ඉරානයට එරහි එජ යුද ධාවනය සහ යුරෝපය සමග ගැටුම

The US war drive against Iran and the conflict with Europe

2019 මැයි 17

එක්සත් ජනපද (එජ) යුද නැව් වේගයෙන් ඉරානය දෙසට ගමන් කරද්දී සහ පෙන්ටගනය කලාපය වෙත යුද භටයන් 120,000 යෙදවීම සම්බන්ධයෙන් සලකා බලත්දී, එජ සහ යුරෝපියානු සංගමය (යුස) අතර උග්‍ර ගැටුම් පුපුරා යමින් තිබේ.

සඳුදා, එජ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, බ්‍රසල්ස් හී පැවතී යුස විදේශීය අමාත්‍යවරුන්ගේ රැස්වීමකට අනාරාධිතව කඩා වැදී, ඉරානය තුල වොෂින්ටනයේ තන්ත්‍ර මාරු පිලිවෙතට පිටුබලය ලබා ගැනීම සඳහා, තම යුරෝපියානු “මිතුරන්ට” බලපෑම් කිරීමට උත්සාහ ගත්තේය. එදින ම ස්පාඤ්ඤ මාධ්‍ය, යුරෝපියානු හමුදාවක් ගොඩනැගීමට වන යුස සැලසුම් හෙලා දකින පෙන්ටගනයේ ලිපියක් සම්බන්ධයෙන් වාර්තා කලේය. යුස වෙත ලැබීමෙන් සති දෙකකට පසු ලිපිය හෙලිදරව් කිරීමට ගත් තීරනය, තියුනු යුද අර්බුදය සමග බැඳී පැවතුනි.

ලිපිය තුල පෙන්ටගනය ඍජුවම සිය අදහස් ප්‍රකාශ කරයි. යුස මිලිටරි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන් “දැඩිව සැලකිලිමත්” වන බව ප්‍රකාශ කරමින්, එජ-යුස සබඳතා වල “නාටකාකාර පසු බැස්මක් “ සම්බන්ධයෙන් අනතුරු ඇඟවූ එය යුරෝපියානු අවි නිෂ්පාදකයන් සමග ඇති සහයෝගීතාව බිඳ දැමීමට තර්ජනය කලේය. බර්ලීනය සහ පැරීසිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී, එක්සත් ජනපද නායකත්වයෙන් සිදු කෙරුනු නීති විරෝධී ඉරාක ආක්‍රමනයට ප්‍රසිද්ධියේ විරෝධය පල කල විට “වසර 15 ට පෙර අපගේ සබඳතාවයන් මත ආධිපත්‍ය පැතිරවූ යුරෝපියානු ආරක්ෂක මුල පිරීම් පිලිබඳ ආතති සහගත සාකච්ඡාවන්, යුස සැලසුම් විසින් නැවත මතුවිය හැකි” බව එය සඳහන් කලේ ය.

මෙවැනි තර්ජනයන්ගෙන් පැහැදිලි වන්නේ එජ-යුස ආතතීන් වලට, එජ විසින් වසරකට පෙර අත්හැර දමන 2015 ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට යුස සහය දිගටම ලබා දීම හෝ යුරෝපියානු මෝටර් රථ අපනයනයන්ට තීරු බදු පැනවීමට ට්‍රම්ප් තර්ජනය කිරීම යන කරුනු වලට වඩා වැඩි කරුනු හේතු වී ඇති බවයි.

යුද්ධයෙන් වසර හතරකට පසුව 1949 දී පිහිටුවන ලද නේටෝ ව, පශ්චාත් දෙවන ලෝක යුද පර්යායේ එක ආධාරකයක් වූ අතර සෝවියට් සංගමයට එරහිව මෙහෙයවන ලදී. ධනේශ්වර පද්ධතිය 20 වන ශතවර්ෂයේ දී දෙවරක් ලෝක යුද්ධයට මෙහෙයවූ, වෙලඳපලවල්, ස්වභාවික සම්පත් සහ මූලෝපායික වාසිය සඳහා එක්සත් ජනපදය සහ යුරෝපියානු අධිරාජ්‍යවාදීන් අතර ගැටුම 21 වන ශතවර්ෂය තුල ප්‍රචන්ඩකාරීව නැවත මතුවෙත්දී, නේටෝව කැබලි වී යාමට මුහුන දෙයි.

ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය 1991දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව, එජ අධිරාජ්‍යවාදය සිය ආර්ථික පිරිහීමට මිලිටරි බලය යොදා ගැනීම මගින් ප්‍රතිචාර දැක්වීමට උත්සහ ගත්තේය. එය ඇතැම් හෝ සියලුම යුරෝපීය බලයන්ගේ සහයෝගය ඇතිව ඉරාකයේ සිට යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්තානය, ලිබියාව සහ සිරියාව දක්වා යුද්ධයන් දියත් කලේය. කෙසේවෙතත්, 2008 වෝල් වීදියේ බිඳ වැටීමෙන් දශකයකට පසුව එජ ආර්ථික තත්වය දිගින් දිගටම දුර්වල වෙද්දී එජ සහ යුරෝපියානු අධිරාජ්‍යවාදී පිලිවෙත අතර ගැටුම වඩ වඩාත් සමහන් කල නොහැකිය.

එජ වාචික විරෝධතාවයන් සම්බන්ධ තම පිලිවෙත යුස වඩ වඩාත් සඳහන් කරයි. විවිධාකාර යුරෝපියානු බලයන් චීනයේ යුරේසියානු යටිතල පහසුකම් තීරුව සහ මාවත සඳහා වන මුල පිරීමට (බීආර්අයි) එක්වෙමින් හා හුආවේ චීන සමාගම යුස විදුලි සංදේශ ජාලයන්ට අන්තර්ග්‍රහනය කරගනිමින් සිටී. රුසියාව සමග තිබූ මධ්‍යම පරාසයේ න්‍යෂ්ටික බලයන් (අයිඑන්එෆ්) පිලිබඳ ගිවිසුම වොෂින්ටනය විසින් ඉවත දැමීමෙන් පසුව යුරෝපයට එජ න්‍යෂ්ටික අවි යෙදවීමට යුස විරුද්ධ වෙයි. සාමුහිකව පිලිගන්නා මෙම පිලිවෙත් එජ ලෝක ආධිපත්‍යයට තර්ජනයක් ලෙස පෙන්ටගනය දකී.

පැරීසිය සහ සියල්ලන්ට ම ත් වඩා, පශ්චාත් දෙවන ලෝක යුද මිලිටරි සීමා කිරීම් අතහැර දමා ඇති සහ සිය විදේශ පිලිවෙත නැවත මිලිටරීකරනය කොට ඇති බර්ලිනය විසින් මෙහෙයවන යුස හමුදාවක් සඳහා වන සැලසුම් එජ මූලෝපාඥයන් භීතියට පත් කොට ඇත. ෆොරීන් ඇෆෙයාස් හී “නව ජර්මානු ප්‍රශ්නය” යන මාතෘකාව යටතේ පල වූ ලිපියක රොබට් කගන් මෙසේ ලියයි: “යුරෝපියානු බල තුලනයේ බිඳ වැටීම ලෝක යුද්ධයන් දෙකක් නිර්මානය කිරීමට සහ මිලියන දහයකට වඩා වැඩි එජ සොල්දාදුවන් අත්ලාන්තික් සාගරය හරහා එම යුද්ධ වල දී සටන් කිරීමට සහ මිය යාම පිනිස ගෙන ඒමට උදව් විය... අද දින යුරෝපය ඩෙටනේටරයට හානි නොවූ හා ක්‍රියාකාරී, සිය පුපුරන ද්‍රව්‍ය තවමත් සජීවීව පවතින පිපිරී නොගිය බෝම්බයක් ලෙස සලකන්න”

ට්‍රම්ප් පරිපාලනය එයට ප්‍රතිචාර දක්වමින් සිටින්නේ, ඉරානය තුල යුද්ධයක් සහ තන්ත්‍ර මාරුවකින් මූලාරම්භය ගෙන, යුරෝපියානු දේශපාලනය රැඩිකල් ලෙස ප්‍රති සංවිධානය කිරීමට උත්සහ කරමින්ය. මහා අවපාතයට පාර කැපූ වෝල් වීදියේ බිඳ වැටීමට වසරකට පෙර, එනම් 1928 දී එජ අධිරාජ්‍යවාදය පිලිබඳ ලියොන් ට්‍රොට්ස්කිගේ විශ්ලේශනය වර්තමාන තත්වය පිලිබඳ විශ්ලේෂනයක් වැනිය:

අර්බුදකාරී කාල පරිච්ඡේදයේදී එක්සත් ජනපදයේ අධිකාරය සමෘද්ධිමත් කාලයන්ට වඩා, වඩා පූර්නව, වඩා විවෘතව සහ වඩා නිර්දය ලෙස ක්‍රියාකරනු ඇත. එක්සත් ජනපදය ඇයගේ අසීරුතාවන් සහ ව්‍යාධීන් මූලිකව යුරෝපයේ වියදමින් මැඩ පැවැත්වීමට සහ ඉවත්කර ගැනීමට උත්සාහ කරනු ඇත්තේ මෙය සිදුවන්නේ ආසියාවේද, කැනඩාවේද, දකුනු ඇමරිකාවේද, ඔස්ට්‍රේලියාවේද හෝ යුරෝපයේමද යන්න හෝ මෙය සිදුවන්නේ සාමකාමීවද නැතහොත් යුද්ධයක් හරහාද යන්න නොසලකාය.

එජ අධිරාජ්‍යවාදයේ නව පුපුරායාමක් සමග ලෝකය අභිමුක වෙත්දී, මතුවෙමින් පවතින යුද්ධයන්ගේ ස්වභාවය ග්‍රහනය කර ගැනීම සහ එයට විරුද්ධ වීමට මූලෝපායක් තිබීම තීරනාත්මක ය.

ඉරාකයේ මෙන් දෙගුනයක ප්‍රමානයක් ජනගහනය සිටින සහ එය මෙන් හතර ගුනයක් විශාල රටක් වන ඉරානය සමග එජ සිදු කරන යුද්ධයක්, 2003 දී බැග්ඩෑඩය ට එරහිව කරන ලද යුද්ධයේදී සිදු වූ විනාශයන්ට වඩා මහා පරිමාන විනාශයන්ට මග පාදනු ඇත: එහිදී මිලියනයකට වඩා ඉරාක වැසියන් ඝාතනය වූ අතර එජ, බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤ, ඉතාලියානු සහ අනෙකුත් නේටෝ සාමාජිකයන් දස දහස් ගනනක් තුවාල ලදහ. වොෂින්ටනය, පර්සියානු ගල්ෆ් තෙල් අධිරාජ්‍ය, යුස බලයන්, තුර්කිය, ඉරානය, රුසියාව සහ චීනය යන සියල්ලන් ම මැදිහත් වී සිටින, සිදු කෙරෙමින් පවතින සිරියානු යුද්ධයට වඩා වැඩි සීඝ්‍රතාවයකින්, එය සියලු දේ භාවිතා කරමින් කලාපීයව සහ ගෝලීයව සිදුවන යුද්ධයක් බවට වර්ධනය වනු ඇත. විනාශකාරී න්‍යෂ්ටික ගිනි මැලයක අනතුර බෙහෙවින් ම තත්‍ය කාරනාවකි.

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ කම්කරු පන්තිය තුල ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැංවීමයි. ඉරානයට එරෙහි යුද ධාවනය දිගහැරෙන්නේ මැද පෙරදිග, අප්‍රිකාව, ලතින් ඇමරිකාව යුරෝපය හා ඇමරිකාව පුරා කම්කරු අරගල වල ජාත්‍යන්තර ඉහල නැගීමක් මධ්‍යයේය. පසුගිය මාස 18 තුල, කප්පාදු පිලිවෙත්වලට එරහිව ඉරාන කම්කරුවන්ගේ මහා විරෝධතා, එක්සත් ජනපදයේ ධනපති ගැති වෘත්තීය සමිති වලින් ස්වාධීනව සංවිධානය කෙරුනු ගුරුවරුන්ගේ වැඩවර්ජන රැල්ලක්, මෙක්සිකෝවේ මෝටර් රථ කම්කරුවන්ගේ කැරැල්ල, සහ ප්‍රන්සයේ “කහ බැනියම්” ව්‍යාපාරය දැක ගැනීමට හැකිව ඇත. මෙම ඉහල නැගීම 2019 දී වර්ධනය වී ඇත්තේ පෝලන්තයේ ගුරුවරුන්ගේ ජාතික වැඩ වර්ජනයක් සහ ඇල්ජීරියාවේ දැවැන්ත ආන්ඩු විරෝධී විරෝධතාවයන් පුපුරා යාමත් සමගය.

මෙම මතුවෙමින් පවතින ව්‍යාපාරය වර්ධනය කල හැක්කේ එය, කප්පාදුවට එරෙහි අරගලය යුද වාදයට සහ යුද්ධයට එරෙහි විරෝධතාවය සමග සම්බන්ධ කලහොත් සහ ජාත්‍යන්තර පරිමානව එජ සහ යුරෝපියානු අධිරාජ්‍යවාදයට එරහිව කම්කරු පන්තිය එකමුතු කලහොත් පමනි.

2003 ඉරාකය ආක්‍රමනය කිරීමට පෙර, ජාත්‍යන්තර යුද විරෝධී මහජන විරෝධතාවයන් පුපුරා ගිය විට මාධ්‍ය සහ මධ්‍යම පන්තික ව්‍යාජ වාම පක්ෂ වල ස්ථරයක් එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂය, ජර්මනිය සහ ප්‍රන්ස අධිරාජ්‍යවාද ය බුෂ් පරිපාලනය මැඩ පවත්වනු ඇතැයි යන මිත්‍යාවන්ට උල්පන්දම් දෙන ලදී. මෙය අසත්‍යයක් බව විනාශකාරී ලෙස සනාථ විය. ඩිමොක්‍රටික් පාක්ෂික ඔබාමා යුද්ධයන් දිගටම සිදුකරගෙන යෑම සහ ලිබියාවේ සහ සිරියාවේ නව යුද්ධයන් දියත් කිරීම සිදුකලා පමනක් නොව යුස බලවතුන් එතැන් සිට ලෝකයේ සම්පත් කොල්ල කෑම සඳහා ඔවුන්ගේ හමුදාවන් වලට යුරෝ බිලියන සිය ගනනක් විසි කොට ඇත.

“පශ්චාත් යුද පර්යායේ පැරනි විශ්වාසයන් තව දුරටත් අදාල නොවේ.” යනුවෙන් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් බදාදා පැවසුවේ රුසියාව සහ එක්සත් ජනපදය “පොදු ස්ථාවරයන් සොයා ගැනීමට අපට විටින් විට බල කරයි” යනුවෙන් ද පවසමින්ය. “ජර්මනිය, ප්‍රන්සය, සහ බ්‍රිතාන්‍ය ඉරාන ගිවිසුම පිලිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගනිමින් සිටින්නේ එජ ට වඩා වෙනස් ප්‍රවේශයක්ය.. ආරක්ෂක සහයෝගීතාවය පිලිබඳ සැලකිලීමත් වන තරමට අපි හොඳ ප්‍රගතියක් ලඟා කරගනිමින් සිටි.” යැයි පැහැදිලි කලාය

යුස බලවතුන්ගේ මෙහෙයුම් එජ අධිරාජ්‍යවාදයේ ඒවා තරම ට ම කොල්ලකාරී ය. වර්ධනය වන කම්කරු පන්තියෙන් එන අභියෝගයට සියල්ලටම වඩා භීතියෙන්, ඔවුන් තව දුරටත් 2003 දී කලාක් මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී එජ ආක්‍රමනකාරී යුද්ධයන්ගේ ප්‍රතිමල්ලවයන් ලෙස පෙනී සිටීමට වද වෙන්නේ නැත.

පැරීසිය ප්‍රචන්ඩ ලෙස “කහ බැනියම්” ව්‍යාපාරය මර්දනය කරත් දී ජර්මනියේ මහා සන්ධානය නව ෆැසිස්ට්වාදී ඒඑෆ්ඩී පක්ෂය ප්‍රවර්ධනය කරත් දී, හිට්ලර්ගේ සහ ජර්මානු මිලිටරිවාදයේ අපරාධයන්ට සුදු හුනු ගාන දක්ෂිනාංශික අන්තවාදී මහාචාර්යවරුන් ආරක්ෂා කරත්දී, සියලුම යුස රෙජිමයන් තමන්ගේ හමුදාවන්ට අරමුදල් සැපයීම සඳහා කම්කරුවන් මත කප්පාදුව පටවයි. මූලෝපායික අධ්‍යනයන් සඳහා බිතාන්‍ය ජාත්‍යන්තර ආයතනය තක්සේරු කරන ආකාරයට වොෂින්ටනය නේටෝ වෙන් ඉවත් වුවහොත් නාවුක ගොඩනැගීම් සඳහා ඇඩො බිලියන 110 ක් සහ ගොඩ බිම් මිලිටරිය සඳහා ඇඩො බිලියන 357 ක් වැය කිරීමට යුරෝපයට බල කෙරෙනු ඇත.

තීරනාත්මක කර්තව්‍ය වන්නේ, යුද්ධයට එරහිව සහ එයට උපත ලබා දෙන ධනපති පද්ධතියට එරහිව සටන් කිරීම සඳහා, ජාත්‍යන්තර කම්කරු පන්තියේ පුනර්ජීවය ලබන ව්‍යාපාරය දේශපාලන වැඩපිලිවෙලකින් සන්නද්ධ කිරීමයි. “යුද්ධයට එරහිව සමාජවාදය සඳහා සටන” යන සිය 2016 ප්‍රකාශනයේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, නව ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයේ මූලධර්මාත්මක පදනම සාරාංශ ගත කලේය:

* යුද්ධයට එරෙහි අරගලය, සමාජය තුල සිටින මහා විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පදනම් විය යුතුය. කම්කරු පන්තිය ජනගහනයේ අවශේෂ සියලු ප්‍රගතිශීලී ජනතාවන් තමන් පසුපස පෙලගස්වා ගන්නවා ඇත.

* නව යුද විරෝධී ව්‍යාපාරයක් ධනේශ්වර විරෝධී හා සමාජවාදී විය යුතුය. මක්නිසා ද යත්, මූල්‍ය ප්‍රාග්ධනයේ ආඥාපතිත්වයේ ද මිලිටරිවාදයේ ද යුද්ධයේ ද මූලික හේතුව වන ආර්ථික ක්‍රමය අවසන් කිරීමේ සටනකින් තොරව යුද්ධයට එරෙහි බැරෑරුම් අරගලයක් ගෙන යා නොහැකි බැවිනි.

* එබැවින් නව යුද විරෝධී ව්‍යාපාරය අවශ්‍යයෙන්ම, මුලුමනින්ම හා පැහැදිලිවම, ධනපති පන්තියේ සියලු දේශපාලන පක්ෂ හා සංවිධාන වලට සතුරු හා ඒවායින් ස්වාධීන විය යුතුය.

* අන් සියල්ලටත් වඩා, නව යුද විරෝධී ව්‍යාපාරය, ජාත්‍යන්තර විය යුතුය. එය කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය, අධිරාජ්‍යවාදයට එරෙහි එක්සත් ගෝලීය අරගලයක් තුල බලමුලු ගැන්විය යුතුය.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: