සමාජ අර්බුදය සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය පරිමාන පිපිරීම

The social crisis and the global eruption of US imperialism

2019 මැයි 9

වෙනිසියුලාවට ඔබ්බෙන් කැරිබියානු වෙරලේ සිට පර්සියානු බොක්ක දක්වා ද දකුනු චීන මුහුද දක්වා ද ආර්ටික් කවය දක්වා ද සෑම තැනකම ප්‍රකෝපකරනයන් ප්‍රදර්ශනය කරමින් ද හමුදා තර්ජන එල්ල කරමින්ද එක්සත් ජනපද (එජ) රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පසුගිය සතිය ගත කලේය.

තම සෑම ක්‍රියාවකටම දිව්‍යමය ආවේශය කියාපාන හිටපු යුද ටැංකි මැරවර කපිතාන් පොම්පියෝ අඟහරුවාදා තම මෑතම ප්‍රකෝපකරනය ප්‍රදර්ශනය කලේ ජර්මානු චාන්සලර්වරිය සමග නියමිතව තිබුනු මුන ගැසීම අහෝසි කරමින් බැග්ඩෑඩයට පියාසර කිරීම මගින් ය. ඉරානයට එරෙහි එජ යුද සූදානම වැඩි දියුනු කිරීමට පිටුබලය ලබා ගැනීමට ඉරාක ආන්ඩුවට තම බලය භාවිතා කිරීමේ ප්‍රයත්නයක් ලෙස ඔහු රහසිගතව ඉරාක අගනුවරට පියාසර කලේය. ඉරාක සැපයුම් “විවිධායනයේ” නාමයෙන් එක්සොන් සමාගම සහ අනෙකුත් එජ බලශක්ති සංගත සඳහා තව දුරටත් සහන ඩැහැ ගැනීමට බල කිරීම ඔහුගේ සංචාරයේ තවත් අරමුනක් විය.

ඉරාක සංචාරය ද්විත්ව අරමුනු සහිත වූයේ මැද පෙරදිග එජ යුද තත්වය ගොඩ නැගීම සහ ජර්මනිය නොසලකා හැරීම ලෙසය. වෙලඳ ගනුදෙනු ද ඉරානය පිලිබඳව සිට නෝඞ්ස්ට්‍රීම් 2 රුසියානු ගෑස් නල ව්‍යාපෘතිය දක්වාද පරාසයක ගැටලු රාශියක් මත ජර්මනිය සමග වොෂින්ටනයට මත භේද පවතී.

එක්සත් ජනපදය, රුසියාව, චීනය, මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රන්සය සමග ටෙහෙරානය අත්සන් කල 2015 ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් නොහොත් ජේසීපීඕඒ (JCPOA) එජ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඒකපාර්ශවීයව ඉවත් වීමෙන් බදාදා වනවිට වසරක් ගත විය. ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිලිවෙල බරපතල ලෙස සීමා කෙරුනු මෙම ගිවිසුම වොෂින්ටනය සහ එහි සගයින් විසින් පනවන ලද ආර්ථිකය අඩපන කරන සම්බාධක ඉවත් කිරීම වෙනුවෙන් දෘඩතර පරීක්ෂන යාන්ත්‍රනයක් ආරම්භ කලේය.

එතැන් පටන්, වොෂින්ටනය විසින් යුද්ධයකට සමාන පරිමාවක දේශසීමාවෙන් පිටත සහ නීති විරෝධී සම්බාධකයන්හි යාන්ත්‍රනයක් මගින් ඉරානය ස්ථාවරව සිර කරන ලදී. මේවාහි අරමුන වන්නේ ටෙහෙරානයේ රූකඩ ආන්ඩුවක් ඇටවීමේ එජ එල්ලය සැපිරීම සඳහා ඉරාන තෙල් අපනයන නවතා දැමීමටත් ලෝක මූල්‍ය පද්ධතියෙන් රට කපා හැරීමටත් ආර්ථිකය කුඩු පට්ටම් කිරීමටත් ය.

පොම්පියෝ සහ එජ බලධරයෝ උදම් ඇනුවේ ටෙහෙරානයට යන්තමින් හෝ සම්බන්ධ කල හැකි කලාපයේ “එජ උත්සුකයන්ට” කුමන හෝ ගනන් බැලෙන තර්ජනයක් දැවැන්ත ලෙස අභිභවා යාම මගින් ප්‍රතිචාරය දැක්වීමට එජ අධිරාජ්‍යවාදය “මුලුමනින්ම සූදානම්” බවේ සාක්ෂියක් ලෙස න්‍යෂ්ටික බලයක් සහිත බී-22 ප්‍රහාරක ගුවන් යානා බලසේනාංකයක් සමග යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන් යුද ප්‍රහාරක නෞකා සහිත සේනාංකයක් පර්සියානු බොක්කට පිටත් කර යැවූ බවයි.

ඉරාකය මෙන් ප්‍රමානයෙන් හතර ගුනයක් ද ජනගහනය මෙන් දෙගුනයක් ද ඉක්ම වූ ඉරානය සමග එජය කෙදිනකවත් සමස්ථ යුද්ධයක ආසන්නයට නොඑලඹිනි. මිලියනයක් ඝාතනය කරමින්ද සමස්ථ මැදපෙරදිගම කලඹමින් කලාපයේ අවසාන දැවැන්ත හමුදා මැදිහත් වීම එක්සත් ජනපදය ඉරාකය තුල සිදු කලේය. නව යුද්ධයක් සමස්ථ කලාපයම වෙලා ගනිමින්, තුන්වන ලෝක යුද්ධයක පෙර නිමිති දක්වන වොෂින්ටනයේ “මහා බල” ප්‍රතිමල්ලවයන් අනිවාර්යයෙන් මේ තුලට ආකර්ශනය කෙරෙනු ඇත.

මැද පෙරදිග නව හමුදා ගැටුමක් අග්නිජාලාවක අද්දරට ඇදගෙන යන විටදී පවා, වොෂින්ටනය වෙනිසියුලාවට එරෙහිව හමුදා ක්‍රියාන්විතයන් මගින් තර්ජනය කරමින් සිටියි. මේ සමගම පොම්පියෝ ඉරිදා තදින්ම කියා සිටියේ දකුනු ඇමරිකානු රට තුල සෘජු එජ තන්ත්‍ර මාරුව ඉරානය තුල කුරිරු එජ සම්බාධකයන්හි එල්ලයේදී මෙන්ම “නීතිමය” වන බව යි.

මේ අතරතුර ඉරාකයට පියාසර කිරීමට පෙර පොම්පියෝ ආර්ක්ටික් හි කලාපීය රටවල සම්මේලනයකට ෆින්ලන්තය තුල සහභාගි වෙමින් සිටියේ ය. මෙහිදී ඔහු කලාපය තුල බීජිනය විසින් “ජාතික ආරක්ෂක අරමුනු” හඹායන බවටත් මොස්කව් විසින් “ආර්ක්ටික් හි ආක්‍රමකාරී හැසිරීමක ප්‍රවනතාවන්” සිදු කරමින් සිටින බවටත් හෙලා දැක්කේය. ඔහු වයඹ තීරුවෙහි ( Northwest Passage) හි පාලනය පිලිබඳව කැනඩාවට පවා අනතුරු ඇඟවීය. නව මුහුදු මාර්ග විවෘත කිරීම සඳහා ධ්‍රැව ප්‍රදේශයේ අයිස් දියවීමත් දැවැන්ත ඛනිජ සම්පත් සූරාකෑමේ විභවය ගැනත් ජය පතන අතර, පොම්පියෝ දේශගුනික විපර්යාසය ගැන යොමුවක් සඳහා අඩංගු වී පැවති හෙයින් ආර්ක්ටික් රටවල් පිලිබඳ ඒකාබද්ධ ප්‍රකාශනය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කලේය.

සිකුරාදා වන විට චීන භාන්ඩවලට තීරුබදු සියයට 25 කින් වැඩි කිරීමට එජය සූදානම් වීමත් එයට එරෙහිව චීනය ප්‍රතිඋත්තර දීමට අදිටන් කිරීමත් සමග චීනය සමග අභිමුඛ වීම භයානක ලෙස වැඩි දියුනු වෙමින් පවතියි. පරිපූර්න වෙලඳ යුද්ධයක් දක්වා මෙම ධාවනය මධ්‍යයේ දී, එජය චීනයේ යාබද නන්ෂා දූපත් අසබට මුහුදට නැවතත් යුද නෞකා දෙකක් පිටත් කර යැවීය. ඊනියා “නාවික ගමනාගමනයේ නිදහස” ට මුවා වී සිදු කෙරෙන මෙම ක්‍රියාන්විතය තුඩු දෙනු ඇත්තේ ආයුධ ගැටුමක් දක්වා වර්ධනය විය හැකි හමුදා ප්‍රකෝපකරනයකට ය.

වැඩි වැඩියෙන් ලෝක දේශපාලනය අද දින පෙන්නුම් කරන්නේ පලමු සහ දෙවන ලෝක යුද්ධ වලට පෙරාතුව පැවැති තත්වයන්ටයි. මෙම කාලය තුල ලියොන් ට්‍රොට්ස්කි අනතුරු ඇඟවූයේ ඉතිහාසය “ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිනිකඳු පිපිරීමක් සමග මුහුනට මුහුන ලෑමකට මානව සංහතිය ඇදගෙන යමින් සිටින” බවයි.

ගෝලීය යුද්ධයක් වනාහි ට්‍රම්ප්, පොම්පියෝ, පෙන්ස් සහ බෝල්ටන් වැන්නවුන්ගේ නිකම්ම උමතු දෘෂ්ටියක නිෂ්පාදිතයක් නොව අර්බුද-ග්‍රස්ථ ධනවාදී පර්යායේ අති මූලික පරස්පරයන්ගෙන් පැන නගින්නක් වෙයි - එනම් එක් අතකින් ලෝක ආර්ථිකය සහ යල් පැන ගිය ජාතික රාජ්‍ය පද්ධතිය අතර ද අනෙක් අතින් සමාජගත වූ නිෂ්පාදනය සහ නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය ද වෙයි.

පසුගිය සියවස් කාර්තුව පුරා නො නවතින යුද්ධවල නිරත වෙමින්, එක්සත් ජනපද ධනවාදය, එහි ඇදවැටෙමින් පවතින ගෝලීය ආධිපත්‍යය මිලිටරි විධික්‍රමවලින් හිලවු කරගැනීමට උත්සාහ දරා ඇත. ආර්ථිකයේ භාෂිතයන්ගෙන් ගත් කල, ධනපති පාලක පන්තිය එහි සියලු පිලිවෙත් දිශාගත කර ඇත්තේ කොටස් වෙලඳපොලේ නැගීම දිගට ම පවත්වා ගැනීම හා 2008 මූල්‍ය අර්බුදයේ පුනර්කරනය වීමක් වැලැක්වීම දෙසට ය. මුල්‍ය වෙලඳපොලේ උපාමාරු හා සමපේක්ෂනයේ උදවුවෙන් නො නැවතී ලාබ සමුච්ඡය කරගැනීම දිරිමත් කිරීම සහතික කරන එකම දෙය වන්නේ, මීලඟ මූල්‍ය හා ආර්ථික කඩා වැටීම සියල්ලටත් වඩා විනාශකාරී වනු ඇති බව ය.

මෙහි සමාජ බලපෑම් මොනවා ද? එක්සත් ජනපද කම්කරුවන්, දශක තුනකට වැඩි කලක් තිස්සේ සැබෑ වැටුප්වල ඉහල යාමක් දැකගෙන නැති කොන්දේසි යටතේ, මූල්‍ය පරපුටු බවේ වර්ධනය සමාජ අසමානතාවේ යෝධ තීව්‍ර වීමකට හා සමාජ ආතතිය ඉහල යාමට හේතු වී ඇත. මෙය තුඩු දෙමින් පවත්නේ, ගුරුවරුන්ගේ ජාතික පරිමාන වැඩ වර්ජන රැල්ල, තරුනයන්ගේ රැඩිකලීකරනය සහ වඩාත් මෑත දී මැයි 8දා ඌබර් රියදුරන්ගේ ගෝලීය ව සම්බන්ධීකෘත වර්ජනය විසින් පිලිබිඹු කරන පරිදි, පන්ති අරගලයේ නැගීමකට යි.

ට්‍රම්ප් හා රිපබ්ලිකානුවන් වේවා, ඩිමොක්‍රටික් පක්ෂයේ ඔවුන්ගේ ප්‍රකාශිත විරුද්ධවාදීන් වේවා, ධනපති පාලක ප්‍රභූවේ හා එහි දේශපාලන නියෝජිතයන්ගේ කිසිදු කන්ඩායමක් සතුව, තීව්‍ර වන මෙම ආර්ථික හා සමාජීය පරස්පර-විරෝධයන්ට “තාර්කික” විසඳුමක් නැත.

ඔවුන් ව ධාවනය කරනු ලැබෙන්නේ, රට තුල ආඥාදායක පාලන ක්‍රමවලට හැරීම හා මිලිටරි ප්‍රචන්ඩත්වයේ විධික්‍රමයෙන් අභ්‍යන්තර ආතතීන් පිටතට අපසරනය කිරීම හරහා විසඳුමක් සොයාගැනීමට ය. කෙටියෙන් කිවහොත් ඔවුන් යුද්ධයක් කරා පිවිසෙමින් සිටියි. එය හරියට ම කවදා කොතැන පලමුව සිදු වේ ද යන්න තවමත් දැකගැනීමට පවතින දෙයකි.

එජ අධිරාජ්‍යවාදයේ අර්බුදයක් පවතියි. ගෝලීය හමුදා අභිමුඛවීමක් දෙසට එහි හැරීම මෙන්ම රට තුල සමාජ සහ දේශපාලන සන්දර්භය ප්‍රතිරාවය කරන්නේ 1930 දශකයේ දී යුද්ධයක් දක්වා ජර්මනියේ මුදුනේ සිටි නාසි ආන්ඩුව ඇදගෙන යනු ලැබූ අභ්‍යන්තර අර්බුදය වෙයි. හිට්ලර්ගේ තුන්වන රයිෂය (පාර්ලිමේන්තුව) යුද්ධය දිශාවට හැරීම පිලිබඳව තම Nazism, Fascism and the Working Class (නාසිවාදය, ෆැසිස්ට්වාදය සහ කම්කරු පන්තිය) යන කෘතිය තුල හිටපු ඉතිහාසඥයකු වූ ටිම් මේසන් මෙසේ ලිවීය:

1937 ග්‍රීෂ්ම ඍතුවෙන් අනතුරුව රයිෂය තුල ආර්ථික, සමාජ සහ දේශපාලන ආතතීන් ස්ථාවරව නරක අතට හැරිනි; එහි තාක්ෂනික අන්තර්ගතය පිලිබඳව කිසිවක් හිට්ලර් තමාම අවබෝධ නොකලා යයි පැවසීම වඩා සුදුසු යැයි පෙනෙන අතර, මේවාහි පැවැත්ම ගැන ඔහුට දැනුම් දුන් බවත් මේවාහි බරපතල කම ගැන ඔහු දැනගෙන සිටි බවත් සනාථ කල හැක. මෙම මහා අර්බුදය සහ වඩාත් ගතික විදේශීය ප්‍රතිපත්තියක අවශ්‍යතාවය අතර හිට්ලර්ගේ සිතෙහි දැනුවත් සම්බන්දයක් 1937-38 ශීත ඍතුවේ දී නොපැවති බව මෙතෙක් තහවුරු කිරීමට නොහැකි වූයේ නම් මෙම කාරනා දෙක අතර ක්‍රියාත්මක වෙන සබඳතාවය කෙසේ වෙතත් යෝජනා විය....

ඒකාධිපතිත්වය සහ ආයුධ සන්නද්ධ වීමේ මෙම තන්ත්‍රය ට පවත්නා එකම මාර්ගය නම් තවතවත් ඒකාධිපතිත්වය සහ යලියලිත් ආයුධ සන්නද්ධ විම යි; ඉක්බිති යුද්ධය සහ ත්‍රස්තය, කොල්ලය සහ වහල් කර ගැනිමයි. ඝෝර වූ ද , නිරතුරුව පැවතියා වූද විකල්පය වනාහි ව්‍යසනය සහ වියවුලයි. සියලු විසඳුම් තාවකාලික, ව්‍යාකූල, අතින් කටට ආකාරයේ රුදුරු තේමාවන් වටා වැඩි වැඩියෙන් ම්ලෙඡ්ච අටවා ගැනීම් විය.

වෙනස් කිරීමට අවශ්‍ය දේ වෙනස් කරමින් අඥාන පොම්පියෝ දකුනු අමරිකාවේ පටන් ආක්ටික්ද මැද පෙරදිග ද දක්වා, තමා යන යන තැන යුද්ධය සහ අර්ථික විනාශය කඩාපාත් කිරීමට තර්ජනය කරමින් ඒ සමගම “අස්ථිර, අවුල් සහගත සහ අතින් කටට වේල පිරිමහ ගන්නා” ට්‍රම්ප් පාලනාධිකාරයේ පිලිවෙත්ම තහවුරු කරයි. ඉරානය සහ වෙනිසියුලාව යටත් කර ගැනීමට යොදා ගත් ඒ රටවල මහජනයා කුසගින්නේ තැබීම ආදියේ සිට යේමනයට එරෙහිව යොදාගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ආධාර හා අනුග්‍රහලත් මිලිටරිය විසින් සිදු කල මහා ජනඝාතන ආදියේ සිට භූගෝල පරිමාන මහා යුද්ධයක තර්ජනය දක්වා මෘග, “ම්ලේඡ්ච”, ගැට ගසාගත් විසඳුම් සමග ඒවා බැදී පවතියි.

දැන් වන තුරු, යුද්ධයට එරෙහිව මොනයම්ම හෝ සංවිධිත ප්‍රතිරෝධයක් නැතැයි විශ්වාස කරමින් ඇමරිකානු මහජනතාවට හොරෙන් එජ පාලක පන්තියට ගෝලීය ප්‍රකෝපකරනයක් සැලසුම් කිරීමට හැකි වී ඇත. එහෙත් පන්ති අරගලය වැඩි දියුනු වීමත් සමග, මහජන යුද-විරෝධී මනෝගතිය අනිවාර්යයෙන්ම සක්‍රීය රූපාකාරයන් අත්පත් කර ගනිමින්, සමාජ අසමානතාවයට ද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට එරෙහි ප්‍රහාර වලට ඇති කම්කරු පන්තියේ මතු වෙමින් පවතින විරෝධය සමග සම්බන්ධ වනු ඇත.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පුපුරායාම පිටුපස ඇති පරස්පර විරෝධයන් පාලක පන්තියේ යුද උන්මාදයේ දැනුවත් ක්‍රියාකාරී ඩිමොක්‍රටික් පක්ෂයේ රාමුව තුල ජය ගත නොහැක. යුද්ධයට එරෙහි සටන වනාහි සමාජවාදය සඳහා සටනක් වන අතර සමාජවාදය සඳහා සටන වනාහි යුද්ධයට එරෙහි සටනකි. ජාත්‍යන්තර කම්කරු පන්තියට අනුබද්ධ වී, එය විසින්ම මෙහෙයවනු ලබන සහ ධනපති ක්‍රමය පෙරලා දැමීම දෙසට යොමු කෙරෙන බහුජන සමාජ ව්‍යාපාරයක් වර්ධනය කිරීම මගින් පමනකි නව ලෝක යුද්ධයක් දෙසට ධාවනය නතර කල හැක්කේ.

බිල් වෑන් ඕකන්

Share this article: