ලංකාව: දෙමල ජාතික සන්ධානය ආන්ඩුවේ පොලිස් රාජ්‍ය සැලසුම් සමග පෙලගැසෙයි

සුභාෂ් සෝමචන්ද්‍රන් සහ එස්. ජයන්ත් විසිනි,2019 මැයි 08

දෙමල ජාතික සන්ධානය (දෙජාස) අප්‍රේල් 21 වැනි දා, දිවයිනේ ස්ථාන කීපයක සිදු වූ අමානුෂික ත්‍රස්තවාදී ප්‍රහාර ඩැහැගෙන ආන්ඩුව විසින් රටපුරා මුදා හැර ඇති පොලිස්-මිලිටරි කඩාපැනීම් වලට මුලුමනින් සහාය දෙන අතර දෙමල මහජනයා ඉදිරියේ ඒවාට තමන් එකඟ නැති බවක් මවා පෙන්වීමේ වංචනික උත්සාහයක ද යෙදී සිටී.

එහි කොටසක් ලෙස, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධය ලේ වැකි අවසානයකට ගෙන ඒමෙන් දශකයක් ගතවූ පසුව දැන් උතුරු-නැගෙන්හිර දෙමල ජනතාව නැවතත් යුද කාලයේ මෙන් මිලිටරි වටලෑම්වලට මුහුන දෙමින් සිටිති. පසුගිය දිනවල කිලිනොච්චි, වවුනියා සහ යාපනය නගරයේ මිලිටරි සෝදිසි මෙහෙයුම් දියත් විය.

එහි උච්ඡ අවස්ථාවක් වූයේ සිකුරාදා, යාපනය විශ්ව විද්‍යාලය සහ නේවාසිකාගාර තුල දියත් කරනු ලැබූ මිලිටරි සෝදිසි මෙහෙයුම්වලදී මහා ශිෂ්‍ය සංගමයේ සභාපති එන්. දිවාකරන් සහ ලේකම් එස්. බල්දිරාජ් අත්අඩංගුවට ගනු ලැබ, රක්ෂිත බන්ධනාගාර ගත කිරීමයි. එල්ටීටීඊ නායකයා ව සිටි මිලිටරිය අතින් ඝාතනයට ලක්වූ වී. ප්‍රභාකරන්ගේ පින්තූර සහිත පෝස්ටර ශිෂ්‍ය සංගම් කාර්යාලය තුල තබා ගැනීම ඔවුන්ට එල්ල කර ඇති අභූත චෝදනායි.

මේ සිදුවීමත් සමග සිකුරාදා වීරකේසරී පුවත්පතට අදහස් දැක් වූ දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ”අයිඑස් ත්‍රස්තවාදය වහන්තරාවක් ලෙස යොදා ගෙන උතුරු-නැගෙනහිර නැවත ස්ථිර ව හමුදාව ගොඩ ගැසීම කිසිසේත් ම පිලිගත නොහැකි ය. තත්ත්වය වහා ම යථා තත්ත්වයට පත් කල යුතු ය” යි සඳහන් කර ඇත.

මොන තරම් නරුම කමක් ද? මේ ප්‍රකාශයට යම්තම් දවස් දෙකකට පෙර දෙජාස මැයි දින රැස්වීමක දී සේනාධිරාජා ප්‍රකාශකලේ මෙයයි: “දැනට පවතින තත්ත්වය යටතේ නොදැනුවත්වම හමුදාවෙන් ආරක්ෂාව ඉල්ලන තත්ත්වයට අපි පත් වෙලා තියෙනවා.”

සේනාධිරාජා බබා වීමට තැත් කරතත්, උතුරේ හා නැගෙනහිර හමුදාව තරකරන ලෙස ජනාධිපතිට හා අගමැතිට ඔවුන්ගේ ලේකම්වරුන් හරහා ලිපි යවා ඇත්තේ ත්‍රස්ත ප්‍රහාරයෙන් දින දෙකකට පසු අප්‍රේල් 23 දා ය. දිවයින පුවත් පතේ පලවූ වාර්තාවකට අනුව ඔහු මඩකලපුවේ සියෝන් දේවස්ථානයට එල්ලවූ බෝම්බ ප්‍රහාරය හුවා දක්වා උතුරු පලාතේ ද එවන් සිද්ධියක් ඇතිවිය හැකියයි ප්‍රකාශ කරමින් එම ඉල්ලීම කලේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අප්‍රේල් 23 දා සිට ක්‍රියාත්මක කල රුදුරු හදිසි නීති තත්වය හා ඒ යටතේ මිලිටරිය හා පොලිසිය මුදාහැරිම පිලිබඳව කිසිදු නොඑකඟතාවක් දෙජාසයට නැත. හදිසි නීති රෙගුලාසි අනුමතකරවා ගැනීම සඳහා පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී මෙම පක්ෂය අනෙකුත් පක්ෂ සමග චන්දයක් නොවිමසාම ඊට එකඟත්වය පලකලේය.

ජනාධිපති සිරිසේන අප්‍රේල් 25 දා පැවැත්වූ සියලු පක්ෂවල රැස්වීමට සහභාගිවූ දෙජාස ඒවන විට ජනාධිපති විසින් ක්‍රියාවට දමා තිබූ මර්දනකාරී පියවර සියල්ලට සහාය දුන්නේය. එම රැස්වීමේදී ඊට සහභාගිවූ පක්ෂ ජාතික ආරකෂාව තර කිරීමේ නමින් ක්‍රියාවට දැමියයුතු ඉදිරි පියවර ද සාකච්චා කල බව වාර්තාවිය.

අවුරුදු තිහක ලෙයින් නැහැවුනු යුද්ධයකට මුහුන දුන් හා යුද්ධය අවසන්කොට දශකයක් තිස්සේ අඛන්ඩව යන මිලිටරි වාඩිලා ගැනීමේ රුදුරු අත්දැකීමට මුහුන දෙන ජනතාවක් නියෝජනය කරන බව කියමින් සිටින දෙජාස නායකයන්, හදිසි නීති පාලනයකට විරුද්ධවේයැයි යමෙකු තුල අදහසක් තිබුනි නම් පසුගිය සති තුනේ එහි ක්‍රියාකලාපයෙන් එම මිත්‍යාව සුන්නත් දුලි වන්නට ඇත.

මැයි 2 වැනි දා, යාපනයේ මාධ්‍ය සාකච්ඡාවකදී රුදුරු හදිසි නීති වගන්ති යුක්තියුක්ත කරමින් සන්ධානයේ තවත් නායකයකු වන එම්. ඒ. සුමන්තිරන් මෙසේ කිවේය: “මෙම තත්ත්වයේ ආරක්ෂක සැලසුම් කරන්න හොඳ නෑ කියලා කාටවත් කියන්න බෑ. ඔවුන් ඤආරක්ෂක අංශ% ගාව තියෙන තොරතුරු අනුව වැඩ කරන්න ඕන. හැමදෙයක්ම එලිදරවු කරන්න බෑ. ඇයි එතන සෝදිසි කරන්නේ මෙතන සෝදිසි කරන්නේ යනුවෙන් ප්‍රශ්න කරන්න බෑ.”

මර්දනයට මෙලෙස පාවාඩ එලන අතර දෙජාසය මැයි දින නිකුත් කල නිවේදනය තුල හදිසි නීතිය පැනවීමෙන් පසු “දෙමල ජනතාව බහුල ව ජීවත් වන උතුරු නැගෙනහිර ප්‍රධාන කොට ආරක්ෂක මුරපොලවල් තනවා විවිධාකාර සෝදිසි කරමින් ... සිවිල් යුද්ධය දිනවල පැවති කොන්දේසිවලටත් එම ඛේදවාචක ජීවිතයට නැවත වතාවක් ඇද දමමින්” පවතින බව සඳහන් කර ඇත.

දෙජාස, උතුරු-නැගෙනහිර පලාත්වල හා රටපුරා කෙරෙන මිලිටරි පොලිස් කඩා වැදීම් වලට හා ආන්ඩුව හා පලක පන්තියේ කොටස් ගොඩනගන පොලිස් පාලනකට මාරුවීමේ සියලු පියවරයන්ට වගකිව යුතුය.

වෙට්ට්පිත්තල දේශපාලකයෙකු සහ නීතිඥයෙකු වන සුමන්දිරන් ඉහත මාධ්‍ය සාකච්ඡාවේ දී තමන් හදිසි නීති වගන්ති දැක්කේ පසුව බවත් ඒවා අන්තිම භයානක බවත් කියා ඇත. “එක්කෝ එම වගන්ති වෙනස් කල යුතු යි. නැත්නම් අපි උසාවි යනවා” යයි පපුවට තඩිබා ගනිමින් සුමන්දිරන් ව්‍යාජ රංගනයක යෙදුනේ තම වගකීම වහංගු කර ගැනීමට ය.

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක නමින් ආන්ඩුව ගෙනයන ප්‍රචාරයේ හා මර්දනයේ තවත් විසකුරු පැත්තක් ඇත. එය නම් මුස්ලිම් විරෝධයක් ඇවිස්සීමයි; එමගින් මුස්ලිම්-සිංහල- දෙමල වාර්ගික භේදකරනය අලුත් මට්ටමකින් පෙරට ගැනීමයි. 1948 තමන් අතට පාලන බලය මාරුකරගත් තැන පටන් ලංකාවේ පාලක පන්තිය දෙමල විරෝධි වාර්ගික භේදකරනය ක්‍රමයෙන් උත්සන්න කර 1983 යුද්ධයක් මට්ටමට ඔසවා ගත්තේ දෙමල ජනයා මැඩීමට පමනක් නොව සමස්තයක් ලෙස කම්කරු පන්තිය මර්දනය කර ලාභ පද්ධතිය රැක ගැනීම සඳහා ය.

මෙලෙස පොලිස් පාලනයකට මාරුවීමේ පාලක පන්තියේ ක්‍රියාවලිය සමග දෙජාස පෙලගැසීම එහි නව හැරීමක් පෙන්නුම් කරයි. ඊට ප්‍රධාන හේතු දෙකකි.

පලමු වැන්න, ජාත්‍යන්තර කම්කරු පන්ති අරගලයේ පුනර්ජීවනයේ කොටසක් ලෙස ලංකාවේ වැඩකරන ජනතාවගේ අරගලය වර්ධනය වීමයි. වාර්ගික රේඛා කපාගෙන කම්කරුවන් එකමුතු කලහැකි වෛෂයික කොන්දේසි ලංකාව තුල වැඩෙමින් පැවතුනි. සිංහල, දෙමල හෝ මුස්ලිම් වේවා ධනපති පන්තියේ සෑම කොටසක්ම මෙම වර්ධනයන් නිසා තැතිගෙන සිටිති. ත්‍රස්ත ප්‍රහාරය සිදුවන බව දැනදැනම ඊට ඉඩදී සිටි සිරිසේන ප්‍රමුඛ ආන්ඩුවේ නායකයින් සහ ආරක්ෂක අංශ කම්කරු පන්තියේ එම අරගල මැඩීමට කොන්දේසි සාදා ගැනීම සඳහා එය යොදාගෙන ඇත්තේ මේ තතු තුල ය.

අනෙක් ප්‍රධාන හේතුව, කොලඹ ඇමරිකානු අධිරාජ්‍ය-ගැති පාලනය අස්ථාවර වීමට ඉඩ නොදී රැකදීමට දෙජාසයේ කැපවීමයි. ඉස්ලාමිය මූලධර්මවාදී අයිඑස්අයිඑස් විසින් අන්තවාදී ජාතික ජමාත් තවුහීත් කන්ඩායම යොදාගෙන ප්‍රහාර එල්ල කෙරුනේ ලංකාව ඇමරිකානු අධිරාජ්‍යවාදීන් සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගන්නා තත්වය තුල ය.

2015 ජනාධිපතිවරනයේ දී චීනය සමග ආර්ථික ආධාර හා මිලිටරි සැපයුම් ලබා ගැනීමට සමීප සම්බන්ධතා ගෙනගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉවත් කර මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒම සඳහා වොෂින්ටනය දියත්කල තන්ත්‍ර මාරු මෙහෙයුම සමග අනෙකුත් ධනපති පක්ෂ සමග දෙජාස එක් වූයේය. එක්සත් ජනපදය රාජපක්ෂගේ යුද්ධයට හා ප්‍රජාතන්ත්‍ර- විරෝධී පාලනයට සහාය දුන් නමුත් ඔහු බෙයිජිනය සමග ගෙනගිය සම්බන්ධතාවලට විරුද්ධවූයේ ලංකාව චීනයට එරෙහි යුද්ධයක එක වැදගත් කඳවුරක් ලෙස පෙල ගස්වා ගැනීමේ වුවමනාව නිසාය.

වොෂින්ටනයේ මෙම මූලෝපායික උවමනාකම්වලට සේවය කිරීම තම ධනපති වරප්‍රසාද ලබාගැනීමේ ද මාර්ගය ලෙස දෙමල ධනපති කන්ඩායම් තීන්දුකර ඇත. 2015 පටන් මේ දක්වා දෙමල සන්ධානය කොලඹ ආන්ඩුව රැකීමේ හා එය කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව එල්ල කරන සෑම ප්‍රහාරයකටම සහාය දීමේ පිලිවෙතක් ගෙන යයි. එහි කොටසක් ලෙස මිලිටරිය ආරක්ෂා කිරීමට කොලඹ පාලකයන් ගෙන යන වැඩපිලිවෙලට සහාය දීමේ දුෂ්ටම ක්‍රියාවක් වන්නේ වර්ගවාදී යුද්ධයේදී සිදුකල අපරාධ යට ගැසීමට උදව් කිරීමයි.

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඇමරිකාවේ එෆ්බීඅයි හා මිලිටරි ඔත්තුසේවා කොලඹට ගොඩබැස සිරිසේනගේ හා අගැමති වික්‍රමසිංහගේ පූර්න සහාය ඇතිව තම යුද සැලසුම් තරකරමින් සිටියි. දෙජාස නායකයෝ මෙම භයානක සැලසුම් ගැන මුඛ පූට්ටුකරගෙන සහාය දෙති.

සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කල පරිදි දෙජාස නියෝජනය කරන්නේ කම්කරුවන් නොව දෙමල ධනපති පන්තියයි. කොලඹ ධනපති පන්තිය සමස්ත වැඩ කරන ජනතාවට විරුද්ධව රාජ්‍ය යන්ත්‍රය මුදා හැරීමට එය සහාය දෙන්නේ මේ නිසා ය.

දෙමල මහජනතාවන්ට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කර ගත හැකි සුවිශේෂී මාවතක් නැත. අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා සටන් කිරීම කම්කරුවන් ඉදිරියේ හදිසි භාවයකින් මතුව ඇත. එකම ඉදිරි දර්ශනය, ධනපතියන්ගේ සියලු වාර්ගික භේදකරනයන් කපාගෙන කම්කරු පන්ති ජාත්‍යන්තරවාදී එකමුතුව තහවුරු කර ගනිමින් දකුනු ආසියාවේ හා ලෝක සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන් කිරීමයි. මෙම ඉදිරි දර්ශනය ඉදිරිපත් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය යි.

Share this article: