ශ්‍රී ලංකාවේ මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩත්වයට ගොදුරු වූවෝ ලෝසවෙඅට කතා කරති

Muslim victims of violence in Sri Lanka speak to the WSWS

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 මැයි 17

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්න නගරයක් වන මිනුවන්ගොඩට මැයි 15 දා ගිය ලෝසවෙඅ වාර්තාකරුවන්ට දැක ගැනීමට ලැබුනේ පාලු නගරයකි. කොලඹින් කිලෝමීටර 50 ක් පමන දුරින් පිහිටි මුස්ලිම් කඩසාප්පු බොහොමයකින් සමන්විත මෙම නගරය, සිංහල වර්ගවාදී මැරයන්ගේ මුස්ලිම්-විරෝධී කඩාපැනීම හේතුවෙන් විනාශ කරනු ලැබ තිබේ.

කොලඹ මහා මාර්ගයේ පිහිටි මෙම නගරය, පොලීසියේ හා මිලිටරියේ ඍජු හෝ වක්‍ර පිටුබලය සහිත ව සිදුකෙරුනු ප්‍රහාරයෙන් පසුව, දැන් සම්පූර්නයෙන් සන්නද්ධ හමුදා සොල්දාදුවන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් “ආරක්ෂා කරමින්” සිටී. ආන්ඩුව විසින් පැනවූ ඇඳිරී නීතියට පෙර හා පසුව මැයි 13 දා සවස පැය කිහිපයක් පුරා ප්‍රහාරය පැවතුනි.

ගිනි තැබුනු ප්‍රදේශයේ මිලිටරිය

ප්‍රහාරයට ලක්වූ අනෙකුත් ප්‍රදේශ අතරට, හලාවත, නිකවැරටිය, කුලියාපිටිය, හෙට්ටිපොල, බිංගිරිය, කොබෙයිගනේ හා වාරියපොල ඇතුලත් විය. නාත්තන්ඩිය ප්‍රදේශයේ කොට්රාමුල්ල හා තුම්මෝදර දැඩි ප්‍රචන්ඩත්වයකට මුහුන දුන්නේ ය. මේ සියලු ප්‍රදේශ වයඹ පලාතේ පිහිටා තිබේ. කොට්රාමුල්ලේ දී 45 හැවිරිදි මුස්ලිම්වැසියෙකු මැරයන් විසින් මරා දැමී ය. බොහෝ දෙනෙකුට තුවාල සිදු විය.

ලෝසවෙඅ වාර්තාකරුවන් මිනුවන්ගොඩට යද්දී, වැඩ බලන ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන මුස්ලිම් ඇමතිවරුන් සමග ප්‍රදේශයට සංචාරය කල අතර, ඒ අගමැති රනිල් වික්‍රමසිංහත් නගරයට පැමිනීමෙන් දිනකට පසු ය. “මිනිසුන්ට ආරක්ෂාව සැලසීම” පිලිබඳ ඔවුන්ගේ පොරොන්දු කෙරෙහි අවඥාවෙන් නගර වැසියෝ කතා කල හ.

පල්ලියට පහරදී තිබූ අයුරු

මිනුවන්ගොඩ නගරය පාලුවට ගොසිනි. පොලීසිය හා සොල්දාදුවන් හැරුනු විට, එහි සිටියේ සාප්පුකරුවන් කිහිප දෙනෙකු පමනි. හලාල් සහ ෆාවුස් නමැති ආපනශාලා දෙකක් හා මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් රෙදි, සපත්තු හා විවිධ විද්‍යුත් උපකරන අලෙවි සැල් 50 ට අධික ප්‍රමානයක් හා සිංහල ව්‍යාපාරිකයන්ට අයත් සිරිපති ඩ්‍රෙස් පොයින්ට් හා එකෝ යන සාප්පු දෙකක් මුලුමනින්ම විනාශ කෙරුනි. නගර මධ්‍යයේ පිහිටි මුස්ලිම් පල්ලියේ වීදුරු සහ දොරවල් කඩා දමා තිබේ. කම්කරුවන් 500ක් පමන රැකියාවේ නිරත ශ්‍රී ලංකාවේ විශාලතම පැස්ටා නිපදවන කම්හල වන වන “ඩයමන්ඩ් පැස්ටා” නමැති කම්හල ද විනාශ කරනු ලැබී ය. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ජීවිත බේරාගැනීම සඳහා පුද්ගලයන් 30 ක් පමන ජනේලවලින් පිටතට පැන ගත්හ.

සිරිපති තම ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට

මෙම ප්‍රහාර එල්ල කරන අවස්ථාව වන විට රාමසාන් උපවාස සමය හේතුවෙන් මුස්ලිම් වෙලඳසැල් සියල්ලම පාහේ වසා තිබුනි. මැර කල්ලි ඒවායේ අගුලු කඩා දමමින් වටිනා බඩුබාහිරාදිය බොහෝමයක් කොල්ලකා අවසානයේ කඩසාප්පු ගිනිබත් කල හ.

මොහිදීන් ෂූ පැලස්හි හිමිකරු ලෝසවෙඅට මෙසේ ප්‍රකාශ කලේ ය: “පහරදීපු අය ගොඩක් ඇවිත් තියෙන්නේ පිට පලාත්වලින්. අපේ කඬේ ලක්ෂ ගානක බඩු දැන් අලුවෙලා. අපේ කඬේට ආසන්නයේ පිහිටි අම්රා ටෙක්ස් එක පුච්චන්න කලින් ලක්ෂ ගානක ඩෙනිම් කලිසන් කොල්ල කාලා.”

“ගොඩක් ගනුදෙනු වෙන්නේ උත්සව කාලෙට විතරයි. ගත්තු බඩුවලට විශාල සල්ලි ප්‍රමානයක් තොග වෙලෙන්ඳන්ට ආපහු ගෙවන්න තියෙනවා” යි ජුවෙල් මූන්හි හිමිකරු වැලපුනේ ය.

විනාශයෙන් පසු ඔවුන්ගේ බැංකු නය ආපසු ගෙවන්නේ කෙසේදැයි සියලු සාප්පු හිමිකරුවෝ ඇසූ හ.

බොහෝ මුස්ලිම් සාප්පුකරුවන් හා කම්කරුවන් ජීවත් වන්නේ නගරයේ සිට කිලෝමීටර 1 ක් පමන දුරින් පිහිටි ගල්ඔලුවේ ය. ප්‍රහාරයෙන් පසු, මෙම ප්‍රදේශය ආරක්ෂක හමුදා විසින් වටලා එහි පුද්ගලයන් බිය වද්දා තිබේ. මුස්ලිම් පවුල් 30 ක් පමන සිටින “එක්සත් හන්දිය” ප්‍රදේශයේ නිවාස හා දේපල රැසකට මැරයන් විසින් අලහභානි සිදු කර තිබේ.

කම්කරුවෙක් මෙසේ කීවේ ය: “කලු ඇඳගෙන, කලු පටිවලින් මූනු ආවරනය කරන් හමුදාව ආවේ. තුවක්කුවලින් දොරවල්වලට ගහලා ඇතුලුවෙලා “තම්බියෝ“ කියලා පරුෂ වචන කියලා කෑගහුවා. ගෙවල්වලින් එලියට බැස්සහම අපි ව බය කරන්න පොලොවට වෙඩි තිබ්බා. ගමපුරාම ලමයි තාමත් බයෙන් තැති ගැනිලා ...”

මැරයින් ගේට්ටුව කඩාදමා නිවසට පහර දී තිබුනි

සති දෙකකට පෙර සමස්ත ගල්ඔලුව ප්‍රදේශය පොලිසිය විසින් සෝදිසි කල ද සැකකටයුතු කිසිවක් හමුවූයේ නැත. “සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු එකම ප්‍රචන්ඩ වැඩකට වත් සම්බන්ධ වෙලා නෑ. අයිඑස්අයිඑස් එකට සම්බන්ධ අය තමයි බෝම්බ පිපිරුවේ. අපි ඒ ප්‍රහාරය මුලුමනින්ම හෙලා දකිනවා.” යි එම කම්කරුවා කීවේ ය.

මෙම ප්‍රහාරය සිදු වූයේ, 250 කට අධික පිරිසක් මරා දමමින් හා 500කට පමන තුවාල සිදුකරමින්, කොලඹ දේවස්ථාන දෙකකට හා පිටස්තර දේවස්ථානයකටත් සුඛෝපභෝගී හෝටල් තුනකටත්, අප්‍රේල් 21දා එල්ල කල ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලට පසුව ය. මෙම ප්‍රහාර අයිඑස්අයිඑස් හා නැෂනල් තවුහීත් ජමාත් (එන්ටීජේ) විසින් එල්ල කල බව කියවේ.

සහාබ්දීන්, තම නිවසට මැරයන් එල්ල කල ගලක් අතැතිව

නගරය පුරා වඬේ විකුනා සිය දරුමුනුබුරන් ජීවත් කරවන 65 වියැති සහාබ්දීන්, තම නිවසට ගල් ප්‍රහාරයක් එල්ල වූ බව ප්‍රකාශ කලේ ය: “මට දුවලා දෙන්නයි පුතෙකුයි ඉන්නවා. එයාලත් විවාහ වෙලා. බැඳපු එක අයෙක්ට ත්‍රී-රෝද රථයක් තියෙනවා ඒත් හරියට හයර් නෑ. මම තමයි පවුලේ වියදම් ගොඩක් දරන්නේ. ගෙදරට හරියට විදුලිය නෑ. අපිට පහරදීලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ?”

“මිනුවන්ගොඩ නගරාධිපති, ආන්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීලා හා මැති ඇමතිවරු ප්‍රහාරයේ වගකීම සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කරනවා. නමුත් අපිට ගහන කොට කඩ ගිනි තියන කොට කව්රුවත් ආවේ නෑ” යි තවත් පුද්ගලයෙක් ප්‍රකාශ කලේ ය.

කම්කරුවන් කන්ඩායමක් ජාත්‍යන්තර තත්ත්වය පිලිබඳ ඔවුන්ගේ අදහස ලෝසවෙඅට ප්‍රකාශ කල හ. අල්-කයිඩා හා අයිඑස්අයිඑස් වැනි ත්‍රස්තවාදී සංවිධාන ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විසින් බිහිකොට, සම්පත් බහුල ඉරාකය වැනි මැද පෙරදිග රටවල් මත උපාමාරු දැමීම සඳහා යොදාගන්නා බව ඉන් එක් අයෙක් කීවේ ය. “ඇමරිකාව, ඉරාකයේ සමූහ මිනිස් ඝාතක අවි තියෙනවා කිව්වා. ඒ ඔක්කොම බොරු. මෑතකදීම ලිබියාව සහ සිරියාව විනාශ කලා. මිලියන ගනන් සරනාගතයෝ වෙලා. ඇමරිකාවට පක්ෂපාත ආන්ඩු හැමතැනම පත් කර ගන්න ඉතිහාසයේ ඉඳලා ම කුමන්ත්‍රන සිදුකර තිබෙනවා.“

එසේ නම් ඇයි ලංකාවේ ආන්ඩුව සීඅයිඒ, එෆ්බීඅයි වගේ ඇමරිකන් ඔත්තු අංශ සමග වැඩ කරන්නේ යයි ක්ෂනිකව එක් කම්කරුවෙක් මතුකල ප්‍රශ්නයකට ඉහත කම්කරුවා “මේ ආන්ඩුවත් ඇමරිකාව එක්ක තමයි වැඩ කරන්නේ” යනුවෙන් පිලිතුරු දුන්නේ ය.

හලාල් හෝටලය

චීනයට එරෙහි වොෂින්ටනයේ යුද ධාවනය සහ චීනයට වඩා සමීප යයි එය දැකගත් මහින්ද රාජපක්ෂ තන්ත්‍රයට එරෙහි ව 2015 දී ලංකාව තුල සිදු කල තන්ත්‍ර-මාරුව පිලිබඳ ව ලෝසවෙඅවාර්තාකරුවෝ මෙම කම්කරුවන් සමග සාකච්ඡා කල හ. අධිරාජ්‍යවාදයේ විරුද්ධවාදියෙකු නො වන රාජපක්ෂ දැන් වොෂින්ටනය වෙත සමීප වීමට උත්සාහ දරමින් සිටී.

සුලු ව්‍යාපාරිකයෙක් මෙසේ කීවේ ය: “අපි හිතන් හිටියේ ආරක්ෂක අංශ, හමුදාව සාමය රකින්න ඉන්නේ කියලා. නමුත් අපිට තුවක්කු බඳවල්වලින් ගැහුවා. කුනුහරුප කියලා දරුවො බය කෙරුවේ. මේවා මාධ්‍යවල දාන්නේ නෑ.”

ලෝසවෙඅ වාර්තාකරුවෝ ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ ස්වෝත්තමවාදී දේශපාලනය පැහැදිලි කල හ. දෙමල-විරෝධී වෙනස්කම් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය සමග අවුරුදු 30ක වාර්ගික යුද්ධයකට පාර කැපී ය. කම්කරුවන්ට හා පීඩිත ජනයාට එරෙහි ව ඔවුන්ගේ අරගල තලා දැමීම සඳහා බෙදා වෙන් කොට පාලනය කිරීමේ ක්‍රමය යොදා ගනිමින්, රාජ්‍ය හමුදා, පොලීසි සහ විවිධ මැර කල්ලි කන්ඩායම් යොදා ගැනීම සම්බන්ධයෙන් බලයට පත් සෑම ධනපති ආන්ඩුවකට ම ඇත්තේ කුප්‍රකට වාර්තාවකි.

කම්කරුවන් වාර්ගික රේඛා ඔස්සේ භේද භින්න කිරීම සඳහා, අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරවලින් පසුව ධනපති දේශපාලන සංස්ථාපිතය හා ඊට කරබදු වී සිටින ධනපති මාධ්‍ය විසින් මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය ප්‍රවර්ධනය කලේ ය.

හොඳින් සැලසුම් කරන ලද මෙම ප්‍රහාරවලට, සංස්ථාපිතයේ දේශපාලන පක්ෂ තිරයෙන් පිටුපස සිට සහාය දෙති. කුරුනෑගල දිස්ත්‍රික්කයේ ඉදිරිපෙල මන්ත්‍රීවරයෙක් හා ජනාධිපති සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වන දයාසිරි ජයසේකර, බිංගිරිය පොලීසියට ගොස් අත්අඩංගුවට ගත් පුද්ගලයන් කිහිප දෙනෙකු නිදහස් කරගන්නා ආකාරය පෙන්නුම් කෙරෙන වීඩියෝවක් ප්‍රදර්ශනය කෙරුනි. තමා එහි ගියේ නොසන්සුන්තාව සමනය කිරීමට පමනක් බව ප්‍රකාශ කිරීමට ඔහු මාධ්‍ය හමුවක් කැඳවූයේ ය.

රාජපක්ෂගේ ආධාරකරුවෙකු හා පිවිතුරු හෙල උරුමයේ (පීඑච්යූ) නායකයෙකු වන මදුමාධව අරවින්ද ද වීඩියෝ පටයක සිටියේ ය. පසුව ඔහු ප්‍රකාශ කලේ ඔහු එහි සිටියේ වෙනත් ප්‍රදේශයකට යන අතරතුර බව යි.

සංස්ථාපිතයට සම්බන්ධ කුප්‍රකට ස්වෝත්තමවාදියෙකු වන නාමල් කුමාර හා පසුගිය වසරේ දිගන ප්‍රදේශයේ වර්ගවාදී ප්‍රචන්ඩත්වයට සම්බන්ධ මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබී ය. පසුගිය දින තුන පුරා සියයක් පමන අත්අඩංගුවට ගෙන තිබේ. අතීතයේ දී එවන් පුද්ගලයන් ක්ෂනික ව නිදහස් කරනු ලැබී ය.

මැයි 15දා ට්විටර් පනිවුඩයක් නිකුත් කල රාජපක්ෂ, “නීතිය හා සාමය පිලිපදින ලෙසත් දැනට මත් සංවේදී වන තත්ත්වය බරපතල නො කරන ලෙසත් ඔහුගේ පක්ෂය ඇතුලු දේශපාලන පක්ෂවල සියලු සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය.” මෙය ප්‍රචන්ඩ ක්‍රියා වලට පාලක පන්තියේ පක්ෂවල සහභාගිත්වය පිලිගැනීමකි.

පන්ති අරගලයේ නැගීමකට මුහුන දෙන සෑම රටක ම පාලක පන්තීන් මෙන් ශ්‍රී ලංකාවේ පාලක පන්තිය ද ආඥාදායක පාලන රූපවලට හැල්මේ හැරෙමින් සිටී. ත්‍රස්තවාදී ප්‍රහාර පිලිබඳ ව කල්තබා ලැබුනු අනතුරු ඇඟවීම්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආන්ඩුව හා ආරක්ෂක සංස්ථාපිතය විසින් නො තකා හල අතර, විසකුරු හදිසි නීතිය ඇතුලු ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන් පැටවීමටත් පන්ති අරගලය හා ගම්බද නොසන්සුන්තාව මර්දනය කිරීමටත් දැන් එය යොදා ගනිමින් පවතී.

තමාගේ ම පොලිස්-රාජ්‍ය න්‍යාය පත්‍රය මත පදනම් වන සංස්ථාපිතයේ සියලු පක්ෂ මෙම පියවරයන්ට අනුමැතිය දී තිබේ. කම්කරුවන් මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩත්වය හා ප්‍රචාරනය මෙන්ම හදිසි තත්ත්වය ප්‍රතික්ෂේප කල යුතු අතර, වාර්ගික රේඛා හරහා එකමුතු වී, තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගාගනිමින්, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ පදනම මත කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වැදිය යුතු ය.

Share this article: