එක්සත් ජනපදය ඉරානයට යුද තර්ජන එල්ල කරයි

US threatens Iran with war

2019 මැයි 7

එක්සත් ජනපදයේ බෝම්බ හා මිසයිල වරුසාවන් ඉක්මනින් ම ඉරානය මත පතිත කරනු ඇති ද? එක්සත් ජනපදයේ අනෙකුත් යුදවාදී ක්‍රියාකාරකම් ද සමගින්, වොෂින්ටනය, ඉරානය මතට පහර දීමට සූදානම් ය යන “පැහැදිලි හා වරද්දා නො ගත යුතු පනිවුඩය” යැවීමේ ප්‍රකාශිත ඉලක්කය සහිත ව එක්සත් ජනපද යුද යානා හා ගුවන් යානා ගෙන යන ප්‍රහාරක කන්ඩායමක් පර්සියානු ගල්ෆ් කලාපයට යැවීම, විනාශකාරී යුද්ධයක් ජනනය කල හැකි හා බොහෝ දුරට එසේ කරනු ඇති ප්‍රකෝපකාරීත්වයක් සඳහා සූදානම් වීම් ඉතා ඉහල බව පෙන්නුම් කරයි.

ඉරානයට තර්ජනය කිරීම සඳහා, යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ගෙන යන නෞකාව හා එක්සත් ජනපද ගුවන් හමුදා බෝම්බ හෙලන යානා දිගේලි කරමින් තිබෙන බව, මැයි 5දා සවස එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් නිවේදනය කලේ ය. “කරදරකාරී හා තීව්‍ර වන ඉඟි කිරීම් හා අනතුරු ඇඟවීම්” තිබෙන බව කියා පෑ බෝල්ටන්, “එක්සත් ජනපදයේ හෝ අපේ මිතුරන්ගේ අවශ්‍යතා මත එල්ල වන ඕනෑම ප්‍රහාරයක් කුරිරු බලයට මුහුන දෙනු ඇත” යි සපථ කලේ ය. “කුලීභටයන්, ඉස්ලාමීය විප්ලවවාදී හමුදා භටයන් හෝ ඉරාන සාමාන්‍ය හමුදාවන් විසින් එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට අප සම්පූර්නයෙන් සූදානම්” බව බෝල්ටන් වැඩිදුරටත් කීවේ ය.

බෝල්ටන්ගේ තර්ජන, ඔහුගේ ඉරාන විරෝධී යුදවාදී සගයා වන එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් ප්‍රතිරාවය කලේ ය. ඉරාකයේ ෂියා සටන්කාමීන්ගේ හා යේමනයේ හවුති සටන්කරුවන්ගේ සිට පලස්තීනයේ හමාස් හා ලෙබනනයේ හෙස්බුල්ලා කන්ඩායම් දක්වා, ටෙහ්රානය පිටුබලය දෙන්නේ යයි වොෂින්ටනය පහර දෙන දීර්ඝ හා විවිධාකාර කන්ඩායම් ලැයිස්තුවක් විසින් එක්සත් ජනපදයේ හෝ එහි සගයන්ගේ “අවශ්‍යතා” මත එල්ල කරන ඕනෑම “ප්‍රහාරයක්”, ඉරානයට එරෙහි ව සිදු කල හැකි මිලිටරි ක්‍රියාවක් දුරදිග යන ලෙස සාධාරනීකරනය කිරීමක් ඔහු විසින් ද ඉදිරියට දැමී ය.

“ඇමරිකානු අවශ්‍යතා මත එල්ල කරන ප්‍රහාර සඳහා අපි ඉරාන ජාතිකයන්ට චෝදනා කරන්නෙමු” යි මැයි 5දා පසු භාගයේ පොම්පියෝ වාර්තාකරුවන්ට කීවේ ය. “ෂියා සටන්කාමීන් වේවා හවුති හෝ හෙස්බුල්ලාවරුන් වේවා යම් තෙවන කුලීකාර පාර්ශවයක් විසින් එය කල ද මෙම ක්‍රියාවන් සිදුවීම යන කරුන නිසා ම අපි ඉරාන ජාතිකයන්ට -ඉරාන නායකත්වයට- චෝදනා කරනවා.”

මෙම “අනතුරු ඇඟවීම්” සමගින්, වොෂින්ටනය තෝරා ගන්නා වේලාවක දී ඉරානයට එරෙහි ව යුද්ධය දියත් කිරීමට ව්‍යාජ නිමිත්තක් නිපදවීමේ බලපත්‍රය එය විසින් ප්‍රකාශයට පත් කොට ඇත.

එක්සත් ජනපදයේ හා එහි සගයන්ගේ “අවශ්‍යතා” මත එල්ල කරන “ප්‍රහාරයකට”, ඉරාකයේ විවිධාකාර ෂියා සටන්කාමී කන්ඩායම්වලින් එකක් හා එහි රඳවා ඇති එක්සත් ජනපද භටයන් 5,500න් ඕනෑම කන්ඩායමක් අතර ගැටුමක සිට ගාසා තීරයේ සිට දිගේලි කරන දල රොකට්ටුවක් හේතුවෙන් ඊස්රායල-ඇමරිකානු පුරවැසියෙකුගේ මරනය දක්වා වන ඕනෑම දෙයක් තථ්‍ය වසයෙන් යොදාගත හැක.

ට්‍රම්ප්ගේ “ඉවත් කරගැනීමේ” නිවේදන නො තකා එක්සත් ජනපද විශේෂ හමුදා භටයන් හා එහි කුලීකාර හමුදාවන් වාඩිලාගෙන සිටින බොහෝ කොටසක් සහිත සිරියාව තුල, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක හමුදාව සහයෝගය දෙන සටන්කාමීන් ව එක්සත් ජනපද මිලිටරිය විසින් නිරන්තරයෙන් ඉලක්ක කරනු ලබයි. මෙම සටන්කාමීන් එක්සත් ජනපද හමුදාවන්ට සමීප ව රැඳී සිටින තතු තුල, පෙන්ටගනයට හෝ සීඅයිඒ සංවිධානයට ඕනෑම මොහොතක ප්‍රහාරයක් එල්ල කොට ඉන් ප්‍රතිඵල වන ගැටුම ඉරාන “ප්‍රහාරයක්” ලෙස හංවඩු ගැසිය හැකි ය.

වොෂින්ටනයේ ක්‍රියාවන්ගේ ඉව බව නැති හා අපරාධකාරී ස්වභාවය අතිශයෝක්තියට නැංවීම අවශ්‍ය නැත. 1991 සිට මැද පෙරදිග කලාපය තුල එක්සත් ජනපදය නායකත්වය දී හා අවුලුවා ඇති නීති-විරෝධී යුද්ධ මාලාවක ප්‍රතිඵලයක් ලෙස එම කලාපය දැනට මත් ගිනි ගනී. ඉරාකයට වඩා බොහෝ සෙයින් විශාල හා ජනගහනය වැඩි රටක් වන ඉරානය මත එල්ල කරන එක්සත් ජනපද ප්‍රහාරයකට, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ කනිෂ්ට සහකරුවන් ලෙස තමන්ගේ ම කොල්ලකාරී අවශ්‍යතා ලුහුබඳින ඊස්රායලය හා සවුදි අරාබිය ද සිරියාව, හෙස්බුල්ලාවරු, ඉරාක ෂියා සටන්කාමීන් හා ටෙහ්රානයේ අනෙකුත් සගයන් ද අතර කලාපීය යුද්ධයක් ඇවිලවීමේ හැකියාව හොඳින් ම ඇත.

තව ද එවැනි වහ්නිජාලාවක් ආරම්භයේ පටන් ම, යුරෝපීය අධිරාජ්‍යවාදීන් මෙන් ම වොෂින්ටනය දැන් තමන්ගේ ප්‍රධාන “මූලෝපායික හතුරන්” ලෙස නිල වසයෙන් නම් කරන මහා බලයන් වන රුසියාව හා චීනය ඈඳාගැනීමට තර්ජනය කරයි.

ලෝකයේ වඩාත් ම වැදගත් තෙල් අපනයනය කරන කලාපය ලෙස සහ යුරෝපය, ආසියාව හා අප්‍රිකාව අතර අසව්ව ලෙස ඇති මූලෝපායික වැදගත් කම ද නිසා මැද පෙරදිග දී සියලු අධිරාජ්‍යවාදී හා මහා බලයන් අන්තර්-ඡේදනය වන අතර, යුද්ධය හරහා එම කලාපය යලි බෙදාගැනීමේ දී සියල්ලන්ට ම යෝධ මූලෝපායික ඔට්ටු තැබීමක් කිරීමට සිදු වනු ඇත.

එක්සත් ජනපදය හා ඉරානය අතර යුද්ධය ඇමරිකාව ඇතුලත පන්ති සබඳතා මත යෝධ බලපෑමක් සිදුකරනු ඇත. යුද්ධයේ සමස්ත පිරිවැය කම්කරු පන්තිය මත පැටවීමට පාලක ප්‍රභූව උත්සාහ දරනු ඇති අතර, ක්ෂනික ව ඉස්මතු වනු ඇති මහජන විරුද්ධත්වය එය විසින් අපරාධකරනය කරනු ඇත. “එක්සත් ජනපදය ඉරාන තන්ත්‍රය සමග යුද්ධයකට උත්සාහ නො දරයි” යනුවෙන් මැයි 5 ප්‍රකාශයේ දී බෝල්ටන් කියා සිටියේ ය. මෙය විලිලජ්ජා රහිත පචයකි.

ජාත්‍යන්තර නීතිය යටතේ යුද්ධයට සමාන ක්‍රියාවක් සිදුකරමින්, ඉරානයේ ආර්ථිකය බිඳවැට්ටවීමේ හා ටෙහ්රානයේ තන්ත්‍ර-මාරුවක් සිදුකිරීමේ ඉලක්කය ඇති ව දුරදිග යන සම්බාධක එක්සත් ජනපදය විසින් ඉරානය මත පටවා ඇත.

ඔබාමා පරිපාලනය හා අනෙකුත් මහා බලයන් 2015 දී ඉරානය සමග එලඹුනු එක්සත් ජාතීන් අනුමත කල න්‍යෂ්ටික ගිවිසුම හෙවත් ජේසීපීඕඒ (ඒකාබද්ධ විස්තීර්න ක්‍රියා සැලසුම) නමැති ගිවිසුම පසුගිය මැයි මාසයේ දී ට්‍රම්ප් විසින් අවලංගු කලේ, ජාත්‍යන්තර පරමානුක බලශක්ති ඒජන්සිය සහ යුරෝපා සංගමය, බි්‍රතාන්‍යය, ප්‍රන්සය, ජර්මනිය, රුසියාව හා චීනය යන ගිවිසුමේ අනෙකුත් සියලු පාර්ශව එහි ප්‍රතිපාදනයන් ඉරානය විසින් අකුරට ම පිලිපැද තිබුනු බව තහවුරු කරද්දී ය.

ජේසීපීඕඒ ගිවිසුම විනාශ කරමින් ට්‍රම්ප් උදම් ඇනුවේ, 2011 පටන් එක්සත් ජනපදය හා යුරෝපා සගයන් ඉරානයේ තෙල් අපනයන බාගයකින් කපා දමමින් හා එහි විදේශ වෙලඳාම දුර්වල කරමින් පනවා තිබූ සම්බාධකවලටත් වඩා දරුනු සම්බාධක ඉක්මනින් ම පනවන බවට යි.

මැයි 2දා ට්‍රම්ප් පරිපාලනය ඉරානය මත එහි ආර්ථික යුද්ධය නාටකාකාර ලෙස උත්සන්න කලේ, ඉරාන තෙල් හා ස්වාභාවික වායු අපනයනය මත පූර්න තහනමක් බලාත්මක කිරීමට සපථ කරමිනි. නොවැම්බරයේ එය, ඉරානය ලෝක බැංකු පද්ධතියෙන් අවුරා දමමින් ඉරාන බලශක්ති අපනයන මත සම්බාධක යලි පනවද්දී, ඉරාන තෙල් හා ස්වාභාවික වායු අඩු කල ප්‍රමානයන්ගෙන් ආනයන කිරීමට රටවල් අටකට ඉඩ ලබා දෙමින් වොෂින්ටනය විසින් ලිහිල් කිරීමකට අවසර දෙනු ලැබීය.

චීනය, ඉන්දියාව, ජපානය හා තුර්කිය ඇතුලු ඉරාන බලශක්තිය ආනයන කරන ප්‍රධාන පාරිභෝගිකයන්ගේ විරෝධතා මධ්‍යයේ මැයි 2දා කල් ඉකුත් වූ මෙම ලිහිල් කිරීම් එකක වත් කාලය දීර්ඝ කිරීම ට්‍රම්ප්, බෝල්ටන් හා පොම්පියෝ විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

ඉරාන බලශක්ති අපනයන මුලුමනින් කපාහැරීමක් පැටවීමට දැන් වොෂින්ටනය කැප වී සිටී. ඉරානයේ විශාලතම තෙල් මිල දී ගන්නා රට වන චීනය ඇතුලු අනෙක් රටවලට, ලෝක මූල්‍ය පද්ධතිය මත ෆෙඩරල් රිසර්ව් මන්ඩලයේ හා වෝල් වීදියේ ආධිපත්‍යය මත පදනම් වන එක්සත් ජනපදයේ ද්විතීක සම්බාධකවල තර්ජනය සමගින්, එයට එකඟ වන ලෙස බල කරනු ලැබීමට නියමිත ය.

දීර්ඝ කාලයක් තිස්සේ දරිද්‍රතාව හා සමාජ අසමානතාව විසින් නරක අතට හරවා ඇති රටක් තුල විරැකියාව ඉහල දමමින් හා පසුගිය වසරේ වසන්ත සමයේ මිල ගනන්වල සියයට 50ක ඉහල යාමක් ජනනය කරමින්, එක්සත් ජනපද සම්බාධක දැනට මත් ඉරාන ආර්ථිකය මත විනාශකාරී බලපෑමක් ඇති කර තිබේ.

ලෝකය නො තකා ඉරානයට විරුද්ධ ව මිලිටරි ප්‍රකෝපකාරීත්වයකට වොෂින්ටනයේ සූදානම් වීම් සහ සම්පූර්න බැංකු හා බලශක්ති සම්බාධකයක් ප්‍රකාශයට පත්කිරීම, වොෂින්ටනය තමන්ට පමනක් වග කියමින් හතුරන්ට හා ප්‍රදර්ශනශීලී මිතුරන්ට එක සේ ආඥා පනවන බලයක් ලෙස ක්‍රියා කිරීම, ලොව පුරා එක්සත් ජනපද ආක්‍රමනය හා මිලිටරිවාදය නාටකාකාරී ලෙස පුපුරා යාමේ කොටසකි.

ට්‍රම්ප් පරිපාලනය ඉරානයට එරෙහි එහි ප්‍රහාරය තීව්‍ර කරමින් සිටින්නේ, වෙනිසියුලාවේ ඡන්දයෙන් පත් වූ ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහි තන්ත්‍ර-මාරු කුමන්ත්‍රනය සම්පූර්න කිරීමේ ඉලක්කය ඇති ව එරට මත මිලිටරි ප්‍රහාරයක් සඳහා තර්ජනය දිදුලවමිනි.

මේ සතියේ පැවැත්වෙන වෙලඳ සාකච්ඡාවල දී බීජිනය එක්සත් ජනපදයේ ඇනවීම්වලට එකඟ වීමට අපොහොසත් වුවහොත්, ඩොලර් බිලියන 200ක් වටිනා චීන භාන්ඩ මත වෙලඳ යුද බද්ද සියයට 25 තෙක් ඉහල දැමීමටත් ඩොලර් බිලියන 200ක් වටිනා චීන අපනයන මත අතිරේක බදු පැනවීමටත් ට්‍රම්ප් මැයි 5දා තර්ජනය කලේ ය. එමෙන් ම මැයි 6දා පෙන්ටගනයේ නවතම “නාවික නිදහස්” අභ්‍යාසයේ යෙදෙමින් හා ආක්‍රමනයේ තවදුර ක්‍රියාවක් සිදුකරමින් එක්සත් ජනපද යුද නැව් දකුනු චීන මුහුද අසල දූපත්වල යාත්‍රා කලේ ය. ඊට දී ඇති නම නො තකා මෙම අභ්‍යාසවල ඉලක්කය වන්නේ, චීන වෙරලට ඔබ්බෙන් යුද නැව් දිගේලි කිරීම පිනිස පෙන්ටගනයට ඇති “අයිතිය” තහවුරු කිරීම යි.

එහි ආර්ථික බලයේ පිරිහීම හිලවු කරගැනීමට උත්සාහයක් දරමින් 1991 සිට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දියත් කර ඇති යුද්ධ, එක්සත් ජනපදයේ ගෝලීය ආධිපත්‍යයෙහි ඛාදනය නැවැත්වීමට අසමත් ව ඇත. එහෙත් මූල්‍ය පරපුටුභාවයේ හා අපරාධකාරීත්වයේ ගිලී සිටින ඇමරිකානු පාලක පන්තියට, ආක්‍රමනය හා ප්‍රචන්ඩත්වය ඉහල දැමීම හැර වෙනත් ප්‍රතිචාරයක් නැත.

ටෙහ්රානය සමග මහා පරිමාන ගැටුමක බලපුලුවන්කාරකමේ හපන්කමද ඇතුලු ව විදෙස් පිලිවෙත සම්බන්ධ උපායික මතභේද ඩිමොක්‍රටිකයන්ට ට්‍රම්ප් සමග, තිබේ. එහෙත් ආක්‍රමනය හා යුද්ධය හරහා එක්සත් ජනපදයේ ගෝලීය ආධිපත්‍යය කරා ලුහුබැඳීමට ඔවුන් කැපවන්නේ අඩුවෙන් නො වේ. මිලිටරි-ඔත්තු සේවා යාන්ත්‍රනයේ කොටස් ද සමග එකතුව ඔවුන් නව-මැකාතිවාදී උද්ඝෝෂනයක් ට්‍රම්ප්ට එරෙහි ව දියත් කර ඇත්තේ, පරිපාලනය මත ආක්‍රමනකාරී රුසියානු-විරෝධී පිලිවෙතක් පැටවීමේ ඉලක්කය සහිත ව, රුසියාව සමග කල්ලි ගැසී ඇතැයි ඔහුට චෝදනා කරමිනි. බර්නි සෑන්ඩර්ස්ගේ මෑත චීන-විරෝධී ආක්‍රෝශ පරිභවය මගින් අවධාරනය කල පරිදි ඔවුහු බීජිනයට එරෙහි ට්‍රම්ප්ගේ ප්‍රහාරයට ද සහයෝගය දෙති.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වෘක රංචුවේ නායකයා පමනි. කුදුමහත් ලෙස වියරු වැටී යලි සන්නද්ධ වන යුරෝපීය අධිරාජ්‍යවාදී බලයෝ, කම්කරු පන්තිය බියවැද්දීමටත් මිලිටරිවාදය හා යුද්ධයට කොටසක් ගොනු කරගැනීමටත් අන්ත-දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී පක්ෂ වගාදිගා කරමින් සිටිති.

ස්ටැලින්වාදී නිලධරයන් විසින් ධනවාදය පුනස්ථාපනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නැගී ආ රුසියාවේ හා චීනයේ කතිපයාධිකාරී තන්ත්‍ර, මිලිටරි අතිවික්‍රමවාදය සහ වොෂින්ටනය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන් සමග ගනුදෙනුවකට එලැඹීම සඳහා වන මංමුලා සහගත උත්සාහයන් අතර පැදෙමින් ප්‍රතිගාමී ජාතිකවාදය ඔවුන්ගේ පැත්තෙන් අවුලුවති.

ඒ හා සමාන ව, ඉරානයේ ධනේශ්වර ජාතිකවාදී තන්ත්‍රයට අධිරාජ්‍යවාදී ආක්‍රමනයට පිලිතුරක් නැත. දැන් ඉරා දමා ඇති න්‍යෂ්ටික ගිවිසුම වනාහි, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග සබඳතා පුනස්ථාපනය කරගැනීම සඳහා එය දැරූ නවතම අසාර්ථක උත්සාහය වූවා පමනි. ෂියා ජනතාවාදය හා ජාතිකවාදය මත දෘෂ්ටිවාදාත්මක ව පදනම් වී ඇත්තා වූ හා ඉරාන ධනේශ්වරයේ පන්තිමය වරප්‍රසාද රැකීමට පේ වී ඇති ඉස්ලාමීය ජනරජය, අධිරාජ්‍යවාදයට එරෙහි ව මැද පෙරදිග ජනයා බලමුලුගැන්වීමට ඓන්ද්‍රීය ව ම අපොහොසත් ය.

අධිරාජ්‍යවාදී ආක්‍රමනයට හා යුද්ධයට විරුද්ධ වීමට, ධනවාදය හා එය ඓතිහාසික ව මුල් බැස ඇති යල් පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය පෙරලා දැමිය හැකි එකම සමාජ බලවේගය වන කම්කරු පන්තිය බලමුලුගැන්වීම අවශ්‍ය කරයි.

ප්‍රන්සයේ කහ කබා විරෝධතා, ඇල්ජීරියාවේ මහජන විරෝධතා, මෙක්සිකෝවේ මැටමොරොස් කම්කරුවන්ගේ කැරැල්ල සහ එක්සත් ජනපදයේ ගුරුවරුන්ගේ හා අනෙකුත් කම්කරුවන්ගේ වර්ජන රැල්ල මගින් ආදර්ශනය කරන ලොව පුරා පන්ති අරගලයේ පුනර්ජීවනය, අධිරාජ්‍යවාදයට හා යුද්ධයට එරෙහි ව කම්කරු පන්තිය නායකත්වය දෙන ගෝලීය ව්‍යාපාරයක ඉස්මතු වීමට අවශ්‍ය වෛෂයික පදනම නිර්මානය කරමින් තිබේ.

එවැනි ව්‍යාපාරයක්, ඓතිහාසික ව පීඩිත රටවල් වන ඉරානය හා වෙනිසියුලාවට එරෙහි එක්සත් ජනපද ආක්‍රමනයට එකහෙලා විරුද්ධ වෙමින් හා ඒවාට එරෙහි ඕනෑම හා සියලුම යුද සූදානම්වීම්වලට එරෙහි වෙමින් සියලු සම්බාධක වහා ම ඉවත් කිරීම සඳහා සටන් වැදිය යුතු ය.

ධනේශ්වරයේ සියලු දේශපාලන පක්ෂ හා සංවිධානවලට වන විරුද්ධත්වයේ පදනම මත, එය, යුද්ධයට එරෙහි අරගලය ධනවාදී කප්පාදුවට හා සමාජ අසමානතාවට එරෙහි ව ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලුගැන්වීමේ සටන සමග ඒකාබද්ධ කල යුතු ය.

කීත් ජෝන්ස්

Share this article: