“ආරක්ෂාව” සඳහා යයි පවසමින් කොලඹ මහල් නිවාසයන්හි කුලී නිවැසියන් පලවා හැරීමේ ප්‍රයත්නයක්

අපේ වාර්තා කරුවන් විසිනි, 2019 මැයි 11

සාලමුල්ලේ “ලක්සඳ සෙවන”, ග්‍රෑන්ඞ්පාස් හි “සිරිමුතු උයන” සහ බොරැල්ලේ “මෙත්සර උයන” සහ “සිරිසර උයන” යන මහල් නිවාසයන්හි පදිංචි කුලී නිවැසියන්ට ඒවායින් වහා ඉවත්වෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ (නාසඅ) නිලධාරීන් තර්ජනය කර ඇත.

මැයි 3 සහ 6 දිනයන්හි එම මහල් නිවාසයන්ට පැමිනි නාසඅ නිලධාරීන්, “ආරක්ෂක හේතු” මත කුලී නිවැසියන් වහාම ඉවත්ව යායුතු බවත්, එසේ නොවුනහොත්, අප්‍රේල් 21 ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයෙන් පසු ආන්ඩුව රටතුල තහවුරු කල පොලිස් හමුදා බලතල යටතේ පියවර ගන්නා බවත් පවසා තිබේ.

සිංහල, මුස්ලිම් සහ දෙමල වාර්ගිකයන් මෙම නිවාස කුලියට ගෙන ඇති අතර, බෝම්බ ප්‍රහාරය ඩැහැ ගනිමින් ධනේශ්වර සංස්ථාපිතය මුදාහැර ඇති වර්ගවාදී උද්ඝෝෂනය හමුවේ මුස්ලිම් හා දෙමල ජනයාට මෙම අවස්ථාවේ නව කුලී නිවසක් සොයා ගැනීම ඉතා අපහසු බව මෙම නිලධාරීන් ඉතා හොඳින් දැනුවත්ය.

මේ සම්බන්ධයෙන් නාසඅ යේ ව්‍යාපෘති අධ්‍යක්ෂ බි්‍රගේඩියර් එස්.ඒ.ආර්. සමරසිංහ ගේ අත්සනින් නිවාස හිමියන්ට නිකුත් කල ලිපියේ මෙසේ සඳහන්ව ඇත. “රටතුල පැනනැගී ඇති වත්මන් අනාරක්ෂිත තත්වයට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් ගෙන ඇති මෙම තීරනයට අවනත නොවන්නේ නම් ඔබ වෙත ලබාදී ඇති එම නිවසේ භුක්තිය මෙම අධිකාරිය වෙත නැවත පවරා ගැනීමට කටයුතු කරන බවට මෙයින් අවධාරනය කරමි.”

ඉහත සඳහන් කල මහල් නිවාසයන්හි පිහිටි නිවාස ඒකක කුලියට දීමට අයිතියක් නැති බව එම ලිපියේ සඳහන් ය. අඩු ආදායම්ලාභීන් දශක කීපයක්ම පදිංචිව සිටි ඔවුන්ගේ නිවාස වලින් ඔවුන් පලවා හරිමින් මෙම මහල් නිවාසවල පදිංචිකලේ ඔවුන් ඕනෑම මොහොතක ඉවත් කල හැකි ලෙස කිසිම නීත්‍යානුකූල අයිතියක් පවරා නොදෙමිනි.

කොලඹ වටිනා බිම් ආයෝජකයන්ට විකිනීම සඳහා අඩු ආදායම් ලාභීන් එම බිම් වලින් පලවා හැරීම මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ කොලඹ සංවර්ධන වැඩපිලිවෙල යටතේද, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ මෙගාපොලිස් වැඩපිලිවෙල යටතේද ක්‍රියාවට දැමුනි.

නාසඅ දැන් සූදානම් වන්නේ නිවාස කුලියට දුන්නේය යන චෝදනාව මත එම නිවාස නැවත පවරා ගනිමින් කොලඹ නගරයෙන් පලවා හැරීමට නියමිතව ඇති වෙනත් පවුල් මෙම නිවාසයන්ට තල්ලු කිරීමටය.

මීතොටමුල්ලේ විනාශයෙන් පසු මෙතෙකුදු එහි පදිංචිව සිටින නිවැසියන්ට ඉවත්වන ලෙසට දැනුම්දී ඇති අතර කජීමා වත්තේ නිවැසියන් ඉවත්කිරීමේ උවමනාවෙන් ආන්ඩුව පෙලෙයි.

“ලක්සඳ සෙවන” නිවාස සංකීර්නයේ නිවැසියන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට කියා සිටියේ, කුලී නිවැසියන් පලවා හැරීමේ ප්‍රයත්නයට එරෙහිව නිවාස සංකීර්නයේ කුලී නිවැසියන් හා නිවාස හිමියන් යන දෙපිරිසෙන්ම නාසඅ නිලධාරීන්ට ඉතා දැඩි විරෝධයක් එල්ල වූ බවයි. සිංහල, මුස්ලිම් සහ දෙමල මහජනයා එක්සත්ව මෙම බලහත්කාරී ක්‍රියාවට විරෝධය දක්වති. ඒ, බී හා සී යන කොටස් තුනකින් යුතු නිවාස සංකීර්නයේ දැනට කුලියට ජීවත් වන පවුල් 100 කට වඩා සිටින බව ඔවුහු පැවසුහ.

එහි නිවාස හිමි බොහොමයක් දෙනා මීතොටමුල්ල විනාශයෙන් පසු පදිංචි කරවූ හා සේදවත්ත, දෙමටගොඩ වැනි ප්‍රදේශ වල දශක ගනනාවක් ඔවුන් ජීවත් වූ ස්ථීර නිවාස කඩා දමා පදිංචි කරවූ අයයි.

ප්‍රමිතියකින් තොර ඉතාකුඩා වපසරියකින් යුත් මෙම මහල් නිවාස පදිංචියට නුසුදුසු හෙයින් සිය ගනනක් පවුල් තම නිවෙස් කුලියටදී, වෙනත් ස්ථාන වල පදිංචියට ගොස් ඇත. මහල් නිවාස කුලියට ගන්නේ නිවාස හිමියන්ටද වඩා දරිද්‍රතාවෙන් පීඩා විඳින පවුල්ය.

“ලක්සඳ සෙවන” නිවාස සංකීර්නයේ පහත මාලයේ කුඩා කෑම කඩයක් පවත්වාගෙන යන දිනේෂ් හා ජෙගන් ලෝසවෙඅ වාර්තාකරුවන් අමතමින් කියා සිටියේ සිකුරාදා පොලීසිය සමග නිවාස සංකීර්නයට පැමිනි නිලධාරින්, කුලීකරුවන් වෙසෙන සෑම නිවසකම ජල සැපයුම් විසන්ධි කිරීමට උත්සාහ කල අතර එයට නිවැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බවයි. තමන් මේ සංකීර්නයේ නිවාස හිමිකරුවෙක් වුවත්, අසරන පවුල් වලට එරෙහි ආන්ඩුවේ මේ සිත්පිත් නැති ප්‍රහාරය තමන් හෙලාදකින බව ඔවුහු පැවසුහ.

“මේ දුප්පත් මිනිස්සු, ගෙවල් කුලියට අරගෙන තියෙන්නේ මාස කීපයක ඇඞ්වාන්ස් (අත්තිකාරම්) දීල, ඒ කියන්නේ රුපියල් ලක්ෂ එකහමාරක් විතර. ගෙවල් අයිතිකාරයෝ ඒගොල්ලෝ දැන් ඉන්න ගෙවල් වලට සල්ලි බැන්දේ මේ මුදලින්. දැන් කොහොමද ඒගොල්ල එකපාරටම මේ මුදල දෙන්නේ?”

තමන් වසර 40 ක් පමන ජීවත් වූ ඉඩකඩ සහිත නිවාස වෙනුවට මෙම කුඩා නිවාස ලබා දුන්නද, නව නිවසක පදිංචි වීමට අවශ්‍ය පහසුකම් සකසා මොනම අධාරයක්වත් ආන්ඩුවෙන් නොලැබුනු බව ඔවුහු පැවසූහ.

“මේ ගෙවල් වලට නීත්‍යානුකුල අයිතික් දෙන්න ආන්ඩුවව කිසිම සූදානමක් නැති බව මෙයින් පේනවා” යැයි දිනේෂ් පැවසුවේය. “අපිට ස්ථිර අයිතිය තිබුනු ගෙවල් බලහත්කාරෙයෙන් අරගෙන දැන් මේ දීලා තියන ගෙවල් වලට මොනම අයිතියක් වත් නැති බව තමයි පේන්නේ. අයිතිය තියෙනවනම් කුලිට දෙන්න තියන තහනම මොකක්ද?” ඔහු අසා සිටියේය.

“අපි හිටපු ගෙවල් වලින් භාගයකවත් මිනිස්සු නැහැ, සතියකට දවසක්වත් ලිෆ්ට් (විදුලි සෝපාන) ඔක්කොම කැඩෙනවා, කුනු දාන්ඩ තැනක් නැහැ, හැමදාම කුනු ගෙනියන්ඩ එන්නෙත් නැහැ, මේ ප්‍රශ්න ඔක්කොමත් එක්කයි මිනිස්සු මෙතන ජීවත් වෙන්නේ, වෙන කරන්ඩ දෙයක් නැති කමට” දිනේෂ් පැවසීය.

නිවාස සංකීර්නයේ කුලියට ජීවත් වන එක්දරු මවක් වන ලියෝමි මෙසේ පැවසුවාය: “අපි මේ ෆ්ලැට් එකේ කුලියට ඇවිත් අවුරුදු එකහමාරක් වෙනවා. මේ ගෙදර අයිති මීතොටමුල්ල සිද්ධියෙන් ගෙවල් නැති වෙච්ච පවුලකට, ඒගොල්ලන්ගේ පවුලට මේ ගෙදර පොඩි වැඩියි, කරපු රස්සාවල් මෙතන ඉඳලා කරගන්නත් බැහැ, ඉතින් ඒ අය දැන් වෙනත් ගේක කුලියට ඉන්නවා.”

හෝටල් කම්කරුවෙකු ලෙස සේවය කරන ලියෝමිගේ සැමියා වන ප්‍රසාද් මෙසේ සාකච්ඡාවට එක්වුනි: “දැනට සති 2 කට පමන කලින් නාසඅ නිලධාරින් පැමින මෙම නිවාස කුලියට දීම තහනම් බැවින් වහාම ඉවත් වන ලෙස වාචිකව දැනුම් දී ලිඛිත නිවේදනයක්ද ලඟදීම ලබා දෙන බව පැවසුවා. සිකුරාදා එකපාරටම ඇවිත් ලියුමක් දීල, ගෙදර වතුර කපනවා කිව්වා.”

මුහුන සෝදා ගැනීමටවත් ජලය එක්රැස් කරගෙන නොමැති බව පැවසූ විට එක් පනිට්ටුවක් පමනක් පුරවා ගැනීමට ඉඩ හැරලා ජල සැපයුම විසන්ධි කල බව ලියෝමි පැවසුවාය. “නමුත් පහල ගෙවල් වල අයගේ වතුර කපන්න යනකොට ඒගොල්ල විරුද්ධ වෙලා, බිල්ඩිම ඉස්සරහ උද්ඝෝෂනයක් පටන් ගත්ත.” ඉන් පසුව එතනට පැමින උසස් පොලිස් නිලධාරියෙකු සියලු දෙනාටම බැනවැදී තර්ජනය කල බවත් ඇය පැවසුවාය.

“යුඩීඒ (නාසඅ) මහත්තුරු කියන්නේ කුලියට ඉන්න අය ගැන විස්තර ඒගොල්ලෝ ගාව නැති නිසා, ඒ පවුල් වලට මේ ගෙවල් වල ඉන්න දෙන එක ආරක්ෂාවට තර්ජනයක් කියල. බෝම්බ හදන්නේත් ඔහොමයි කියල ඒගොල්ල කීවා. අපේ ඔක්කොම විස්තර හා අත්සන් අරගෙන තමයි ගෙවල් අයිති කාරයෝ කුලියට දුන්නේ, ඇයි මේගොල්ලන්ට ඒ විස්තර ගන්න බැරි. මේ හදන්නේ, බෝම්බ සිද්ධියට මුවා වෙලා අපිව මෙතනින් එලවගන්න, සාමාන්‍ය මිනිස්සුන්ව අපරාධ කාරයෝ ගානට දාන්න. හැම ජාතියකම මිනිස්සු මෙතන ඉන්නවා, අපි කවුරුත් අපරාධකාරයෝ නෙමෙයි.”

ග්‍රෑන්ඞ්පාස් හි සිරිමුතු උයන මහල් නිවාසයේ පදිංචි කරවා ඇත්තේ ස්ටේඩියම් ගමේ දශක තුනක් පමන ජීවත්වූ ජනතාවයි. ඔවුන් 2014 දී තම නිවෙස් වලින් පලවා හැර ඇත.

එම නිවැසියෙක් මෙසේ පැවසුවේය: “මේ ෆ්ලැට්වල අයිතිය ලැබීමට අවුරුදු 30 ක් රුපියල් 2670 ගානෙ මාසික ව ගෙවන්න ඕන. වර්ග උඩි 420 ක් විතරයි එකක ඉඩ. පවුල් ලොකු වෙන කොට ඉඩ මදි නිසා ඒවයේ හිටපු අය කුලී ගෙවල් අරන් මේවා කුලියට දී වෙනත් තැන්වල පදිංචියට ගියා. මේ ගෙවල් වල කිසිදු පහසු කමක් නැහැ.”

සිරිමුතු උයන නිවැසියන් කියා සිටියේ තමන් ද විරෝධය දැක්වූ නමුත් පොලීසිය මගින් පිටතට පැමිනීම වැලැක්වූ බවයි.

4 වෙනිදා එක පාරටම වතුර කපා දම්මා. දැන් වතුර තියෙන ගෙවල්වලින් අපට උදවු කරනවා. ක්ෂනිකව තියා සුමානයක් ඇතුලතවත් ගෙයක් හොයා ගන්න බෑ. කට්ටිය උද්ඝෝෂනයකට සැරසුනා. නමුත් පොලිසිය ආරක්ෂක තත්ත්වය මත කියල පාරට එන්න දුන්නෙ නෑ. බ්ලොක් දෙකකට ජලය කපල තියෙන්නෙ. පහුවෙනිදා අනික් බ්ලොක් දෙකේ කපන්න හිටියට. විරුද්ධත්වය නිසා කැපුවෙ නෑ. සහස්වත්ත, ඇපල්වත්ත ආදී තැන්වලත් මේ විදියට වතුර කපල තියෙනව” යැයි එහි නිවැසියෙක් පැවසීය.

තවත් කුලී නිවැසියෙක් මෙසේ පැවසීය: “මගේ ගම ග්‍රෑන්ඞ්පාස්. මම උපන්නේ කොලඹ වුනත් කිසි ම දවසක අපේ ම කියල ගෙදරක ඉඳල නෑ. හැමදාම හිටියෙ කුලී ගෙවල්වල. අපි එදා වේල කාලා ඉන්න මිනිස්සු. බෝම්බ සිද්ධියෙන් පස්සෙ අපි තාම එලියට බැහැල නෑ.”

නව කුලී නිවසක් සඳහා හදිසියේ මුදල් සොයාගත නොහැකි බවත් එසේ සොයා ගත්තද දෙමල සහ මුස්ලිම් ජන වාර්ගිකයන්ට එය ඉතා දුෂ්කර බවත් ඔහු පැවසීය: “කවුරුවත් එහෙම අපිට එක පාරට කුලී ගෙවල් දෙන්න කැමති වෙන්නෙ නෑ මේ ඇති වෙලා තියෙන තත්ත්වය එක්ක. අපි නම් හිතන්නෙ කලින් සැලසුම් කල වැඩක් ක්‍රියාවට දාන්න මේ ඇති වෙච්ච අනාරක්ෂිත තත්ත්වය ප්‍රයෝජයට ගත්තා කියලා. මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙද්දි මේ වගේ මිනිස්සුන්ව අපහසුතාවට පත් කරන එක වැරදියි.”

Share this article: