ටිලරි වත්තේ කම්කරුවන්ට එරෙහි දඩයමක්

එම්. දේවරාජා විසිනි, 2019 මැයි 10

ටිලරි වතු පාලකයෝ අප්‍රේල් 23 වෙනිදා වත්තේ කඳුරට ජනතා පෙරමුනේ (යූපීඑෆ්) ශාඛාවේ සභාපති ආර්. රාජකරුනා, ලංකා කම්කරු කොන්ග්‍රසයේ (සීඩබ්ලිව්සී ) ශාඛාවේ සභාපති එස්. රන්ජන් සහ වත්තේ ඩිස්පෙන්සරියේ කම්කරුවෙකු වන එන්. නාගනාදන් ගේ වැඩ තහනම් කලහ. අප්‍රේල් 23 වෙනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ වැඩ තහනම් කරන බව අප්‍රේල් 22 දාතමින් ඔවුන් වෙත යවන ලද ලිපියකින් දැනුම් දී තිබේ. වත්තේ සහකාර කලමානාකරු ලක්ෂිත ජෝන් ට “පරුෂ වචනයෙන් බැන වැදීම” ඔවුන්ට විරුද්ධ ව ගොතා ඇති චෝදනාවයි.

කම්කරුවෝ එම චෝදනාව ප්‍රතික්ෂේප කරති. දඩයමට ලක් වූවන් නිෂ්පාදන පලදායිතාවය ඉහල දමා ශ්‍රම සූරාකෑම තීව්‍ර කරන “ආදායම් බෙදීමේ” ක්‍රමයට සහ වත්තේ ජල මුලාශ්‍ර පුද්ගලික අංශයට විකිනීමේ සැලසුම් වලට එරෙහිව පැන නැගුන කම්කරුවන්ගේ විරෝධතා උද්ඝෝෂන වල පෙරමුනේ සිටි සටන්කාමි කම්කරුවන් තිදෙනෙකි. ඔවුන්ගේ වැඩ තහනම් කිරීමේ සැබෑ හේතුව එයයි.

වතු පාලකයන් විසින් වත්තේ ජල මූලාශ්‍ර විකිනීමට විරුද්ධව මාර්තු 13 වෙනිදා සිට ටිලරි වත්තේ කම්කරුවෝ මාසයක පමන කාලයක් අඛන්ඩ වර්ජනයක යෙදී සිටියහ. සහකාර කලමනාකරු කම්කරුවන්ට අනිසි විදිහට සලකන හෙයින් ඔහු යටතේ වැඩ කල නොහැකි බවත් ඔහුව වහාම මාරු කරන ලෙසත් වර්ජනයේ යෙදුන කම්කරුවන්ගේ තවත් ඉල්ලීමක් විය.

වර්ජනයේ දී සහකාර කලමනාකරු කාන්තා කම්කරුවන්ට පරුස වචනයෙන් බැන වැදුන බව ද කම්කරුවෝ කීහ. කම්කරුවන්ගේ විරුද්ධත්වය නිසා වතු පාලකයන් යෝජිත ජල ව්‍යාපෘතිය තාවකාලිකව නතර කර ඇත. සිංහල -හින්දු අවුරුදු දිනවල වර්ජනය නතර කල කම්කරුවන් අප්‍රේල් 15 වෙනිදා සිට වැඩට යාමට තීන්දු කර තිබු නමුත් ඔවුන්ට වැඩදීම වතු පාලකයෝ ප්‍රතික්ෂේප කලහ. කම්කරුවන්ට එරෙහි දඩයම ක්‍රියාවට දමා ඇත්තේ ඉන් පසුවය. වැඩ තහනම් කල කම්කරුවන් තිදෙනා වහාම යලි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා කම්කරුවෝ අප්‍රේල් 23 වෙනිදා යලි වර්ජනයට එලඹුනහ.

වෘත්තීය සමිති සමග කල සාකච්චාවකින් පසු වැඩ තහනම් කල කම්කරුවන් සති තුනකින් සේවයේ හිටුවීමට එකඟ වූ බව සමිති නායකයන් විසින් කම්කරුවන්ට පවසා ඇත. එයට එක හෙලාම විරුද්ධ කම්කරුවන් තම සහෝදර කම්කරුවන් යලි සේවයේ පිහිටුවන තුරු වර්ජනය නතර නොකරන බව පවසා ඇත. පසුව සීඩබ්ලිව්සී ශාඛා සමිති සභාපති රන්ජන්ගේ වැඩ තහනම් ඉවත් කිරීමට එකඟ වූ පාලකයන් සෙසු කම්කරුවන් දෙදෙනා මැයි මාසයේ 13 වෙනිදා සේවයේ පිහිටුවන බව සඳහන් කර ඇත. එයට එකඟ වූ සමිති නායකයන් වර්ජනය නතර කර වැඩට යන ලෙස කම්කරුවන් ව පොලඹවා ඇත. ඒ අනුව අප්‍රේල් 29 වෙනිදා කම්කරුවෝ වැඩට ගියහ.

ටිලරි වත්ත කැලනි වැලි සමාගමට අයත් වතු සමූහයෙන් එකකි. එහි උඩ කොටසේ කම්කරුවෝ 113 සහ පහල කොටසේ 163 ක් සිටිති. කම්කරුවන්ගේ විරුද්ධත්වය තිබිය දී, වෘත්තීය සමිති වල පුර්න සහයෝගය ඇතිව 2017 දෙසැම්බර් මාසයේ උඩ කොටසේ ද 2018 මාර්තු මාසයේ පහල කොටසේ ද “ආදායම් බෙදීමේ ක්‍රමය” ක්‍රියාවට දැමීමට පාලකයන් සමත් විය.

කම්කරු පවුලකට තේ පඳුරු 5,000 බැගින් බෙදා දුන් බවත් විශ්‍රාමික මහල්ලන් සහ දරුවන් ඇතුලු මුලු පවුලටම ඒ සඳහා ශ්‍රමය වැගිරීමට සිදු වූ බවත් කම්කරුවෝ කීහ. දලු නෙලීම, ගස් කප්පාදු කිරීම, වල් නාශක හා පොහොර යෙදීම ඇතුලු සියල්ල කම්කරුවන් විසින් කල යුතු විය. එහෙත් පොහොර, කෘෂි රසායන ආදිය සඳහා වියදම් අඩු කිරීමෙන් පසු තමන්ට අතට ලැබුනේ සොච්චමක් බව ඔව්හු සඳහන් කලහ. දලු කිලෝවකට මුල දී රුපියල් 90 ක් ගෙවූ නමුත් පසුව එය ක්‍රමානුකුලව රුපියල් 58 දක්වා පහල දමා තිබේ. ප්‍රමානවත් ආදායමක් නොලැබෙන නිසා උඩ කොටසේ 10 ක් සහ පහල කොටසේ 33 ක් හැර අනෙක් සියලුම කම්කරුවන් තමන්ට ලැබුන තේ පඳුරු ආපසු බාර දී ඇත.

ආදායම් බෙදීමේ ක්‍රමය කම්කරුවන්ට අවාසිදායක සහ සුලු සමාජ අයිතීන් පවා අහිමි කෙරෙන ක්‍රමයක් බව එස්. බාලසුබ්‍රමනියම් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසීය. ”ලොකු ආදායමක් ලබන්න පිලිවන් කියල පාලකයන් අපට කිව්වා නිසා අපි මුල දී එකඟ වුනා. ලැබෙන ආදායමත් අඩුයි, අපේ තිබෙන අයිතිවාසිකමුත් නැති වෙන බව පසුව අපට තේරුනා. අර්ථසාදක අරමුදලට එකතුවන ප්‍රමානය භාගයකින් පමන අඩු වුනා. නිවාස අලුත් වැඩියා කර ගැනීම ඇතුලු වැඩ වලට වාර්ෂිකව දෙන රුපියල් 30,000 සුබසාධන දීමනාව නතර කලා. කම්කරුවන් අතර එකමුතුව සහ සාමූහික ශක්තිය මේ ක්‍රමය නිසා බිඳ වැටුනා.”

දෛනික මුලික වැටුප 500 සිට 1000 දක්වා දෙගුනයක් කරන ලෙස 100,000 පමන වතු කම්කරුවෝ දෙසැම්බර් මාසයේ වර්ජනයක් දියත් කිරීම ඇතුලු අරගලවල නිරත විය. කම්කරුවන්ගේ අරගලය කඩාකප්පල් කිරීම සඳහා සියලුම වතු වෘත්තීය සමිති ආන්ඩුව සමග පෙල ගැසුනි. අවසානයේ වතු සමාගම් සහ වෘත්තීය සමිති අතර ජනවාරි මාසයේ අත්සන් කෙරුන සාමුහික ගිවිසුමෙන් දෛනික වැටුප වැඩි වුයේ රුපියල් 20 කින් පමනි.

සාමුහික ගිවිසුමට සහ ආදායම් බෙදීමේ ක්‍රමයට විරුද්ධව කම්කරුවෝ ගිය වසරේ වර්ජන සහ විරෝධතා උද්ඝෝෂනවල යෙදුනහ. වෘත්තීය සමිති විසින් කම්කරුවන්ගේ ප්‍රතිරෝධය යටපත් කිරීමට ඉමහත් ප්‍රයත්නයක් දරන නමුත් එය යලි යලිත් ඉස්මත්තට එයි. වතු හාම්පුතුන් විසින් කම්කරුවන්ට එරෙහිව දඩයක්කාරි ව්‍යාපාරයක් දියත් කර ඇත්තේ ඔවුන් අතර වැඩෙන ප්‍රතිරෝධය මර්දනය කිරීම පිනිසය.

ටිලරි වත්තේ කම්කරු දඩයමට පෙරාතුව දෙසැම්බර් 13 වෙනිදා දික්ඔය ඈන්ඞ්ෆීල්ඞ් වත්තේ එස්. බාලසුබ්‍රමනියම්ගේ වැඩ තහනම් කල එහි වතු පාලකයන් පෙබරවාරි 27 වෙනිදා ඔහු රැකියාවෙන් නෙරපීය. දෙසැම්බර් 4-13 පැවති වතු කම්කරු වර්ජනයේ දී වත්තේ තේ කම්හලේ ගේට්ටුව වසා තේ දලු රැගන එන වාහනවලට කම්හලට ඇතුල්වීම වැලැක්වීම ඔහුට නගා තිබු චෝදනාවයි. ඔහුගේ ක්‍රියාවට “අනුබල දීමේ” චෝදනාව යටතේ තවත් කම්කරුවන් 3 ක් ගේ වැඩ තහනම් කෙරුනි. ඔහු වත්තේ සීඩබ්ලිව්සී ශාඛා සමිතියේ ලේකම් වන අතර සමිති නිලධරය ඔහුගේ සහ සෙසු කම්කරුවන් 3 දෙනාගේ රැකියා අයිතිය සඳහා කිසිදු අරගලයක් කිරීම ප්‍රතික්ෂේප කලේ ය. ඒ වෙනුවට ඔවුන් කලේ වතු පාලකයන් සමග සම්මුතියකින් හා ඔවුන්ගේ කොන්දේසි වලට යටත් කර සුබ්‍රමනියම් ට හා සෙසු කම්කරුවන් තිදෙනාට රැකියාව ලබා දීමකි. වතු හාම්පුතුන්ගේ අත ශක්තිමත් කරනු ලැබ ඇත්තේ වෘත්තීය සමිතිවල මෙම ද්‍රෝහී. ක්‍රියාකලාපය මගිනි.

Share this article: