ශක්තික සත්කුමාර නිදහස්කර ගැනීමේ සසප උද්ඝෝෂනයට සහාය පල කෙරෙන තවත් ප්‍රකාශයක්

2019 මැයි 24

ලේඛක ශක්තික සත්කුමාර තම ෆේස්බුක් ගිනුමෙහි පලකල කෙටිකතාවකින් බුද්ධාගමට අපහාස කලේ යයි බෞද්ධ අන්තවාදී කන්ඩායමක් කල පැමිනිල්ලක් මත අප්‍රේල් 1 දා පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කෙරුනි. ඉන් ලබාදුන් නියෝගයක් මත බන්ධනාගාර ගත කල සත්කුමාරට ඇප ලබා නොදෙමින් මෙතෙකුදු රඳවාගෙන සිටී.

ඔහු අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා ප්‍රකාශනයේ නිදහස මත එල්ල කෙරුනු ප්‍රහාරයකි. මෙයට එරෙහිව සත්කුමාර නිදහස් කර ගැනීම සඳහා ලෝක සමාජවාදී වෙබි අඩවිය (ලෝසවෙඅ) කේන්ද්‍ර කර ගනිමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) දියත් කොට ඇති උද්ඝෝෂනයට විවිධ කලාකරුවන්ගේ සහ බුද්ධිමතුන්ගේ සහයෝගය ලැබෙමින් පවතී.

මංජුල වෙඩිවර්ධන

ප්‍රසිද්ධ කවියෙකු, කෙටිකතාකරුවෙකු සහ නවකතාකරුවෙකු වන මංජුල වෙඩිවර්ධනද සසප උද්ඝෝෂනයට සහාය පලකරමින් ලෝසවෙඅ ට ප්‍රකාශයක් ලබා දී ඇත.

එම ප්‍රකාශය තුල ඔහු මෙසේ සඳහන් කරයි: “ප්‍රබන්ධකරනය නම් නිර්මානාත්මක විෂය කෙරෙහි ශක්තික සත්කුමාර නම් තරුන ලේඛකයා සතු කැපවීම පිලිබඳව මා දන්නේ, ඔහුගේ පලමු කාව්‍ය කෘතිය වූ 2009 පල කල ‘වෙඩිවැදුනු පන්හිඳ’ පලකිරීමට පෙර සිට ය. ඔහු ලියූ ප්‍රබන්ධ කතාවක් හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කීරීම මූලිකම ප්‍රජාතාන්ත්‍රික අයිතියක් වන ප්‍රකාශනයේ නිදහස මත ඇටැවූ ක්ලේමෝ බෝම්බයක් බව අවධාරනය කල යුතු ය.”

“මේරි නම් වූ මරියා” කෘතිය නිර්මානය කිරීම හේතුවෙන් තමා අත් අඩංගුවට ගෙන සිරගත කරන ලෙස, කාඩිනල් මැල්කම් රංජිත් ප්‍රමුඛ රදගුරු සමුලුව එකල පැවති චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුවෙන් ඉල්ලා සිටි අයුරු විස්තර කරන වෙඩිවර්ධන සමස්ත ආගමික සංස්ථාපිතය කලාවට එරෙහිව පිහිටන ආකාරය පැහැදිලි කරයි.

“සංස්ථාපිත ආගම් යනු හැම විටම රාජ්‍යයේ දෘෂ්ටිමය මර්දන උපකරනයන්” බවත් “කවර ස්වරූපයකින් පැමිනුන ද සකල ආගමික මූලධර්මවාදයන් පරාජය කල යුතු” බවත් ඔහු පවසයි.

ආගමික සංස්ථාපිතයන් හි ඊනියා සදාචාරවාදය ගැන සඳහන් කරමින් ඔහු මෙසේ කියයි: “කලාකරුවගේ සාධනීය පරිකල්පනයන් ක්‍රමයෙන් සමාජයට කාන්දු වුවහොත් සදාචාර අසිපත ලෙලවන්නට ආගමික සංස්ථාවන්ට ඇති ශක්‍යතාව අර්බුදයට යයි. කලා කෘතීන් කෙරෙහි එකී සංස්ථාවන්ගේ විරෝධයේ මූලය එයයි.”

සත්කුමාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය විල්සන් ජයසේකර විසින් “දීර්ඝව, සංවිධිතව සහ දේශපාලනිකව ඉදිරිපත් කල කරුනු දැක්වීමට පවා අධිකරනය අවධානය යොමු කර නැතැ” යි පවසන වෙඩිවර්ධන තම ප්‍රකාශයේ මෙසේ ද සඳහන් කරයි:

“එහි දේශපාලනය පැහැදිලි ය. අවසන, ‘සිවිල් හා දේශපාලන අයිතීන් පිලිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය’ සාහිත්‍ය-කලාකරුවන්ගේ හිස මත ඇද වැටී ඇත. වරප්‍රසාදිත කලාකරුවන් ඊට දක්වන භයානක නිහැඬියාව යලි සේවය කරන්නේ ධනේශ්වර මර්දන යන්ත්‍රයටම බව මෙකී සාහිත්‍යකරුවන් අවබෝධ කර ගන්නා මොහොත වන විට සාහිත්‍ය රන්දෝලි පෙරහැරද අවසන් ව තිබෙන්නට ඉඩ තිබේ. එබැවින් මේ මොහොතේ සාමූහිකව මෙම මූලධර්මවාදී නිහීන නිර්ලජ්ජිත ආගමික මර්දනය පරාජය කල යුතු ය. කලාවේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම ස`ඳහා සසප ගෙනයන උද්ඝෝෂනයට මම පූර්න සහයෝගය ලබා දෙමි.”

Share this article: