දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රී සුමන්දිරන්ගේ ප්‍රකාශයකට නඩු දමන බව ට දිනේෂ් ගුනවර්ධනගෙන් වර්ගවාදී තර්ජනයක්

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2019 මැයි 06

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය බඳු ප්‍රහාරයන් කෙරෙන්නේ සුලු ජාතීන්ගේ “ප්‍රශ්න පිලිබඳව සොයාබැලීමට” බලයේ පැවති ආන්ඩු අසමත්වීමේ “ප්‍රතිඵලයක්” ලෙස යයි දෙමල ජාතික සන්ධානයේ (දෙජාස) පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් කල ප්‍රකාශයකට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට “ඒකාබද්ධ විපක්ෂය” තීරනය කර ඇතැයි වර්ගවාදී පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුනේ (මඑපෙ) නායක දිනේශ් ගුනවර්ධන බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය සාකච්චාවක දී ප්‍රකාශ කර ඇත. සුමන්දිරන්ගේ ඉහත ප්‍රකාශය “ගැටුම් වලට තුඩු දිය හැකි ඉතා බරපතල දේශද්‍රෝහී ප්‍රකාශයක් ” යයි ගුනවර්ධන කියයි.

අනිද්දා පත්‍රයට වසරක් පිරීම නිමිත්තෙන් අප්‍රේල් 29 වෙනිදා බන්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේ පැවති රැස්වීමක දී “ආන්ඩුව සුලු ජාතීන්ගේ දුක්ගැනවිලි ආමන්ත්‍රනය කිරීමට අපොහොසත් වන්නේ නම් මෙවන් කටුක ප්‍රතිවිපාක වලට මුහුන දීමට සිදුවනු” ඇතැයි සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

සුමන්දිරන් ප්‍රමුඛ නායකයෙකු වන, අධිරාජ්‍ය ගැති දෙජාස ඇතුලු දෙමල ධනපති පක්ෂවල දෙමල ප්‍රභුවේ වරප්‍රසාද රැක ගැනීමට කැපවූ දේශපාලනයට සමාජවාදී සමානතා පක්ෂය (සසප) සපුරා විරුද්ධ ය. එහෙත් ගුනවර්ධන අං උලුක්කරගෙන පෙරට පැන ඇත්තේ ලංකාවේ පාලක පන්තිය දීර්ඝකාලීනව සිදුකරගෙන යන ජාතික හා ආගමික වෙනස්කම් කිරීම පිලිබඳව මොනම විධියකින් හෝ විරුද්ධත්වයක් පෑමක් තබා කටක්වත් නොඇරිය යුතු බවට තහංචියක් දැමීමටයි.

පිඩිත සුලු ජන කන්ඩායම්වල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනීසිටින හා සටන් කරන ඕනෑම සංවිධානයක් “දේශද්‍රෝහී” නම්වූ ගුනවර්ධනගේ වර්ගවාදී හංවඩුවට හසුවෙයි.

ගුනවර්ධනගේ මඑපෙ උපතේ පටන්ම සිංහල ස්වෝත්තමවාදය කර පින්නාගෙන දෙමල හා මුස්ලිම් ජනවර්ගයන්ට සහ ක්‍රිස්තියානි ආගමිකයන්ට එරෙහිව ධනපති ආන්ඩුවල ප්‍රකෝපකිරීම් වල පෙරමුනේ රාල ලෙස ක්‍රියා කිරීමේ ලේවැකි ඉතිහාසයකට උරුමකම් කියයි. 1956 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාවූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බන්ඩාරනායක ඇරැඹූ මඑපෙ ඔහුගෙන් පසු සීසීකඩ යද්දී එහි හවුල්කරුවෙකු වූ පිලිප් ගුනවර්ධන එම නම තම පක්ෂයට යොදාගෙන වර්ගවාදී විසකැවීම අන්තයටම ගෙන ගියේ ය.

1948 ඊනියා නිදහසෙන් පසු මෙරට පාලනය කල ධනපති පාලක පන්තියේ හැම කොටසක් ම දෙමල සහ මුස්ලිම් සුලු ජනයාගේ අයිතීන් පාගා දැමු හ. රට තුල තහවුරු කෙරුනේ ප්‍රජාතන්ත්‍ර විරෝධී සිංහල බෞද්ධ අධිපතිවාදී පාලනයකි. වාර්ගික කා කෙටවීම් වලට මූලිකව වගකිව යුත්තෝ ඔවුහු ය. ඔවුන්ගේ දේශපාලන මුලෝපාය වූයේ සහ වන්නේ සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් වාර්ගිකව භේදකර ධනපති පන්ති පාලනය ආරක්ෂා කර ගැනීමයි.

ඔවුන් වැඩ පටන් ගත්තේ ම, දෙමල ජනතාවගේ පුරවැසි අයිතිය අහෝසි කරමිනි. ඉක්බිතිව, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙසත් බුද්ධාගම රාජ්‍ය ආගම ලෙසත් ව්‍යවස්ථාගත කරමින් දෙමල ජනයාට එරෙහි ව වෙනස්කම් කිරීම වඩ වඩා තීව්‍ර කෙරුනි. පසුව එම වෙනස්කම් කිරීම් යුද්ධයක් ඇවිලවීම දක්වා ගෙන ගියේ හුදෙක් දෙමල ජනයා පාගා දැමීමට පමනක් නොව මූලිකවම කම්කරුවන් හා දුගීන් මඩිමින් ඔවුන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරා ගැනීමට ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) සමග එක්ව ක්‍රියා කරන මඑපෙ පසුගිය ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ හදිසි නීති පාලනයට හා මිලිටරිය දිගේලි කර ගෙන යන මර්දනයට මුලුමනින්ම සහයෝගය දෙයි. එපමනකින් නොනැවතී තමන්ගේම පොලිස් පාලනයකට මාන බලන රාජපක්ෂ සමග එක්ව ගුනවර්ධන ත්‍රස්ත ප්‍රහරය සුලු ජාතිකයන් හා ආගමිකයන් මැඩීමට අලුතින් ලැබුනු පිනුම් පිත්තක් කර ගනිමින් සිටියි.

කම්කරුවන් හා තරුනයන් පොලිස් පාලනයක සැලසුම් ද මෙම ප්‍රකෝපකරනයන් ද පරාජය කිරීමට සිංහල, මුස්ලිම් හා වෙනත් භේද කපාගෙන සමාජවාදී වැඩපිලිවෙල මත එකමුතුවිය යුතුය.

Share this article: