බංග්ලාදේශය: ශිෂ්‍යාවක් අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් දහසය දෙනෙකුට මරන දඬුවම

Bangladesh: Sixteen sentenced to death over brutal murder of student

රොහාන්ත ද සිල්වා විසිනි, 2019 නොවැම්බර් 02

නුස්රත් ජහාන් රාෆි නම් ශිෂ්‍යාව ඝාතනය කිරීම මත බංග්ලාදේශ අධිකරනය ඔක්තෝබර් 24 වන දින පුද්ගලයින් 16 දෙනෙකුට මරන දඬුවම නියම කලේය. පාලක අවාමි ලීගය රාජ්‍ය යාන්ත්‍රනය ශක්තිමත් කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි නීතිය හා සාමය වේගවත් කිරීමට දරුනු අපරාධයක් වන රාෆිගේ ඝාතනය යොදා ගනිමින් සිටී.

විදුහල්පති සිරාජ් ඩෝලා විසින් ඇයට ලිංගික හිරිහැර කර ඇති බවට පොලිසියට කර ඇති පැමිනිල්ල ඉල්ලා අස්කර ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, ඉස්ලාමීය ආගමික පාසලක් වන සොනගාසි ඉස්ලාමියා ෆාසිල් මද්‍රාසා හි සිසු සිසුවියන් සහ තවත් පිරිසක් විසින් දහනව හැවිරිදි රාෆිට ගිනි තබා ඇත.

මාර්තු 27 වන දින රාෆිව ඩූලාගේ කාර්යාලයට කැඳවා ඇති අතර, ඩූලා නුසුදුසු ලෙස තමන්ව ස්පර්ශ කල බවට රාෆි චෝදනා කලා ය. ඩකා සිට කිලෝමීටර් 160ක් දකුනින් පිහිටි ෆෙනී නම් කුඩා නගරයක ජීවත්වන රාෆි වහාම සිද්ධිය පොලිසියට වාර්තා කලා ය.

ඉන් දින එකොලහකට පසු, රාෆි සිය අවසාන විභාගය සඳහා පෙනී සිටීමට පාසලට ගිය විට, රාෆිව රවටා ගොඩනැගිල්ලක වහලයට ගෙන ගොස් ඇය පොලීසියට කර ඇති පැමිනිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස තර්ජනය කරනු ලැබුනි. එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඇයට භූමිතෙල් දමා ගිනි තබා ඇත. ශරීරයෙන් සියයට 80ක් පිලිස්සුම් තුවාල සහිතව රෝහලට ගෙන යන විට රාෆි ඇගේ ප්‍රහාරකයින් කවුරුන්ද යන වග සඳහන් කරන ලදි. දින පහකට පසු ඇය මිය ගියා ය.

වැරදිකරුවන් වූවන් අතර පාසලේ විදුහල්පති ඇතුලු ගුරුවරුන් තිදෙනක් සහ පාලක අවාමි ලීගයේ ප්‍රාදේශීය නායකයන් දෙදෙනෙක් වන රුහුල් අමීන් සහ මක්සුඩ් අලාම් යන අය සිටිති. විත්තියේ නීතීඥයන් කියා සිටියේ මෙම තීරනයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

අගමැති ෂීක් හසීනාගේ අවාමි ලීග් ප්‍රමුඛ රජය විසින් තරුනියගේ අමානුෂික ඝාතනයට වගකිව යුත්තන් හෙලා දැක ඇති අතර, අපරාධයට තුඩු දුන් සැබෑ ගැටලු වසන් කිරීමට උත්සාහ කරයි.

අවාමි ලීග් ආන්ඩුව “අනාගමික” යැයි කියා සිටින නමුත් ඉස්ලාමීය මූලධර්මවාදීන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හා සමාජීය වශයෙන් ප්‍රතිගාමී ඉල්ලීම්වලට නිරන්තරයෙන් අනුගත වේ. එය මුස්ලිම් ආගමට “අපහාස” කලේ යැයි චෝදනා කරන බ්ලොග් අඩවි තහනම් කිරීමට පියවර ගත් අතර ඉස්ලාමයට “රිදවීම” සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන බව පවසන අයට එරෙහිව පියවර ගෙන තිබේ.

1996 මැතිවරනයේ දී, එවකට බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂ (බීඑන්පී) ආන්ඩුවට එරෙහි ව, හසීනා, 1971 බංග්ලාදේශ ජාතික අරගලය තුල යුද අපරාධ සිදු කිරීමට වග කිව යුතු ඉස්ලාමීය මූලධර්මවාදී පක්ෂයක් වන ජමාත්-ඊ-ඉස්ලාමි සමඟ සන්ධානගත වූවා ය.

අවාමි ලීග් තන්ත්‍රයේ සාමාජිකයින් ඉස්ලාමයට අපහාස කරන්නන් ලෙස සැලකෙන අයට එරෙහිව ප්‍රචන්ඩ ප්‍රහාරවලට සම්බන්ධ වී ඇත. ඔක්තෝම්බර් 3 වන දින බංග්ලාදේශ ඉංජිනේරු තාක්ෂන විශ්ව විද්‍යාලයේ (බීයූඊටී) 21 හැවිරිදි අබ්‍රාර් ෆහාඩ්, අවාමි ලීගයේ තරුන අංශය වන චාත්‍රා ලීගයේ සාමාජිකයන් විසින් ඝාතනය කරන ලදී.

චාත්‍රා ලීගයේ බීයූඊටී ශාඛාවේ ප්‍රමුඛ සාමාජිකයෝ ෆහාඩ්ට ක්‍රිකට් කඩුලු සහ වෙනත් මොට උපකරනවලින් පහර දී මරා දැමූ හ. ඉන්දියාව සමඟ බංග්ලාදේශය ඇතිකරගත් ගිවිසුම විවේචනය කරමින් එම රටට ෆෙනී ගඟෙන් ජලය ලබා ගැනීමට ඉඩ දීම ගැන ෆේස්බුක් සටහනක සඳහන් කිරීම ඊට හේතුවයි.

රාෆිගේ ඝාතනයේ කුරිරු ස්වභාවය, ජනතා කෝපයට හේතු වූ අතර බංග්ලාදේශය පුරා මහජන විරෝධතාවයනට තුඩු දුනි. බීබීසී බෙංගාලි ෆේස්බුක් පිටුවේ අනෝවර් ෂෙයික් මෙසේ සටහන් කලේය: “බොහෝ ගැහැනු ලමයින් මෙවැනි සිදුවීම්වලින් පසු බියෙන් විරෝධය දක්වන්නේ නැත. බුර්කාවලට හෝ යකඩවලින් සාදන ලද ඇඳුමකට පවා ස්ත්‍රී දූෂකයන් නැවතිය නොහැක.” තවත් ෆේස්බුක් පිටුවක ලෝපා හුසේන් මෙසේ අදහස් දැක්වීය. “මගේ මුලු ජීවිත කාලය පුරාම දියනියක් ලැබීමට මට අවශ්‍ය විය. නමුත් දැන් මම බිය වෙමි. මේ රටේ දියනියට උපත දීම යනු භීතියෙන් හා කනස්සල්ලෙන් පෙලෙන ජීවිතයක් බිහි කිරීම ය.”

ඇසිඩ් විසි කිරීම, ලිංගික හිරිහැර හා ස්ත්‍රී දූෂන ඇතුලුව තරුනියෝ බංග්ලාදේශයේදී පුලුල් ලෙස හිරිහැර හා පලිගැනීමේ ප්‍රහාරයන්ට ලක් වෙති. 1971 දී නිදහස ලැබීමෙන් පසු ජනතාව මුහුන දෙන මූලික ප්‍රජාතන්ත්‍රවාදී ගැටලු කිසිවක් විසඳීමට අපොහොසත්ව ඇති පාලක ප්‍රභූවේ ප්‍රතිගාමී ස්වභාවය මෙයින් අවධාරනය කෙරේ.

මහීලා පරිෂාද් නම් කාන්තා අයිතිවාසිකම් කන්ඩායමට අනුව, මේ වසරේ මුල් මාස හය තුලදී බංග්ලාදේශයේ ලිංගික අතවරයකට ලක්වීමෙන් කාන්තාවන් 26 දෙනෙකු මිය ගිය අතර කන්ඩායම් දූෂන 113ක් ඇතුලුව කාන්තාවන් 592 දෙනෙකු දූෂනයට ලක්වූ බව කියැවේ.

මේ වාර්තා වූ සිද්ධීන් පමනක් වන අතර, කාන්තාවක් බංග්ලාදේශයේ ලිංගික හිරිහැරයක් වාර්තා කල විට, දොස් පවරනු ලබන්නේ ඇයට මිස වැරදිකරුට නොවන හෙයින් ඇත්ත සංඛ්‍යාව මීට බොහෝ සෙයින් වැඩි විය හැක. මෙම අපයෝජනය සහ බංග්ලාදේශයේ කාන්තාවන් කෙරෙහි පුරුෂාධිපත්‍ය ආකල්පය හුදෙකලා ප්‍රපංචයක් නොව ධනේශ්වර ක්‍රමයේ නිෂ්පාදනයක් වේ.

ව්‍යාපාරිකයින්, ඉඩම් හිමියන් සහ දූෂිත දේශපාලනඥයන්ගෙන් සමන්විත කුඩා ප්‍රභූව අතිවිශාල ලෙස ධනවත් වුවත්, බංගලාදේශය දිනෙන් දින වර්ධනය වන සමාජ අසමානතාවයෙන් සලකුනු වී ඇති අතර එය ආගම්වාදය හා බැඳී විෂ සහිත සමාජ පරිසරයක් බිහි කරයි.

පාසල් විදුහල්පති විසින් ඇයට ලිංගික හිරිහැර කර ඇති බව වාර්තා කිරීමෙන් පසු රාෆි සම්බන්ධයෙන් පොලිසියේ මූලික ප්‍රතිචාරයෙන් මෙය පිලිබිඹු විය. ඇත්ත වශයෙන්ම, අධිකරන නඩුවෙන් හෙලි වූයේ, ලිංගික අතවර චෝදනා ප්‍රතික්ෂේප කිරීම සහ තරුනිය සියදිවි නසාගත් බවට අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම මගින් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුම ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ අය සමඟ සහයෝගයෙන් කටයුතු කල බවයි. නඩු පැවරීම සිදු වූයේ මහජන විරෝධතා පැන නැඟීමෙන් පසුව පමනි.

කාන්තාවන් ඇතුලු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන සැලකිලිමත් නොවන අවාමි ලීග් ආන්ඩුව, රාජ්‍ය යාන්ත්‍රනය ශක්තිමත් කිරීම සඳහා “නීතිය හා සාමය” උද්ඝෝෂනය වැඩි දියුනු කිරීම සඳහා ඝාතනය යොදා ගැනීමට වැඩ කරයි. මේ හා සමාන සිද්ධීන් විභාග කිරීමට බංගලාදේශයේ දී වසර ගනනාවක් ගත වුවද, මෙය වේගයෙන්ම විභාග වූ නඩුවකි.

මෙම නඩුව දින 62ක් වැනි කෙටි කාලයක් තුල විභාග කෙරී අවසන් වූ අතර, අග්‍රාමාත්‍ය හසීනා “වැරදිකරුවන් කිසිවෙකු” නීතිමය ක්‍රියාමාර්ගවලින් බේරෙන්නේ නැති බව ප්‍රකාශ කලා ය. රජයේ නීතිඥ හෆීස් අහමඩ් නරුම ලෙස මාධ්‍යයට පැවසුවේ “බංග්ලාදේශයේ කිසිවෙකු මිනීමැරුමෙන් බේරෙන්නේ නැත” යනුවෙනි.

හසීනා රජයේ නීතිය හා සාමය පිලිබඳ උද්ඝෝෂනය, කම්කරුවන් මුහුන දෙන බිහිසුනු සමාජ තත්වයන්ට එරෙහිව වර්ධනය වන පුලුල් කෝපය මධ්‍යයේ දී අත්තනෝමතික පාලන ක්‍රමයක් වෙත යාමේ ගමනක කොටසකි.

මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී අවාමි ලීග් රජය, අඩු වැටුප් මට්ටම්වලට සහ වැටුප් වැඩිවීමක් ඉල්ලා විරෝධතා දැක්වූ අෂුලියා දිස්ත්‍රික් ඇඟලුම් කම්කරුවන්ට එරෙහිව දරුනු මර්දනයක් දියත් කලේය. ප්‍රධාන වශයෙන් කාන්තා සේවිකාවන් දහස් ගනනක් සේවයෙන් නෙරපා හරින ලද අතර එක් කම්කරුවෙක් පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.

පසුගිය වසර 30 තුල බංග්ලාදේශයේ ආදායම් අසමානතාවය විශාල ලෙස ඉහල ගොස් තිබේ. “බංග්ලාදේශයේ දුප්පත්ම ජනගහනයෙන් සියයට 40කගේ ආදායම 1991 දී 17.41 සිට 2016 දී සියයට 13.01 දක්වා අඩු වී ඇති” බවයි ඩකා ට්‍රිබියුන් පුවත් පත අප්‍රේල් මාසයේ වාර්තා කලේ ය. එම කාලය තුල ධනවත්ම සියයට 10හි ආදායම සියයට 23.3 සිට සියයට 26.8 දක්වා ඉහල ගොස් තිබේ. කාලය. තවත් අධ්‍යයනයකින් කියැවුනේ ජාත්‍යන්තර දරිද්‍රතා සීමාව වන දිනකට ඇමරිකානු ඩොලර් 1.90ට වඩා අඩු ආදායමක් උපයන අතිශය දුප්පත් මිනිසුන් මිලියන 24.1 ක් (මිලියන 163 කට වඩා වැඩි) බංග්ලාදේශයේ ජීවත්වන අතර, ඉන්දියාවට, නයිජීරියාවට, කොංගෝවට සහ ඉතියෝපියාවට පිටුපසින් පස්වන ස්ථානයේ සිටී.

Share this article: