ශ්‍රී ලංකාව තුල ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලින් පසුව මුස්ලිම්වරුන්ට එරෙහි පුලුල් දඩයමක්

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 මැයි 07

මිනිසුන්, ගැහැනුන් හා ලමුන් 250ක් මරා දමමින් හා 500කට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් දේවස්ථාන තුනකට හා හෝටල් තුනකට අප්‍රේල් 21දා එල්ල කල රුදුරු බෝම්බ ප්‍රහාරවලින් පසුව, ශ්‍රී ලංකාවේ ආන්ඩුව ත්‍රස්තවාදය මැඩීමේ නමින් ප්‍රධාන කොට මුස්ලිම් ජනයා ඉලක්ක කරගත් මර්දනයක් මුදා හැර ඇත.

විෂඝෝර හදිසි නීති රෙගුලාසි පැටවීම සඳහා ප්‍රහාරය ක්ෂනික ව ඩැහැගත් ආන්ඩුව, කඩාපැනීම සඳහා ආරක්ෂක හමුදා හා පොලිස් භටයන් දහස් ගනනක් දිගේලි කලේ ය. විරුද්ධ පක්ෂ හා මාධ්‍ය ආන්ඩුවේ උද්ඝෝෂනය පිටුපස පෙලගැසී තිබේ.

ඉස්ලාමීය මූලධර්මවාදී අයිඑස්අයිඑස් සංවිධානය ජාතික තවුහීත් ජමාත් මුස්ලිම් අන්තවාදී කන්ඩායම යොදාගෙන ප්‍රහාරය එල්ල කිරිම මුස්ලිම්-විරෝධී ප්‍රචාරය ඇවිලවීම සඳහා යොදාගනු ලැබෙමින් තිබේ.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධය සමයේ සිදුකල මෙහෙයුම්වලට සමාන ව හදිසි නීතිය යටතේ ගෙයින් ගෙට ගොස් පිරික්සීම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කලේ ය.

හදිසි නීති යටතේ සිය ගනනක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සමහරුන් පසුව නිදහස් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුනසේකර ඊයේ සඳහන් කලේ, පුද්ගලයන් 73 ක් රඳවාගෙන පොලීසිය විසින් ප්‍රශ්න කෙරන බව යි.

තවත් සිද්ධියක දී අගනුවරට ආසන්න කම්හලකින් අත්අඩංගුවට ගත් කම්කරුවන් 16 දෙනාගෙන් සැකකරුවන් 9 ක් කොලඹ මහේස්ත්‍රාත් විසින් ඇපපිට නිදහස් කලා ය. එම කම්හල ප්‍රහාරය සඳහා අවශ්‍ය බෝම්බ නිපදවීමට යොදාගත්තේ යයි තමන් සැක කල බව පොලීසිය කියා සිටියේ ය. මහේස්ත්‍රාත්වරිය ඔවුන් ඇපපිට මුදා හැරියේ කම්කරුවන් 9 දෙනාට එරෙහි ව නිශ්චිත චෝදනා ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත් වීම නිසා ය.

මෙහෙයුම්වල පලල් ව පැතිරුනු ස්වභාවය පෙන්නුම් කරමින්, රටේ බොහෝ ප්‍රදේශවලින් පුපුරන ද්‍රව්‍ය, කඩු, අපරාධකාරී යයි කියන සාහිත්‍යය හා සැකකටයුතු ස්ථාන සොයාගැනීම පිලිබඳ ප්‍රවෘත්ති වාර්තා කෙරී ඇත.

මුස්ලිම් කාන්තාවන් සාම්ප්‍රදායිකව මුහුන ආවරනය කිරීමට භාවිතා කරන බුර්කාව හා නිකාබය තහනම් කිරීම ඇතුලත් වන පරිදි ජනාධිපති සිරිසේන පසුගිය සතියේ හදිසි නීති සංශෝධනය කලේ ය. මුස්ලිම්-විරෝධී මනෝගතීන් ඇවිලවීම සඳහා යුරෝපීය රටවල් ගනනක පාලක ආන්ඩු බුර්කාව තහනම් කර ඇත.

යූඑන්එච්ආර්සී ඉල්ලීම පරිදි මීගමුවේ නවාතැන් ගෙන සිටි මුස්ලිම් සරනාගතයන් 1,000 කට වැඩි පිරිසකට අප්‍රේල් බෝම්බ ප්‍රහාරවලින් ක්ෂනික ව ඉක්බිත්තේ, සිංහල කලහකාරීන්ගේ තර්ජන හේතුවෙන් නිවාසවලින් පලා යාමට බලකෙරුනි. ඔවුන්ගෙන් සමහරුන්ට කායික ප්‍රහාර එල්ල විය. ඔවුන් පකිස්තානය, ඇෆ්ගනිස්තානය හා ඉරානයෙන් පැමිනි සරනාගතයන් ය. මෙම සරනාගතයන් දැන් තාවකාලික ව නතර කර ඇත්තේ මුස්ලිම් දේවස්ථාන හා පොලිස් ස්ථාන කිහිපයකය.

පකිස්තානයේ අහමදියා ප්‍රජාවට අයත් 58 හැවිරිදි තාරික් අහමඞ් ඇසෝෂියේටඞ් ප්‍රෙස් වෙත මෙසේ කීවේ ය: “පකිස්තානයේ මිනිසුන් අපට ප්‍රහාර එල්ල කලේ අපි මුස්ලිම් නො වෙයි කියල. දැන් ශ්‍රී ලංකාවෙදි මිනිස්සු අපට මුස්ලිම්වරුන් කියලා පහර දෙනවා.”

මුස්ලිම් පුද්ගලයෙකුට අයත් ඉඩමක ආයුධ සඟවමින් සිටි පුද්ගලයන් හයදෙනෙකු වැල්ලවායේ මහවෙල්ගම දී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව අප්‍රේල් 28දා අද දෙරන රූපවාහිනිය වාර්තා කලේ ය. වර්ගවාදී මැරයන් විසින් මුස්ලිම්-විරෝධී ප්‍රචාරනය යොදාගන්නේ කෙසේදැයි මෙම සිද්ධිය පෙන්නුම් කරයි.

මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය සිදු කෙරීගෙන යන ස්ථාන කිහිපයකට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ කිහිප දෙනෙකු සමග කතා කල හ.

ලෝසවෙඅට කතා කල පුද්ගලයෝ ත්‍රස්තවාදී ප්‍රහාරය කෙරෙහි කෝපයත් අහිංසක මිනිසුන් ඉලක්ක කරගන්නා මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය කෙරෙහි බියත් පල කල හ. පාලක ප්‍රභූවේ උද්ඝෝෂනය මර්දන පියවරයන් ශක්තිමත් කිරීමටත් වැඩකරන ජනයා වාර්ගික රේඛා ඔස්සේ බෙදීමටත් යොමු වී ඇති බව ගැන ඔවුන්ගෙන් බොහෝ දෙනා දැනුවත්ය.

හලාවත ප්‍රදේශයේ ගුරුවරියක් මෙසේ කීවා ය: “කවුරුන් මෙම අපරාධය (ත්‍රස්තවාදී ප්‍රහාරය) සිදු කලත් විඳවන්නෙ සාමාන්‍ය මිනිස්සු. අපිට පාරෙ බැහැල යන්න බැහැ. අපිට රෝහලකට යන්න බැහැ. හැමදෙනා ම අපි දිහා බලන්නෙ සැකෙන්. ඒත් අපිට අපේ ගමේ කතෝලික ජනතාවත් එක්ක ගැටලුවක් නැහැ, අපි සාමයෙන් ජීවත් වෙනවා.”

ප්‍රහාර පිලිබඳ විමර්ශනයන්ට “සහයෝගය” දීමට එෆ්බීඅයි කන්ඩායමක් පැමිනීම ගැන සඳහන් කරමින් ඇය කීවේ එක්සත් ජනපදය මෙම තත්ත්වය තම වාසියට ගසා කා ඇති බව යි. ඇය මෙසේ ද කීවා ය: “මැද පෙරදිග ආක්‍රමනය කරල සමාජයන් විනාශ කලේ එක්සත් ජනපදය.”

කම්කරුවන්ගේ අරගල මැඩීමට හදිසි නීතිය හා මර්දනය ආන්ඩුව විසින් යොදා ගනු ඇත. මාර්තු මාසයේ පැවති ගුරුවරුන්ගේ එක්දින වර්ජනය ගැන සඳහන් කරමින් ඇය කීවේ: “අපේ වැටුප් ඉල්ලීම ජයගැනීමට සිංහල, මුස්ලිම් හා දෙමල යන සියලුම ගුරුවරු වර්ජනය කලා. වැටුප් අරගලය හා ගුරුවරුන්ගේ අනෙකුත් ප්‍රශ්න ගැන දැන් වෘත්තීය සමිති මුලුමනින් ම නිහඬ යි.”

එම ප්‍රදේශයේ ම තරුන ඉංජිනේරුවෙක් සඳහන් කලේ උපාධිය නිම කිරීමෙන් පසු පුද්ගලික ආයතනයක වැඩ කල බවත් ප්‍රමානවත් වැටුපක් නො ලැබීම නිසා ඉන් ඉල්ලා අස්වූ බවත් ය. “දැන් පවතින තත්ත්වය යටතේ මම මුස්ලිම් නිසා රැකියාවක් හොයාගන්න අමාරු යි. සියලුම මුස්ලිම් ජනයා ත්‍රස්තවාදීන් කියල පෙන්නුම් කරන ප්‍රවෘත්ති වාර්තා සමාජ මාධ්‍යවල තියෙනව.”

කලුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම අසල දර්ගා නගරයේ සිදුකල සෝදිසි මෙහෙයුම්වලදී බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් සමහරක් දෙනා අත්අඩංගුවට ගන්නා ලද්දේ බොරු චෝදනා මත ය.

දර්ගා නගරයේ, අලුත්ගම හා බේරුවල බහුතර ජනයා මුස්ලිම්වරුන් ය. 2014 ජුනි මාසයේ දෙදෙනෙකු මරා දමමින් අන්තවාදී බොදු බල සේනා සංවිධානය විසින් මෙහෙයවූ මැර ප්‍රහාරයට ඔවුහු මුහුන දුන් හ.

ප්‍රදේශයේ එක් පුද්ගලයෙක් සඳහන් කලේ ඔහු කලින් පන්සල්වලින් සිවුරු රෙදි හා පාත්තර මිල දී ගෙන ඒවා තොග කඩවලට විකිනීමේ නිරත වූ බව යි. ඔහුගේ පියා ද එම වෙලඳාමේ නිරත වුනි. එම වෙලඳාමේ නිරත වන සමහර ව්‍යාපාරිකයන් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු කීවේ ය. එය, මුස්ලිම්වරුන් සිවුරු රෙදි තබාගෙන සිටින්නේ ඒවා ඇඳගෙන ඇවිත් පන්සල්වලට පහර දීමට යයි ප්‍රචාරනය කොට බෞද්ධයන් ව මුස්ලිම්වරුන්ට එරෙහි ව උසිගැන්වීමේ ප්‍රයත්නයක් බව ඔහු කීවේ ය.

“අන්තවාදීන් ත්‍රස්තවාදී ප්‍රහාර යොදාගන්නෙ වර්ගවාදය අවුස්සන්න, ඒත් අපි සමගියෙන් ජීවත් වෙනවා. 2014දි අපිට පහර දෙනකොට සිංහල බෞද්ධ කට්ටිය ඒකට විරුද්ධ වුනා මට මතක යි. ඒවගේ ක්‍රම යොදාගෙන ප්‍රශ්න විසඳන්න බැහැ.”

රෙදිපිලි ව්‍යාපාරිකයෙක්: “අන්තවාදය කියන්නෙ දේශපාලන ව්‍යාපාරයක්. සංචාරක කර්මාන්තය කඩා වැටිච්ච හින්ද මගේ ව්‍යාපාරයක් කඩං වැටිල තියෙන්නෙ. මම යූඑන්පී එකට සහයෝගය දුන්න. දැන් මම එක පක්ෂයකට වත් සහයෝගය දෙන්නෙ නැහැ. අවුරුදු 70 ක් රට පාලනය කරපු අය මේ තත්ත්වෙට වග කියන්න ඕන. දැන් මිනිස්සුන්ට විකල්පයක් අවශ්‍ය යි.”

ආරක්ෂක හමුදාවන් හා මාධ්‍ය මුස්ලිම් වැසියන්ට එරෙහි ව ප්‍රකෝපකාරීත්වයක් නිර්මානය කලේ කෙසේදැයි මිනිසුන් කන්ඩායමක් විස්තර කල හ. ස්නාපුල පාරේ තරුනයෙක් මැද පෙරදිග සේවය කරද්දී විවිධ සමාගම් විසින් නිකුත් කල හැඳුනුම්පත් 18 ක් ලඟ තබාගෙන සිටීම නිසා අත්අඩංගුවට ගත් බව ඔවුහු කීවෝ ය. “අත්අඩංගුවට ගන්න හේතුව හැඳුනුම්පත්වල විස්තර අරාබි භාෂාවෙන් තිබිච්ච එක. ඔහු ලඟ තියෙන වැලිපිටියෙ පල්ලියට අරන් ගිහිල්ල වීඩියෝ කලා, මාධ්‍ය ප්‍රචාරනය කලා හැඳුනුම්පත් 18 ක් එක්ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්ත කියල. මුස්ලිම් දේවස්ථාන ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධයි කියල ඔවුන් බොරු කිව්ව.” අත්අඩංගුවට ගත් පුද්ලයා පසුව නිදහස් කෙරුනි.

සාම්ප්‍රදායික ඇඳුම ඇඳගෙන සිටීම නිසා ස්නාපුල පාරේ මුස්ලිම් කාන්තාවක් අත්අඩංගුවට ගන්නා ලදී. මිනිසුන් කිහිප දෙනෙකුගේ මැදිහත් වීමෙන් පසුව පමනක් ඇය ව නිදහස් කෙරුනි. කලු ඇඳුම හෝ හිජාබය ඇඳගෙන යාම හේතුවෙන් ඔවුන්ට ප්‍රදේශයේ රෝහල්වලට ඇතුලුවීමට අවසර ලබා නො දේ.

“ඉස්ලාමීය සහෝදරත්වය හා මුස්ලිම් සමාජය” කෘතියේ කතුවරයා මෙසේ කී ය: “අද මුස්ලිම් සමාජය ජීවත් වෙන්නෙ කලකිරීමකින් හා පීඩනයකින්. බොදු බල සේනා කියන්නෙත් තවුහීත් ජමාත් වගේ මූලධර්මවාදී සංවිධානයක්. මේ සංවිධාන වැඩ කරන්නෙ අවුරුදු සිය ගනනක් සමගියෙන් ජීවත් වෙච්ච සමාජයක් බෙදන්න.”

කොලඹ හා තදාසන්න ප්‍රදේශයක පිහිටා ඇති “අඩු ආදායම් ලාභී මහල් නිවාස” දෙකක් වන ග්‍රෑන්ඞ්පාස්හි සිරිමුතු මහල් හා සාලමුල්ලේ ලක්සඳ තට්ටු නිවාස වැසියන් ලෝසවෙඅ වාර්තාකරුවන්ට කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරයේ නිලධාරීන් ඔවුන්ට නිවාසවලින් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව යි. එම නිලධාරීන් “ආරක්ෂක හේතූන්” ගෙනහැර දැක්වී ය. ලක්සඳ මහල් නිවාසයේ ජල සැපයුම බලධාරීන් විසින් කපා හැරිය ද නිවැසියන් විරෝධතා පැවැත්වූ විට යලි එය ලබා දුනි. එහි බොහෝ වැසියන් මුස්ලිම් ජාතිකයන් ය.

ආරක්ෂක හමුදාවන් විශ්ව විද්‍යාල ද ඉලක්ක කර ඇත. අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහි වත් වඩා හොඳ පහසුකම් සඳහාත් පසුගිය මාසය වන තෙක් ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ අඛන්ඩ ව අරගලවල නිරත වූ හ. ආරක්ෂක මෙහෙයුම් සිදු කර ඇති විශ්ව විද්‍යාල අතරට යාපනය, පේරාදෙනිය, වයඹ හා රුහුන අයත් වේ.

උතුරේ යාපනය විශ්ව විද්‍යාලයට කඩා වැදුනු මිලිටරිය, පිරික්සීමේ මෙහෙයුම්වලින් පසුව මහා ශිෂ්‍ය සංගමයේ සභාපති එන්. දිවාකරන් හා ලේකම් එස්. බදිල්රාජ් මැයි 4 දා අත්අඩංගුවට ගත්තේ ය. අත්අඩංගුවට ගැනීමට ඉදිරිපත් කල ව්‍යාජ හේතුව වූයේ එල්ටීටීඊ නායක වී. ප්‍රභාකරන්ගේ ඡායාරූපය සහිත පෝස්ටර ශිෂ්‍ය සංගම් කාර්යාලයේ තිබීම යි. බෙදුම්වාදී සංවිධානය පරාජය කල 2009 දී හමුදා විසින් ප්‍රභාකරන් මරා දමන ලදී.

දැන් සැබෑ පුලුල් පින්තූරය දිගහැරෙමින් තිබේ. ඛේදවාචකයෙන් පසුව සමාජවාදී සමානතා පක්ෂය (සසප) කල අනතුරු ඇඟවීම මෙම වර්ධනයන් විසින් සනාථ කරයි. වර්ධනය වන ජාත්‍යන්තර පන්ති අරගලවල කොටසක් ලෙස අරගලවලට ඇදෙන කම්කරුවන්, තරුනයන් හා දුගීන්ට එරෙහි ව පොලිස් රාජ්‍යයක් දෙසට පියවර ගැනීම ජනාධිපති සිරිසේනගේ හා ආන්ඩුවේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ අර්ථය බවට සසප අනතුරු ඇඟවී ය. මුස්ලිම්-විරෝධී ප්‍රචාරනයේ හා ඊනියා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය යොදාගන්නේ මෙය වසං කිරීමට යි.

මුස්ලිම්වරුන්ට එරෙහි දඩයම තරයේ හෙලා දකිමින් එයට විරුද්ධ විය යුතු කම්කරු පන්තිය, සමාජවාදී පිලිවෙත්වල පදනම මත සිංහල, මුස්ලිම් හා දෙමල කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට ඒකාබද්ධ වී සටන් කල යුතු ය.

Share this article: