ලේඛක ශක්තික සත්කුමාර නිදහස්කර ගැනීමේ සසප උද්ඝෝෂනයට තවත් කලාකරුවෝ සහාය දක්වති

2019 මැයි 11

ලේඛක ශක්තික සත්කුමාර තම ෆේස්බුක් ගිනුමෙහි පලකල කෙටිකතාවකින් බුද්ධාගමට අපහාස කලේ යයි බෞද්ධ අන්තවාදී කන්ඩායමක් කල පැමිනිල්ලක් මත අප්‍රේල් 1 දා පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කෙරුනි. ඉන් ලබාදුන් නියෝගයක් මත බන්ධනාගාර ගත කල සත්කුමාරට ඇප ලබා නොදෙමින් මෙතෙකුදු රඳවාගෙන සිටී.

ඔහු අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා ප්‍රකාශනයේ නිදහස මත එල්ල කෙරුනු ප්‍රහාරයකි. මෙයට එරෙහිව සත්කුමාර නිදහස් කර ගැනීම සඳහා ලෝක සමාජවාදී වෙබි අඩවිය (ලෝසවෙඅ) කේන්ද්‍ර කර ගනිමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) දියත් කොට ඇති උද්ඝෝෂනයට විවිධ කලාකරුවන්ගේ සහ බුද්ධිමතුන්ගේ සහයෝගය ලැබෙමින් පවතී.

සුමති සිවමෝහන් - පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, චිත්‍රපටි නිෂ්පාදිකා, අධ්‍යක්ෂිකා හා රංගන ශිල්පිනී

සුමති සිවමෝහන්

රටක් හෝ වෙනත් පිටුබලයක් නැති ජනතාව හා සාමාන්‍ය පුද්ගලයින් ආරක්ෂා කිරීම අරමුනු කරගත් “සිවිල් හා දේශපාලන අයිතීන් පිලිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය”, ඔවුන්ටම එරෙහිව යොදාගැනීම අතිශයින්ම සිත් කළඹන සුළුය. කිසිඳු පුද්ගලයෙකුට හෝ කන්ඩායමකට අප්‍රසන්න වියහැකි ඉතා සුළු කරුනක් අඩංගු වී තිබුනා යයි කියන කෙටිකතාවක් ලිවීම සම්බන්ධයෙන් ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනීම බරපතල කරුනකි.

ප්‍රකාශනයේ නිදහස හා හෘදසාක්ෂිය වෙනුවන් ක්‍රියාකිරීමට ඇති අයිතිය ආරක්ෂා කරන ජාත්‍යන්තර නීතියක් විසම්මුතිය යටපත් කිරීම සඳහා යොදා ගැනීම උත්ප්‍රාසයකි. එය පෙන්වාදෙන්නේ, නීතින් වියුක්තව ගත් කල සාමාන්‍ය මිනිසුන් සුරැකීම වෙනුවට රාජ්‍යයන්ට සේවය කරන බවයි.

තවද ජාත්‍යන්තර නීති මහජනතාව සම්බන්ධයෙන් ගත් කල සම්පූර්නයෙන් බල රහිත වේ. ජුලියන් අසාන්ජ් ගේ සිද්ධිය මීට තවත් උදාහරනයකි. සත්කුමාර අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම, නීතිය මගින් රකින්නේ බලයේ සිටින්නන් මිස සාමාන්‍ය මිනිසුන් නොවන බව පෙන්වාදෙයි.

ජාත්‍යන්තර නීති ගැන කතා කරන විට, ජාත්‍යන්තර ත්‍රස්ත ජාලයක් වගකීම භාරගෙන ඇති, ලංකාවේ පාස්කු දින බෝම්බ ප්‍රහාරය ගැනද සඳහන් නොකර සිටීම අපහසුය. අවසන් විග්‍රහය තුල, දක්ෂිනාංශික ආරක්ෂක රාජ්‍යයන් හි නැගීම ශක්තිමත් කරමින් එකිනෙකා පෝෂනය කර ගනිමින් සිටින, ජාත්‍යන්තර නීතියේ, ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ හා ලෝක බලයන්ගේ ග්‍රහනය තුල අපි සියලු දෙනා හිරවී සිටින්නෙමු.

කවියෙකු , ගීත රචකයෙකු හා ලේඛකයෙකු වන විජය නන්දන පෙරේරා

විජය නන්දන පෙරේරා

බෞද්ධ මූලධර්මවාදින්ගේ පැමිනිල්ලක් මත අප්‍රේල් 1 දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකල ලේඛක ශක්තික සත්කුමාර මැයි මස 21 වැනි දා දක්වා නැවත අධිකරනයට ඉදිරිපත් කෙරෙන තුරු තවදුරටත් රඳවා තබා ගැනීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත්වරිය නියෝග කොට තිබේ , සංස්ථාපිත ආගම් යනු පන්ති පාලනයේ දෘෂ්ටිමය උපකරනයකි. ආගම් විසින් කලාකෘති වාරනය කරනු ලැබීමේත්, කලාකරුවන් තාඩනයට, පීඩනයට හා ඝාතනයට බඳුන් කරනු ලැබීමේත් ඉතිහාසය පන්ති සමාජයේ ඉතා ඈතට දිවයන්නක් වෙයි.

ලංකාව තුල ද පාලක පන්තිය හා ඔවුන්ගේ සහචරයන් විසින් කලාකෘති හා කලාකරුවන් මඩිනු ලැබීමේ දිගු කුප්‍රකට ඉතිහාසයක් පවතී. මෙහි අලුත් ම ගොදුර ශක්තික සත්කුමාර ය. ඔහුට එල්ල වී ඇති චෝදනාව නම් ස්වකීය මුහුතු පොත් ගිනුමෙහි පලකරන ලද අර්ධ නම් කෙටිකතාව තුලින් බුද්ධාගමට අපහාසයක් සිදුකොට තිබේ ය යන්න යි.

සද් කලාව නිබඳව ම සමාජ ප්‍රගමනයෙහි ගමන් සගයෙකි. ආගම් වනාහි ඒ හැටියට ගත් කල සමාජ ප්‍රගමනයට පසමිතුරුව පවත්නා පන්ති සමාජීය ප්‍රතිගාමී සංස්ථාවකි. එහෙයින් ධනේශ්වර ක්‍රමය සැබෑ කලාවට හා කලා නිර්මානකරුවන්ට සතුරු ය.

ධනවාදය පෙරලා දැමීමකින් තොරව කලාවට ද, කලාකරුවනට ද පුර්න නිදහස අත්පත් කරගත හැකි නො වේ. ධනවාදය මිහිමතින් තුරන්කර දැමීම සඳහා ලෝක පරිමානව සටන් වදින එක ම බලවේගය නම් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවයි. ලංකාව තුල එහි නියෝජනය පවතින්නේ සමාජවාදී සමානතා පක්ෂය තුල යි .

තතු මෙසේ වන හෙයින් ලංකාවේ ධනේශ්වර පාලක පන්තියේ ද එහි සහචර බොදුනු මුලධර්මවාදීන්ගේ ද දඩයමට ලක්ව සිටින ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරගැනීම උදෙසා සසප විසින් ගෙනයනු ලබන උද්ඝෝෂනයට මම ද දායක වෙමි.

Share this article: