යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් අත් අඩංගුවට ගැනීමට සහ
විශ්ව විද්‍යාල තුල හමුදා සෝදිසි මෙහෙයුම් වලට එරෙහිවෙනු!

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ , 2019 මැයි 8

මැයි 3 වනදා යාපනය විශ්ව විද්‍යාලය තුල සිදු කල පොලිස්-මිලිටරි සෝදිසි මෙහෙයුමකදී කලා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති එන්. දිවාකරන් සහ ලේකම් එස්. බල්දිරාජ් අත් අඩංගුවට ගැනීම සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) තරයේ හෙලා දකී.

හමුදා, නාවික හමුදා සහ විශේෂ කාර්ය බලකා සාමාජිකයින් 300 ක් සම්බන්ධ වී කරන ලද මෙම මෙහෙයුමේදී සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූප ඇතුලත් පෝස්ටර් ලඟ තබා ගත්තේය යන චෝදනාව මත යි. දිවාකරන් සහ බඞ්ල්රාජ් මැයි 4 වන දා යාපනය මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කල අතර එහිදී මැයි 16 වනදා තෙක් රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුනි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි තරුන සහ ශිෂ්‍ය සංවිධානය වන සසජාතශි එම ශිෂ්‍ය සංගම් විසින් අනුයන දෙමල ජාතිකවාදී ප්‍රතීගාමී දේශපාලනයට මුලුමනින්ම විරුද්ධ වන අතර තමා කැමති දේශපාලනයක නිරත වීමට එයට ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතිය ආරක්ෂා කරයි.

මෙම මිලිටරි මැදිහත්වීම සිදු කරනු ලැබුවේ, අප්‍රේල් 21 වනදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය ක්ෂනිකව ගසා කමින් ආන්ඩුව පොලිස්-මිලිටරි රාජ්‍යයක් දෙසට තැබූ පියවරයන්ගේ කොටසක් ලෙසයි. අප්‍රේල් 22 දා පනවන ලද හදිසි නීතිය යටතේ ඕනෑම පුද්ගලයෙකු සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම සහ දීර්ඝ ලෙස රඳවා තබා ගැනීම ඇතුලු ඉමහත් බලතල මිලිටරියට සහ පොලීසියට හිමිවෙයි.

ධනේශ්වර සංස්ථාපිතයේ සියලු කොටස්වල සහයෝගය යටතේ ක්‍රියාවට නැගුනු මෙම විසකුරු විධිවිධාන සඳහා කඩතුරාව ලෙස යොදා ගැනුනේ “අන්තවාදීන් මර්දනය කිරීම” යන සූත්‍රයයි. නමුත්, එහි සැබෑ අරමුන වනුයේ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව වර්ධනය වෙමින් පවත්නා පන්ති අරගල රැල්ල තලා දැමීමයි.

යාපනය විශ්ව විද්‍යාලය තුල මෙම මිලිටරි මැදිහත් වීම කරනු ලැබුවේ රාජ්‍ය මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීම සඳහා ආන්ඩුව ගත් සියලු ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන්ට දෙමල ජාතික සන්ධානයේ (දෙජාස) පූර්න සහයෝගය ලැබෙන තතු තුලයි. එම පියවරයන්ට සංස්ථාපිතයේ අනෙක් පක්ෂවල සහාය ලබා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැඳවූ ඊනියා සර්ව-පාක්ෂික සම්මේලනයට බඩ ගෑ දෙජාස එයට අනුමැතිය දී උතුරු පලාතේ මිලිටරි වාඩිලාගැනීම් සම්බන්ධයෙන් දක්වමින් සිටි නාමික විරුද්ධත්වය පවා අත් හලේය.

මැයි දිනය සමරමින් කිලිනොච්චියේ පැවති ඉලංගෙයි තමිල් අරසු කච්චි රැස්වීමකදී දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා කියා සිටියේ “ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හමුදාව සහ පොලිස් ආරක්ෂාව තර කල යුතු” බව යි. දෙජාස හි තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එම්.ඒ. සුමන්තිරන් “වැඩිපුර හමුදාව” උතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලන නමුත් “අන්තිම සෙබලා” දක්වා ඉවත් කරන ලෙස කිසි දිනෙක ඉල්ලා නොසිටිය බව ප්‍රකාශ කලේය.

ඔවුන්ගේ මෙම නරුම ප්‍රකාශයන් උතුරු ප්‍රදේශය තුල මිලිටරි මැදිහත්වීම් සහ සෝදිසි මෙහෙයුම් සඳහා මිලිටරියේ අත ශක්තිමත් කලේය.

පසුගිය වසර කිහිපය තුල රටෙහි අනෙත් කොටස් වල මෙන්ම උතුරු පලාතේ ද අරගල මාලාවක් පැන නැගුනි. දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස, යුද අපරාධ පිලිබඳ පරීක්ෂන පවත්වා වරදකරුවන්ට දඬුවම්දෙන ලෙස සහ මිලිටරිය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින තම ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලා විවිධ ස්ථානවල මහජන විරෝධතා මතුවිය.

මීට සමගාමීව, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ සහ ගුරුවරුන්ගේ වර්ජන වලදී මෙන්ම අනෙකුත් කම්කරු අරගල වලදී වාර්ගික භේදයන් නොතකා උතුරේ කම්කරුවන් දකුනේ සිය සහෝදර කම්කරුවන් සමග ඒකාබද්ධව සටන් වලට එලැඹුනි.

මෙම සටන් වර්ධනය වී සමස්ත ධනපති පන්ති පාලනයටම අභියෝග කරතැයි යන භීතියෙන් කොලඹ ධනපති පාලකයන් මෙන්ම දෙමල ධනපති නායකයෝ තැති ගෙන සිටිති. පොලිස්-මිලිටරි රාජ්‍යයක් දෙසට තබන වේගවත් පියවර පිටුපස පවතින්නේ මෙම භීතිය යි.

අධ්‍යාපනයට එල්ල කෙරෙන ප්‍රහාර හමුවේ පසුගිය වසර කීපය පුරා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ද නිරන්තරව අරගලයට පිවිසෙමින් සිටිති. මෙලෙස සටනට ඇදෙන සිසුන්, එම ප්‍රහාරයන්ගේ මූලය වන අර්බුදග්‍රස්ථ ධනපති ක්‍රමයට එරෙහි අරගලයකට අභිමුඛවීම වලකාලමින් ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතා දේශපාලනය තුල සිර කොට, එම ප්‍රහාර ඉදිරියට ගෙනයාම සඳහා ධනපති ආන්ඩු වලට අවකාශ සලසා දෙනුයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) යි.

අවිශිබම සහ එයට දේශපාලනික නායකත්වය දෙන ව්‍යාජ-වාම සංවිධානය වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ධනපති රාජ්‍යයට සහ ධනපති ක්‍රමයට කෙතරම් තදින් බැඳී ඇත්ද යත්, විශ්ව විද්‍යාල තුල සිදු කරන මිලිටරි සෝදිසි වලට තම නියෝජිතයන් කායිකවම සහභාගි කරවීමට තරම් අවිශිබම දුරදිග ගොස් ඇත.

මැයි 4 වනදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අවිශිබම කැඳවුම්කරු මහීල් බන්ඩාර දෙහිදෙනිය කියා සිටියේ පේරාදෙනිය විශ්වවිද්‍යාලය තුල පසුගිය සතියේ සිදු කෙරුනු මිලිටරි සෝදිසි මෙහෙයුම් සඳහා තම නියෝජිතයන් සහභාගි වූ බවයි.

මෙයින් අත් ශක්තිමත් කරගත් මිලිටරිය පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සේනක බිබිලේ නේවාසිකාගාරයට කඩා වැදී “එහිදී සොයා ගත්” කැමූෆ්ලාජ් (කැමා) ඇඳුම් කීපයක් සහ “වෝකිටෝකි” යන්ත්‍ර දෙකක් රූපවාහිනී නාලිකා තුලින් ප්‍රදර්ශනය කලේ සිසුන් “ත්‍රස්ත ක්‍රියාවන්හි” යෙදෙන බව මහජනතාවට අඟවමින් එම කඩාපැනීම් යුක්තියුක්ත කිරීමටයි. “කැමා ටී ෂර්ට්” ඇඳීම තරුනයන් අතර විලාසිතාවක් වන බවත් විනෝදාංශයක් ලෙස කඳු තරනයේ යෙදෙන සිසුන් “වෝකිටෝකි” බහුලව භාවිතයට ගන්නා බවත් සිසුහු පවසති.

පේරාදෙනියට අමතරව රුහුනුූ විශ්ව විද්‍යාලය තුල කල සෝදිසි මෙහෙයුම් වලදී ශිෂ්‍ය සංගම් කාර්යාල වලට බලහත්කාරයෙන් ඇතුලුවූ මිලිටරිය ශිෂ්‍ය නියෝජිතයින්ගේ තොරතුරු සහ අවිශිබම වාර්තාවන් ඡායාරූප ගත කර ගෙන ගොස් ඇත. ඉහත මාධ්‍ය හමුවේදී අවිශිබම කැඳවුම්කරු කනස්සල්ල පල කලේ එම මිලිටරි මෙහෙයුම් වලට තම නියෝජිතයන් සම්බන්ධකර නොගැනීම සම්බන්ධයෙනි.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දියාරු විවේචනයක් ඉදිරිපත්කල දෙහිදෙනිය එල්ටීටීඊ සංවිධානය පිලිබඳ කොලඹ පාලක පන්තියේ කියාපෑම් සමග එක පෙලට සිට ගනිමින් එය “ත්‍රස්තවාදී” සංවිධානයක් බව කියා සිටියේ ය.

මෙවන් කියාපෑම් හරහා එල්ටීටීඊයේ සම්භවයට සහ යුද්ධයට හේතු පවතින්නේ කොලඹ ධනපති පන්තිය ආරම්භයේ සිට ගෙනගිය දෙමල විරෝධී වෙනස්කම් තුල බව අවිශිබම වසන් කරයි. එමෙන්ම අත්අඩංගුවට පත් සිසුන්ට “ත්‍රස්තවාදී” ලේබලය අලවා දඬුවම් දීම සඳහා අවකාශය ද සපයා දෙයි.

පෙරදී අවිශිබම ට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), එල්ටීටීඊ ය “ත්‍රස්තවාදී” සංවිධානයක් ලෙස නම් කරමින් එය සමග කොලඹ ආන්ඩුව ගෙනගිය යුද්ධයේ කසකරුවෙක් ලෙස ක්‍රියා කලේය. අවිශිබම, ජවිපෙ අනුයමින් සිසුන් අතර විසකුරු දෙමල විරෝධී උද්ඝෝෂනයක යෙදී ගත්තේය. පෙසප, ජවිපෙන් සංවිධානාත්මකව වෙන් වුවද එහි දේශපාලනයෙන් වෙන් නොවී ඇති බව එය විසින් මෙහෙයවන අවිශිබමහි ඉහත ප්‍රකාශයන්ගෙන් නැවත වරක් සනාථ වෙයි.

“අන්තවාදය පරාජය කිරීම නිසැකයෙන්ම කල යුත්තක්” බව පැවසූ අවිශිබම කැඳවුම්කරු කියා සිටියේ ආන්ඩුව එහි “නියම අරමුන” වෙනුවට “ශිෂ්‍ය සංවිධාන මර්දනය කිරීම” සිදු කරන බවයි. සැබැවින්ම ආන්ඩුවේ “නියම අරමුන” වනුයේ “අන්තවාදය පරාජය කිරීම” නොව කම්කරු, ගොවි සහ සිසු අරගල තලා දැමීම බව යලිත් ප්‍රකාශ කරන්නෙමු.

ආන්ඩුවේ මෙම අරමුන සාක්ෂාත් කිරීම සඳහා කෙරෙන පොලිස්-මිලිටරි “සෝදිසි මෙහෙයුම්” වලට සහ අත්අඩංගුවට ගැනීම් වලට ද ඒවාට අවිශිබම දෙන “පූර්න සහයෝගය” ට ද සිසුන් තරයේ විරුද්ධ විය යුතුය.

විශ්ව විද්‍යාල තුල සෝදිසි මෙහෙයුම් සහ අත් අඩංගුවට ගැනීම්, “ත්‍රස්තවාදය” මැඩීමේ මුවාවෙන් ආන්ඩුව වර්ධනය කරන පොලිස් මිලිටරි රාජ්‍යය, ඉදිරි පන්ති අරගල කෙරෙහි දක්වන ප්‍රතිචාරය පිලිබඳ පෙර ඇඟවුමකි.

ආන්ඩුවේ මර්දනය පරාජය කිරීම සඳහා, සියලු සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරක්ෂිත කලහැකි එකම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය දෙසට සිසුන් හැරිය යුතුය. එම අයිතීන් සුරක්ෂිත කිරීමේ ස්වාධීන කාර්යභාරයක් සිසුන්ට ඇතැයි අවිශිබම සහ පෙසප කරන සැඳහුම් පරිපූර්න ප්‍රලාපයන් ය.

බිඳවැටීමක් තුලින් ගමන් කරන ලෝක ධනවාදයට දිය හැක්කේ, සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මුලුමනින් ම අතුගා දමන සමාජ ප්‍රතිවිප්ලවය සහ ලෝක යුද්ධ පමනකි. ලොවපුරා කම්කරු පන්තිය අත් දකිනුයේ ආන්ඩු වලට බලපෑම් දැමීමෙන් රාජ්‍ය මර්දනය සහ කප්පාදු ආපසු හැරවිය නොහැකි බවයි. සියලු සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරක්ෂිත කල හැක්කේ ලෝක ධනවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන සටනකිනි.

ඒ සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමත්, පීඩිත ගොවීන්, ශිෂ්‍යයන් සහ තරුනයන් ඒ වටා බලමුලු ගැන්වීමත් අත්‍යවශ්‍ය කෙරේ. මේ සඳහා සිසුන් අතර සටන් වදින්නේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ පමනි.

Share this article: