ලේඛක සත්කුමාරගේ රැඳවුම්භාරය තවදුරටත් දීර්ඝ කෙරේ

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 මැයි 13

දින හතලිහක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සම්මානලාභී ලේඛක ශක්තික සත්කුමාර මැයි 21 දා දක්වා තවදුරටත් රඳවා තැබීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත්වරිය මැයි 7 දා යලිත් නියෝග කලාය. මේ සත්කුමාර නිදහස් කිරීම හෝ ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරුනු තුන්වන අවස්ථාවයි.

නිදහස් ප්‍රකාශනයේ හා භාෂනයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ප්‍රහාරයක් ලෙස සත්කුමාර පොලිස් අත්අඩංගුවට ගෙන මැයි 21 දිනට දවස් 51ක් ගතවී ඇති නමුත් පොලීසිය තවමත් ඔහුට එරහිව චෝදනා ඉදිරිපත් කිරීමට අසමත්ව ඇත. පොලීසිය මෙවරද උසාවියට දැන්වූයේ තවමත් විභාගකිරීම් සිදුවන බවයි. නියමිත මීලඟ නඩු වාරයේදී හෝ නිදහස් කිරීමක් හෝ චෝදනා ඉදිරිපත් කිරීමක් සිදුවේද යන්න නිශ්චිත නැත. සත්කුමාර දිගින්දිගට රඳවා තබා ගැනීමේ උත්සාහයක පොලිසිය යෙදෙන බව මෙයින් පෙනේ. ඔහුට ඇප ඉල්ලා ඉදිරිපත් කෙරුනු ඇපෑලක් මැයි 15 දින කුරුනෑගල ඉහල උසාවියේදී කැඳවීමට නියමිත ය.

ලේඛකයා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබීම පෙන්නුම් කරන්නේ ඔහු නිදහස් කරගැනීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ට සහයෝගය දෙමින් ඉදිරිපත්වීමේ දැවෙන වැදගත්කමයි.

අප්‍රේල් 01 දා පොල්ගහවෙල පොලීසිය මගින් සත්කුමාර අත්ඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනු ලැබූයේ ඔහු තම ෆේස්බුක් ගිනුමේ පලකල “අර්ධ” නම් කෙටි කථාවක් මගින් බුද්ධාගමට “අගෞරවයක් හා නින්දාවක්” වන්නේයැයි පොල්ගහවෙල ශාසනාරක්ෂක බල මන්ඩලයේ මාන්කඩවල සුමන නම් භික්ෂුවක් විසින් කරනු ලැබූ අභූත පැමිනිල්ලක් මත ය.

ඉහත කී සංවිධානය හා ‘බුදුදහම රැකගැනීමේ යොවුන් පෙරමුන’ නම් බෞද්ධ කල්ලි මාර්තු 3 දා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් වෙත යැවූ නිවේදනයකින් “බුදුදහම විනාශ කිරීමේ කුමන්ත්‍රනකාරී ලේඛන කලාවක නිරත” වන සත්කුමාර වැනි “විකෘති පුද්ගලයන්ගේ” නිර්මානවලට මාධ්‍ය වාරනයක් පනවන ලෙස මාධ්‍යවලින් ඉල්ලා සිටියෝය.

ඊට පෙර පෙබරවාරි 25 දින සිංහල වර්ගවාදී කල්ලියක් වන “සිංහලේ” නම් සංවිධානයේ මහ ලේකම් වන මැඩිල්ලේ පඤ්ඤාලෝක නම් භික්ෂුවක් සමඟ බෞද්ධ තොරතුරු කේන්ද්‍රය නම් සංවිධානයක විධායක අධ්‍යක්ෂ අඟු‍ලු‍ගල්ලේ සිරි ජිනානන්ද නම් භික්ෂුවක් විසින් පොලිස් මූලස්ථානයට ගොස් පොලිස්පතිට පැමිනිලි කර ඉල්ලා තිබුනේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිලිබඳ පනතේ (අයිසීපීපීආර් පනත) 3 වගන්තිය හා යටත්විජිත නීතියක් වන දන්ඩ නීති සංග්‍රහයේ 291බී වගන්තිය යටතේ සත්කුමාර අත්අඩංගුවට ගන්නා ලෙසත්, අර්ධ කෙටිකථා සංග්‍රහය මුද්‍රනය කිරීම, බෙදා හැරීම හා ලඟ තබා ගැනීම තහනම් කරන ලෙසත් ය. පොලීසිය ක්‍රියාත්මක වී ඇත්තේ මෙම අන්තවාදී කල්ලිවල මෙහෙයවීම යටතේය.

අයිසීසීපීආර්හි 3වන වගන්තිය යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්විට ඇප නියම කල හැක්කේ ඉහල උසාවිය වන මහ අධිකරනයට පමනක් වන අතර, එය ද සුවිශේෂී තත්ත්වයන් යටතේ ය. මෙම නීතිය යටතේ වරදකාරී යයි නිගමනය කලහොත් පුද්ගලයෙකුට වසර 10කට නො වැඩි කාලයකට බරපතල වැඩ සහිත සිර දඬුවම් පැමිනවිය හැක. සත්කුමාරට එරෙහි ව මෙම නීතිය භාවිතා කිරීම මගින් පොලීසිය හා බෞද්ධ අන්තවාදීන් ඔහු ව ආන්තික දඬුවම් කිරීමකට යටත් කිරීමටත් ඒ හරහා සියලු‍ කලා නිර්මාපකයන් හා විකල්ප ලෙස ලියන ලේඛකයන් බිය වැද්දවීමටත් ක්‍රියාකරමින් සිටී.

බෞද්ධ අන්තවාදි කන්ඩායම් වල මෙහෙයවීම මත පොලීසිය අත්තනෝමතිකව, ප්‍රජාතන්ත්‍රවි⁣රෝධී ලෙස හා නීතියට උඩින් කටයුතු කරමින් එම සංවිධාන ලංකාවේ ලිඛිත ව්‍යවස්ථාවට ද ඉහලින් පිහිටුවා ඇති බවත් අධිකරනය ඒ සඳහා යොදා ගැනෙමින් පවතින බවත් නීතිඥවරයා සඳහන් කලේය. මීට පෙර මාලක දේවප්‍රියගේ “කනට පාරක් ” නම් ගුවන්විදුලි වැඩසටහනට විරුද්ධව නඩු පවරා ඇත්තේද සත්කුමාරට එරෙහිව පැමිනිලිකර ඇති සංවිධානවල අවශ්‍යතාවය මත ය. තම සංවිධානයේ ෆේස්බුක් පිටුවේ වීඩියෝපටයක පෙනී සිටිමින් අඟු‍ලු‍ගල්ලේ සිරි ජිනානන්ද භික්ෂුව ඉදිරියටත් මෙවැනි ලේකඛයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කර ඇත.

සත්කුමාරට එරෙහි මෙම ක්‍රියාමාර්ග ඔහුට පමනක් පුද්ගලිකව එල්ල කල එකක් නොවන බවත් එය සමස්ථ කලාවටම හා කලා කරුවන්ටම එරෙහිව එල්ල කල ප්‍රහාරයක් බවත් සත්කුමාරගේ නීතිඥ සංජය විල්සන් මැයි 7 දා උසාවියේ දී කියා සිටියේය. ලේඛකයා අත්අඩංගුවට ගැනීම හා රඳවා තබාගැනීම මගින් පොලීසිය රටේ ලිඛිත ව්‍යවස්ථාවට පිටින් යමින් භාෂනයේ හා ප්‍රකාශනයේ අයිතිය ඇතුලු‍ ඔහුගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බව සඳහන් කල නීතිඥවරයා අවධාරනය කලේ එම ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම්වලට පනවා ඇති සීමා කිරීම් කිසිවක් අධීක්ෂනය කිරීමේ හෝ ඒ මත ක්‍රියාත්මක වීමේ කිසිදු බලයක් පොලීසියට නොමැති බවත් ය.

සත්කුමාර අත්අඩංගුවට ගැනීම සහ රඳවා තැබීමට කිසිදු නීතිමය පදනමක් නැතිබවත් ඒ අනුව ඔහු නඩුවෙන් නිදහස් කලයුතු බවත් ප්‍රකාශකල නීතිඥවරයා අපරාධ නඩුවිධාන නීතිය අනුව වරදක් කල ස්ථානයේ නඩුපැවරිය යුතු බැවින් ද “අර්ධ” කෙටිකථාව අන්තර්ජාලයට එක්කර ඇත්තේ කොලඹ මරදාන ප්‍රදේශයේ දී බැවින් ද පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරනයට මෙම නඩුව ඇසීමට අධිකරන බලයක් නොමැති බව ඔහු තර්ක කලේය.

අයිසීපීපීආර් පනතේ 3(1) වගන්තිය යොදා ගැනීම පිනිස අඩු තරමින් අදාල ක්‍රියාවන් ජාතික, වාර්ගික හෝ ආගමික කොටස් දෙකක් අතර අසමානතාවයකට, සතුරුකම් හෝ ප්‍රචන්ඩත්වයට තුඩුදිය හැකි වෛරය පතුරුවන ක්‍රියාවන් විය යුතු බවත් මෙම නඩුවේ සැකකරුගේ ක්‍රියාවන්ට කිසිසේත් එම වගන්තිය අදාල නොවන බවත් එම වගන්තිය ප්‍රකාරව මෙම නඩුව පවරා පවත්වාගෙන යා නොහැකි බවත් නීතීඥවරයා උසාවියට සැල කලේය.

දන්ඩනීති සංග්‍රහයේ 291ආ වගන්තිය ප්‍රකාරව නඩුවක් පවරා පවත්වාගෙන යාමට නම් “ආගමික හැගීම් කෙලෙසීම සඳහා ඒකාන්ත හා ද්වේශ සහගත අදහසකින්”‍ සැකකරු ක්‍රියාත්මක වූ බව ඔප්පුකල යුතු බවත් නයෝමි මිචෙල් කෝක්මන් එදිරිව නීතිපති නමැති නඩු තීන්දුව උපුටා දක්වමින් එම චේතනාව සැකකරු අත්අඩංගුවට ගන්නා මුල් අවස්ථාවේදීම හුදු අනුමානයකින් ඔබ්බට ඔප්පු කල හැකි විය යුතු බව පෙන්වා දෙනු ලැබිනි.

“අර්ධ” කෙටිකථාවේ සම්පූර්න පිටපතක් වත් නොමැතිව සත්කුමාර අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිටත් ඔහුගේ “ද්වේශ සහගත චේතනාව” ඔප්පුකිරීමට කිසිදු සාධකයක් පොලීසිය සතුනොවූ බව සඳහන් කල නීතිඥ විල්සන් ජෝන් ලෙවිස් ඇන්ඞ් කොම්පැනි ලිමිටඞ් එරෙහිව ටයිම්ස් යන එංගලන්ත නඩුවේ තීරනය කර ඇති ආකාරයට, පොලීසිය විසින් වරෙන්තු රහිතව පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුකරනවා නම් ඔහු වැරදිකරුවන බවට සාක්ෂි ඒවන විටම සොයා⁣ගෙන තිබිය යුතු බවත් පුද්ගලයා රඳවා තබා ගනිමින් සාක්ෂි තහවුරු කරගැනීමට හෝ නඩුවේ ශක්තිමත්බව වැඩිකර ගැනීමට කරුනු සෙවිය නොහැකි බවත් පැහැදිලි කලේය.

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කම්කරු මහ ජනතාව වාර්ගික රේඛා හරහා බෙදීම සඳහා තවතවත් ශක්තිමත් කෙරුනු රාජ්‍ය මර්දන යාන්ත්‍රනය ආරක්ෂා කිරීමට ආන්ඩුව ඇතුලු‍ පාලක පන්තිය සහ එහි මාධ්‍ය හොරනෑවන් බෞද්ධ සංස්ථාපිතයේ සක්‍රීය සහයෝගය යහමින් යොදාගනිමින් පවතී. එම අන්තවාදී සංවිධානවල අවශ්‍යතාවයන් රටේ මූලික නීතියට ද උඩින් ක්‍රියාත්මක කෙරෙන්නේ ඒ අර්ථයෙනි. උග්‍ර දේශපාලනික සහ ආර්ථික අර්බුදයක ගිලී සිටින ආන්ඩුව කම්කරු-පීඩිත මහජනතාවගේ උද්ඝෝෂන තලා දැමීම් සඳහා නව නීති සම්මත කර ගනිමින් සහ හදිසි නීතිය ප්‍රකාශ කරගනිමින් රුදුරු මර්දනයකට සැරසෙමින් සිටී.

කම්කරු පන්තිය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අගයකරන සියලු‍දෙනා මෙම වර්ධනයන් බැරෑරුම්ව ගතයුතු ය. කලාවේ ප්‍රකාශන නිදහස මෙන්ම අන් සෑම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්ම පාගා දැමීමට එරෙහිව අවශ්‍යවන්නේ දේශපාලන සටනකි. සත්කුමාර අත් අඩංගුවට ගැනීම හෙලාදකිමින් ඔහු නිදහස් කර ගැනීම සඳහා කැඳවුම් කරමින් අප්‍රේල් 12 දින සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ප්‍රකාශයක් නිකුත් කලේය. ලිපි හා ප්‍රකාශ නිකුත් කරමින් මෙම උද්ඝෝෂනයට සහාය දෙන ලෙස අපි ඉල්ලමු.

Share this article: