ස්වෝත්තමවාදී “අපි දෙමල” පක්ෂය ඉන්දීය මැතිවරනය තුල කම්කරු පන්තිය බෙදීමට උත්සාහ කරයි

Chauvinist “We Tamil” party seeks to divide working class in Indian elections

අදියන් සිල්වා හා වී. ඥානා විසිනි, 2019 මැයි 1

ඉන්දියාවේ ජාතික මහ ව්‍යාපාරික පක්ෂ දෙක වන, පාලක භාරතීය ජනතා පක්ෂය (බීජේපී) හා කොංග්‍රස් පක්ෂය, තමිල්නාඩුවේ ඔවුන්ගේ සගයන් වන පාලක ඒඩීඑම්කේ (අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම්) හා ඩීඑම්කේ (ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම්) ද සමගින් දශක ගනනාවක් තිස්සේ අනුගමනය කල පිලිවෙත් හේතුවෙන් කම්කරුවන් ගැඹුරින් ම අතෘප්තියට පත් ව ඇතැයි දැකගන්නා එන්ටීකේ, ඔවුන් වමට හැරීමක් වැලැක්වීමට උත්සාහ කරයි.

තමිල්නාඩුවේ රැකියා විරහිත උපාධිධාරීන් 900,000ක් සිටිය දී හා ඉන්දියාව පුරා නයබරින් මිරිකී සිටින ගොවීන් දිවි නසා ගනිද්දී, උතුරු ඉන්දීය කම්කරුවන්ට එරෙහි වෛරය ඇවිස්සීමට එන්ටීකේ නායක සෙබස්තියන් සීමන් උත්සාහ දරයි. “අපේ මාතෘභූමිය අපට අහිමි වන තත්ත්වයක් උදා වී තිබෙනවා” යි සීමන් කියා සිටී. “චෙන්නායි අගනුවර හා සියලු ප්‍රධාන නගර ඔවුන් විසින් සිය ග්‍රහනයට ගෙන තිබෙනවා. ...එක් ජනමාධ්‍යවේදියෙක් පෙන්වා දුන් පරිදි උතුරු ඉන්දියානුවන් මිලියන 7ක් පමන තමිල්නාඩුවට එනවා. බලය අහිමි කරගන්නන් වහලුන් බවට පත්වෙනවා.”

මලයාලම් හා තෙලිඟු වැනි අනෙකුත් ඉන්දීය භාෂාවන් කතා කරන රාජ්‍ය නිලධාරීන්ව හෙලාදකිමින්, “තමිල්නාඩුව පාලනය කල යුත්තේ දෙමල අයයි” යන ඉල්ලීම සීමන් විසින් පෙරට ගෙන ඇත.

මෙම ප්‍රතිගාමී පූච්චානම්, තමිල්නාඩුවේ මුල පටන් පැවත එන කම්කරුවන් හා පීඩිතයිනුත්, ඔවුන් මුහුන දෙන ගැටලුවලට ම මුහුන දෙන තමිල්නාඩුවට සංක්‍රමනය වී ඇති හෝ අසල්වැසි ඉන්දීය ප්‍රාන්තවල ජීවත් වන කම්කරුවන් හා පීඩිත ජනයාත් අතර ලේවැකි ගැටුම් අවුලුවයි. එය පිලිබිඹු කරන්නේ, පාලක ප්‍රභූවේ අනෙක් කොටස්වලට එරෙහි ව තමන්ගේ අවශ්‍යතා ඉදිරියට ගැනීම පිනිසත් සියල්ලටත් වඩා කම්කරු පන්තිය බෙදීමටත්, ජනවාර්ගික හා වාර්ගික බෙදීම් ගසා කන බිලියනපතියන්ගේ හා කෝටිපතියන්ගේ තුනී, කෑදර ස්ථරයක අවශ්‍යතා ය.

“පරාර්ථකාමී හා ආදරනීය ආඥාදායකත්වයක්” ගොඩනැංවීම හරහා තමිල්නාඩුව ලෝකයේ ධනවත් ම ප්‍රාන්තය බවට පත්කිරීමට සීමන් පොරොන්දු වී ඇත. වෙනත් වචනවලින් කියතොත්, ඔහු යෝජනා කරන්නේ, ඩීඑම්කේ හා ඒඩීඑම්කේ විසින් පිහිටුවන ලද විශේෂ ආර්ථික කලාප (එස්ඊඉසෙඞ්) තුල වැඩකරන යටහත්, කීකරු ලාබ-ශ්‍රම බලකායක් අන්තර්ජාතික සංගතයන්ට සම්පාදනය කිරීම සඳහා සමාජ විරෝධය අනුකම්පා විරහිත ලෙස මර්දනය කිරීමට යි.

මෙම ජාතිකවාදී හා ආඥාදායක පූච්චානම්වල ප්‍රධාන ඉලක්කය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ පුනර්ජීවනය යි. 2019 ආරම්භයේ පටන් ගුරුවරුන්, ප්‍රවාහන කම්කරුවන්, රජයේ සේවකයන් හා එස්ඊඉසෙඞ් කම්කරුවන් ඉන්දියාව පුරා වැඩ වර්ජන දියත් කර ඇත්තේ, දෙමල කතා කරන වතු කම්කරුවන් ඇතුලු ශ්‍රී ලංකාවේ කම්කරුවන් මෙන් ම ය. මෙය සිදුවන්නේ, එක්සත් ජනපදයේ ගුරුවරුන්ගේ මහා වැඩ වර්ජන, ප්‍රන්සයේ “කහ කබා” විරෝධතා සහ ඇල්ජීරියානු හා සුඩාන තන්ත්‍රයන්ට එරෙහි මහජන විරෝධතා මධ්‍යයේ ය.

කම්කරුවන් බෙදීමට දෙමල වර්ගවාදය අවුලුවාලන අතර, ඉන්දියානු ආන්ඩුවේ යුද ප්‍රතිපත්තිවලට හා චීනය හුදකලා කිරීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග පවත්වන ඉන්දීය ආන්ඩුවේ සන්ධානයට ද සීමන් පිටුබලය දෙයි. “ඉන්දියාව වනාහි බොහෝ ජාතීන්ගේ සමූහාන්ඩුවකි” යි අවධාරනය කරන අතර, “මුදල් මුද්‍රනය කිරීම, රටෙහි ආරක්ෂාව හා විදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඇතුලු මධ්‍යම රජයේ කර්තව්‍යයන් තුනට” සහයෝගය දිය හැකි බව සීමන් කීවේ ය.

චීනයට එරෙහි ප්‍රතිබලයක් ලෙස ඉන්දියාව ගොඩනැගීම ඉලක්ක කරගත්, වොෂින්ටනය සමග ඉන්දීය ආන්ඩුවේ “ගෝලීය මූලෝපායික හවුල්කාරීත්වය” පිලිබඳ ව නොඇසූ කන්ව සිටින සීමන්, චීනයේ ප්‍රධාන ප්‍රාදේශීය සහකරුවා වන පකිස්තානය සමග වන ඓතිහාසික හතුරුකමේ දී ඉන්දියානු හමුදාවට සහයෝගය දී ඇත. ඉන්දීය-පාලිත කාෂ්මීරය තුල මේ පෙබරවාරියේ සිදු වූ පුල්වාමා බෝම්බ පිපිරීම්, න්‍යෂ්ටික බලවතුන් වන පකිස්තානය හා ඉන්දියාව මහා පරිමාන යුද්ධයක් අද්දරට ම ගෙන ආ කල, සීමන් බීජේපී ආන්ඩුවට පහර දුන්නේ ය. එහෙත්, බීජේපීය පකිස්තානය මත එල්ල කල ඉව බව නැති හා ප්‍රකෝපකාරී බෝම්බ ප්‍රහාර විවේචනය නො කල ඔහු, “බොහෝ සොල්දාදුවන්ගේ ජීවිත අනතුරේ හෙලූ” එහි “නො තකා හැරීම හා පරිපාලනමය කඩාකප්පල්කාරීත්වය” විවේචනය කලේ ය.

තමන් බලය ගතහොත් තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ආරක්ෂා කරගැනීමට ඉන්දීය නාවික හමුදාව යවන බවට අනෙකුත් කතාවල දී සීමන් පොරොන්දු වී ඇත. ආතතීන් ඇවිලවීම පමනක් කරන එවැනි වාචාල කතා, 1987 දී මෙන් ශ්‍රී ලංකාවේ තවත් විනාශකාරී ඉන්දීය මිලිටරි මැදිහත්වීමක් සඳහා පාර කපයි.

එන්ටීකේ වෙත ශ්‍රාවකයක් දිනා ගත හැකි වන්නේ, කොංග්‍රස් පක්ෂයේ, ස්ටැලින්වාදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ (සීපීඅයි) හා ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ (සීපීඑම්) දශක ගනනාවක ප්‍රතිගාමී වාර්තාව හේතුවෙන් පමනි. ස්ටැලින්වාදී සහයෝගය සහිත ව ලෝක ධනපති ආර්ථිකය සඳහා ලාබ ශ්‍රම මූලාශ්‍රයක් ලෙස කොංග්‍රස් පක්ෂය විසින් ඉන්දියාව ඒකාග්‍ර කරද්දී, සීපීඅයි හා සීපීඑම් ස්ටැලින්වාදී නිලධරය විසින් 1991 දී සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනය කිරීමට මුද්‍රාව තැබූ හ. එතැන් පටන් ඔවුන්, සීමන් වැනි ප්‍රතිගාමී වාචාලයන්ට තමන්ගේ දක්ෂිනාංශික වැඩපිලිවෙල ස්වෝත්තමවාදී ජනතාවාදය පිටුපස සැඟවීමට ඉඩ ලබා දෙන කප්පාදුවේ හා මිලිටරිවාදයේ පිලිවෙත් අනුගමනය කර ඇත. ශ්‍රී ලංකාවේ දෙමල සුලුතරයෙහි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීම පිලිබඳ ව තමිල්නාඩුවට ගැඹුරින් දැනෙන උත්සුකයන් ගසාකමින් තම දේශපාලනයට ජනතාවාදී කවරයක් සම්පාදනය කරගැනීමට උත්සාහ දැරීමේ දී සීමන් විශේෂඥත්වයක් දරයි.

සීමන්ගේ මැතිවරන උද්ඝෝෂනයේ කැපී පෙනෙන අංගයක් වන්නේ, ශ්‍රී ලංකාවේ 26-අවුරුදු සිවිල් යුද්ධය අවසන් වූ 2009 මැයි මාසයේ දී මිලිටරිය විසින් මරා දමන දෙමල බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පින්තූර ය. සිය ජාතිකවාදී ඉදිරිදර්ශනය සම්පින්ඩනය කරමින් ප්‍රභාකරන් මෙසේ කීවේ ය: “මට නම්, පියා විය යුත්තේ මට ජීවිතය දුන් තැනැත්තා ය. මගේ නායකයා ලේ ඥාතියකු විය යුතු ය. මගේ ආස්ථානය මෙය යි. අපගේ දෘෂ්ටිවාදාත්මක පිපාසය ඉක්මවා යනු ඇත්තේ, අපේ දෙමල ජාතිය සඳහා මෙම පෘථුල ලෙස විස්තෘත භූගෝලය තුල වෙන ම දෙමල රටක් සාක්ෂාත් කරගත් විට පමනි.”

සැබවින්ම උතුරු ශ්‍රී ලංකාවේ වෙන ම දෙමල රාජ්‍යයක් බිහිකිරීමේ එල්ටීටීඊ පිලිවෙත අවසන් වූයේ ව්‍යසනයකිනි. තම පාලනය යටතේ පැවති උතුරු ශ්‍රී ලංකාවේ මහජන සහයෝගය අහිමි කරගෙන සිටි එල්ටීටීඊය, එහි ඉහල නායකත්වය මෙන් ම සිවිල් වැසියන් 40,000කට අධික ප්‍රමානයකගේ ජීවිත ද බිලිගත් ම්ලේච්ඡ ශ්‍රී ලංකා හමුදා සංහාරයක් විසින් 2009 සමූල ඝාතනය කලේ ය. ධනේශ්වර ව්‍යාපාරයක් වූ එල්ටීටීඊය, ශ්‍රී ලංකා රාජ්‍යයේ වෙනස්කම් කිරීමේ නීති හා මර්දනයට එරෙහි ව දෙමල ජනයාගේ ආරක්ෂාව සඳහා පැමිනෙන ලෙස ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ හා ජාත්‍යන්තර කම්කරුවන්ට ආමන්ත්‍රනය කිරීමට ඓන්ද්‍රීය ව ම අපොහොසත් විය.

ඒ වෙනුවට එල්ටීටීඊය දීර්ඝ කාලීන ව යොමු වුනේ, ඉන්දියානු ධනේශ්වරයේ හා අධිරාජ්‍යවාදී බලයන්ගේ සහයෝගය පැතීමෙන් ය. එහි අවසානය ලංවෙද්දී, එල්ටීටීඊය මංමුලා සහගත ලෙස එක්සත් ජනපදයේ, යුරෝපීය මහා බලවතුන්ගේ හා ඉන්දියානු ආන්ඩුවේ සහයෝගය පතා ආයාචනා කලේ ය. ඉන්දියාව ඇතුලු මේ සියලු බලයන් අනෙක් පස හැරී ශ්‍රී ලංකා තන්ත්‍ර ය විසින් එල්ටීටීඊය සංහාරයට ලක්කිරීම පිටුපස පෙලගැසුනි.

ශ්‍රී ලංකාවේ දෙමල වැසියන් ආරක්ෂා කිරීම පිලිබඳ සීමන්ගේ කඩතුරාව ප්‍රෝඩාවකි. ඔහුගේ අපි දෙමල පක්ෂය ආරම්භ කරන ලද්දේ එල්ටීටීඊයේ පරාජයෙහි පලමු සංවත්සරය යෙදුනු 2010 මැයි 18දා ය. 2011 තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරනයට එය මැදිහත් වූයේ එවකට බලයේ සිටි හා ශ්‍රී ලංකා තන්ත්‍රයේ වාර්ගික යුද්ධයට සහයෝගය පලකර තිබූ ඩීඑම්කේ-කොංග්‍රස් සන්ධානය පරාජය කරන ලෙස ආයාචනා කරමිනි.

එහෙත් සීමන් අවසානයේ නැවතුනේ, ඒඩීඑම්කේ හා හින්දු-අධිපතිවාදී බීජේපීය අතර සන්ධානයට පිටුබලය දෙමිනි. එහි ශ්‍රී ලංකා පිලිවෙත ඩීඑම්කේ-කොංග්‍රස් පිලිවෙත තරම් ම ප්‍රතිගාමී විය. 2010 ජූලි 7දා ඒඩීඑම්කේ නායිකා ජේ. ජයලලිතා දිනමලර් නමැති දෙමල පුවත් පතට කීවේ: “යුද්ධ සමයේ සිවිල් වැසියන් මැරීම වැලැක්විය නො හැකි බව මා කී බව සත්‍යයක්. අද දිනත් යුද්ධය හරහා එල්ටීටීඊය ඉවත් කිරීම මා හෙලා දකින්නේ නැහැ.” තමිල්නාඩු මහ ඇමතිනිය ලෙස, වැඩ වර්ජනය කිරීම නිසා 2003 දී රජයේ සේවකයන් 170,000ක් නෙරපා තිබූ කුප්‍රකට ජයලලිතාට මෙම ප්‍රකාශය ප්‍රසිද්ධ කල සමයේ සීමන් සහයෝගය දෙමින් සිටියේ ය.

ශ්‍රී ලංකාවට එරෙහි සීමන්ගේ යුදවාදී තර්ජන ගලා එන්නේ කලාපය තුල ඉස්මතු වී ඇති කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නයක් විසඳීමට ධනේශ්වරයට පවතින නො හැකියාවෙනි. සියල්ලටත් වඩා ධනවාදයට එරෙහි ව කම්කරු පන්තියේ ජාත්‍යන්තර බලමුලුගැන්වීමකට බිය වන ඉන්දියානු දෙමල ජාතිකවාදීන් සම්බන්ධයෙන් ගත් කල, ශ්‍රී ලංකාව තුලට මැදිහත් වීමට පවතින එකම යාන්ත්‍රනය වන්නේ, මිලිටරි ආක්‍රමනයේ හා වාර්ගික යුද්ධයක තර්ජනය හරහා පමනි.

කම්කරු පන්තියට එවැනි මැදිහත්වීම් පිලිබඳ කටුක අත්දැකීම් දැනට මත් ලැබී ඇත. කලින් කොලඹ මත පීඩනය යෙදීම සඳහා එල්ටීටීඊය හා අනෙකුත් දෙමල ජාතිකවාදී කන්ඩායම් යොදාගෙන තිබූ නව දිල්ලිය, තමන්ගේ මාවත වෙනස් කොට ශ්‍රී ලංකාවේ දෙමල බහුතරයක් වෙසෙන උතුරු නැගෙනහිරට ඉන්දීය මිලිටරිය එවූ 1987 ජූලියේ සිට 1990 දක්වා, දෙමල සිවිල් වැසියන් දහස් ගනනක් ඝාතනය කෙරුනි. මෙම කාලය තුල, ශ්‍රී ලංකාවේ මිලිටරිය ප්‍රදේශ ද වාඩිලාගෙන සිටින අතර, දකුනේ සිංහල කම්කරුවන්ට හා ගම්බද දුගීන්ට එරෙහි ව හැරුනි. කොලඹ තන්ත්‍රය විසින් සිංහල තරුනයන් 60,000කට වඩා සංහාරය කලේය.

මූලික ප්‍රශ්නය වන්නේ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ සියලු ජනවර්ගවල කම්කරුවන් ඇතුලු කම්කරු පන්තිය අරගලය තුල ජාත්‍යන්තර ව ඒකාබද්ධ කිරීම යි. ඉතිහාසය යලි යලිත් ලියොන් ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය සනාථ කර ඇත. කලාපය තුල ප්‍රජාතන්ත්‍ර අයිතීන් ස්ථාපනය කිරීමත් ජාතික හා වාර්ගික බෙදීම් ජයගැනීමත් සඳහා අරගලය දියත් කල හැක්කේ, නාගරික හා ගම්බද දුගීන් තමන් පිටුපස පෙලගස්වා ගනිමින් සමාජවාදය සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය දියත් කරන විප්ලවවාදී අරගලයක් ලෙස පමනි.

Share this article: