මිලිටරිය අතට බලය ගොනුකෙරෙන පාලනයක් ගැන හමුදාපති ඇඟවුම් කරයි

ප්‍රදීප් රාමනායක විසිනි, 2019 මැයි 29

අප්‍රේල් 21 වනදා බෝම්බ ප්‍රහාරයත් සමග මර්දනකාරී හදිසි නීති වලින් බලගන්වා රටපුරා මෙහෙයුම්වලට ආන්ඩුව විසින් මිලිටරිය සහ පොලිසිය මුදාහැරීම ආඥාදායක පාලන තන්ත්‍රයකට මාරුවීමට පාලක පන්තිය ගන්නා මූලික පියවර පෙන්නුම් කරයි. මෙම පියවරයන් ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තවත් මසකින් හදිසි නීති පාලනය දීර්ඝ කිරීමේ නියෝගයක් ගිය සතියේ නිකුත් කලේය.

බෝම්බ ප්‍රහාරයන් පිලිබඳව ආරක්ෂක අංශවලට නිශ්චිත පූර්ව අනතුරු ඇඟවීම් ලැබී තිබුනු අතර ආන්ඩුව සහ විපක්ෂය ඇතුලු පාලක ප්‍රභූවේ මුදුනේ සිටින්නන් ඒ පිලිබඳව දැනුවත්ව සිටිබව පෙන්නුම් කෙරෙන තොරතුරු එලිමහනට පැමිනෙමින් තිබේ. එම ත්‍රස්තවාදී අපරාධය සිදුවන තුරු ඇස් පියාගෙන සිටීමෙන් පසු ජනාධිපති, අගමැති ඇතුලු ආන්ඩුවත්, රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයත් වහාම එය තමන්ගේ දක්ෂිනාංශික වැඩපිලිවෙල වේගවත් කිරීමට සහ මිලිටරිය බලගැන්වීමට ඩැහැගෙන සිටීම පෙන්නුම් කරන්නේ මහජනයා සිටින අන්තරායකාරී තත්වයයි.

ඔවුන් මෙම මර්දනකාරි වැඩපිලිවෙල ආවරනය කරගෙන සිටින්නේ, “ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව” සටන් කිරීම නම්වූ කඩතුරාවකින් හා මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩ ක්‍රියා හා විසකුරු ප්‍රචාරයකිනි.

ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාව වන විට පාලක පන්තියේ කන්ඩායම් අතර කාකොටා ගැනීම්වලට තුඩුදෙමින් පන්ති අරගල ඇවිලී තිබුනි. ඉහවහා ගිය නය කඳුගැසීම ඇතුලු ආර්ථික ප්‍රශ්න තුල ධනපති පන්තිය ගිලී සිටියේය. සිරිසේන, වික්‍රමසිංහ හා රාජපක්ෂ එකිනෙකාට දොස් පවරමින් අවධාරනය කලේ තමන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා “ශක්තිමත්, ස්ථාවර පාලනයක්” ඇතිකිරීමට සමත් තම කල්ලිය බවයි. දැන් මෙම කන්ඩායම් ක්‍රියාත්මක වෙමින් සිටින්නේ කම්කරුවන්ට දුගීනට එරෙහිව එවන් “ශක්තිමත්” පොලිස් පාලනයක් ඇටවීමටයි.

ලංකාවේ දේශපාලනයේ තීන්දුතීරන ගන්නා ප්‍රධාන සාධකයක් ලෙස තිස් අවුරුදු යුද්ධයේ පටන් ක්‍රමයෙන් බලවත් වී සිටින මිලිටරිය ත්‍රස්ත ප්‍රහාරය සිය බලතල වර්ධනය කර ගැනීමට යොදා ගන්නා ආකාරය පසුගිය සති කීපයේ එලිදරවු වී ඇත. සිතනමතන අයෙකුට ඉන් පෙන්නුම් කෙරෙනු ඇත්තේ මිලිටරි ආඥාදායකත්වයක අනතුරක් දිගහැරෙන සැටියි. ශ්‍රී ලංකාවේ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මාධ්‍යවලට දුන් ප්‍රකාශ හා ගත් පියවර මෙම අන්තරාදායක තත්වය සංඥා කර ඇත.

හමුදාපති සේනානායක ත්‍රස්තවාදී ප්‍රහාරයට පසුදාම ඒවා වැලැක්වීමට ගතයුතු පියවර ගැන සඳහන් කරමින් අත් අඩංගුවට ගැනීමේ සහ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ පොලිස් බලතල මිලිටරියට පවරන ලෙස ආරක්ෂක මන්ඩල රැස්වීමේදී ජනාධිපතිගෙන් ඉල්ලා සිටි බව ජනමාධ්‍ය වාර්තා කලේය. ඔහු අවධාරනය කලේ “තත්වය පාලනය කිරීම සඳහා හමුදාවට බලය පවරමින් කෙටි කලකට හෝ හදිසි නීතිය පැනවිය යුතු” බවයි.

පසුව ඔහු, ඉල්ලා සිටියාටත් වඩා බලතල මිලිටරිය අතට ලැබී ඇතැයි උද්දාම වෙමින්, පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡාවක් දී මෙසේ සඳහන් කලේය: “මම ඉල්ලුවේ බයිසිකලයක් නමුත් මට කාර් එකක්ම දීල තියෙනව.” ඔහු වැඩිදුරටත් පවසන්නේ දැන් ඔහු තම “සීමාවන්” යටතේ එම කාරය පැදගෙන යන බවයි. සීමාවන් කුමක්දැයි ඔහු පැහැදිලි කලේ නැත.

මිලිටරියේ “සීමාව” බලය යෙදීමයි. ඒ සඳහා වරෙන්තු නැතිව පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම හා සෝදිසි මෙහෙයුම් ගෙන යාම හා නිසි-බලධාරින් ලෙස ඉහල නිලධාරීන්ට පුද්ගලයන් රඳවා තබා ගැනීමට බලය හා සිවිල් “කලහකාරි තත්වයන්” මැඩීම ඇතුලු බලතල මිලිටරියට ලැබී ඇත.

“ජාතික ආරක්ෂාව” සඳහා රට තුල පැවතිය යුතුව තිබුනේ හා පැවතිය යුත්තේ කුමන ආකාරයක පාලනයක් ද යන්න ගැන සිය අදහස් දක්වමින් මැයි 4 වනදා බීබීසී දුන් සම්මුඛ සාකච්ඡාවකදී හමුදාපති ප්‍රකාශයක් කලේය. ශ්‍රී ලංකාව බෝම්බ ප්‍රහාරයට ඉලක්ක වීමට හේතුව කුමක්දැයි කල විමසුමට පිලිතුර ලෙස ඔහු සඳහන් කලේ “පසුගිය වසර දහයේ ඕනවට වඩා තිබුනු නිදහස, ඕනවට වඩා තිබුනු සාමය තමයි හේතුව” යනුවෙනි. මහජනයා යුද්ධය පැවති දිනවල තත්වය හා ආරක්ෂාව අමතක කර “සාමය භුක්ති විඳිමින්” සිටිබව ඔහු කීවේය.

මහජන විරෝධය මධ්‍යයේ, යුද්ධයෙන් පසු හදිසිනීති පාලනයෙන් පැනවී තිබු ඇතැම් සීමා අකමැත්තෙන් ඉවත් කිරීමක් සිදුවුවත්, කම්කරුවන්, දුගීන් හා සිසුන් අත්දුටුවේ, රාජපක්ෂගේ හා සිරිසේන-වික්‍රමසිංහගේ ආන්ඩු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාව දැමීම හා ඒවාට එරෙහිව දියත්කල සිය අරගල මැඩීමට මර්දන නීති, පොලිසිය හා මිලිටරිය කඩාපැන්නවීමයි.

හමුදාපති ඍජුවම කියන්නේ දශක තුනකට ආසන්න සිවිල් යුද සමය තුල මිලිටරිය සාමාන්‍ය ජන ජීවිතය මත අධිකාරය පටවා ගෙන සිටි ආකාරයේ පාලනයක් දිගටම පවත්වාගත යුතුව තුබුනු බවයි. ඔහුගෙන් ප්‍රකාශයට පත්ව ඇත්තේ ත්‍රස්තවාදය වලැක්වීමේ සහ ජාතික ආරක්ෂාවේ නාමයෙන් කම්කරුවන්ගේ පන්ති අරගල මැඩලීම සඳහා පොලිස් පාලනයකට මාරුවීමේ ධනපති පන්ති අවශ්‍යතාවයයි.

එමෙන්ම, රට තුල දේශපලනිකව ගැනෙන තීන්දුතීරන වලට අත පෙවීමට මිලිටරිය අත් කරගෙන සිටින බලය පෙන්නුම් කරමින් ජෙනරාල් සේනානායක මැයි 13 දා දිවයින පුවත්පතට පැවසුවේ මුස්ලිම් කටයුතු පිලිබඳ ඇමැතිවරයා වහාම මාරුකර එම අමාත්‍යාංශය වෙනත් අයෙකුට පැවරිය යුතුව ඇති බවයි. “මූලධර්මවාදීන් සහ අන්තවාදීන් පිලිබඳව අපට නිතර නිතර ඇහෙනවා. වත්මන් මුස්ලිම් කටයුතු පිලිබඳ ඇමැතිවරයා මේවා නිසි ලෙස සොයා බලන්නේ නැහැ” යි කී හමුදාපති එම අමාත්‍යාංශය කල යුතු රාජකාරිය හමුදාවට, පොලිසියට කරන්නට සිදු වී ඇති බවට චෝදනා කලේය.

මිලිටරිය නීතිය ද නොතකා තමන්ගේ අධිකාරිය පිහිටුවා ගැනීමට ක්‍රියාකරන්නේ කෙසේද යන්න පෙන්නුම් කරමින් බරපතල අපරාධ කිහිපයක් පිලිබඳව චෝදනා ලැබ සිටින ප්‍රභාත් බුලත්වත්ත නැමැති මේජර්වරයා හමුදාපතිගේ අනින් ඔහු යටතේ සක්‍රිය සේවයට ගෙන ඒමෙන් පැහැදිලිය.

එය වාර්තා කල ඬේලි එෆ්ටී සඳහන් කලේ මේජර් බුලත්වත්ත මෙහෙයවූ ට්‍රිපොලි නමැති මිලිටරි ඔත්තු සේවා ප්ලැටුනය ගැන පොලීසියේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව කල පරීක්ෂනයකින් කරුනු සොයාගත් බවයි. “මෙම ඒකකයට විශේෂයෙන් ම පවරා තිබුනේ පුවත්පත් කලාවේදීන් ගැන ඔත්තු බැලීම වන අතර මුලින් යාපනයේ ක්‍රියාත්මකවී පසුව එය මරදානේ සිට ක්‍රියාත්මක විය. මේජර් බුලත්වත්ත මෙහෙයවූ ටි්‍රපොලි ප්ලැටුනය සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, පුවත්පත් කලාවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම, රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන් සහ ලේඛක නාමල් පෙරේරා ට පහරදීම ආදී වසයෙන් පුවත්පත් කලාවේදීන් ගනනාවකටම ප්‍රහාර එල්ල කිරීම පිලිබඳව චෝදනා ලබා සිටියේය.”

ඔහු හමුදාපති යටතේ සේවයට ගන්නා විට ඇප මත මුදාහැර සිටියේ ය. ඔහු යලි සේවයට ගැනීම රට තුල සහ ජාත්‍යන්තරව විවේචනයට ලක්වුවිට හමුදාපති එම විවේචන ගසාබසාදැමුවේ මේජර් බුලත්වත්ත තමන් යටතේ සේවය කරන නිසා ප්‍රශ්නයක් පැන නොනගින බව ප්‍රකාශ කරමිනි.

ජනාධිපති, ආන්ඩුව, විපක්ෂය ඇතුලු දේශපාලන සංස්ථාපිතයේ කිසිදු පක්ෂයක් හමුදාපතිගේ මේ එකදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් අභියෝගයට ලක්කරනු තබා වචනයක් හෝ ප්‍රකාශනොකර අනුමැතිය දී සිටින්නේ ඔවුන් ඒවාට උඩගෙඩි දෙමින් මිලිටරිය පුම්බන නිසා සහ එය මත මුලුමනින්ම රැඳී සිටින නිසා ය.

මෙලෙස මිලිටරිය ස්වාධීන බලයක් ලෙස නැගී එන්නේ එය හුවා දැක්වීමට ආන්ඩුව, විපක්ෂය, ආගමික සංස්ථාපිතය සහ මාධ්‍ය ද ඇතුලුව ත්‍රස්තවාදයෙන් මහජනතාවගේ ආරක්ෂාව සලසන්නා ලෙස තහවුරු කිරීමට ගෙනයන දැවැන්ත ප්‍රචාරයක් මැදිනි. මෙම ප්‍රචාරය ආන්ඩුවට හා ධනපති පන්තියට අවශ්‍යවන්නේ එහි අධිකාරයට මහජනයා යටත් කර තැබීම සඳහා ය. ව්‍යාජ වාම සංවිධාන එහි ධනපති ජාතික ආරක්ෂාව රැකීමේ නමින් එහි අධිකාරය පිලිගනිති.

සන්නද්ධ හමුදා මහජනතාවගේ ආරක්ෂකයන් ලෙසට කෙරෙන මෙම හුවාදැක්වීම වෛෂයික සත්‍යය නොපිට හැරවීමකි. ඒවා කම්කරු, පීඩිත මහජනතාවන්ගේ ආරක්ෂාව සඳහා පවතින සංස්ථාවක් නොව, ඔවුන්ගෙන් එල්ලවන අභියෝගයන්ගෙන් ධනපති පන්ති පාලනය ආරක්ෂා කිරීමට නිර්මානය කෙරුනු ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රයේ තීරනාත්මක නිල බල ඇනි ය.

පසුගිය සියවසේ සහ මෙම සියවසේ ධනපති පන්ති පාලනය අභියෝගයට ලක්වූවිට එහි සැබෑ ආරක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මිලිටරිය සිය ආඥාදායක පාලනයන් පිහිටුවීම දක්වාම ගමන් කල අවස්ථා කම්කරු පන්තියේ කටුක මුලෝපායික අත්දැකීමක් ලෙස පවතී. ගෝලීය ධනවාදය බිඳවැටීමක් තුලින් ගමන් ගන්නා වර්තමාන අවධියේ ලෝකයේ සෑම රටකම පාලක පන්තීන් ෆැසිස්ට්වාදී, ඒකාධිපති හා මිලිටරි ආඥාදායක පාලනයන් ඇටවීමට තැත් කරන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය අරගලයට ඒම කෙරෙහි සිය ප්‍රතිවිප්ලවවාදී ප්‍රතිචාරය දක්වමිනි. ලංකාව තුල ප්‍රකාශයට පත්ව ඇත්තේ මෙම ප්‍රවනතාවයි.

1917 ඔක්තෝබර් විප්ලවයට බෝල්ශෙවික් පක්ෂය හා කම්කරු පන්තිය දේශපාලනිකව සූදානම් කිරීමට සටන් කරමින් රාජ්‍යය තුල මිලිටරියට හිමි තැන පිලිබඳව ලෙනින් සිය රජය සහ විප්ලවය නම් මාහැඟි කෘතියේ කල විශ්ලේෂනයට කම්කරුවන් සහ තරුනයන් හැරී ගැනීම අත්‍යාවශ්‍ය ය.

ලෙනින් මෙසේ සඳහන් කලේය:

“රජය ලෙස නම් කරන බලය... කුමකින් සෑදී තිබේද? හිරගෙවල් සහ අනෙකුත් ආයතන තම අනසක යටතට ගෙන සිටින විශේෂ මන්ඩලවලට අයත් සන්නාහ සන්නද්ධ පුද්ගලයන්ගෙන් එය සෑදී තිබේ.”

එම කෘතිය තුල ලෙනින් ගුනාංගීකරනය කරන පරිදි

“රාජ්‍ය බලයේ ප්‍රධාන උපකරනය ස්ථිර යුද හමුදාවක් සහ පොලිසියයි”.

මෙම විශ්ලේෂනය අවශ්‍යවන්නේ කුමක් සඳහාදැයි ලෙනින් මෙලෙස පැහැදිලි කලේය:

“රාජ්‍යය සම්බන්ධයෙන්වූ අවස්ථාවාදී දුර්මතවලට විරුද්ධව අරගලයක් නොමැතිව, ජනතාව පොදු වසයෙන් ධනපති පන්තියේ බලපෑමෙන්, විශේෂයෙන්ම අධිරාජ්‍යවාදී ධනපති පන්තියේ බලපෑමෙන් නිදහස් කර ගැනීම සඳහා අරගලය කිසිසේත් කල නොහැකි ය.”

අද මෙම අරගලය තීරනාත්මකව මතුව ඇත. රාජ්‍ය යන්ත්‍රයේ හා එහි සන්නද්ධ බලකායන්ගේ ක්‍රියා කලාපය 30 අවුරුදු යුද්ධය තුලින් හා පන්ති අරගලයේ අත්දැකීම් තුලින් උකහා ගනිමින්, ලංකාවේ කම්කරු පන්තිය වත්මන් අර්බුදයට සිය සමාජවාදී විසඳුම ඉදිරිපත් කරමින් ධනපති ආඥාදායකත්වයේ තර්ජනයට එරෙහිව සිය රාජ්‍ය බලය සඳහා- එනම් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට ධනේශ්වරයෙන් ස්වාධීනව සංවිධානය විය යුතුය.

Share this article: