පුනස්ථාපනයේ ක්‍රියාවලිය සම්පූර්න කලේය.

ස්ටැලින්වාදී තන්ත්‍රවල බිඳවැටීම ජාත්‍යන්තර ධනපති පන්ති විසින් පාවාඩ එලා සාදරයෙන් පිලිගත්තේ එය ධනවාදයට විකල්පයක් වශයෙන් සමාජවාදය තීරනාත්මකව ප්‍රතික්ෂේප වීමක් ලෙස හඳුන්වා දෙමිනි. ඊලඟ දශක තුනක කාලය තුල ඇති වූ දේශපාලන සහ බුද්ධිමය ප්‍රතිගාමිත්වයේ විවිධ ආකෘතීන් වර්ධනය වූයේ මෙම තේමාවේ පදනම මතය. සත්තකින්ම මීට යටින් පැවැති ආඛ්‍යානය පදනම් වී තුබුනේ සුවිශාල ඓතිහාසික මුසාවක් මතය: එනම්, ස්ටැලින්වාදී තන්ත්‍ර සමාජවාදය නියෝජනය කරතැයි යන බොරුව මතය. එකී මුසාව පවත්වා ගෙන යා හැකිව තිබුනේම ස්ටැලින්වාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය දියත් කල අරගලයේ ඉතිහාසය අල්පේච්ඡ කොට දැක්වීමට, විකෘති කිරීමට හෝ නොතකා හැරීමට හැකිවූ තාක් දුරට පමනෙකි.

එහෙත් දැන් ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිවිරෝධයෝ කම්කරු පන්තියේ බහුජන ව්‍යාපාරයක් අලුතින් පැන නැඟීමේ කොන්දේසි නිර්මානය කරමින් සිටිති. හතරවැනි ජාත්‍යන්තරයේ ඓතිහාසික ඉදිරි දර්ශනය - එනම්, මේ යුගය ධනේශ්වර ක්‍රමයේ මරලතෝනි යුගයයි යන්න - සනාථ වෙමින් පවතී. එහෙත් මෙම සනාථවීම වටහා ගත යුත්තේ හුදු චින්තාපර අර්ථයකින් නොව, ක්‍රියාකාරී හා විප්ලවවාදී අර්ථයකිනි.

හතරවැනි ජාත්‍යන්තරයේ කර්තව්‍යය වන්නේ හුදෙක් ලෝකය අර්ථ නිරූපනය කිරීම නොව එය වෙනස් කිරීමයි. වෛෂයික සිදුවීම්වල, මාක්ස්වාදී විශ්ලේෂනයේ, හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ විප්ලවවාදී භාවිතයේ අන්තර්ඡේදනය එහි වඩාත් දේශපාලනික වශයෙන් සවිඥානක ප්‍රකාශනය සොයාගන්නේ පන්ති අරගලය වර්ධනය කිරීම තුල ලෝකය පුරා සමාජවාදී සමානතා පක්ෂවල සැබෑ මැදිහත්වීම හරහාය.

සැබෑ විප්ලවවාදී විභවයේ ද එය එහි පරිසමාප්තිය කරා ගෙන යාමෙහි ලා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඉටුකරන තීරනාත්මක කාර්යභාරයේ ද අන්තර්ඡේදනය පිලිබඳ මෙම අවබෝධය, මෙම මැයි දින සැමරුමේ දී කම්කරුවන්ට හා තරුනයින්ට අප කරන කැඳවුමට අනුප්‍රානය දෙයි.

සමාජවාදය සඳහා සටන් වදිනු!

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස ගොඩනඟනු!

Share this article: