ඇප නොදී රඳවා සිටින ලේඛක සත්කුමාර හෙට නැවත අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිතයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 මැයි 6

රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ලේඛක ශක්තික සත්කුමාර, මැයි මස 07 දා නැවත අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිතය. තම ෆේස්බුක් ගිනුමේ පලකල “අර්ධ” නම් කෙටි කථාවක් මගින් බුද්ධාගමට “අගෞරවයක් හා නින්දාවක්” වන්නේයැයි බෞද්ධ අන්තවාදී කන්ඩායමක් විසින් කරනු ලැබූ පැමිනිල්ලක් මත පොලීසිය විසින් අප්‍රේල් 1 දා අත්අඩංගුවට ගත් සත්කුමාර පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරනයේ නියෝගයක් මත රඳවා ගෙන සිටී.

මැයි 7 වන දා සත්කුමාර අධිකරනයට ඉදිරිපත් කෙරෙන්නේ සිව්වැනි වරටයි. පෙර සෑම අවස්ථාවකදීම ඔහුට ඇපදීම මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කලාය.

සත්කුමාර අත්අඩංගුවට ගැනීම හා රඳවා ගැනීම ව්‍යවස්ථා විරෝධී වේ. එය භාෂනයේ හා ප්‍රකාශන නිදහස ඇතුලු සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට එල්ල කල මරු පහරකි.

සත්කුමාර අත් අඩංගුවට ගැනීම හෙලාදකිමින් ඔහු නිදහස් කර ගැනීම සඳහා කැඳවුම් කරමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) අප්‍රේල් 12 දින ප්‍රකාශයක් නිකුත් කලේය.

සත්කුමාර ජාතික හ ප්‍රාදේශීය සාහිත්‍ය සම්මාන කිහිපයක්ම දිනා ඇති කෙටි කථා, කවි හා විචාර පොත් ඇතුලු පොත් 33 කට ආසන්න ප්‍රමානයක් ලියා ඇති තරුන ලේඛකයෙකි.

ලේඛකයාගේ “අර්ධ” නම් කෙටිකතාව, “ආගමික ද්වේශයට අනුබල සපයා ඇති බවට” ඔහු ජීවත්වන පොල්ගහවෙල ප්‍රදේශයේ ශාසනාරක්ෂක බල මන්ඩලය හා ‘බුදුදහම රැකගැනීමේ යොවුන් පෙරමුන’ නම් බෞද්ධ කල්ලි විසින් කරන ලද පැමිනිල්ලක් මත පොලිසිය ක්‍රියාත්මක වී ඇත. පාලක ප්‍රභූවේ හා එහි අනුප්‍රාප්තික ආන්ඩුවල පූර්න පිටුබලය භුක්ති විඳින බෞද්ධ සංස්ථාපිතය, සමාජයේ සෑම අංශයක් මතම එහි ප්‍රතිගාමී ආධිපත්‍යය ස්ථාපිත කිරීමට සියලු උත්සාහයන් දරන බව සසප ප්‍රකාශය සඳහන් කරයි.

“අර්ධ” කෙටිකතාව තුලදී තරුන භික්ෂුවක් පන්සලේ නායක භික්ෂුවගේ ලිංගික අඩත්තේට්ටම්වලට ලක්වෙන සිදුවීමක් ගැන ඉඟි කෙරෙන අතර එවැනි සැබෑ සිදුවීම් කිහිපයක්ම ඇතැම් ජාතික පුවත්පත් තුලින් සමකාලීනව වාර්තා කෙරුනි. ආගමික සංස්ථාව තුල සිදුවන එවන් අකටයුතුකම් ශාසනය රැකීමේ නාමයෙන් බොහෝකොට ම මාධ්‍ය තුලින් ඉක්මනින්ම යටපත් කෙරෙයි. එවන් කරුනක් සාහිත්‍ය නිර්මානයක් තුල අන්තර්ගතවීම අරභයා ලේඛකයාට නීතියෙන් දැඩි දඬුවම් පැමිනවීම, ආගමික සංස්ථාව කෙරෙහි විවේචනාත්මක වන සියලු දෙනාට නිකුත් කල බරපතල අනතුරු ඇඟවීමකි.

අප්‍රේල් 09 වන දින දෙවන වරට පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරනයේදී නඩුව කැඳවූ අවස්ථාවේ දී සත්කුමාර වෙනුවෙන් ජනාධිපති නීතිඥ එස්.ටී. ජයනාග කරන ලද දීර්ඝ කරුනු දැක්වීමෙන් අනතුරුව පොල්ගහවෙල පොලීසියේ ඉල්ලීම මත මහේස්ත්‍රාත්වරිය විසින් අප්‍රේල් 23 දා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

අප්‍රේල් 23 දා යලි නඩුව කැඳවූ විට ද ඇපදීම ප්‍රතික්ෂේප කරමින් මාර්තු 7 දා දක්වා රඳවා තැබීම දීර්ඝ කෙරුනි.

බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ නීතියක් වන ශ්‍රී ලංකා දන්ඩ නීති සංග්‍රහයේ 291(ආ) සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) යටතේ පොලීසිය විසින් සත්කුමාරට එරෙහිව මෙම අභූත චෝදනා ගොනුකොට තිබුනි.

සත්කුමාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය විල්සන් සඳහන් කලේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 135(1)ඉ වගන්තිය යටතේ ක්‍රියාත්මක වීමට පොලීසිය අසමත්ව ඇතිබව සහ නීතිපතිගේ පැමිනිල්ලක් හෝ නීතිපතිගෙන් කලින් ලද අවසරයක් මත කරනු ලබන පැමිනිල්ලක් හෝ නොමැති අවස්ථාවක එම වගන්තිය යටතේ දන්ඩ නීති සංග්‍රහයේ 291ආ ට අදාල වන වරදක් සම්බන්ධයෙන් සලකා බැලීමක් කිරීමට අධිකරනයට මුල් අවස්ථාවේම කල නොහැකි බවයි. ඒ අනුව දන්ඩ නීති සංග්‍රහයේ 291ආ වගන්තිය යටතේ වරදක් සම්බන්ධව මෙම නඩුව ගෙන යා නොහැකි බැවින් මුල් අවස්ථාවේම තම සේවාදායකයා නිදහස් කල යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

කලාකරුවාගේ ස්ථිත්‍යය සම්බන්ධ යුනෙස්කෝ සංවිධානයේ 1980 නිර්දේශයන්හි මාර්ගෝපදේශ මූලධර්ම 3 උපුටා දක්වමින් නීතිඥවරයා සඳහන් කලේ යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකයන් වන සෑම රටක්ම සමස්ත සමාජයේම හා පුද්ගලයන්ගේ සංවර්ධනයට අවශ්‍ය වන කලාකරුවන්ගේ නිර්මාන නිදහස ආරක්ෂා කිරීමට බැඳී සිටින බවයි.

“වෙනස් ලෙස සැලකීම, එදිරිවාදීත්වය හෝ ප්‍රචන්ඩත්වයට පොලඹවන්නාවූ ජාතික, වාර්ගික හෝ ආගමික ද්වේශයට පක්ෂව කටයුතු කිරීම” අයිසීපීපීආර් පනත යටතේ නීති විරෝධී ලෙස සැලකෙන අතර අදාල පනත යටතේ පවරන ලද අපරාධ නඩුවක චුදිතයන්ට ඇප ලබා දීමේ බලය මහේස්ත්‍රාත් වරයෙකු සතු නොවේ. ඒ සඳහා ලංකා මහාධිකරනය වෙත යාමට චුදිතයාට සිදුවනු ඇති අතර පරීක්ෂන කටයුතු සඳහා යැයි කියමින් මෙලෙස කතුවරයා සිරගත කර තබා ගැනීම මගින් ඔහුව අපහසුතාවයට ලක් කිරීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව නීතිඥ වරයා සඳහන් කලේය.

මෙරට ධනපති පාලක පන්තිය, බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කොට එයට විශේෂ වරප්‍රසාදිත තත්වයක් ලබා දීම හරහා ඒ සම්බන්ධව කෙරෙන මොනම විවේචනයකට හෝ ඉඩකඩ අහුරා ඇත. පසුගිය අගෝස්තු මාසයේදී විකාශය කිරීමට නියමිතව තිබූ, මාලක දේවප්‍රියගේ “කනට පාරක්” නම් ගුවන් විදුලි නාට්‍ය මාලාව “බුදු දහමට අපහාස වෙතැයි” යන බොරු චෝදනා යටතේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මන්ඩලය විසින් වාරනය කෙරුනි. බෞද්ධ අන්තවාදී කන්ඩායම්වල පැමිනිල්ලකට පසුව දන්ඩ නීති සංග්‍රහයේ 291ඒ හා 291බී වගන්ති යටතේ පොලීසිය දේවප්‍රියට එරෙහිවද නඩුවක් ගොනුකොට තිබුනි.

සත්කුමාරට එරෙහි පොලිසියේ ක්‍රියා කලාපය විකල්ප ලෙස සිතන කලාකරුවන් ඇතුලු දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා ආන්ඩුව ගෙන ඇති නව හැරීමේ එක් පියවරක් පමනි. උග්‍ර දේශපාලනික සහ ආර්ථික අර්බුදයක ගිලී සිටින ආන්ඩුව කම්කරු-පීඩිත මහජනතාවගේ උද්ඝෝෂන තලා දැමීම් සඳහා නව නීති සම්මත කර ගනිමින් සහ හදිසි නීති තත්වයන් ප්‍රකාශ කරගනිමින් සැරසෙන්නේ රුදුරු මර්දනයකටය.

සසප හා සසජාතශි කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන්, කලාකරුවන්ගෙන් සහ ප්‍රගතිශීලි බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ සත්කුමාර නිදහස් කර ගැනීම සඳහා සසප කර ඇති කැඳවීම වටා පෙල ගැසෙන ලෙසයි.

Share this article: