ජූලියන් අසාන්ජ් නිදහස්කර ගැනීමේ සසජාතශි උද්ඝෝෂනයට නුගේගොඩදී සැලකියයුතු මහජන ප්‍රතිචාරයක්

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 මැයි 17

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තරුන සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) මැයි 11 වනදා නුගේගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ ජූලියන් අසාන්ජ් නිදහස් කරගැනීමේ උද්ඝෝෂනයක නිරත වූහ.

එය, එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ යුද අපරාධ ඇතුලු සාපරාධී ක්‍රියා පිලිබඳ රහස් හෙලි කිරීම හේතුවෙන් දඩයමට ලක්ව බ්‍රිතාන්‍යයේ සිරගත කොට සිටින ජූලියන් අසාන්ජ් නිදහස්කර ගැනීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ලොවපුරා ගෙනයන උද්ඝෝෂනයේ කොටසක් විය.

“ජූලියන් අසාන්ජ් නිදහස් කරනු” යන සටන් පාඨය සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් සහ “ජූලියන් අසාන්ජ්ගේ දන්ඩනය: නෛතික උල්ලංඝනයක්” යනුවෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පලවූ ලිපියේ පිටපත් බෙදා හරිමින්, සසජාතශි සාමාජිකයෝ මහජනතාව සමග සාකච්ඡාවක නිරත වූහ.

ජූලියන් අසාන්ජ් ට එරෙහි දඩයම සම්බන්ධයෙන් ලංකාවේ මාධ්‍ය සහ ව්‍යාජ වම්මුන් දක්වන නිහැඬියාව මධ්‍යයේ මෙම උද්ඝෝෂනය සම්බන්ධයෙන් සිසුන්ගෙන් සහ තරුනයන්ගෙන් මෙන්ම අවශේෂ මහජනතාවගෙන් උනන්දු සහගත ප්‍රතිචාරයක් හිමිවිය.

නුගේගොඩ උපකාරක පන්තියකට සහභාගීවීමට පැමින සිටි දේශක්ති ලංකා සහ ඔහුගේ මිතුරා උද්ඝෝෂකයන්ට පැවසුවේ විකිලීක්ස් වෙබ් අඩවිය ඇමරිකාවේ “රාජ්‍ය රහස්” හෙලිදරව් කල මාධ්‍යයක් ලෙස දැනුවත්ව සිටි බවයි.

විකිලීක්ස් කතෘ ජුලියන් අසාන්ජ් සහ ඔහුට තොරතුරු සැපයූ චෙල්සී මැනිං තම දිවි පරදුවට තබා හෙලිකල දෑ ජාත්‍යන්තර කම්කරු පන්තියට කෙතරම් වැදගත් වන්නේ ද යන්න උද්ඝෝෂකයෝ ඔවුන්ට පැහැදිලි කර දුන්හ. විකිලීක්ස් හි පලවූ, ඇමරිකාව විසින් ඉරාකයේ බැග්ඩෑඩ් නගරයට එල්ල කල කෲර ගුවන් ප්‍රහාර දිස්වන වීඩියෝ දර්ශන ඔවුන්ට පෙන්වූ විට ලංකා ප්‍රකාශ කලේ ඇමරිකාව අධිරාජ්‍යවාදී යුද්ධ වලදී මානව හිමිකම් කඩ කල ආකාරය පිලිබඳව එය හොඳම උදාහරනයක් බවයි.

ජූලියන් අසාන්ජ් අත් අඩංගුවට ගැනීම සහ ඔහු සති 50 ක සිර දඬුවමකට යටත් කිරීම පිලිබඳව මාධ්‍යවල නිහැඩියාව හේතුවෙන් එය නොදැන සිටි බව පැවසූ ලංකා ඊට විරුද්ධත්වය පල කරමින් “මොනතරම් බලවත් රටක් වුනත් කරන අපරාධ එලිදරව් වෙන්න ඕන. අපි විරුද්ධයි අසාන්ජ් සහ මැනිං දඬුවමට ලක්කරනවට” යැයි පැවසුවේය. එවන් දඬුවමකට ඔවුන් ලක්ව ඇත්තේ එම අනාවරනයන් මගින් ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ “සැබෑ අරමුනු ලෝක ජනතාව ඉදිරියේ හෙලිදරවු වී ඇති නිසා” බවත් ලංකා පැවසීය.

අසාන්ජ් ඇමරිකා එක්සත් ජනපදයට උදර්පනය කිරීමේ අන්තරායට මුහුන දී ඇති බව පැවසූ සසජාතශි සාමාජිකයෝ ඔහුව නිදහස් කරගත හැක්කේ කම්කරු පන්තික නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර පරිමාන උද්ඝෝෂනයකින් පමනක් බව පැහැදිලි කලහ. අසාන්ජ් නිදහස්කර ගැනීමේ උද්ඝෝෂනයේ කොටසක් ලෙස මැයි 12 වන ඉරිදා බ්‍රිතාන්‍යයේ සසප පැවැත්වූ මහජන රැස්වීම සම්බන්ධ දැන්වීම ලෝසවෙඅ තුලින් දුටු ඔහු අනෙක් රටවල ඊට සමගාමීව පැවැත්වෙන රැස්වීම් සහ දේශන සම්බන්ධයෙන් දැන ගැනීමට උනන්දු විය.

කම්කරු-පීඩිත මහජනතාවන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට ලෝක පරිමානවම එල්ල කෙරී පවතින ප්‍රහාරයේ කොටසක් ලෙස ලංකාවේ බෝම්බ ප්‍රහාරයෙන් පසු බල ගන්වා ඇති විසඝෝර නීති සහ සමාජ මාධ්‍ය අවහිර කිරීම් සම්බන්ධයෙන් කෙරුනු සාකච්ඡාවේදී සමාජ මාධ්‍ය අවහිර කිරීම් සම්බන්ධයෙන් විරුද්ධත්වය පල කරමින් ලංකාගේ මිතුරා කියා සිටියේ එය “අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමක්” බවයි.

ආන්ඩුව “ත්‍රස්තවාදීන් ලෙස නම් කරනවා ඇත්තේ කවුරුන්ද?” යනුවෙන් ඔහු විමසා සිටියේය. පනවා ඇති නීති අනුව ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට එන කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන් “ත්‍රස්තවාදීන්” ලෙස නම්කොට ඔවුන් දඬුගැසිය හැකි බවයි. මෙම නීති බලගැන්වීමේ සැබෑ අරමුන “ත්‍රස්තවාදය පරාජය කිරීම” නොව, මතු වෙමින් පවත්නා පන්ති අරගල මාලාව තලා දැමීම බව උදඝෝෂකයෝ පෙන්වා දුන්හ.

මැද පෙරදිග රැකියාවෙහි නිරත වී සිට ලංකාවට පැමින සිටින තරුනයෙකු වන තරිඳු, මැද පෙරදිග කලාපය තුල ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් ගෙන යන යුද්ධ සම්බන්ධයෙන් උනන්දුවෙන් අදහස් පල කලේය. නුගේගොඩ ප්‍රදේශය තරම් විශාල ඇමරිකානු මිලිටරි කඳවුරක් කටාර් හී පිහිටුවා ඇති බවත් ඒ තත්වය යටතේ තමන්ට ලෝසවෙඅ හරහා පැහැදිලි කෙරෙන “මැද පෙරදිග කලාපය පුරා ඇවිල යා හැකි ලෝක යුද්ධයක අන්තරාය සමීපව වැටහෙන බව” ප්‍රකාශ කලේය.

විකිලීක්ස් වෙබ් අඩවිය හරහා ජූලියන් අසාන්ජ් කරන ලද හෙලිදරව් කිරීම් මගින් විවිධාකාර කඩතුරාවන් ඔස්සේ මැද පෙරදිග කලාපය පුරා ගෙන ගිය සහ ගෙනයන මිලිටරි මෙහෙයුම් වල යථා ස්වභාවය මහජනතාවට දැනගැනීමට හැකි වූ බව උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.

එමෙන්ම ජාත්‍යන්තර පරිමානව මතුව ඇති පන්ති අරගල රැල්ලට ලෝකය පුරාම ධනපති පන්තීන්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට පහර දීම සහ පොලිස් මිලිටරි රාජ්‍යයන් දෙසට ගමන් කිරීම බව ඔහු සමග සාකච්ඡාවේ නිරත වෙමින් සසජාතශි සාමාජිකයෝ සඳහන් කලහ. ජූලියන් අසාන්ජ් ට එල්ල කර ඇති ප්‍රහාරය ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ප්‍රහාරයේ ඉහලම තුඩ ලෙස පවතින බව ඔහුට පැහැදිලි කර දුනි.

ලංකාව තුල පාලක පන්තිය විසින් අවුලුවා ඇති මුස්ලිම් විරෝධය සම්බන්ධයෙන් සඳහන් කල තරිඳු “දැන් මුස්ලිම් තරුනියක් දුටු පමනින් ඇතැමුන් සැක සහිත බැල්මකින් බලන” බව තමන්ට වැටහුනු බව පැවසීය. මිලිටරිය දිගේලි කිරීම සහ මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය යන දෙකම වර්ධනය වෙමින් පවතින පන්ති අරගලය මැඩීමට පාලක පන්තිය ගෙනයන විසකුරු වැඩපිලිවෙලේ කොටස් බවත් මුස්ලිම් විරෝධය මගින් කම්කරු පන්තිය භේදකොට එහි ශක්තිය බිඳ දමන බවත් පෙන්වා දුන්විට ඔහු එය අනුමත කලේය. තුන්වන ලෝක යුද අන්තරාය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බව පැවසූ ඔහු ලෝසවෙඅ හැදෑරිය යුතු බවද සඳහන් කලේය.

උද්ඝෝෂකයන් මහජනතාව මුහුන දෙන සැබෑ අන්තරායන් වන ලෝක යුද්ධ තර්ජනය සහ ලංකාවේ උද්ගත වී ඇති තත්වය පැහැදිලි කරමින් ජනතාව තුල කරන ලද මැදිහත්වීමට ලැබුනු අවධානය කෙරෙහි උත්සුක වූ පොලිස් නිලධාරියෙක් මෙම උද්ඝෝෂනයට “පොලිසියෙන් අවසර ගත්තේ දැයි” විමසමින් එය කඩාකප්පල් කිරීමට කඩා වැදුනේය. රටේ පවතින්නේ “සාමන්‍ය තත්වයක් නොව හදිසි නීති තත්වයක් බව” ප්‍රකාශ කරමින් අවශ්‍යනම් අත් අඩංගුවට ගැනීමටද හැකි යැයි තර්ජනය කරමින් එම ස්ථානයෙන් ඉවත් වන ලෙස අන කලේය.

මෙම තර්ජනය එල්ල වූයේ සසජාතශි සාමාජිකයින්ට වුවද එය සමස්ත ජනතාව මතම එල්ල කර ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරයේ කොටසකි. ආන්ඩුව 21 වනදා බෝම්බ ප්‍රහාරය ගසා කමින් බලාත්මක කල නීති මගින් ඕනෑම පුද්ගලයෙකු සෝදිසි කිරීම, අත් අඩංගුවට ගැනීම, දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම යන බලතල පොලිසියට සහ හමුදාවට ලැබී ඇත. මෙම මර්දන පියවරයන් සඳහා විපක්ෂයන් ද ඇතුලු සමස්ත ධනේශ්වර සංස්ථාපිතයේ පූර්න සහයෝගය ලැබුනි.

හදිසි නීති රෙගුලාසි මගින් අත ශක්තිමත් කරගෙන සිටින පොලිසිය මෙම උද්ඝෝෂනයට දැක්වූ ප්‍රතිචාරය කම්කරු පන්තියේ මොනම හෝ උද්ඝෝෂන ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් ඔවුන්ගේ පිලිවෙත සම්බන්ධ ඇඟවුමකි.

Share this article: