“මුස්ලිම් අන්තවාදයේ” වගකීම “මුස්ලිම් සමාජයට” පවරමින් ජවිපෙ නායකයා මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයට තෙල් වත් කරයි

පානි විජේසිරිවර්ධන විසිනි, 2019 මැයි 11

අප්‍රේල් 21 දා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ ඉස්ලාම් අන්තවාදීන් වන බැවින්, “එම අන්තවාදයේ ගර්භාෂය වන මුස්ලිම් සමාජය” එයට වගකිව යුතු බව මැයි 7 වන දා පාර්ලිමේන්තු විවාදයට සහභාගි වෙමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

පසුදින, එනම් මැයි 8 දා, ජවිපෙ තම මූලස්ථානයට මුස්ලිම් “ප්‍රජා නායකයන්” කැඳවූ අතර, දිසානායක එහිදීද ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයේ සහ අන්තවාදයේ වගකීම මුස්ලිම් ප්‍රජාව මත පැටවීමට නරුම උත්සාහයක යෙදී ගත්තේය. සැබවින්ම, එය සාකච්චාවක ස්වරූපයෙන් කල වර්ගවාදී තර්ජනයකි.

බහුතරයක් “ප්‍රජා නායකයන්” දිසානායකගේ වර්ගවාදී කුතර්කය පිලි නොගත්හ. එක් “ප්‍රජා නායකයෙකු” පැවසුවේ සිංහල-බෞද්ධ අන්තවාදීන් විසින් මුස්ලිම් ජනවර්ගයට එරෙහිව දිගින් දිගටම යෙදූ පීඩනය හමුවේ මංමුලාසහගත තත්වයට පත්ව සිටි මුස්ලිම් වාර්ගිකයන් අතරින් අතලොස්සක්, මෙම කුරිරු ත්‍රස්ත ක්‍රියාවට යොදා ගන්නට ඇති බවයි. “මිනිහෙකුට දිගින් දිගටම පීඩනය යෙදුවොත් ඔහු මිනිහෙක් ලෙෂ නොවෙයි සතෙක් ලෙසයි හැසිරෙන්නෙ” යැයි ඔහු පැවසීය.

දිසානායකගේ ඉහත තර්කය ඔහුගේ සෑම කතාවකම මූලික තේමාව වී ඇත. මැයි 1 දා සිරස රූපවාහිනී නාලිකාවේ “ඉලක්කය” වැඩසටහනට සහභාගි වෙමින් ද ඔහු මෙම විසඝෝර තර්කය පලිප්පු යොදා වැමෑරීය.

මෙම මුස්ලිම්-විරෝධී විසකුරු තර්කය කම්කරු-පීඩිත මහජනතාව පිලිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කල යුතුය.

අන්තවාදී දේශපාලනික ව්‍යාපාරයන්ගේ මූලය පවතින්නේ ආගම් තුල නොව, ලෝක ධනවාදයේ අතිමූලික පරස්පර විරෝධයන් තියුනුවීම හේතුවෙන් පැන නංවා ඇති සමාජ, ආර්ථික සහ භූ-දේශපාලනික අර්බුදයන් තුලයි. එකී අර්බුදයන්හි දී පාලක පන්තීන් විසින් තම ප්‍රතිගාමී දේශපාලනික අරමුනු සඳහා ආගමික පසුගාමිත්වයන් ද යොදා ගැනෙන බව නොරහසකි.

අප්‍රේල් 21 ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අයිඑස්අයිඑස් සංවිධානයමත් එක්සත් ජනපදය විසින් තම භූ දේශපාලනික අරමුනු සඳහා හදා වඩා පෝෂනය කල බව පැහැදිලිව අනාවරනය වී ඇති කරුනකි.

ජවිපෙ නායකයා තම කුතර්කය ගොතනුයේ, ත්‍රස්තවාදයේ ගර්භාෂය වනුයේ ආගම්වාදය නොව අර්බුදග්‍රස්ත ධනවාදය බව වසන් කොට ධනවාදයට එරෙහි සටනෙන් කම්කරු පන්තිය වෙනතක හැරවීමට යි.

“ඉලක්කය” වැඩසටහනේදී ජවිපෙ හි මෙම ප්‍රයත්නය වඩාත් විශදව ප්‍රකාශයට පත්විය. අන්තවාදී ව්‍යාපාරයන්ගේ වර්ධනයට හේතුව “අපරිනත ආන්ඩුකරනය” බව දිසානායක එහිදී පැවසීය. දිසානායකට අනුව අර්බුදයේ මූලය ධනවාදය නොවන අතර ධනවාදය යටතේ වුව “පරිනත ආන්ඩුකරනයකින්” ත්‍රස්තවාදය ඇතුලු අර්බුද වලකාගත හැක.

“බල පොරය” පසෙක ලා ධනපති සංස්ථාපිතයේ සියලු පක්ෂ ඒකාග්‍රව කටයුතු කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින් දිසානායක මෙසේ පැවසීය: “මෙතන කඳවුරු දෙකයි තියෙන්නෙ. අපි එක පැත්තක, ඉස්ලාම් අන්තවාදීන් අනෙක් පැත්තෙ.”

ඔහු “අපේ පැත්ත” යනුවෙන් නම් කරනුයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුන, දෙමල ජාතික සන්ධානය, ජවිපෙ සහ ව්‍යාජ-වාම පක්ෂ සහ ධනපති මාධ්‍ය ඇතුලු සමස්ත ධනේශ්වර සංස්ථාපිතය නියෝජනය කරන කඳවුර යි.

“ඉස්ලාම් අන්තවාදය” මැඩීමේ කඩතුරාව යටතේ කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල තලා දැමීම සඳහා ආන්ඩුව ක්‍රියාවට දමා ඇති රුදුරු පොලිස් රාජ්‍ය සැලසුම් සම්බන්ධයෙන් මෙම කඳවුරෙහි සියලුම කොටස් අතර ඇත්තේ අතිමූලික එකඟතාවයකි.

ආන්ඩුව විසින් හදිසි නීතිය බල ගන්වා, ඕනෑම කෙනෙකු අත්අඩංගුවට ගැනීමේ, රඳවා තබා ගැනීමේ සහ පාපොච්චාරන ලබා ගැනීමේ විසදල පොලීසියට සහ මිලිටරියට ලබා දී ඇත. එයින් සැහීමට පත් නොවන දිසානායක “ශක්තිමත් නීති පද්ධතියක්” සම්පාදනය කරමින් “ආරක්ෂක යාන්ත්‍රනය ප්‍රතිසංවිධානය” කලයුතු බව පවසයි.

“සෑම දේශපාලන නායකයෙකුටම මේ අදහස පහලවිය යුතු” යැයි නරුම ලෙස කියන ඔහු මෙය “මුලට ගැසිය යුතු අවස්ථාව නොවේ” යැයි පවසයි.

“මුලට ගැසීම” යනුවෙන් දිසානායක අදහස් කලේ කුමක්ද යන්න පැහැදිලි නොකලද ඔහුගේ සාකච්ඡාවේ සන්දර්භයත් ජවිපෙ හි ඉතිහාසයත් සැලකිල්ලට ගත් කල එය ඉතා පැහැදිලිය. අතිමූලික වසයෙන් ගත්කල “මුලට ගැසීම” යනුවෙන් ජවිපෙ අදහස් කරනුයේ ධනපති ආන්ඩුවට එරෙහි සටනයි. එනම් ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහි කම්කරු-පීඩිත මහජනතාවගේ පන්ති සටන් ය. දිසානායකට අනුව මෙය ඒ සඳහා අවස්ථාව නොවේ.

1988-89 කාල පරිච්ඡේදයේදී ද ජවිපෙ “දේශප්‍රේමී” සහ “දේශද්‍රෝහී” යනුවෙන් කඳවුරු දෙකක් බෙදා වෙන් කලේ “පලමුව මවුබිම-දෙවනුව වැඩබිම” යන සටන් පාඨය ඔස්සේ පන්ති සටන පසුපසට තල්ලු කරමිනි.

වර්ගවාදී යුද්ධය පැවති දශක තුනකට ආසන්න කාලය පුරා පන්ති සටන් පැනනැගි සෑම අවස්ථාවකදීම ජවිපෙ යුද්ධය පෙරට දමමින් පන්ති අරගලවලට ඇබ ගැසීමට ද පැනනැගි අරගල තලා දැමීමටද ධනපති ආන්ඩු සමග එක්ව වැඩ කලේය.

මෙම ඉතිහාසය සමාලෝචනය කරමින් සිරස සම්මුඛ සාකච්ඡාවේදී දිසානායක මෙසේ පැවසීය: “සමහර අවස්ථාවලදි අපි රටගැන හිතල දේශපාලන තීන්දු අරගෙන තියෙනව.”

1977 දී සිරිමා බන්ඩාරනායකගේ සමගි පෙරමුනු ආන්ඩුව, 1994 දී චන්ද්‍රිකා කුමාරතුංගගේ පොදු පෙරමුනු ආන්ඩුව සහ 2005 දී මහින්ද රාජපක්ෂ ආන්ඩුව බලයට ගෙන ඒමේදී මෙන්ම 2015 දී වොෂින්ටනය අතයොදා කල තන්ත්‍ර මාරුවේදී ජවිපෙ “රටගැන සිතා” එම ප්‍රතිගාමී බලවේග සමග එක්විය.

ජවිපෙ “රටගැන සිතා” ගත් දේශපාලනික තීන්ු අතරින්, 2003 දී රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රජාතන්ත්‍ර-විරෝධී ආකාරයෙන් ඉවත් කිරීම සඳහා ප්‍රතිගාමී ජනාධිපති විධායක බලතල යොදා ගන්නා ලෙස කුමාරතුංගට කල බලපෑමත්, වික්‍රමසිංහ ආන්ඩුව නෙරපා දැමීමෙන් පසු ඇටවූ “පරිවාස ආන්ඩුවේ” ඇමතිකම් ලබා ගනිමින් කම්කරු-පීඩිත මහජනතාවට එල්ල කල ප්‍රහාරයත් සුවිශේෂීය.

මාඕවාදය, කැස්ත්‍රෝවාදය සහ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයේ මිශ්‍රනයක් මත පදනම් වූ ජාතිකවාදී සුලු ධනේශ්වර රැඩිකල් ව්‍යාපාරයක් ලෙස 1960 දශකයේ මැද භාගයේ සම්භවය වූ ජවිපෙ, 1988-89 කාල පරිච්ජේදයේ දී කම්කරු පන්තියට එරෙහිව ෆැසිස්ට් පන්නයේ උද්ඝෝෂනයක් දියත් කලේය.

1980 ගනන් වල ඇරැඹුනු නිශ්පාදනයේ භූගෝලීයකරන ක්‍රියාවලියත් සමග ලොවපුරා පැවති මෙවන් ජාතිකවාදී ව්‍යාපාර තම අධිරාජ්‍ය-විරෝධී සහ සමාජවාදී පූච්චානම් ඉවත දමමින් ඒ ඒ රටවල ධනේශ්වර සංස්ථාපිතයන්ට සහ අධිරාජ්‍යවාදී කඳවුරු වලට මුලුමනින්ම ඒකාග්‍ර විය. ජවිපෙ දේශපාලනයේ තර්කානුකූල අන්තයද එයම වූ අතර වත්මනේදී එය ධනේශ්වර රාජ්‍යයේ සහ ධනවාදයේ දෘඪ ආරක්ෂකයෙකි.

එය තහවුරු කරමින් ඉහත සම්මුඛ සාකච්ඡාවේදී දිසානායක මෙසේ පැවසීය: “ජවිපෙ මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්නෙ රටේ ආරක්ෂාව සලකා බලල. රට අනාරක්ෂිත තත්වයට ඇද වැටිල තියෙනව.” අනෙක් ධනපති නායකයන් ට මෙන්ම දිසානායකට ද “රට” යනු ධනේශ්වර රාජ්‍යය හැර අන් කිසිවක් නොවේ.

2008 මූල්‍ය අර්බුදයෙන් ඇලලී බිඳවැටීමක් තුලින් ගමන් කරන ලෝක ධනවාදය ට දිය හැක්කේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි රුදුරුම ප්‍රහාරයන් සහ ලෝක යුද්ධයන් පමනි. මෙයට ප්‍රතිචාර වසයෙන් ජාත්‍යන්තර පරිමානව වැඩී එන පන්ති අරගල රැල්ලේ කොටසක් ලෙස ලංකාව තුල වේගයෙන් වර්ධනය වන පන්ති අරගල මාලාව සම්බන්ධයෙන් ජවිපෙ ඇතුලු සමස්ත ධනපති පාලක පන්තිය බලගතු ලෙස උත්සුකය.

සමාජවාදය කෙරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ වැඩෙන නැඹුරුව සහ දශක ගනනාවක් පුරා පන්ති අරගල කෘතිමව යටපත් කරගෙන සිටි වෘත්තීය සමිති වලින් මිදී තමාගේම ස්වාධීන බල සංස්ථා ගොඩනගමින් අරගල වලට පිවිසීම සඳහා ලෝක කම්කරු පන්තිය රැගෙන ඇති ආරම්භකත්වය ලංකාවේ මෑත අරගලයන්හි දී ද ප්‍රකාශයට පත්විය.

ලක්ෂයකට අධික වතු කම්කරුවන් රුපියල් දහසක දෛනික වැටුපක් ඉල්ලා ගෙනගිය වැඩ වර්ජනය මේ අතරින් කැපී පෙනෙයි. හැටන් හි ඇබොට්ස්ලී වත්තේ කම්කරුවෝ තම සටන ඉදිරියට ගෙනයාම සඳහා ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනය මත පාදක වූ තමාගේම ක්‍රියාකාරී කමිටුවක් ගොඩනගා ගත්හ.

මෙම පන්ති අරගල වර්ධනය වී ධනේශ්වර රාජ්‍යයටම අභියෝග කරතැයි ජවිපෙ ඇතුලු පාලක පන්තිය භීතියට පත්ව සිටී. “රට අනාරක්ෂිත තත්වයට ඇද වැටී” ඇතැයි දිසානායක පවසන්නේ ඒ අර්ථයෙනි.

ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට පෙර සිටම, ප්‍රති-ත්‍රස්ත පනත වැනි විසඝෝර පනත් ඉදිරිපත් කරමින් ආන්ඩුව පියවර මනිමින් සිටියේ පොලිස් රාජ්‍යයක් දෙසටයි. එහි අරමුන වැඩෙන පන්ති අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීමයි.

ත්‍රස්තවාදී ප්‍රහාරයේ වගකීම මුස්ලිම් ජනතාව මත පටවන අතරේ “ජාතික සමගිය” පිලිබඳව සිරස සාකච්ඡාවේදී දිසානායක කල සැඳහුම් මුලුමනින්ම කුහක ය. ජවිපෙ යනු, ලංකාවේ ධනපති පාලක පන්තිය විසින් කම්කරු පන්තියේ ශක්තිය බිඳීම සඳහා ආරම්භයේ සිට ගෙනයන උපාය මාර්ගය වන වර්ගභේදවාදය උපතේ සිටම වැලැඳගත් ව්‍යාපාරයකි.

දෙමල ජනයාට එරෙහි කුරිරු යුද්ධයේ කසකරුවෙකු වූ ජවිපෙ, අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් පසු ධනේශ්වර සංස්ථාපිතය මුදාහැර තිබෙන විසකුරු මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය තුල ප්‍රමුඛම ක්‍රියාකලාපයක් ඉටු කරන බවට දිසානායකගේ ඉහත ප්‍රකාශයන් සාක්ෂි දරයි.

දෙමල ජනයාට එරෙහි කුරිරු යුද්ධයේ ලේ නාගත් ජවිපෙ දැන් මුස්ලිම් විලෝපනයකට අවශ්‍ය දෘෂ්ටිවාදාත්මක අඩුමකුඩුම සම්පාදනය කර දෙයි. “ඉලක්කය” සාකච්ඡාව පුරා දිසානායක උත්සාහ කලේ “මුස්ලිම් අන්තවාදය” මැඩීමේ නාමයෙන් පන්ති සටන් වෙනතක හරවා කම්කරු-පීඩිත මහජනතාව ධනේශ්වර ප්‍රහාරයන්ට යටත් කිරරීමටයි.

Share this article: