ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කර ගැනීමේ සසප උද්ඝෝෂනයට කලාකරුවෝ සහාය පල කරති

2019 මැයි 5

ලේඛක ශක්තික සත්කුමාර තම ෆේස්බුක් ගිනුමෙහි පලකල කෙටිකතාවකින් බුද්ධාගමට අපහාස කලේ යයි බෞද්ධ අන්තවාදී කන්ඩායමක් කල පැමිනිල්ලක් මත අප්‍රේල් 1 දා පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කෙරුනි. ඉන් ලබාදුන් නියෝගයක් මත බන්ධනාගාර ගත කල සත්කුමාරට ඇප ලබා නොදෙමින් මෙතෙකුදු රඳවාගෙන සිටී.

ඔහු අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා ප්‍රකාශනයේ නිදහස මත එල්ල කෙරුනු ප්‍රහාරයකි. මෙයට එරෙහිව සත්කුමාර නිදහස් කර ගැනීම සඳහා ලෝක සමාජවාදී වෙබි අඩවිය (ලෝසවෙඅ) කේන්ද්‍ර කර ගනිමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) දියත් කොට ඇති උද්ඝෝෂනයට විවිධ කලාකරුවන්ගේ සහ බුද්ධිමතුන්ගේ සහයෝගය ලැබෙමින් පවතී.

ලොහාන් ගුනවීර

දෘශ්‍ය හා අභිවහන කලාකරුවෙකු මෙන්ම පරිවර්තකයෙකු වන ලොහාන් ගුනවීර ලෝසවෙඅ ට එවන ලද ප්‍රකාශයේ මෙසේ සඳහන් වෙයි: “කලා කෘති වාරනයට ලක් වීම සම්බන්ධ දිගු ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකාව තුල මෙලෙස කලා නිර්මානයක නිරත වූ ලේඛකයකු අත්අඩංගුවට පත් ව ඇත්තේ පලමු වතාවට ය.”

සත්කුමාර විසින් රචිත “අර්ධ” කෙටිකතාවේ විෂය පරාසය තුල ම තිබෙන තවත් කෘති අතීතයේ දී ද බිහි ව ඇති නමුත් “පාලකයින්ට හා ආගමික සංස්ථාවන්ට ඒවා ඉහිලුම් නොදෙන තත්වයක් උදා වී ලේඛකයින්ට හිරගෙවල්වල ලගින්ට සිදු වූයේ නැතැ” යි ගුනවීර පවසයි. “මෙය අලුත් තත්වයකි; පෙර පැවති වාරනය හා මර්දනය නව තලයකට නැංවීමකි.”

අධිරාජ්‍යවාදී යුද අපරාධ ලොවට හෙලි කල චෙල්සී මෑනිං සහ ජූලියන් අසාන්ජ් ගැන සඳහන් කරමින් ගුනවීර මෙසේ කියයි: “ඔවුහු ලෝක ගෝලය අනිත් පැත්තේ සිර මැඳිරි තුල අතිශය අවිනිශ්චිත අනාගතයකට මුහුන දී සිටිති. ලොව පුරා අන්ත දක්ෂිනාංශික දේශපාලන පක්ෂ හා කන්ඩායම් සිය අනුහස පතුරමින් ප්‍රධාන ධාරාවේ වේදිකා මතට අවතීර්න වෙමින් සිටිත්.”

බෞද්ධ අන්තවාදී කන්ඩායම් “ශක්තිය වඩාගන්නේ ද එම පුලුල් වාතාවරනයෙහි කොටසක් හැටියට බව” ඔහු තවදුරටත් පවසයි.

තිස් අවුරුදු යුද කාල පරිච්ඡේදය තුල කම්කරු පන්තිය බෙදීම සඳහා කොලඹ පාලක පන්තීන් විසින් ඉහලම තලයකට නංවන ලද සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී උද්ඝෝෂනය හේතුවෙන් සමාජ දේශපාලනික සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි සෑම අංශයකම තම අධිකාරය පිහිටුවා ගැනීමට බෞද්ධ සංස්ථාපිතය පෙරට පැමින ඇති බවත්, සත්කුමාරට එරෙහි ව දියත් කල ප්‍රහාරය එහි ප්‍රකාශනයක් හැටියට හඳුනාගත හැකි බවත් ගුනවීර පවසයි.

“මෙලෙස කලාකරුවකු සිර භාරයට ගෙන දිගු කලක් මුලුල්ලේ පීඩාවට පත් කරනු ලැබීම, කලා නිර්මාන නිදහස හා අදහස් ප්‍රකාශනයේ අයිතිය අගයන සියලු දෙනාගේ විරෝධයට ලක් විය යුතු කරුනකි. එහෙයින් ඊට එරෙහි ව විවෘත ව හඬ නඟමින් පෙරට එන මෙන් සියලු කලාකරුවන්ගෙන් ඉල්ලා සිටිමි.”

“එම අයිතීන් ආරක්ෂා කිරීම, ධනවාදයට එරෙහි සටනේ එක ම ශක්‍ය පන්ති බලවේගය වන කම්කරු පන්තියේ උර මත දැන් රැඳී පවතී. එහෙයින් අප පෙලගැසිය යුත්තේ එම කම්කරු පන්තිය පසුපස ය. මේ නිශ්චිත පදනම මත සත්කුමාර නිදහස් කරගැනීම සඳහා සසප දියත් කර ඇති උද්ඝෝෂනයට මගේ පූර්න සහාය පල කර සිටිමි.”

දර්ශන මේදිස්

කවියෙකු, ලේඛකයෙකු සහ සහ පරිවර්තකයෙකු වන දර්ශන මේදිස්:

“බෞද්ධ මූලධර්මවාදයේ උසිගැන්වීම මත දඩයමට ලක්ව සිටින ලේඛක ශක්තික සත්කුමාරගේ ශාරීරික නිදහස මෙන් ම ඔහුගේ ප්‍රකාශනයේ නිදහස උදෙසා ද දැඩිව පෙනී සිටින මම ඔහු අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම තරයේ හෙලා දකිමි. සත්කුමාර දැනට මත් සිය ප්‍රතිභාව පෙන්වා ඇති ලේඛකයෙකි. මතභේදයට තුඩු දී ඇති ඔහුගේ කෙටිකතාව අප අතට පත් වී නැතත් මේ වනාහි කලෙක සිට ම සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව දියත් කොට ඇති කලා මර්දනයෙහි තවත් එක් පියවරක් බැව් වටහා ගැනීම අසීරු නො වේ. අද සත්කුමාරට එල්ල වන ප්‍රහාරය හෙට සෙසු කලාකරුවන් කරා ද එනු ඇත.”

මාලක දේවප්‍රිය

සිනමාකරුවෙකු සහ ගුවන්විදුලි නාට්‍ය රචකයෙකු වන මාලක දේවප්‍රිය :

ආගමික අන්තවාදය කියන්නේ ඉතාම භයානක තත්ත්වයක්. එහි කූඨප්‍රාප්තිය වන්නේ ආගමික ත්‍රස්තවාදය. ආගමික අන්තවාදයන් ඔස්සේ ලංකාව පුරා මේ මොහොතේ ගොඩනගන ඉස්ලාම් හා බෞද්ධ අන්තවාදයන්ට විරුද්ධ වියයුතුයි.

පසුගිය කාලවල අප දැක්කා මේ තුලින් මිනිස් ජීවිත සම්පත් විශාල ලෙස විනාශ වූ ආකාරය. ඒ වගේම මිනිසුන් අතර අවිශ්වාසය, භීතිය, වෛරය ඇති කරපු අයුරු. ආගමික අන්තවාදීන් තවත් පසෙකින් මේ වන විට ප්‍රකාශන අයිතිය අහෝසි කරමින් සමාජයම අන්තවාදයන් කරා රැගෙන යමින් සිටිනවා.

පසුගිය කාලයේ ලාංකීය පරිසරය තුල වේදිකා නාට්‍ය, ගුවන්විදුලි නාට්‍යය නවකතා සහ කෙටිකතා ආදී නිර්මාන සඳහා වාරනයන් ඉල්ලමින් අන්තවාදී බෞද්ධාගමික කල්ලි හා දේශපාලනඥයන් සංවිධානාත්මක අපරාධ ඒකකය යටතේ අධිකරනවල නඩු ගොනු කරපු අයුරු අපට පේනවා.

අන්තවාදී ජන මාධ්‍ය නාලිකා මේවට ප්‍රචාරයක් ලබාදෙමින් වාසි අත්පත් කරගත්තා. ශක්තික සත්කුමාර 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) යටතේ පොලීසිය විසින් චෝදනා ගොනුකොට අප්‍රේල් පලමුවෙනි දා සිට ඇප ලබාදීමකින් තොරව අත්අඩංගුවට පත්කර තිබෙනවා.

අනෙක් පසින් ජාත්‍යන්තරය තුල ජුලියන් අසාන්ජ් වැනි මාධ්‍ය කරුවන් අත්අඩංගුවට ගෙන මර්දනය කරන අයුරු හඳුනාගත හැකියි. ලෝකය පුරාම විවිධ අන්තවාදයන් විවිධ ස්වරූපවලින් මතුවන බව පේනවා. මෙම සියලුම අන්තවාදයන්ට එක ලෙස විරුද්ධ විය යුතු වෙනවා.

බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම්, ලෙස ආසියාවේ මතුවන ආගමික අන්තවාදය පිටුදැකිය යුතුයි. එමෙන්ම එම අන්තවාදයන් ඔස්සේ කරන්නාවූ සියලුම මර්දනයන් සහ වාරනයන් මෙන්ම ත්‍රස්තවාදී ක්‍රියාවන් පිලිකුලෙන් හෙලා දැකිය යුතුයි. ආගමික මිත්‍යාව වෙනුවට විද්‍යාත්මක චින්තනය ඔස්සේ සිතන සමාජයක් ගොඩනැගීම කල යුතුයි

Share this article: