චෙල්සී මැනිං වෙනුවෙන් කොලඹ දී අභිවහන නිරූපනයක්

විජිත් සමරසිංහ, වසන්ත වක්කුඹුර සහ ආනන්ද වක්කුඹුර විසිනි, 2019 මැයි 5

එක්සත් ජනපදයේ ආන්ඩුව විසින් චෙල්සී මැනිං සිරගත කිරීමට එරෙහිව ලොහාන් ගුනවීර ඉදිරිපත් කල අභිවහන රංගනයක් පසුගිය මාර්තු 18 වන දා කොලඹ බොරැල්ලේ පොදු වෙලඳ සංකීර්නය ඉදිරිපිට බස් නැවතුම අසල පැවැත්විනි.

ගුනවීරගේ තේමාවට පාත්‍ර වෙන චෙල්සී මැනිං, 2010 දී විකිලීක්ස් වෙබ් අඩවියට ඇමරිකන් යුද අපරාධ හෙලිදරව් කෙරෙන ලිපි සැපයීම නිසා සිරගත කර සිට නිදහස ලැබුවා ය.

දැන් ඇය විකිලීක්ස් කතෘ ජුලියන් අසාන්ජ්ට එරෙහිව බොරු චෝදනා ගොඩනැගීම සඳහා පත් කරනු ලැබූ “ග්‍රෑන්ඞ් ජූරි” නම් අධිකරන සභාවක් ඉදිරියේ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම නිසා සිර කිරීමෙන් පසුව හුදකලා කාමරයක දිනකට පැය 22ක් රඳවා සිටින්නීය. මැනිං එම තීන්දුව ගත්තේ සිරගත කිරීමේ තර්ජනයට මුහුන දීමට සූදානම්වය.

ඇමරිකානු යුද අපරාධ සහ කුමන්ත්‍රන හෙලිකල විකිලීක්ස් ප්‍රකාශක ජූලියන් අසාන්ජ්, බ්‍රිතාන්‍ය ආන්ඩුවෙන් අත් අඩංගුවට ගෙන එක්සත් ජනපදයට භාරදීමෙන් වැලකීම සඳහා ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවල් ලබා ගත්තේය. බ්‍රි තාන්‍ය, ඇමෙරිකන් සහ ඉක්වදෝරියානු ආන්ඩු එකතුව කෙරුනු කුමන්ත්‍රනයක් මගින් ඔහු ලන්ඩනයේ ඉක්වැදෝරියානු තානාපති කාර්යාලයෙන් බි්‍රතාන්‍ය පොලිස් නිලධාරීන් ලවා බලහත්කාරයෙන් ඉවතට ඇදගනු ලැබීමෙන් පසුව බි්‍රතාන්‍ය ආන්ඩුව අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත. ඇමරිකානු ආන්ඩුව අසාන්ජ් ලබා ගැනීම සඳහා නිල ඉල්ලීමක් කර ඇත.

ගුනවීරගේ රඟදැක්වීම “තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන් ගේ එකතුව” විසින් දින තුනක් තිස්සේ පැවැත්වුනු “2019 තීර්ථ අභිවහන කලා දැක්මේ” එක් අංගයක් විය.

ලොහාන් ගුනවීර ක්ෂේත්‍ර ගනනාවක විහිදී ගිය නිර්මාන රැසක් බිහිකල කලාකරුවෙකි. අභිවහන සාමූහිකය සහ දියවෙන ඔරලෝසුවේ රංග පීඨය නමැති අභිවහන සහ රංග සමාජවල සාමාජිකයෙකු වන ඔහු මෙම කෘතියට අමතරව, ස්ටැලින්ග්‍රාඞ් 1942 ස්වාශරෝධය සහ වෙනත් කථා (දෙවැන්න මුදිතා ධර්මසිරි සමග) යනුවෙන් අභිවහන කෘතීන් දෙකක් ද මෑත දී ඉදිරිපත් කර ඇත.

2019 තීර්ථ අභිවහන කලා දැක්මට ශ්‍රී ලංකාව. බංගලාදේශය, කැනඩාව, ජර්මනිය, ග්‍රීසිය, ඉන්දියාව, ඉරානය, ඊස්රායලය, පකිස්ථානය, පෘතුගාලය, දකුනු කොරියාව, තායිලන්තය යන රටවල් 12ක කලාකරුවන් 39 දෙනෙක් සහභාගි වූහ. දින හතරක් තුල බොරැල්ල හන්දිය අවට ප්‍රසිද්ධ ස්ථානවල එය පවැත්විනි.

ගුනවීර තම අභිවහනය බොරැල්ල හන්දියේ ජනාකීර්න පදික වේදිකාවේ මේසයක් සහ පුටු දෙකක් තබා ගෙන ඉදිරිපත් කලේය. කවර හෝ ආකර්ෂනීය සැරසිල්ලක් හෝ දෘෂ්‍යාධාරයක් නොමැතිව සාමාන්‍ය ඇඳුමෙන් සැරසී එහි එක් පුටුවක හිඳගෙන දවල් 11 සිට හවස 5 දක්වා ඔහු චෙල්සි මැනිං ගැන නොයෙකුත් ලිඛිත නිර්මාන කලේය. සමහර අවස්ථාවල දී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ලිපි ද ඔහු මේ සඳහා යොදා ගත්තේය. ඔහු තම නිර්මාන එල්ලා වැටෙන මේස රෙද්දේ කටු ගසා එල්ලීය.

ඔහු තමන් වෙතට ඇදුනු අයට මැනිං ගැන පැහැදිලි කරමින් ඔවුන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට සහ ලියා ඉදිරිපත් කිරීමට දිරිමත් කලේය. ප්‍රතිචාර දැක්වූ අය සැලකිය යුතු උනන්දුවක් පෙන්වූ අතර ම සිද්ධිය ගැන නොදැනුවත්කමක් ද පෙන්නුම් කෙරිනි. මෙම නොදැනුවත්කම ජාත්‍යන්තර මෙන්ම ලංකාවේද ජනමාධ්‍යයන්, ලිබරල් සංවිධානයන් සහ ව්‍යාජ වම්මුන් විසින් මෙම මර්දනය ගැන තොරතුරු මුලුමනින් ම වසා දමනු ලැබීම නිසා ජනිත වූවකි.

ලාංකික තරුනියක් නිර්මානය කල සජීවී සිතුවම

එහෙත් ප්‍රතිචාර දැක්වූවන්ගේ උද්‍යෝගයත් ඔවුන්ගෙන් සමහර දෙනෙකු ඉදිරිපත් කල ප්‍රකාශයන් සහ නිර්මාන මගින් පෙන්වන්නේ අසාන්ජ් සහ මැනිං නිදහස් කරගැනීම සඳහා ජාත්‍යන්තර ව්‍යාපාරයක් බිහිවීම සඳහා ඇති ශක්‍යතාවයයි. එමෙන්ම ඔවුන්ගේ ප්‍රතිචාර, අධිරාජ්‍යවාදී ඔත්තු සේවා සහ දරුනු වන පොලිස්-හමුදා රාජ්‍ය මර්දනයන්ට එරෙහිව කම්කරුවන්, පීඩිතයින්, බුද්ධිමතුන් සහ කලාකරුවන් අතර වර්ධනය වන ව්‍යාපාරයක කොටසක් වෙයි.

තීර්ථ කලායතනයේ වැඩසටහනට සහභාගී වූ විදේශීය කලාකරුවන් මෙම අභිවහනයට ද සහභාගි වී පාර්සි, දෙමල, ග්‍රීක, අරාබි, කන්නඩා හා ඉංග්‍රීසි යන භාෂාවලින් ප්‍රතිචාර දක්වා තිබින. අභිවහනයට ආකර්ෂනය වූ ශ්‍රී ලාංකික තරුනයෙක් තම අදහස් පලකර තිබුනේ එස්පරැන්ටෝ නමැති ජාත්‍යන්තර භාෂාවෙනි.

ලොහාන් සමග සංවාදයේ යෙදෙන ඉරාන කලාකාරිනිය අසාම්

ඉරානයෙන් පැමිනි ආරාධිත කලාකාරිනියක් ඉංග්‍රීසියෙන් කල සටහනේ සිංහල පරිවර්තනය මෙසේ ය:

දයාබර චෙල්සී,

මම අසාම්, ඉරාන කලාකාරිනියක්. සාමය වෙනුවෙන් කලාව ජාත්‍යන්තර කලා උළෙලට ද මගේ මූර්ති නිර්මාන භාරගෙන තිබෙනවා. විවිධ රටවල යුද්ධයේ ගොදුරු බවට පත් වූ දරුවන් වෙනුවෙන් මා හට කල හැකි දේ බොහෝය. මගේ කලාව තුලින් ඒ දායකත්වය ලබා දීම සඳහා කරුනාකර මා සමග එකතු වන්න. මට පුලුවන් ලමයින්ට චිත්‍ර සහ මූර්ති උගන්වන්න. කරුනාකර ඒ සඳහා මට මග පෙන්වන්න.

මෙයට,

අසාම්

චෙල්සී - එඩිතරම ගැහැනිය - නිදහස් කරනු!

කවියෙන් ප්‍රතිචාර දැක්වූ තරුනිය

එක් ලාංකික තරුනියක් කවියෙන් මෙසේ ප්‍රතිචාර දැක්වූවාය:

තවත් තරුනයෙක්:

මා පලමු වරට ඇය ගැනත් අප නොසිතූ දේ බොහොමයක් ගැනත් දැන ගත්තේ අද ය. ලෝකයේ සිදුවන රහසිගත සහ අනෙකුත් කෲර ක්‍රියා අපි නොදනිමු. නමුත් එය සමාජ ගැටලුවක්. ජාත්‍යන්තරවත් ශ්‍රී ලංකාව තුලත් මානවයාගේ සුභසිද්ධිය උදෙසා ඇය කරපු කර්තව්‍යයට මගේ ප්‍රනාමය. තවත් මෙවන් ධෛර්යවන්ත මිනිසුන් බිහි වේවා! ලොහාන් ඔබට ද මාගේ ප්‍රනාමය මා හට දේවල් පහදා දුන්නාට.

තවත් ලාංකික තරුනියක් 2007 ජූලි 12 බැග්ඩෑඞ් ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් චෙල්සී මැනිං විකිලීක්ස් හරහා කල හෙලිදරව්ව ගැන පලවූ විකිපීඩියා ලිපියක කොටසක් යොදා ගෙන සජීවී සිතුවමක් නිර්මානය කලා ය.

මෙම අභිවහනය ගුනවීරගේ ඉදිරිපත් කිරීම්වල උච්ච අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මෙවැනි ජාත්‍යන්තර පරිමානව ප්‍රගාඪ වැදගත්කමක් දරන තේමාවන් ඔහුගේ පසුගිය අභිවහන තුනේ දී ම දෘඩතරව ඉදිරිපත් කර ඇත. ඔහුගේ ස්ටැලින්ග්‍රාඞ් 1942 නමැති කෘතිය දෙවැනි ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ නාසි ආක්‍රමනිකයින්ගේ පරාජයෙහි තීිරනාත්මක අවස්ථාවක් වූ රුසියාවේ ස්ටැලින්ග්‍රාඞ් සටන අපගේ ඓතිහාසික මතකය තුලට ගෙන ආවේය. එහි අවසාන උච්චාවස්ථාවට ගුනවීර විසින් යොදාගෙන ඇත්තේ, චෙල්සී මැනිං හෙලිදරව් කල, ඉරාක යුද්ධයේදී ඇමරිකන් යුද හෙලිකොප්ටරයක සිටි භටයින් නිරායුධ මිනිසුන් වෙඩිතබා ඝාතනය කිරීම ඇතුලත් වීඩියෝවක සටහන් වී ඇති සත්‍ය පසුබිම් ශබ්ද මාලාවය. එම වීඩියෝව සහ ශබ්ද මාලාව ලෝ පුරා ජනයා කම්පාවට පත් කලේය.

ස්වාශරෝධය සහ අනෙකුත් කථා (මුදිතා ධර්මසිරි සමග) නමැති නිර්මානයේදී ඔහු නව ලෝක යුද්ධයක තර්ජනය පිලිබඳ තේමාව ඉස්මතු කලේය.

වත්මන් අභිවහන කලා සම්ප්‍රදායේ ආරම්භයන් යුරෝපීය ඩඩාවාදය, රුසියානු අනාගතවාදය සහ සාධනකවාදය ආදී පෙරටුගාමී සම්ප්‍රදායන්වල බලපෑම කරා දිව යයි. එය කලා ව්‍යාපාරයක් ලෙස මුල්බැස ගත්තේ 1960 ගනන්වල යුරෝපයේ පන්ති සටන්, යටත් විජිත යුද්ධ සහ කැරලි හා තරුන රැඩිකලීකරනයන් පැවති පරිසරයක් මැදය.

ලෝ පුරා පෙරටුගාමී කලා අංශ තුල ඉක්මනින් පැතිරුනු එය ලංකාවට පැමිනියේ 1990 ගනන්වල කලා මාධ්‍යයන්හි දක්නට ලැබුනු පුපුරන සුලු පරිවර්තනයන් මධ්‍යයෙහි එතෙක් පැවති කලා සම්ප්‍රදායන් තුල කලාකරුවන් දුටු සීමිතභාවයන් ඉක්මවමින් වඩා නිදහස් අවකාශයක් සොයා යෑමේ හෙවත් කලාකරුවාගේ නිර්මානීය නිදහස පුලුල් කිරීමේ අරමුනු සමග බැඳෙමිනි.

තම නිර්මානය සඳහා අභිවහන මාධ්‍යය තෝරා ගැනීමට කලාකරුවා මෙහෙයවී ඇත්තේ, මැනිං සහ අසාන්ජ් පිලිබඳ සිද්ධියෙහි පවතින අර්ථභාරය ගැන මහජනයා තුල ඇති නොදැනුවත්කම ඉවත් කිරීමේ කලාත්මක මාධ්‍යයක් ලෙස එය සතුව පවත්නා, සාම්ප්‍රදායික නාට්‍ය රූප ඉක්මවීමේ හැකියාව පිලිබඳ විශ්වාසයකින් බව ඔහු පලකල අදහස් වලින් පිලිබිඹු වෙයි.

සැබැවින්ම, නාට්‍ය ශාලාවෙන් ඉවතට හැරී වීදිය තුල ප්‍රකාශ වන එදිනෙදා නාගරික ජීවිතය ඉදිරියේ මෙම අභිවහනය පිහිටුවීම එහි කලාත්මක ශක්‍යතාවන් වර්ධනය කිරීමකි.

ගුනවීර තම නිර්මානකරනයේ න්‍යායික පදනම් ඔහුගේ බ්ලොග් අඩවිය තුලින් විස්තාරනය කරයි. ඔහු ‘ඉතිහාසය සලකන්නේ වෛෂයික ඥානයේ සහ පාඩම්වල මූලාශ්‍රයක් ලෙස මිස එකිනෙක සමග තරග කරන මනෝබද්ධ කතිකාවන් රාශියක් ලෙස නොවේ’. පසුගිය ශතවර්ෂ කාර්තුව තිස්සේ ලෝ පුරා සිදුවෙන යුද්ධ ඔහුගේ අද්‍යතන නිර්මානයන්හි යොමුව වෙයි. අප අද ජීවත්වන, යුද්ධයෙන් අංග ලක්ෂිත වූ මෙම කාලය විසිවැනි සියවසේ සිදුවූ ලෝක යුද්ධ දෙකට පූර්වයෙන් එම යුද්ධ කරා රූටා ගිය කාලයන් දෙකටම සමාන බව තමාට පෙනෙන බව ඔහු පවසයි.

මෙහිදී පැහැදිලි වන පරිදි, ගුනවීරගේ නිර්මාන වත්මන් ලෝක යථාර්ථය ග්‍රහනය කර ගන්නේ තත්කාලීන දේශපාලනය සහ ඉතිහාසය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එය වෛෂයික ව පිලිඹිඹු කෙරෙන කලාවක් ලෙසය.

මෙම කෘතීන් නිපදවීමට උත්තේජනය ලැබුවේ කෙලෙසද? යන පැනයට පිලිතුරු දෙමින් ගුනවීර ලෝසවෙඅ ට මෙසේ පැවසීය:

“මම මීට පෙර මේ තේමාවට සම්බන්ධව කෘතීන් දෙකක් ම කලා. දෙවැනි ලෝක යුද්ධය ගැන මගේ උත්සුකයක් දිගට ම තිබුනා. මේ තත්ත්වය තුල චෙල්සී මැනිං ගේ ‘කොලැටරල් මර්ඩර් ’ වීඩියෝ පටය මට ගැඹුරු ලෙස බලපෑවා. මැනිං සහ අසාන්ජ්ගේ ක්‍රියාවලින් මම ගැඹුරු ලෙස ආස්වාදය ලැබුවා. අසාන්ජ් ගත් තීරනය අප හැමටම බලපාන්නක්.

අනෙක් අතට මගේ උත්සුකයන් සන්දර්භගත කිරීමට මට හැකි වුයේ ලෝසවෙඅ හි ලිපි මගිනුයි. විශේෂයෙන් ම “යුද්ධවල සියවස් කාලක් නමැති ලිපිය මට බලපෑවා. එසේ නොවන්නට මගේ ආකල්පය හුදු යුද විරෝධයක් පමනක් වීමට තිබුනා.

මෙම යුද්ධ ලෝක යුද්ධයක් කරා යන ගමනක කොටසක් බව අවධාරනය කලේ ලෝසවෙඅ පමනයි.”

මෙම ප්‍රවිෂ්ටය අසාන්ජ් සහ මැනිං නිදහස් කර ගැනීම සඳහා ඉදිරියට එන කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ගේ මූලික අවියක් වනු ඇත.

අසාන්ජ් සහ මැනිං නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය අධිරාජ්‍යවාදී යුද තර්ජනයෙන් කලාව සහ සංස්කෘතිය ආරක්ෂා කිරීමේ කොටසක් වන අතර ඒ සඳහා ජාත්‍යන්තර සමාජවාදයට සටන් වැදීමේ අවශ්‍යතාවය ගැන දියුනු කලාකරුවෝ දැනුවත් වෙමින් සිටිති.

අසාන්ජ් සහ මැනිං නිදහස් කිරීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ලෝසවෙඅකේන්ද්‍රකර ගනිමින් ගෙනයන උද්ඝෝෂනය ජාත්‍යන්තර සමාජවාදය සඳහා කෙරෙන අරගලය සමග අත්‍යන්තයෙන් බැඳී පවතී.

එම උද්ඝෝෂන වලට සහභාගි වූ ප්‍රමුඛ ජාත්‍යන්තර කලාකරුවන් සහ බුද්ධිමතුන් අතර ඕස්ට්‍රේ ලියානු ජාතික මාධ්‍යවේදී සහ චිත්‍රපටි අධ්‍යක්ෂ ජෝන් පිල්ජර්, ජ්‍යෙෂ්ඨ වාර්තා චිත්‍රපටි අධ්‍යක්ෂ ජේම්ස් ලෙවි, ඩිස්ඔබිඩියන්ට් මීඩියා හි කතෘ එලිසබෙත් වොස්, කොන්සෝටියම් නිවුස් හි කතෘ ජෝ ලෝරියා. විශ්‍රාමලත් ඕස්ටේ්‍රලියානු මහාචාර්ය ස්ටුවට් රීස්, සහ ජුලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමේ කමිටුවේ එමී බට්ලින් ද වෙති. කොලඹදී සිදුවූ ලාංකික සහ විදේශීය කලාකරුවන්ගේ පෙලගැස්ම ද මෙම ජාත්‍යන්තර ප්‍රවාහයේම කොටසකි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කැප වූ සෑම අයෙක්ම අසාන්ජ් සහ මැනිං නිදහස් කර ගැනීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෙනයන ජාත්‍යන්තර උද්ඝෝෂනයට ක්‍රියාකාරීව සම්බන්ධවීම අත්‍යාවශ්‍ය වේ.

Share this article: