ජනාධිපති සිරිසේන කුප්‍රකට ඥානසාර භික්ෂුව නිදහස් කරයි

සමන් ගුනදාස, 2019 මැයි 24

ඊයේ ජනාධිපති සමාවක් යටතේ ගලබොඩඅත්තේ ඥානසාර භික්ෂුව සිර භාරයෙන් නිදහස් කිරීම මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිංහල බෞද්ධ වර්ගෝත්තමවාදී හැඩියන් හට නීතිය නොතකා වැඩ කල හැකි බවට සංඥාවක් නිකුත් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරනය විසින් අනුමත කරනු ලැබූ අධිකරනයට අපහාස කිරීමේ වරදට වසර හයක දඬුවමකින් වසරක්වත් ගෙවා නැති ඥානසාර, ජනාධිපතිට හිමි අධිපති බලතල යටතේ අත්තනෝමතිකව නිදහස් කිරීම ධනපති පාලකයන් තමන් අනුයන්නේ යයි කියන “නීතියේ පාලනය“ පවා භයානක ලෙස බිඳ දැමීමකි.

චෝදනා ඉදිරිපත්කිරීමක් පවා නොමැතිව වසර ගනනාවක් සිරගත කර සිටින දෙමල දේශපාලන සිරකරුවන් හා අනෙකුත් පීඩිතයන් මැඩීමට උපරිම මර්දන නීති යොදා ගෙන ඇති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහගේ ආන්ඩුව බෞද්ධ සංස්ථාපිතයට හා ධනපති ප්‍රභූවට අවශ්‍ය ලෙස මෙලෙස නිතිය දුෂ්පරිහරනය කිරීම පෙන්නුම් කරන්නේ ධනපති පන්ති පාලනයේ වැරහැලි ප්‍රජාතන්ත්‍රවාදී වහන්තරාව පවා උනා දැමෙන සැටි ය.

ඥානසාර නිදහස් කිරීම සිදුවූයේ රුදුරු හදිසි නීති පාලනය තවත් මසකින් දීර්ඝ කිරීමත් මුස්ලිම්-විරෝධී ප්‍රකෝපකාරිත්වය රටපුරා ඇවිලවීමට ආන්ඩුව, විපක්ෂ හා වර්ගවාදී හැඩි රැලත් ක්‍රියාකරන තත්වයේදීය. ඥානසාර නායකත්වය දෙන බොදු බල සේනා (බෝබසේ) නමැති සිංහල-බෞද්ධ අන්තවාදී සංවිධානය දෙමල මුස්ලිම් හා ක්‍රිස්තියානි විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සුවිශේෂ ව කුප්‍රකට ය.

ඥානසාර පසුගිය වසරේ අගොස්තු 08 දින වසර 19ක සිර දඬුවමක්, බරපතල වැඩ සහිතව වසර හයකින් නිම කිරීම සදහා බන්ධනාගාරගත කෙරිනි. රාජ්‍ය බුද්ධි අංශ විසින් “අතුරුදහන්” කල බව සැලකෙන ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍ය වේදියා පිලිබඳ නඩුව 2016 දී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරනයේ විභාගවන අවස්ථාවේ “අධිකරනයට අපහාස වන අයුරින් හැසිරීමේ“ චෝදනා හතරකට ඔහු වරදකරු බවට තීන්දු කෙරිනි. අභියාචනා අධිකරනය මගින් දුන් තීන්දුවට එරෙහිව ඥානසාර ශේෂ්ඨාධිකරනයේ නඩුවක් ගොනු කලද එම නඩුව ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ඉවත දැමිනි.

මුස්ලිම් හා දෙමල ජනයා ඇතුලු සුලු ජාතිකයින්ට හා ආගමිකයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ ප්‍රකෝපකරනයේ යෙදීම පිලිබඳ ඉතිහාසයක් ඇති පෙර පැවති මහින්ද රාජපක්ෂගේ ආන්ඩු සමයේදී ඔහුගේ සහෝදර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ද විවෘත හා ආවෘත සහයෝගය ඇතිව මෙම ප්‍රකෝපකාරී සංවිධානය හදාවඩා ගන්නා ලදී. 2014 මුස්ලිම් ජනයාට එරෙහිව අලුත්ගම ආශ්‍රිත ප්‍රදේශයේ ලේවැකි ප්‍රකෝපකරනයන් ඇවිස්සීම සඳහා ඔහු ප්‍රධාන ක්‍රියා කලාපයක් සිදු කලේය. බොබසේ හා එවන් තවත් සංවිධාන සිදුකල ප්‍රචන්ඩ ක්‍රියා පොලිසිය අතටම අසුවුවද නීතිමය පියවර ගැනීම රාජපක්ෂ ආන්ඩුව යටතේ මෙන්ම වත්මන් පාලනය යටතේද යටගසන ලදී.

මැයි 18 දා ඥානසාර හමුවීමට බන්ධනාගාර රෝහලට ගිය සිරිසේන එහි ජේලර්වරුන්ගේ කාමරය තුල ඔහු සමග පැයකට ආසන්න කාලයක් කල රහස් සාකච්චාවකින් අනතුරුව පාස්කු ඉරිදා ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයට සම්බන්ධයැයි සැලකෙන ශ්‍රී ලංකාවේ නැෂනල් තවුහීත් ජමාත් නමැති ඉස්ලාමීය කන්ඩායම පිලිබද ඥානසාර දුන් ලිපිගොනු රැගෙන පිටවී ගිය බව මාධ්‍ය වාර්තා කලේය. මෙය රාජ්‍ය නායකයෙකුට වඩා පාතාලය සමග ගනුදෙනු කරන්නෙකුගේ ක්‍රියාවක් වැනි ය.

කොලඹ සංස්ථාපිතයේ සියලු පක්ෂ ජනාධිපතිගේ ක්‍රියාව සම්බන්ධයෙන් නිහඬ ය. මෙම සියලු පක්ෂ වර්ගවාදය කරපින්නා ගත් සංස්ථාපිතය ඉදිරියේ දනින් වැටී ඒවා සිය ප්‍රතිගාමී උවමනාවන් සඳහා යොදා ගන්නා සංවිධානයන් ය.

ජනවාරි මාසයේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ බුද්ධශාසන ඇමති ගාමිනී ජයවික්‍රම පෙරේරා විසින් සිරිසේනට ලිපියක් ලියා ඥානසාර නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේ සංඝ සංස්ථාපිතයේ කොටස් විසින් ඥානසාර මුදා ගැනීමට දියත් කර තිබුනු උද්ඝෝෂන මධ්‍යයේය.

කොලඹ ජනමාධ්‍ය ද ඥානසාර නිදහස් කිරීම නිවේදනය කර දේශපාලන පක්ෂ මෙන්ම නිහඬව සිටියි.

ඥානසාර නිදහස් කිරීමේ තැත පිලිබදව සදහන් කරමින් අතුරුදහන් කල මාධ්‍යවේදී එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ “මා ජනාධිපතිගෙන් විමසා සිටින්නේ නීතිය ආරක්ෂා කිරීම හා අධිකරනයේ ස්වාධීනත්වය රැකීම ඔහුගේ වගකීමක් නොවේද“ කියා ප්‍රශ්න කර ඇත. ඥානසාර නිදහස් කිරීමෙන් තමන්ට හා තම දරුවන්ට අනතුරක් පවතින බව ද ඇය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කලාය.

ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෲප් සංවිධානයේ ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඇලන් කීනන් ප්‍රකාශ කර ඇත්තේ “දැනටම ප්‍රහාරයට බඳුන් වී ඇති ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට මෙමගින් තියුනු පහරක් එල්ලවී ඇති අතර පාස්කු දින ප්‍රහාර වලින් පසුව මෙමගින් නිකුත් කෙරී ඇත්තේ වැරදි සංඥාවක් බවයි.” ඥානසාර නිදහස් කිරීමෙන් අනීතික බව රට පාලනය කරන බව ඉස්මතු කෙරී ඇති බව ඔහු කියා ඇත.

“ඥානසාරට සමාව දීම ස්වාධීන අධිකරනයට එල්ල කර ඇති අතුල් පහරකි. ඔහු වරදකරු වූයේ අධිකරන කටයුතු වලට බාධා කිරීම හා උසාවි නියෝග වලට අවනත නොවීම සම්බන්ධයෙනි. කිසිම ශිෂ්ඨ සමාජයක් එවැනි වරදකරුවෙකු හට සැහැල්ලුවෙන් සමාව නොදෙනු ඇත “ යනුවෙන් මානව හිමිකම් පිලිබද නීතිඥයකු වන ජේ. සී. වැලිඅමුන මාධ්‍යයට පවසා තිබේ.

සිරිසේන නීතිය පාච්චල් කරමින් මෙලෙස ක්‍රියා කලේ ඇයි? ඔහුගේ හා වික්‍රමසිංහ ආන්ඩුවේ ක්‍රියාකලාපය බලන විට මෙම දුෂ්ට ක්‍රියාව අහම්බයක් නොවන බව සැබැවි.

එහෙත්, අප්‍රේල් 21 දා ත්‍රස්ත ප්‍රහාරය දැනදැනත් සිදුවන්නට ඉඩහැර ඉන් ඇති කෙරුනු විනාශය හදිසිනීති පාලනයට යොදාගෙන මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩත්වයකට පාර කපා සිරිසේනත්, ආන්ඩුවත් සූදානම් වන්නේ ධනපති පන්ති පාලනය අර්බුදයට යවමින් පැනනැගී ඇති පන්ති අරගල හා දුගීන්ගේ සහ තරුනයන්ගේ පෙරලිකාරිත්වය රුදුරු ලෙස තලා දැමීම සඳහා පොලිස් පාලනයකට මාරු වීමටයි. රාජපක්ෂ ද තමන්ගේ පැත්තෙන් ඊට සූදානම් වෙමින් සිටි. එහිදී කම්කරු පන්තිය භේද කිරීමට හා ත්‍රස්ත කිරීමට මිලිටරිය පමනක් නොව වර්ගවාදී පාතාලය ද මෙහයවා ගැනීම සිරිසේන ඇතුලු පාලක පන්තියේ කන්ඩායම් වලට අවශ්‍යවී තිබේ.

Share this article: