මහින්ද රාජපක්ෂ මිලිටරිය මත පදනම් වූ පාලනයකට සූදානම් වෙයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි , 2019 මැයි 24

හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) නායක මහින්ද රාජපක්ෂ මැයි 19 වෙනිදා ඔහුගේ විපක්ෂ නායක නිල නිවසේ දී කල විශේෂ දේශනයක දී මිලිටරියේ යුද අපරාධ සෝදාහැර, පුම්බා පෙරට ගැනීමේ දීර්ඝකාලීන ව්‍යායාමය අලුත් මට්ටමකට නැංවූයේය. යලි බලයට ඒමට ඔට්ටු අල්ලන රාජපක්ෂගේ කතාවෙන් ඇඟවුම් කෙරුනේ මිලිටරිය මත වාරුවූ ආඥාදායක පාලනයකට ඔහුගේ සමාගම සූදානම්වන බවයි.

රාජපක්ෂ එම දේශනය කලේ දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) පරාජයට පත් කිරීමෙන් දසවන සංවත්සරය නිමිත්තෙනි. ඔහු එහිදී “යහපාලන” ආන්ඩුව ත්‍රිවිධ හමුදාවට “පන්න පන්නා පහරදීම” ගැන මෛත්‍රිපාල සිරිසේන -රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවට චෝදනා කලේ ය.

“අලුත් අනපනත් සකස් කර රනවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තරයේ දී නඩු විභාග කිරීමේ අවස්ථාව උදාකරලීමට කටයුතු කරමින් සිටින්නේ යැයි” එහි දී ආන්ඩුවට චෝදනා කල රාජපක්ෂ මිලිටරිය සහ බුද්ධි අංශ “අඩපන කර ඇතැ”යි බුරා පැන්නේය.

ආන්ඩුව මිලිටරිය දඩයම් කරන බවට රාජපක්ෂ ගෙනෙන චෝදනාව පචයකි. ඔහුගේ ආන්ඩුව මෙන් ම වර්තමාන ආන්ඩුව ද හමුදාවන්ගේ සහ බුද්ධි අංශවල යුද අපරාධවලට සම්බන්ධ බවට චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් දිගින් දිගටම ආරක්ෂා කර ඇත. ආන්ඩුව පසුගිය සිවු වසර තුල සිදුකර ඇත්තේ මිලිටරිය වඩවඩාත් ශක්තිමත් කිරීමයි.

සිරිසේන හා වික්‍රමසිංහ බලයට එනවිට ව්‍යාජ තුරුම්පුවක් ලෙස මානව අයිතීන් කඩකිරීම් හා අපරාධ විමර්ශනය කර වැරදි කරුවන්ට දඬුවම්දෙන බවට පොරොන්දු වුවද සිදුකර ඇත්තේ එහි අනෙක් පැත්තයි. වර්තමාන ආන්ඩුව බලයට පත්ව වී සිවුවසරක් ගත වී ඇතත් යුද අපරාධවලට සම්බන්ධ කිසිවෙකුටත් එරෙහිව චෝදනා පවා ගොනුකර නැත.

ආන්ඩුව 2015 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල සම්මත කල යුද අපරාධ විමර්ශනය කිරීම සඳහා විදේශීය විනිශ්චය කරුවන්ගේ නිරීක්ෂනය සහිත දෙමුහුන් අධිකරනයක් පිහිටුවීමේ යෝජනාවට එකඟ වීම ගැන රාජපක්ෂ ආන්ඩුවට දෝස්මුර දැමීය. අවුරුදු හතරක් ගතවීත් නාමිකව හෝ එය ක්‍රියාත්මක නොවීමෙන් ඔප්පු වී ඇත්තේ ආන්ඩුව ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ ද උදවු ඇතිව සිදුකර ඇත්තේ රැවටිල්ලක් බවයි. සිරිසේන හා වික්‍රමසිංහ ලකාවේ යුද අපරාධ සිදුවී නැති බවත් ඒ පිලිබඳව නඩු විභාග පැවැත්වීමට එක හෙලා විරුද්ධ බවත් කී වාර අනන්ත ය.

යුද සමයේ දෙමල හා සිංහල තරුනයන් 11දෙනෙකු කප්පම් ගැනීමට පැහැර ගෙන ගොස් මරා දැමීම සම්බන්දයෙන් හා සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මරා දැමීම, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම හා තවත් පුවත්පත් කතුවරයෙකු වූ කීත් නොයාර්ට පහරදීම ගැන අත් අඩංගුවට ගත් මිලිටරි නිලධාරීන්ට එරෙහි නඩු විභාග ඉබිගමනින් සිදුකිරීම පෙන්නුම් කරන්නේ ඒවා ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනයාගේ ඇස්වලට වැලි ගැසීමේ ප්‍රදර්ශනයක් බවයි.

සැබෑ තතු එසේ වුව ද ආන්ඩුව මිලිටරියට පහර දෙන්නේයයි රාජපක්ෂ බෙරිහන් දෙන්නේ ඇයි? රාජපක්ෂ සංඥා කරන්නේ තමන්ගේ පාලනයක් යටතේ හමුදාව සහ පොලීසිය මොන අපරාධය කලත් මුක්තිය ඇතිව මුදා හැරෙන බවයි.

ඔහු තව දුරටත් පැහැදිලි කර ඇත්තේ ප්‍රතිගාමී ජෝර්ජ් බුෂ්, බැරක් ඔබාමා, ඩොනල්ඞ් ට්‍රම්ප් හා ටෝනි බ්ලෙයාර් වැනි අධිරාජ්‍යවාදී පාලකයන් අනුයමින් තමන් ක්‍රියා කරන බවයි.

ජනාධිපති ජෝර්ජ් බුෂ් 2001 සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් පසු 2002 දී සම්මත කර ගන්නා ලද එක්සත් ජනපද හමුදා ආරක්ෂා කිරීමේ පනත තුලින් යුද අපරාධවලට වගකිව යුත්තෙකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරන ය විසින් අත්අඩංගුවට ගතහොත් එම පුද්ගලයාව බලහත්කාරය යොදවා හෝ මුදා ගැනීමට ඇමරිකානු ජනාධිපතිවරයාට බලතල පවරා ඇති බව රාජපක්ෂ උද්දාමයෙන් පෙන්වා දුන්නේය.

ඇමෙරිකාවේ උසාවි හා රජයේ ආයතන සියල්ලටම ජාත්‍යන්තර යුද අපරාධ අධිකරනය සමග ගනුදෙනු කිරීම ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තහනම් කර තිබෙන බව කී රාජපක්ෂ සඳහන් කලේ “ආත්ම අභිමානයක් තියෙන රටක්” තමන්ගේ සන්නද්ධ හමුදා රකින්නේ ඒ ආකාරයෙන් බවයි. රාජපක්ෂ ට්‍රම්ප් උත්කර්ෂයට නංවන්නේ එවන් ප්‍රතිගාමී පාලනයක් ලංකාව තුල ද ඇටවීමේ අවශ්‍යතාවය අවධාරනය කිරීමටය.

ඒ සමගම ඔහු වැඩකරන ජනයාට, දුගීන්ට හා තරුනයන්ට එරෙහිව යොදා ගැනෙනු ඇති ප්‍රතිගාමී නීති තද කිරීමේ අවශ්‍යතාව අවධාරනය කලේය. එය අවධාරනය කිරීම සඳහා ආන්ඩුව නීති ලිහිල් කිරීමට ක්‍රියා කරන බවට පචයක් ද රාජපක්ෂ ඇදබෑවේය.

අලුත් ව්‍යවස්ථා කෙටුම්පත අනුව හදිසි නීති තත්වයක් ප්‍රකාශයට පත් කලත් උසාවියට ගොස් ඊට විරුද්ධව වාරන නියෝගයක් ගත හැකියැයි රාජපක්ෂ පවසා ඇත. එවන් ව්‍යවස්ථා කෙටුම්පතක් ආන්ඩුව තවමත් ප්‍රකාශය පත් කර නැත.

යෝජිත ප්‍රති ත්‍රස්ත පනතින් ත්‍රස්තවාදීන්ට “සහන” සලසා ඇතැයි චෝදනා කරන රාජපක්ෂ පවතින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සැකකරුවන්ට ඇප නොදී මාස 18 ක් රඳවා ගැනීමේ සහ නඩුව අවසන් වන තුරු බන්ධනාගාර ගත කර තැබීමේ රෙගුලාසි එලෙසින් ම පවත්වාගෙන යායුතු බව අවධාරනය කර ඇත.

මීට පෙර අප්‍රේල් 2 දා පුවත්පත් සාකච්චාවකදී රාජපක්ෂ ප්‍රකාශකලේ යෝජිත ප්‍රති-ත්‍රස්ත පනත “පොලිස් රාජ්‍යයකට” පිඹුරු පතක් බවයි. “එය රටේ සාමාන්‍ය නීතිය බවට පත්වෙනවා” යයි ඔහු අඳෝනාවක් නැගීය. කෙසේ වෙතත් දැන් ඔහු කියා සිටින්නේ ඊටද එහා ගිය නීති අවශ්‍ය බවයි.

යලිත් ඔහු අනුයන්ට බලාපොරොත්තුවන්නේ අධිරාජ්‍යවාදී හාම්පුතුන් ය. ජනාධිපති ඔබාමා විසින් 2011 පනවන ලද නීතියක් මගින් ඇමරිකාවට විරුද්ධව කටයුතු කරන ත්‍රස්තවාදී සැකකරුවෙකු අත්අඩංගුවට ගත්විට දින නියමයක් හා නඩු නැතිව රැඳවුම් භාරයේ තබා ගත හැකි බව ද, එය එක්සත් ජනපද පුරවැසියන් ට මෙන් ම විදේශීකයන්ට විරුද්ධව ද යොදා ගත හැකි බව ද රාජපක්ෂ කීවේය. මහා බි්‍රතාන්‍ය ද “ත්‍රස්තවාදය” මර්දනය කිරීම පිනිස එබඳු දැඩි නීති ක්‍රියාවට දමා ඇති බව ද ඔහු තවදුරටත් සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විමර්ශන වාර්තාවලට අනුව යුද්ධයේ අවසන් අදියරේ දී පමනක් 40,000 අධික සිවිල් වැසියන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් විසින් ඝාතනය කර ඇත. එහෙත්. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධයේ අවසන් අදියරේදී කිසිදු යුද අපරාධයක් සිදු නොවූ බවට සපත කරන රාපක්ෂ එය සනාත කිරීම සඳහා යුද නීතිය හා භාවිතය පිලිබඳව “ප්‍රමුඛ විශේෂඥයන්” යයි කියන, මහාචාර්ය ඬේවිඞ් ක්‍රේන් ඇතුලු අධිරාජ්‍ය බලයන් ට පන්දම් අල්ලන හා ධනවාදයේ ආරක්ෂකයන් වන ශාස්ත්‍රාලිකයන් කන්ඩායමක් උපටා දක්වයි.

එක්සත් ජනපදය සහ මහා බ්‍රිතාන්‍ය ඇතුලු සියලු අධිරාජ්‍යවාදී බලයන් සහ ධනපති පාලක පන්තීන් ත්‍රස්තවාදය මර්දනය කිරීම සහ ජාතික ආරක්ෂාවේ කඩතුරාව යටතේ මෘග නීති රෙගුලාසි ක්‍රියාවට දමන්නේ මහජන විරෝධී ආර්ථික දේශපාලන පිලිවෙත්වලට එරෙහිව වැඩෙන ජනතා විරෝධය සහ පන්ති අරගල තලා දැමීම සඳහාය.

රාජපක්ෂ මේ සියලු උදාහරන මගින් ඇඟවුම් කරන්නේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් හා මානව හිමිකම් ගැන කිසිදු තැකීමකින් තොරව කටයුතු කරන දුෂ්ට පාලන තන්ත්‍රයක් ස්ථාපනය කලයුතු බවය.

අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු විශ්‍රාමික හමුදා නායකයන් මුන ගැසුන රාජපක්ෂ රටේ ආරක්ෂාව සඳහා යෝජනා මාලාවක් සකස් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිම රාජපක්ෂ මිලිටරිය මත වාරුවීම පෙන්නුම් කලේය. එම යෝජනා රාජපක්ෂ විසින් ජනාධිපති සිරිසේන ට භාර දී ඇත. එම යෝජනා කවරේදැයි මෙතෙක් එලිදරව් කර නැතත් මෘග මර්දන නීති හා පොලිස් රාජ්‍ය සැලසුම් ඒවාට අඩංගු බව සිතා ගැනීමට අපහසු නොවේ.

රාජපක්ෂගේ ප්‍රතිගාමී න්‍යාය පත්‍රය පෙන්නුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ ආර්ථික- දේශපාලන අර්බුදය වඩ වඩා ගැඹුරුවීම සහ වර්ධනය වන ජාත්‍යන්තර පන්ති අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ පුලුල් අරගල පුපුරායන හා පාලක පන්තිය තුල දේශපාලන කා කොටා ගැනීම් තීව්‍ර වන කොන්දේසි තුල ය.

පාලක පන්තියේ සැලකියයුතු කොටසක තැතිගැන්ම ප්‍රකාශයට පත්කරමින්, රාජපක්ෂ සහ ශ්‍රීලපොපෙ ගනන් බලන්නේ සිය ජීවන හා සමාජ කොන්දේසි මත එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව වැඩෙන කම්කරුවන්ගේ හා දුගීන්ගේ විරුද්ධත්වය මැඩීමට පතුරුගැසුනු ජනාධිපති සිරිසේනගේ හා වික්‍රමසිංහගේ පාලනය අසමත්වේය යන්න ගැනයි. ජාත්‍යන්තරව වැඩෙන පන්ති අරගල හා එහි කොටසක් ලෙස ලංකාව තුල අරගල දිගහැරීම නිසා ඔවුහු තැතිගැනී සිටිති. සිරිසේන හා වික්‍රමසිංහ ඔවුන්ගේ පැත්තෙන් පොලිස් රාජ්‍ය පියවර ගනිමින් සිටිතත් ඊට මුක්කුව දෙමින්ම රාජපක්ෂ තම කල්ලියේ පාලනය සඳහා සුදානම් වෙයි.

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආන්ඩුව ගත් සියලු මර්දනකාරී පියවරයන්ට සහයෝගය දුන් රාජපක්ෂ ඉන් එහාට පැනීමට සූදානම් වෙයි. අතිශය කුරිරු ලෙස දෙමල විරෝධී වර්ගවාදී යුද්ධය ගෙන ගියාවූත් කම්කරුවන්, දුගීන් හා තරුනයන්ගේ අරගල ලේ වැකි මර්දනයකට ලක් කලාවුත් ඔහුගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ ශ්‍රීලපොපෙ අනුමැතිය ලත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම පොලිස් පාලනයක් ඇටවීමට රාජපක්ෂ කල්ලිය ගෙනයන වැඩකටයුතුවල නිශ්චිත සලකුනයි.

පාලක පන්තියේ සියලු පක්ෂ විසින් අවුලුවා ඇති මුස්ලිම්-විරෝධී ප්‍රචාරයේ හා ප්‍රචන්ඩත්වයේ මුදුනේම රාජපක්ෂගේ පක්ෂය ද සිටියි. දෙමල හා මුස්ලිම් විරෝධී ප්‍රචාරය හා ප්‍රකෝපකාරිත්වය පාලක පන්තියේ ප්‍රතිවිප්ලවවාදී න්‍යාය පත්‍ර ආවරනය කරගැනීමේ ද මර්දනය උත්සන්න කිරීමේ ද විසකුරු ආයුධයයි.

රාජපක්ෂ, සිරිසේන හා වික්‍රමසිංහ ඇතුලු පාලක පන්තියේ කල්ලි අතර දේශපාලන බලය සඳහා කවර මතභේද සහ කා කොටා ගැනීම් පැවතිය ද පොලිස් රාජ්‍ය පාලනයක් සම්බන්ධයෙන් ඔවුන් ඒකමතිකය. මෙය ජාත්‍යන්තරව පාලක පන්තින්ගේ දක්ෂිනාංශික හැරීමේ කොටසකි. රාජපක්ෂගේ ප්‍රකාශවලින් එය ලංකාව තුල නග්නවම ප්‍රකාශයට පත්වේ. කම්කරුවන් හා තරුනයන් එහි අනතුරු ඇඟවීම ග්‍රහනය කරගැනීම හදිසි අවශ්‍යතාවක් ලෙස මතුවී ඇත.

Share this article: