චිලියේ මහජන නැගිටීම “විදේශ ව්‍යායාමයක්” බව ට්‍රම්ප් පවසයි

Trump blames mass uprising in Chile on "foreign efforts"

බිල්වෑන් ඕකන් විසිනි , 2019 නොවැම්බර් 1

පසුගිය සති දෙකක කාලය තුල චිලිය අලලාගත් ඓතිහාසික මහජන විරෝධතා “විදේශීය ව්‍යාපෘතියක්” යයි පවසන එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, දකුනු ඇමරිකානු රටේ “නීතිය යථා තත්ත්වයට පත්කිරීමට” උත්සාහ ගන්නා චිලී ජනාධිපති සෙබස්තියන් පිනෙරාගේ දක්ෂිනාංශික ආන්ඩුවට තම සහාය පල කලේය.

සන්තියාගෝහි මහජන විරෝධතා [අනුග්‍රහය, රෆායෙල් එඩ්වඩ්ස්, Credit: Flickr user Rafael Edwards]

ධවල මන්දිර මාධ්‍ය ලේකම් වාර්තා කලේ, නොවැම්බර් 16-17 දිනවල පැවැත්වීමට නියමිතව තිබූ ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) සමුලුව අවලංගු කරන බව දක්ෂිනාංශික චිලී ජනාධිපතිවරයා නිවේදනය කිරීමෙන් පසුව, 30දා පිනෙරා සමඟ කල දුරකථන සංවාදයකදී ට්‍රම්ප් මෙම ප්‍රකාශයන් කල බවයි. දෙසැම්බර් මස මුල පැවැත්වීමට නියමිතව තිබුන කොප්25 යන එක්සත් ජාතීන්ගේ දේශගුනික විපර්යාස සමුලුව ද පිනෙරා විසින් අත්හිටුවන ලදී.

පාලනය කල නොහැකි සමාජ නැගිටීම් මුල්කරගෙන එවැනි සමුලු අවලංගු කිරීම පෙර නොවූ විරූ දෙයකි. පිනෝචේ ආඥාදායකත්වයේ අවසානයෙන් පසුව පලමු වතාවට හදිසි නීතිය සහ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම ද සන්නද්ධ හමුදා වීදිවලට මුදාහැරීම ද ඇතුලු ම්ලේච්ඡ මර්දනය තිබියදීත්, රටේ “‍නීතිය තහවුරු කිරීමට”‍ චිලී ආන්ඩුවට දුෂ්කර වීම එම තීරනයට බලපෑ ප්‍රධාන හේතුව විය.

“ජාතික සාමය සාමකාමීව යථා තත්වයට පත්කිරීමට” උත්සාහ කිරීම ගැන ට්‍රම්ප් චිලී පාලන තන්ත්‍රයට ප්‍රශංසා කලේ, හමුදාවේ, පැරාමිලිටරි කැරබිනෙරෝස් සහ චිලියේ ආරක්ෂක අංශවල අනෙකුත් කොටස් විසින් ජීව උන්ඩ යොදාගෙන කල වෙඩිතැබීම් වලින් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස්, සිය ගනනක් තුවාල ලබා හා “අතුරුදහන් කිරීම්”, ස්ත්‍රී දූෂන සහ වධහිංසා පැමිනවීම් පිලිබඳ වාර්තා ද තිබියදීය. මර්දනය මගින් පෙලපාලිකරුවන්ගේ සහභාගිත්වය වැඩි වී තිබෙනවා පමනි.

හදිසි නීතිය සහ ඇඳිරි නීතිය අවලංඟු‍ කිරීම, සුලු ආර්ථික සහන ලබා දීම සහ කැබිනට් සාමාජිකයින් ඉවත් කිරීම මගින් මහජන විරෝධතා සංසිඳුවීමට පීනෙරා රජය දරන උත්සාහයට කිසිදු අනුකූලතාවක් නොමැති අතර වැඩ වර්ජන හා මහජන උද්ඝෝෂන අඛන්ඩව පැවැත්වේ.

බ්‍රහස්පතින්දා තරම් ආසන්නව තිබියදී චිලියේ විදේශ ඇමති ටියෝඩෝරෝ රිබෙරා ප්‍රකාශ කලේ, “අපි සැලසුම් කල පරිදි සමුලු දෙකම පවත්වන්නෙමු, තර්කානුකූලව තත්වයන්ට අනුව හැඩගැසෙමු, නමුත් ඇපෙක් නොපැවැත් වීම සාධාරනීකරනය කල හැකි කිසිවක් නැත.”

කෙසේවෙතත් සිකුරාදා වනවිට ආන්ඩුවේ ස්ථාවරය වෙනස් විය. ඒ සන්තියාගෝ නඟරයේ වීදි පමනක් මිලියනයකට අධික ජනතාවකගෙන් පිරීයාමෙන් පසුවය. තවත් ලක්ෂ ගනනක් රට පුරා නගරවල පැවති උද්ඝෝෂනවලට සහභාගී වූහ. එරට ඉතිහාසයේ විශාලතම උද්ඝෝෂනවලට ට්‍රක් රථ රියදුරන්, ගුරුවරුන්, පතල් කම්කරුවන්, වරාය කම්කරුවන්, රාජ්‍ය සේවකයින් සහ චිලී කම්කරු පන්තියේ සෑම කොටසක්ම පාහේ වැඩ වර්ජන ද සහිතව සහභාගී වී තිබේ.

පොදු ගමනාගමන ගාස්තු ඉහල නැංවීමට එරෙහි ස්වයංසිද්ධ ලෙස ආරම්භ වූ විරෝධතා, සමාජ අසමානතාවයේ උග්‍ර කොන්දේසිවලට එරෙහි පොදු නැගිටීමක් දක්වා වර්ධනය විය. 1973 දී සීඅයිඒ පිටුබලය ලැබූ කුමන්ත්‍රනයකින් පසු වසර 17 ක් පාලනය කල ලේ නාගත් ආඥාදායකත්වය යටතේ සිදු කරන ලද අපරාධ සහ එතැන් පටන් දේශීය හා විදේශීය ප්‍රාග්ධනයට රට කොල්ලකෑම සඳහා චිලී ධනේශ්වරය විසින් ක්‍රමානුකූලව ඉඩ සැලසීම ද සැලකිල්ලට ගැනීම සඳහා වූ ඉල්ලීම් මේ සමඟ අත්වැල් බැඳගෙන ඇත. මහජන නැගිටීම් මධ්‍යයේ සන්තියාගෝ නගරයට ගොඩ බැසීම සඳහා සූදානම්ව සිටි රාජ්‍ය නායකයින් 21 දෙනාගේ ආරක්ෂාව ගැන ආන්ඩුවට සහතික විය නොහැකි බවට ඇති කනස්සල්ලට අමතරව, ඔවුන්ගේ පැමිනීම සහ විශේෂයෙන් ට්‍රම්ප්ගේ පැමිනීම, ජනතාව තව තවත් කුපිත කරනු ඇතැයි ආන්ඩුව බිය විය. ජපානය සහ රුසියාව ද ඇතුලු සහභාගී වීමට නියමිතව සිටි සමහර රටවල් පසුබැසීමට පටන් ගෙන ඇති බව ද වාර්තා විය. තම රටවල පවත්නා සමාජ අසමානතාවයේ එම කොන්දේසිවලටම විරෝධය පල කරමින් මහජනයා වීදිවල දැකීමට කිසිදු කැමැත්තක් නොදක්වන තවත් බොහෝ රටවල්ද එය අනුගමනය කරනු ඇතැයි චිලී ආන්ඩුව බියට පත්ව සිටී.

වෙලඳාම පිලිබඳ “සැලකිය යුතු පලමු අදියරේ ගිවිසුමක්” ලෙස එක්සත් ජනපද පරිපාලනය විස්තර කල, ට්‍රම්ප් සහ චීනයේ ෂී ජින් පිං අතර එකඟත්වයට අත්සන් කිරීම සඳහා වූ වොෂින්ටනයේ සැලසුම් ඒපෙක් සමුලු‍ව අවලංගු කිරීම නිසා කඩාකප්පල් විය. මෙය අර්ධ හා ඉතා සීමිත එකක් වූවත් සන්තියාගෝහිදී ගිවිසුමට අත්සන් කිරීමෙන් ට්‍රම්ප් ධවල මන්දිරය බලාපොරොත්තු වුනේ, එය ආර්ථික ජයග්‍රහනයක් ලෙස හුවා දක්වමින් දෝෂාභියෝග පරීක්ෂනය වටා වර්ධනය වන දේශපාලන අර්බුදයෙන් ගැලවීමටය.

ගිවිසුම අත්සන් කිරීම සඳහා ට්‍රම්ප් සහ ෂී අතර ද්විපාර්ශ්වික රැස්වීමකට තවත් ස්ථානයක් සොයා ගැනීමට එක්සත් ජනපද හා චීන නිලධාරීහු උත්සාහ දරමින් සිටිති. රොයිටර් පුවත් සේවයට අනුව, එක්සත් ජනපද නිලධාරීන් ඇලස්කාව හෝ හවායි යෝජනා කරන අතර බීජිනය මැකාවු යෝජනා කරයි.

කොප්25 දේශගුනික සමුලුව අවලංගු කිරීම, එය සංවිධානය කල එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පුදුමයට පත් කලේය. නිලධාරීන් කියා සිටියේ, බදාදා ලා මොනේඩා ජනාධිපති මන්දිරයේ සිට කල කතාවේදී පිනේරා එය ප්‍රකාශයට පත් කල විට පමනක් මෙම තීරනය ගැන දැනගත් බවයි.

දේශගුනික රැස්වීම් අවලංඟු‍ කල දෙවන අවස්ථාව මෙයින් සනිටුහන් කරයි. පසුගිය වසරේ නොවැම්බරයේදී බ්‍රසීල ආන්ඩුව මූල්‍යමය හේතූන් මත සමුලුවේ සත්කාරකත්වය අවලංගු කලේය. බටහිර රටවල් දුර්වල කිරීම අරමුනු කරගත් “සංස්කෘතික මාක්ස්වාදී” කුමන්ත්‍රනයක් ලෙස දේශගුනක විපර්යාස ප්‍රතික්ෂේප කල විදේශ ඇමතිගේ ප්‍රකාශයෙන් පසුව, ෆැසිස්ට් ජනාධිපති ජෙයාර් බොල්සෝනාරෝගේ සමාරම්භක උත්සවයට මාසයකට පෙර එම තීරනය ගෙන තිබුනි.

කියුබානු සහ වෙනිසියුලානු “කඩාකප්පල්කාරීන්” චිලියට එවා ඇති බව කියා සිටින චිලී හා ලතින් ඇමරිකානු පාලක පන්තිවල වඩාත්ම ෆැසිස්ට් කොටස්වල විකාර ප්‍රචාරය පිලිබිඹු කරමින්, මිලියන සංඛ්‍යාත චිලී කම්කරුවන්ගේ හා තරුනයින්ගේ මහජන ව්‍යාපාරය “විදේශ ව්‍යායාමයක්” ලෙස පැවසීමට ට්‍රම්ප් උත්සාහ කලේය. එය වනාහි, එක්සත් ජනපදය තුලම නොවැලැක්විය හැකි ලෙස එවැනි සමාජ පිපිරීම් හටගැනීම පිලිබඳව ඔහු පමනක් නොව එක්සත් ජනපද පාලක සංස්ථාව සහ එහි දේශපාලන පක්ෂ දෙකම දක්වන පොලිස් රාජ්‍ය ප්‍රතිචාරයේ ඇඟවුමකි.

Share this article: