ආන්ඩුව පොලිස් රාජ්‍යයක් දෙසට ගන්නා පියවර සමග ධනපති මාධ්‍ය පෙල ගැසෙයි

විජිත් සමරසිංහ විසිනි, 2019 මැයි 9

අප්‍රේල් 21 දා බෝම්බ ප්‍රහාරයෙන් පසුව, සියලු ධනපති පුවත්පත් හා අනෙකුත් මාධ්‍ය, ආන්ඩුවේ පොලිස් රාජ්‍ය පිලිවෙත් සමග ඒකමතිකව පෙල ගැසී සිටිති. සිද්ධියෙන් පසුව ආන්ඩුව ක්‍රියාත්මක කල සමාජ-ජාල මාධ්‍ය තහනම හා පුවත් වාරනය සම්පූර්නයෙන් අනුමත කල ඔවුහු රටේ දැන් ක්‍රියාත්මක වෙමින් ඇති පොලිස්-මිලිටරි කඩා පැනීම් හා මුස්ලිම් ජනයාට එරෙහි වාර්ගික ප්‍රකෝපකරනයන් තවත් උත්සන්න කරන ලෙස කැඳවුම් කරති.

“ජාතික තව්හිඞ් ජමාත්”නමැති ඉස්ලාමිය මූලධර්මවාදී සංවිධානයට සම්බන්ධ පිරිසක් විසින්, පල්ලි හා ප්‍රධාන හෝටල් ඉලක්ක කරමින් පාස්කු ඉරිදා එල්ල කල ම්ලේච්ච බෝම්බ ප්‍රහාරය මගින් 250 කට වැඩි පිරිසක් මියගොස් 500 ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබූහ. ඉන් දින කිහිපයකට පසු, අයිඑස්අයිඑස් හෙවත් ඉස්ලාමිය රාජ්‍යය නමැති ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් නිවේදනයක් නිකුත් කලේය.

ආරක්ෂක අංශවල ඉහල නිලධාරීන් මෙන්ම පක්ෂ සහ විපක්ෂ ප්‍රධාන දේශපාලනඥයින් පිරිසක් මෙම ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ තොරතුරු සිද්ධියට පෙර දැන සිටියද එය දැනුවත්ව නොසලකා හැරි බව සනාථ වී ඇත.

මේ බෝම්බ ප්‍රහාරය ක්ෂනිකව ගසා කමින් ආන්ඩුව රටපුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර, මර්දනකාරී “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත” ද බලගන්වා ඇත. මෙම රුදුරු නීති යටතේ, ඕනෑම කෙනෙකු අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන, නඩු නොමැතිව රඳවා තබා ගැනීමේ ප්‍රතිපාදන පොලීසියට සහ මිලිටරියට ලබා දී ඇත.

හදිසි නීති රෙගුලාසි පනවනු ලැබුවේ මාධ්‍ය නිදහස හා තොරතුරු දැනගැනීමේ අයිතියට එල්ලවූ ප්‍රහාර මාලාවක්ද සමගය. ෆේස්බුක්, යූ ටියුබ් හා වට්ස්ඇප් ඇතුලු සමාජ-ජාල මාධ්‍ය සියල්ල සතියකට වැඩි කාලයක් සම්පූර්නයෙන් තහනම් කල අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් සහතික කල පුවත් පමනක් පලකරන ලෙසට මාධ්‍ය ආයතන වලට බලපෑම්සහගත ඉල්ලීමක් ද නිකුත් කර ඇත.

පසුගිය සතියේ පුවත් සාකච්ඡාවක් පවත්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ, සමාජ-ජාල මාධ්‍ය වල පලකරන “අනවශ්‍ය” දේ වාරනය කිරීම සඳහා එම සමාගම් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

මෙම වර්ධනයට විරුද්ධ වනු තබා ඒගැන ප්‍රශ්න කිරීමක්වත් නොකරමින්, ධනපති මාධ්‍ය ආන්ඩුවේ අවශ්‍යතා සමග සෘජුව පෙලගැසී සිටිති. රාජ්‍ය හා පුද්ගලික මාධ්‍යයන් හි සෑම ප්‍රවෘත්තියක්ම සුක්ෂම ලෙස සකස් කෙරෙන්නේ මහජනතාව තුල උපරිම භීතිය වපුරන අයුරිනි. පුවත් පත් වල මුල් පිටු පුරා පලවන්නේ මුස්ලිම් නිවෙස් හා පල්ලි වලින් අල්ලාගත් බව කියන කඩු කිනිසි ආදියේ විශාල කරන ලද ඡායාරුප හා මුස්ලිම් ජනයා පිලිබඳ සැකය හා වෛරය උපදවන සිරස් තලය.

සමහර රූපවාහිනි නාලිකා, මරාගෙන මැරෙන බෝම්බ කරුවන් එම ස්ථාන වලට ඇතුලුවන දර්ශන සහිත සීසීටීවී දර්ශන දිනගනනක් පුරා උදේ හවස විකාශය කලහ. ප්‍රහාරය සිදුවූ දිනම, ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් සිදුකරන තැන් වලට මාධ්‍ය කන්ඩායම් යුහුසුලුව දිව ගියේ, යුද්ධය පැවති සමයේ ඔවුන් විසින් රඟදැක්වූ “යුද බිමෙන් පුවත්” වැනි වියරු මවාපෑම් සිහියට නංවමිනි.

දැන් ඔවුන්, හදිසි නීතියට මුවා වී නිවෙස් වලට කඩා පනින හමුදා හා පොලිස් කන්ඩායම් පිටුපස දැවටෙමින් පුද්ගලික නිවාස ඇතුලටම රිංගාගෙන ඒවා සෝදිසි කිරීම පටිගත කර විකාශය කරන්නේ, සෝදිසියට ලක්වන නිවැසියන් එකහෙලා වැරදිකරුවන් කරමිනි.

රටේ සෑම ප්‍රධාන පුවත්පතක්ම තම කතුවැකි හා තීරුලිපි මගින් ආරක්ෂක සංස්ථාපිතයට තම කොන්දේසි විරහිත පක්ෂපාතිත්වය හා සහයෝගය පලකර ඇත. කලින් තුනී ලිබරල් වහන්තරාවකට මුවා වී සිටි පුවත්පත් පවා, මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරය වඩාත් කාර්යක්ෂමව ඉදිරියට ගෙනයන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ආන්ඩුවට උපදෙස්දීමට ඉදිරියට පැමින ඇත.

ඬේලි මිරර් පුවත් පත තම අප්‍රේල් 22 කතුවැකියෙන්, යුද සමයේ සිදුවූ අපරාධ වලට ආරක්ෂක අංශ නිලධාරීන් කිහිප දෙනෙකුට විරුද්ධව නඩු පවරා තිබීම සම්බන්ධයෙන් ආන්ඩුවට තදින්ම දෝෂාරෝපනය කලේ එය “බුද්ධි අංශ අයවලුන් දඩයම් කිරීමක්” සහ එමගින් ආරක්ෂක හමුදා “දැඩි අධෛර්යකට” පත්කල බව පවසමිනි. “මිලිටරිහරනය පශ්චාත් යුද සමයක ගතයුතු තර්කාන්විත පියවරක් වුවත් සම්පූර්නයෙන්ම ආරක්ෂාව නොසලකා හැරීම ඔලමොට්ටල කමක්” යැයි එය වැඩිදුරටත් සඳහන් කලේය.

සිංහල-බෞද්ධ ප්‍රභුවට වඩාත් සම්බන්ධකම් ඇති ද අයිලන්ඞ් පුවත්පත, “නීතිය බූරුවෙකි” යන හිසින් අප්‍රේල් 26 පලකල තවත් කතුවැකියකින්, නීතිය හා මූලික අයිතීන් වලට යටවී ආන්ඩුව ජාතික තව්හිඞ් ජමාත් වැනි සංවිධාන කල්තියා දඩයම් කිරීමට අසමත් වූ බවට චෝදනා කලේය. 2016 දී “ත්‍රස්තවාදී” සැකකරුවෙකු ලංකාවේ සිට ඇමරිකාවට බලෙන් රැගෙන යාම (අසාමාන්‍ය උදර්පනය කිරීමක්) සඳහා ආන්ඩුව, නීතියේ රාමුවට පිටින් සහය ලබාදුන් සිද්ධියක් උපුටා දක්වමින්, කතුවැකිය අසා සිටියේ, විදේශ බලයන්ගේ අවශ්‍යතා සඳහා රටේ නීතිය ඕනෑ පරිදි අඹරා ගත හැකිනම්, ජාතික අවශ්‍යතා සඳහා එසේ කරන්නට මැලිවන්නේ මන්ද යන්නයි.

ප්‍රහාරයෙන් සතියක් ගතවූ තැන ප්‍රධාන ඉරිදා සිංහල පුවත් පත් බොහොමයක් තම කතුවැකි වලින් ආන්ඩුව තිස් අවුරුදු යුද්ධය නිම කලාක් මෙන් “මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය” නිම කිරීමටද ආරක්ෂක හමුදා වලට ඉඩදී ඒවා කොන්දේසි විරහිතව ශක්තිමත් කලයුතු බව ප්‍රකාශ කලේය. දිවයින පුවත්පත කියා සිටියේ “බෙදුම්වාදයට එරෙහිව දශක තුනක් පුරා භූමිය මත කල සටන” දැන් ඉස්ලාම් අන්තවාදී “මනුෂ්‍ය බිලි පූජාවට එරෙහි සටනක්” බවට පරිවර්තනය වී තිබෙන අතර, ඒ සඳහා ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය බවයි.

ප්‍රහාරයෙන් සති දෙකක් ගතවූ පසුගිය ඉරිදාද බොහෝ පුවත්පත් තම කතුවැකිය කැපකොට තිබුනේ, හමුදා-පොලිස් මෙහෙයුම් අඩු නොකොට ඉදිරියට ගෙනයා යුතු බවට ආන්ඩුවට උපදෙස් දීමටය. ඉරිදා ලංකාදීප කතුවැකිය “මුස්ලිම් අන්තවාදීන් දෙවැනි වටයක ප්‍රහාරයකට” සුදානම් වන බවට භීතිය පැතිරවූයේ “කොටි සංවිධානය තිස් වසරක් තුල මෙරටට සිදුකල ආර්ථික හානිය, මුස්ලිම් අන්තවාදීහු එක දිනකින් කලහ” යන මුලුමනින්ම පදනම් විරහිත අටුවාවකින් මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය ශක්තිමත් කරමිනි.

පසුගිය ඉරිදා දිවයින පත්‍රයද “පරිච්ඡේදය නිමයි: පොත වසා තබමුද?” යන කතුවැකියෙන්ද, මෙවැනි ත්‍රස්ත ප්‍රහාර වල ආර්ථික පිරිවැය ගනන් බලමින්, එයට එරෙහිව උපරිම ප්‍රහාර දියත් කරන ලෙස පාලක පන්තියෙන් ඉල්ලා සිටියේය.

වර්තමාන ආන්ඩුව මිලිටරිහරනයක්, යුද අපරාධකරුවන්ට දඬුවම් දීමක් හෝ ආරක්ෂක අංශ වලට සිත්සේ ක්‍රියාත්මක වීමට පැවති නිදහස අඩු කිරීමක් සිදුකර ඇතැයි යන තර්කය පට්ටපල් බොරුවකි. 2015 බලයට පැමිනි දා සිට දිගින් දිගටම සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව සෑම වසරකම ආරක්ෂක වියදම ඉහල දමමින් හමුදා තර කලා පමනක් නොව, උතුරු-නැගෙනහිර පලාත් දිගටම මිලිටරි පාලනයක් යටතේ පවත්වාගෙන යමින් සිටී.

සුලු නිලධාරින් අතලොස්සකට එරෙහිව යුද අපරාද පිලිබඳව යයි කියමින් ගෙනවිත් ඇති ඊනියා නඩු, සැබෑ අපරාධ වසන් කරමින්, නියම අපරාධකරුවන් ආරක්ෂා කිරීම සඳහා කරගෙන යන ප්‍රෝඩාවක් පමනි.

තවද, වෙන කවරදාකටවත් වඩා, වර්තමාන ආන්ඩුව ඇමරිකානු අධිරාජ්‍යවාදය හා එහි කලාපීය සගයන් සමග තම මිලිටරි සම්බන්ධතා වර්ධනය කරගනිමින් සිටී. තාක්ෂන හුවමාරු හා ඒකාබද්ධ යුද අභ්‍යාස මගින්, එය ඉන්දියානු සාගරය තුල චීනයට එරෙහි ඇමරිකාවේ යුද සූදානම සමග සීග්‍රයෙන් පෙලගැසෙමින් ඇත.

ආන්ඩුවේ ප්‍රහාර හමුවේ දිනෙන් දින වැඩෙන මහජන අසහනය හා පන්ති අරගල හමුවේ සමස්ත පාලක පන්තියම භීතියෙන් ඇලලී සිටිති. පසුගිය වසරේදී එකක් පසුපස එකක් ලෙස වැඩවර්ජන රැල්ලක් පැනනැගි අතර ලක්ෂයකට අධික වතු කම්කරුවන් රුපියල් 1,000 ක අවම වැටුපක් දිනාගැනීමේ අරගලයක තවමත් නිරතවී සිටිති. පාස්කු ඉරිදා ප්‍රහාරයට යන්තම් දෙසතියකට පෙර දුම්රිය සේවකයන්, හෙද හෙදියන් හා ගුරුවරුන් දස දහස් ගනනකගේ ගේ දීපව්‍යාප්ත වැඩවර්ජන පිපිරීමට ඉතා ආසන්නව පැවතුනි.

බෝම්බ ප්‍රහාරයෙන් ඇති වූ විනාශය ඩැහැගෙන මෙලෙස ශක්තිමත් කරගත් රාජ්‍ය මර්දන යන්ත්‍රය දැනටමත් මහජනතාවට එරෙහිව රුදුරුම ආකාරයෙන් යොදා ගනිමින් පවතී. විශ්ව විද්‍යාල නේවාසිකාගාරයන්ට සහ ශිෂ්‍ය සංගම් කාර්යාල වලට “සෝදිසි මෙහෙයුම්” සඳහා කඩා පනින පොලීසිය සහ මිලිටරිය ශිෂ්‍ය ක්‍රියාකාරීන් දඩයම් කිරීම අරඹා ඇත.

දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායරූප සහිත පෝස්ටර් ලඟ තබාගෙන සිටියේය යන චෝදනාව මත යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටී.

මෙම පසුබිම තුල, ධනපති මාධ්‍ය, රාජ්‍ය මර්දනයට සහය දීමෙන් නොනැවතී, මුස්ලිම් ජනයාට හා අනෙකුත් සුලු ජනවර්ග වලට එරෙහි විලෝපනයකට මග පෑදීමටත්, සක්‍රියව මැදිහත් වෙමින් සිටිති.

ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරය සමග ධනපති මාධ්‍ය සංස්ථාපිතය ඍජුව පෙල ගැසීම මගින් පැහැදිලි කෙරෙන්නේ කම්කරු-පීඩිත මහජනතාවගේ අරගල තලා දැමීම සඳහා පොලිස් රාජ්‍යයක් වෙත යාමට මුලුමහත් පාලක පන්තිය තුල ඇති බලගතු වුවමනාව සහ එකඟතාවයයි.

Share this article: