පුවක්පිටිය දෙමල මහා විද්‍යාලයේ මුස්ලිම් ගුරුවරියෝ වර්ගවාදී ප්‍රකෝපකිරීමක් මධ්‍යයේ මාරුකිරීමට ලක්වෙති

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 මැයි 18

පුවක්පිටිය දෙමල මහා විද්‍යාලයේ සේවය කල මුස්ලිම් ගුරුවරියන් දසදෙනෙකුට හිජාබ් පලඳනාව සහිතව පාසලට ඇතුලුවීමට ඉඩ නොදී පාසල් සංවර්ධන සමිතියේ ප්‍රධානීන් ඇතිකල ප්‍රකෝපකාරී සිද්ධියකින් පසු වෙනත් පාසල් ගනානාවකට ඔවුන් මාරුකර යවා තිබේ.

මැයි 7 දා සිදුකල මෙම ප්‍රකෝපකරනයේ මූලිකත්වය ගෙන ඇත්තේ විදුහල්පති සහ පාසල් සංවර්ධන සමිතියේ සභාපති පී. මනෝහරන්, ගුරුවරයෙකුවන ජොන්සන් ඇතුලු පිරිසකි.

ඊට පෙරදින ගුරුමන්ඩල රැස්වීමක් පවත්වා විදුහල්පති මනෝහරන් එම ගුරුවරියන්ට හිජාබ් නොපැලඳ සාරි ඇඳ පාසලට පැමිනෙන ලෙස දැනුම්දී ඇත. මෙම බලහත්කාරී නියමයට ගුරුවරියන් එකඟවී නැත.

පසුදින පාසල් ගේට්ටුව අසල සූදානමෙන් සිටි විදුහල්පති, ජොන්සන් නමැති ගුරුවරයකු සහ තවත් පිරිසක් හිජාබ් පැලඳ පාසලට ඇතුල්වීමට ඉඩ නොදෙනබව පවසා බලහත්කාරයෙන් ඔවුන් නවතා ඇත. පාසල් භුමිය තුලට ගැනීමට නම් සාරි ඇඳ එන ලෙසද ඔවුන් කියා තිබේ. ගුරුවරියන් නිවැරදි ලෙස එම ප්‍රජාතන්ත්‍ර විරෝධී හා නීති විරෝධී ක්‍රියාවට එකඟ නොවූවිට සංවර්ධන සමිතියේ නිලධාරීන් පොලීසිය කැඳවූයේය.

ගුරුවරියන් පරික්ෂාකර ඇතුලට ගන්නා ලෙස පොලිස් නිලධාරීන් කියා ඇතත් එය ද සංවර්ධන සමිතියේ නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත. පොලීසිය එම බලහත්කාරී ක්‍රියාවට ඉඩදී නිහඬ විය.

එහි පැමිනි කොට්ටාශ අධ්‍යාපන නිලධාරිනි ශ්‍රියානි දිසානායක ද ගුරුවරියන්ගේ අයිතීන් රකිනු වෙනුවට කර ඇත්තේ විදුහල්පති ඇතුලු පිරිසගේ අත්තනෝමතික ක්‍රියාවට පක්ෂවීමයි. ඇය ගුරුවරියන්ට එරෙහි උසිගැන්වීමක යෙදෙමින් “ඔයගොල්ලෝ සාරි අඳින්නේ නැතුව අන්තවාදයට සහයෝගය දෙනවා නේද” යයි කියා ඇත.

හිංසනයට පත් ගුරුවරියෝ පලාත් ආන්ඩුකාර අසාත් සාලිට පැමිනිලි කලහ. ඔහු පලාත් අධ්‍යාපන නිලධාරින් ද විදුහල්පතිද කැඳවා ගුරුවරියන් ඉදිරියේ කල සාකච්චාවේදී හෙලිදරවු වී ඇත්තේ ඔවුන්ට එරෙහි ප්‍රකෝපකාරිත්වයයි. එහෙත් ආන්ඩුකාර සාලි වර්ගවාදී පීඩකයන්ට හිස නමමින් ගුරුවරියන් වෙනත් පාසල් වලට අනුයුක්ත කරන ලෙස දන්වා ඇත.

ගුරුවරියන් තමන් සිසුන් ඉදිරියේ ලැජ්ජාවට පත්කල තත්වයේ දී ආපසු විදුහලට යාම ප්‍රතික්ෂේප කර තිබේ.

දඩයමට ලක්වූ මුස්ලිම් ගුරිවරියන් අතර දීර්ඝ කාලයක් සේවය කල අයද වෙති. මෙම විදුහලේ 800ක් පමන සිසුහු ඉගෙනුම ලබති.

අප්‍රේල් 21 දා මුස්ලිම් මූලධර්මවාදී අයිඑස්අයිඑස් සංවිධානයේ මෙහෙයවීම පිට, එය සමග සම්බන්ධකම් පැවැත්වූ ලංකාවේ ජාතික තවුහාත් ජමාත් නමැති අන්තවාදී කන්ඩායමක් 250කට අධික ලමුන්, ස්ත්‍රීන් හා පිරිමින් මරා දමමින් හා සිය ගනනකට තුවාල කරමින් සිදුකල කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සිංහල වර්ගවාදියෝ සාමාන්‍ය මුස්ලිම් ජනයාට එරෙහිව ප්‍රකෝපකිරීම් මුදා හැරීම පටන් ගත්හ. පුවක්පිටිය අහිංසක ගුරුවරියන්ට එරෙහි ඇවිස්සීම් සිදුවූයේ මේ තත්වය තුලය.

පසු ගියදා විවිධ ප්‍රදේශවල ඇතිවූ ප්‍රචන්ඩ ක්‍රියා සාමාන්‍ය මහජනයා සිදුකල ඒවා නොව සංවිධානාත්මකව සිදුකල ඒවාය.

ඒවා පිටුපස ජනාධිපතිගේ ආන්ඩුවේ හා විපක්ෂයේ කන්ඩායම් සිටින බව එලිදරවු වෙමින් තිබේ. පොලිසියේ හා මිලිටරියේ කොටස්වල ඍජු හා වක්‍ර සහාය ඔවුන්ට ලැබුනු බවට චෝදනා එල්ලවී ඇත.

ත්‍රස්ත ප්‍රහාරය ගැන කල්තියා දැනුවත්ව සිටි නමුත් එය වැලැක්වීමට ජනාධිපතිගේ පටන් දේශපාලන සංස්තාපිතයේ මුදුනන් හා ආරක්ෂක අංශ ප්‍රධානීන් කිසිවක් නොකර නිහඬව සිටියහ. ඉනික්බිතිව ඔවුන් එය යොදා ගත්තේ පොලිස් පාලනයක් සඳහා අවශ්‍ය පරිදි හදිසි නීතිය පැනවීමට සහ හමුදා පොලිස් මෙහෙයුම සඳහා ය. ඒ සමගම මුස්ලිම් විරෝධී වර්ගවාදය ඇවිස්සීම පටන්ගති. මෙහි සැබෑ එල්ලය අරගලවලට ඇදෙන ගුරුවරුන් ද ඇතුලු කම්කරුවන් සහ කැරලිකාරිවන දුගීන් හා තරුනයන් මැඩලීමයි.

පුවක්පිටියේ දෙමල මහා විද්‍යාලයේ සිදුකල ප්‍රකෝපකිරීම් අනෙකුත් පාසල්වල හා සමහර කාර්යාල වලද වර්ගවාදී කොටස්වල මෙහෙයීම පිට සිදු කරන්නට පටන්ගෙන ඇත. කම්කරුවන් බෙදීම සඳහා පාලක පන්තිය ඉතා දැනුවත්ව සිදු කරවන මෙම ක්‍රියා පිලිකුලෙන් ප්‍රතික්ෂේප කොට, ඊට එරෙහිව සංවිධානය වෙමින්, වාර්ගික බෙදීම් කපාගෙන සමාජවාදී එකමුතුව ගොඩනැගීම හදිසි භාවයකින් මතුව ඇත.

Share this article: