මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති, කම්කරුවන්ට සහ ශිෂ්‍යයන්ට එරෙහි මර්දන යාන්ත්‍රනය ශක්තිමත් කිරීම සඳහා ත්‍රස්ත ප්‍රහාරය ගසාකයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 මැයි 16

අප්‍රේල් 21 ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය හේතුවෙන්, වසරේ දෙවන අධ්‍යන වාරය ආරම්භ කිරීම කල්දමා තිබූ මොරටුව විශ්ව විද්‍යාලය යලි ආරම්භ කල පසු ක්‍රියාත්මක කලයුතු “ආරක්ෂක වැඩපිලිවෙලට සහයෝගය ඉල්ලා සිටීම” සඳහා එහි උපකුලපති මහාචාර්ය කපිල පෙරේරා පසුගිය 9 වැනිදා අනධ්‍යන කම්කරුවන්ගේ රැස්වීමක් කැඳවීය.

ආන්ඩුව ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරය වහා ඩැහැගනිමින් රටපුරා හදිසිනීතිය බලගන්වා පොලිස්-මිලිටරි රාජ්‍යයක් දෙසට ගත් වේගවත් පියවර මාලාවේ කොටසක් ලෙස “විශ්ව විද්‍යාල තුල ආරක්ෂාව තහවුරු කිරීමේ” නාමයෙන් ඒවායේ සේවයේ නියුතු කම්කරුවන්ට සහ අධ්‍යනයේ යෙදෙන ශිෂ්‍යයන්ට එරෙහි මර්දනය ගැඹුරු කිරීමට පියවර ගනිමින් සිටින බව උපකුලපති ගේ කතාවෙන් අනාවරනය විය.

විශ්ව විද්‍යාලය තුල ස්ථාපිත කොට ඇති කැමරා පද්ධතියේ වැදගත්කම අවධාරනය කල ඔහු ඒ අනුව මෙතෙක් කැමරා සවිනොකර තිබු ස්ථානවලද ඒවා සවිකරන බව පැවසුවේය. කැමරා සවිකිරීම ආරම්භ කෙරුනේ, ඉංජිනේරු උපාධිය (බීඑස්සී) හදාරන සිසුන් සහ තාක්ෂනය පිලිබඳ ජාතික ඩිප්ලෝමාව (එන්ඩීටී) හදාරන සිසුන් අතර 2013 වසරේ ඇතිවූ ගැටුමක් අවස්ථාව කරගනිමිනි.

වෘත්තීය සමිති සහ ශිෂ්‍ය සමිති සියල්ල එයට අනුමැතිය පල කලහ. කෙසේ වෙතත්, කැමරා පද්ධතිය ශිෂ්‍යයන්ගේ නිදහසට එරෙහිව දිගින් දිගටම යොදාගත් තතු තුල ශිෂ්‍යයන් අතර වැඩුනු විරුද්ධත්වය හමුවේ එය තාවකාලිකව නවතා දැමීය. එම වැඩපිලිවෙල නැවත ක්‍රියාත්මක කිරීමට පරිපාලනය මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඇත.

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සමිතිය මුලදී මෙම ව්‍යාපෘතියට සහාය දුන්න ද ශිෂ්‍ය විරෝධය හමුවේ පසුව එයට එරෙහි විය. 2015 මැයි මස, තොරතුරු තාක්ෂන පීඨයේ සිසුන් තිදෙනෙකුට පන්ති තහනම් පැනවීම සඳහා විශ්ව විද්‍යාල පරිපාලනය මෙම කැමරා පද්ධතිය පාවිච්චි කලේය. එම වසරේම මාර්තු මාසයේ නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යාංශයේ නිල රථයකින් පැමිනි මැර කන්ඩායමක් සිසුන්ට පහරදුන් අවස්ථාවේ එම මැරයන් හඳුනා ගැනීම සඳහා කැමරා පද්ධතිය යොදා ගන්නා ලෙස සිසුන් ඉල්ලා සිටි විට ඒවා අකර්මන්‍ය බව ඔවුන්ට දැනුම්දෙන ලදී. එතැන් සිට නවතා තිබූ කැමරා පද්ධතිය දැන් යලි ක්‍රියාත්මක කිරීමට සහ ව්‍යාප්ත කිරීමට බෝම්බ ප්‍රහාරය යොදාගෙන තිබේ.

ආන්ඩුව ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ පිලිබඳව දැනුවත්ව සිටියද එය වැලැක්වීමට පියවර නොගත්තේ, “ත්‍රස්තවාදය පරාජය කිරීමේ” නාමයෙන් මර්දන යන්ත්‍රය ශක්තිමත් කරගැනීම සඳහා එම ප්‍රහාරය ගසා කෑමට බව හාත්පසින්ම තහවුරු වේ.

කම්කරු-පීඩිත මහජනතාවගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාර වලට එරෙහිව පැනනැගී ඇති පන්ති අරගල රැල්ල මැඩීම සඳහා පොලිස්-මිලිටරි ආඥාදායකත්වයක් දෙසට පියවර ගැනීම හැර අන් විකල්පයක් ධනපති පාලක පන්තියට නොමැත. රටක් රටක් පාසා පාලක පන්තීන්, ගෝලීය ධනේශ්වර අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවන අතර එයට එරෙහිව ලෝක පරිමානව මතුව ඇති පන්ති අරගල මැඩීම සඳහා ආඥාදායකත්වයන් දෙසට මාරුවෙමින් සිටී. ලංකාව තුල ප්‍රකාශයට පත් වන්නේ එම ජාත්‍යන්තර ප්‍රපංචය යි.

වැඩෙන පන්ති අරගල හමුවේ කම්කරු පන්තිය බෙදා ඔවුන්ගේ ශක්තිය දුර්වල කිරීමට වාර්ගික සහ ආගමික ප්‍රකෝපකරනයන් ඇවිලීම පාලක පන්තියේ ඉතා දැනුවත් උපායකි. ත්‍රස්ත ප්‍රහාරයත් සමග ආන්ඩුව ඇතුලු සමස්ත ධනපති සංස්ථාපිතය එක්ව මුස්ලිම්-විරෝධී විසකුරු උද්ඝෝෂනයක් දියත්කොට ඇත්තේ මෙම උපාය යටතේ ය.

“මේ අවස්ථාවේ මුස්ලිම් ආගමිකයන්ට විරුද්ධව වෙනස්කම් නොකරන ලෙස රජය දැනුම් දී ඇති” බව පැවසූ උපකුලපතිවරයා “ලෙයින් මසින් සැදුනු මිනිසුන් ලෙස මුස්ලිම් ශිෂ්‍යයන්ට කරදර නොකරන” ලෙස ඉල්ලා සිටියේය. කෙසේ නමුත්, විශ්ව විද්‍යාලය තුල සෑම තැනකම පාහේ ප්‍රදර්ශනය කෙරෙමින් පවතින බුර්කා තහනම සහිත දැන්වීම් මගින් ඔහුගේ “මනුෂ්‍යත්වයේ” සැබෑ ස්වභාවය ප්‍රකාශයට පත්වෙයි. මෙම බුර්කා තහනම විශ්ව විද්‍යාලය තුල වාර්ගික විරෝධය ඇවිලවීම සඳහා එකහෙලා යොදා ගැනෙනු ඇත.

ප්‍රදර්ශනය කෙරෙමින් පවතින බුර්කා තහනම සහිත දැන්වීම

බුර්කාව තහනම් කිරීම හා මුස්ලිම් ජනවර්ගයට කෙනෙහිලිකම් කිරීම සම්බන්ධයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ පරිපාලනයට ඇත්තේ කුප්‍රකට ඉතිහාසයකි. වාස්තු විද්‍යා පීඨයේ ශිෂාවක වූ ෆාතිමා සහාර්ට බුර්කාව පැලැඳ විශ්ව විද්‍යාලයට ඇතුලුවීම පරිපාලනය විසින් තහනම් කලේ 2013 වසරේය. එය සිදුවූයේ, 2013 වසරේ සිංහල-බෞද්ධ අන්තවාදී බොදු බල සේනා සංවිධානය ගෙනගිය මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයට සමගාමීවය.

ඇය එයට විරුද්ධත්වය පල කරමින් එවක උපකුලපති වූ මහාචාර්ය ආනන්ද ජයවර්ධනට ලිපියක් යැවුවාය. 2014 වසරේ ඔක්තෝබර් 4 දා ඔහු ඇයට දැනුම් දුන්නේ නේවාසික හා විනය මන්ඩලය විසින් බුර්කාව පැලැඳ විශ්ව විද්‍යාලයට ඇතුලුවීම තහනම් කොට ඇති බවයි. දැන් යලිත් වරක් සිසුන් අතර මුස්ලිම් විරෝධය ඇවිලවීම සඳහා පරිපාලනය වැඩට බැස සිටී.

මෙම මර්දනයේම කොටසක් ලෙස විශ්ව විද්‍යාලයේ තානායම් භාරකරුවන එච්.ආර් පර්සි සහ පවුලේ අයට විශ්ව විද්‍යාලය තුල ලබාදී තිබූ ඔහුගේ නිල නිවසින් මැයි 13 ට පෙර ඉවත් වන ලෙස දැනුම් දී ඇත. නිල නාමයෙන් තානායම් භාරකරු වන ඔහුගේ රැකියාව පූර්වකාලීන එකකි. අවුරුදු විස්සක් පමන කාලයක් තම පවුල සමග ජීවත්වෙන ඉතා කුඩා නිවසින් ඉවත්වන ලෙස ඔහුට විශ්ව විද්‍යාල පරිපාලනය පලමු වරට ලිඛිතව දැනුම් දී ඇත්තේ 2017 දෙසැම්බර් මාසයේ ය. මෙවර එම ලිපියේ පිටපතක් යලි ඔහුට ලබාදී තිබේ. එහි සඳහන් වන්නේ නිවසේ රැඳී සිටීමට අවසර ඇත්තේ ඔහුට පමනක් බවත් වෙනත් අයෙකු එහි රැඳී සිටීම නීතිවිරෝධී බවත් ය.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල එවන් භාරකරුවන් දහතුන් දෙනෙකු පමන සිටින අතර ඒ හැම කෙනෙකුම පාහේ තම පවුල් සමග නිල නිවාසයේ අයිතිවාසිකම් භුක්ති විඳී. මොරටුව විශ්වවිද්‍යාලය එහි උපශාලාධිපතිවරුන්ගේද පුර්න කාලීන සේවය සඳහා නිල නිවාස ලබා දී තිබේ. ඒ සියල්ලේම සේවකයන් ජීවත්වන්නේ තම පවුල් සමගය.

නිල නිවසින් ඔහු හැර අනිකුත් සාමාජිකයන් ඉවත් විය යුතු බව නිවේදනය කිරීමට පෙර, එදිනම ඔහුගේ නිවෙසට කඩා වැදුනු, විශ්ව විද්‍යාලය පරික්ෂා කිරීමට කියා ගෙන්වාගත් හමුදා හා පොලිස් කන්ඩායමක් නිවසේ අස්සක් මුල්ලක් නෑර පරික්ෂා කලේය.

ධනේශ්වර ප්‍රහාර කම්කරුවන් මත පැටවීමේ ද්‍රෝහී කර්තව්‍යයේ යෙදී සිටින වෘත්තීය සමිති නිලධරයට එරෙහි යම් සටන්කාමිත්වයක් පෙන්නුම් කරන කම්කරුවෙකු වන පර්සිට එල්ල කර ඇති ප්‍රහාරය පෙන්වා දෙන්නේ නව තත්වය හමුවේ සටන්කාමී කම්කරුවන්ට විරුද්ධ මර්දන පියවරයන් තීව්‍ර කිරීමට පරිපාලනය කැසකවන ආකාරයයි.

සිදු කෙරෙමින් පවතින දැවැන්ත අධ්‍යාපන කප්පාදුව නිසා උග්‍ර කෙරී ඇති අධ්‍යාපනික, නේවාසික සහ අනෙකුත් පහසුකම් පිලිබඳ ගැටලු වලට අමතරව, පිම්මේ ඉහල යන ජීවන වියදමට සාපේක්ෂව මහපොල ශිෂ්‍යාධාර වැඩි නොකිරීම සහ අධ්‍යාපනයේ පුද්ගලීකරනය හේතුවෙන් ශිෂ්‍යයන් අතර ආතතිය වැඩි දියුනු වෙමින් පවතී.

වැටුප් එකතැන පල්වීම සහ වැඩවේගවත් කිරීමේ පියවර නිසා අනධ්‍යන කම්කරුවන් අතර ද වර්ධනය වී ඇත්තේ බලගතු නොසන්සුන්තාවයකි. වැඩ වේගවත් කිරීමේ පියවරක් ලෙස ක්‍රියාත්මක කොට ඇති ඇඟිලි සලකුනු මගින් පිටවීම හා පැමිනීම සටහන් කිරීමට එරෙහිව යාපනය විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවකයෝ සටනට අවතීර්නව සිටිති.

අනෙක් සෑම තැනකම මෙන්ම විශ්ව විද්‍යාල තුල ද මර්දනය ගැඹුරු කෙරෙන්නේ මතුවීමට නියමිත අරගල තලා දැමීමටයි. මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා මේ ප්‍රහාරය දිගේලි කරන ලද්දේ අනධ්‍යන සේවක වෘත්තීය සමිති නායකයන් වන රෝහිත හේරත් හා කේ.එම්. සිරිසේන ට ප්‍රශංසා කරමිනි. ඔවුන් නිතරම තමා හමුවීමට පැමිනෙන බවත් පසුගිය බෝම්බ ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 26 වෙනි සිකුරාදා නිවාඩු ලබා දුන්නේ ඔවුන්ගේ ඉල්ලීම මත බවත් පැවසීය. එහෙත් එම නිවාඩු දිනය වෙනුවට සියලුම සේවකයන්ට මැයි 4 වැනි සෙනසුරාදා සාමාන්‍ය රාජකාරි දිනයක් ලෙස අතිකාල දීමනා නොමැතිව වැඩ කිරීමට සිදුවී ඇත.

කම්කරු පන්තියට එරෙහිව වෘත්තිය සමිති නායකයන් වඩවඩාත් යොදා ගැනීම මෙම ප්‍රශංසා කිරීම්වල අරමුනයි. ශිෂ්‍ය හා සේවක ප්‍රශ්න උග්‍ර වී ඇති තතු තුල ඒවා පුපුරා ඒම වලක්වා ගැනීම සඳහා, ධනපති උපකරන බවට පත්ව ඇති වෘත්තීය සමිති තුල කම්කරුවන් සිරකොට තබා ගැනීම පාලකයන්ගේ අවශ්‍යතාවයකි.

එහෙත් ලොව පුරා සහ ලංකාවේ කම්කරු පන්තිය ධනවාදයට එරෙහිව සටන් කිරීමේ අධිෂ්ඨානය පලකොට තිබේ. ඒ පිලිබඳව බියවැද සිටින පාලකයෝ සෑම තැනකම සිය මර්දන යාන්ත්‍රනය දැඩි කරමින් සිටිති. කම්කරුවන් හා ශිෂ්‍යයන් මෙම ක්‍රියා වලට සහාය නොදිය යුතුය. කම්කරු-පීඩිත මහජනතාවගේ ආරක්ෂාව සලසා ගත හැක්කේ ධනපති ක්‍රමයේ හා එහි අන්තේවාසික වෘත්තීය සමිති වලින් ස්වාධීනව තම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් ධනපති ක්‍රමයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වැදීමෙනි.

Share this article: