ශ්‍රී ලංකාවේ වත්මන් තීරනාත්මක
දේශපාලන තත්වය පිලිබඳ
සසප/සසජාතශි ප්‍රසිද්ධ රැස්වීමක්

2019 මැයි 15

ආන්ඩුවේ පොලිස්-මිලිටරි ආඥාදායක සැලසුම් පරාජය කරනු!

දිනය සහ වේලාව - මැයි 22 වන බදාදා සවස 4

ස්ථානය - කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය, අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් පසුව රටේ පවතින තීරතාත්මක දේශපාලන තත්වය පිලිබඳව සාකච්ඡා කරනු පිනිස මැයි 22 දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත. රැස්වීමේ තේමාව “ආන්ඩුවේ පොලිස්-මිලිටරි ආඥාදායක සැලසුම් පරාජය කරනු” යන්නයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, බෝම්බ ප්‍රහාර කඩතුරාව ලෙස ඩැහැගෙන, පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හා රඳවා ගැනීම පිනිස මිලිටරියට හා පොලීසියට පුලුල් බලතල ලබා දෙන හදිසි නීති රෙගුලාසි පනවමින්, දරුනු මර්දන පියවර ක්‍රියාවට දමා තිබේ. ප්‍රහාරය ගැන කල්තියා අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත් ආන්ඩුවේ නායකයන් සහ ආරක්ෂක හමුදා එය සිදුවීමට ඉඩහැරියේ මෙම මර්දනකාරි පිලිවෙත් ක්‍රියාවට දැමීම පිනිස එය ගාසකෑමේ අරමුනෙනි.

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන්ගේ සැබෑ අරමුන අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය සිදු කල ඉස්ලාම් අන්තවාදී කන්ඩායම් නොව, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව අරගලයන්ට අවතීර්න වෙමින් සිටින කම්කරු පන්තිය, තරුනයන් සහ ගොවි ජනතාවයි. වැඩෙන ජාත්‍යන්තර පන්ති අරගල රැල්ලේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ කම්කරුවෝ ද සිය ජීවන මට්ටමවලට සහ මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහි ප්‍රහාරවලට විරුද්ධව සටන් වැදීමට පෙරට පැමින ඇත.

ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලට අයිඑස්අයිඑස් සංවිධානය සම්බන්ධ වීම ගසාකමින්, ආන්ඩුව සහ කොලඹ දේශපාලන සංස්ථාපිතයේ සෙසු පක්ෂ, කම්කරු පන්තිය දුර්වල හා භේද කිරීම පිනිස මුස්ලිම් විරෝධී වර්ගෝත්තමවාදය අවුලමින් සිටිති.

එමෙන්ම, එක්සත් ජනපදය, අප්‍රේල් 21 සිද්ධිය පිලිබඳ පරීක්ෂනවලට සහාය වීමේ කඩතුරාව යටතේ. එෆ්බීඅයි සහ පැසිපික් අන දෙන මධ්‍යස්ථානයේ නිලධාරින් දිවයිනට එවමින්, චීනයට එරෙහි සිය මිලිටරි-මූලෝපායික ප්‍රහාරාත්මක ව්‍යායාමයට ශ්‍රී ලංකාව තව දුරටත් ඒකාග්‍ර කරගැනීම පිනිස ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර ඩැහැගෙන තිබේ.

කොලඹ දේශපාලන සංස්ථාපිතයේ සියලු පක්ෂ සහ ඔවුන් වටා ගැලතී සිටින ව්‍යාජ-වම්මු, ආන්ඩුවේ හදිසි නීති රෙගුලාසිවලටත් එනයින් ගත් කල කම්කරු පන්තියට හා පීඩිත මහජනතාවට එරෙහි මර්දනකාරී පිලිවෙත්වලටත් සහාය දීම පිනිස පෙලගැසී ඇත.

කම්කරු පන්තිය ඉදිරියේ මතුව ඇති හදිසි කර්තව්‍යය නම්, සිංහල, දෙමල හා මුස්ලිම් වාර්ගික රේඛා කපාගෙන එකමුතු වී, ආන්ඩුවේ පොලිස්-මිලිටරි ආඥාදායක සැලසුම් පරාජය කොට ධනපති පන්ති පාලනය පෙරලා දමා සමාජවාදී පිලිවෙත් මත පාදක වන කම්කරු-ගොවි ආන්ඩුවක් තහවුරු කරනු පිනිස ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස බලමුලු ගැන්වීමයි. මෙය දකුනු ආසියාව පුරා ද ජාත්‍යන්තර පරිමානව ද සමාජවාදය සදහා ගෙනයන පුලුල් අරගලයක කොටසක් වනු ඇත. අධිරාජ්‍යවාදී යුද්ධයට, සමාජ අසමානතාවට සහ ආඥාදායකත්වයට අවසන් තිත තැබීමේ එකම මාවත එයයි.

මෙම විප්ලවවාදී ඉදිරිදර්ශනය සාකච්ඡා කරන කොලඹ පැවැත්වෙන වැදගත් රැස්වීමට සහභාගි වන ලෙස අපි කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: