ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවත හෙලිකෙරුනු ජනාධිපතිවරන උද්ඝෝෂනයක්

වසන්ත රූපසිංහ විසිනි, 2019 නොවැම්බර් 15

2019 ජනාධිපතිවරනය සඳහා මාස දෙකක් තිස්සේ පැවැති මැතිවරන උද්ඝෝෂන 13 දා රාත්‍රියේ නිල වසයෙන් අවසන්වුවද, ධනපති අපේක්ෂකයන් විසින් මැතිවරන වේදිකා දෙවනත් කරමින් පැවත්වූ පච පොරොන්දු පිරුනු කතාවල දෝංකාරය මහජනයාගේ මනසින් එතරම් ඉක්මනින් පහව නොයනු ඇත.

මෙවර මැතිවරනය සඳහා ධනපති හා ව්‍යාජ වාම පක්ෂ හා කන්ඩායම් නියෝජනය කරමින් අපේක්ෂකයින් 34 දෙනෙක් ද කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල ඉදිරිපත් කල අපේක්ෂකයා ලෙස සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පානි විජේ සිරිවර්ධන ද ඇතුලු‍ අපේක්ෂකයින් 35 දෙනෙක් ඉදිරිපත්වී ඇත. මෙම අපේක්ෂකයින් බොහෝ දෙනෙක් ප්‍රධාන ධනපති අපේක්ෂකයන් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොප) අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා නව ප්‍රජාතාන්ත්‍රික පෙරමුනේ (නප්‍රපෙ) අපේක්ෂකගේ සජිත් ප්‍රේමදාසගේ හෙංචයියන් (“‍ඩමි”‍) ලෙස එලිපිට හෝ වක්‍රව මැතිවරන උද්ඝෝෂනයේ නියැලු‍න අතර, සසප අපේක්ෂකයා හැර, අනෙකුත් අපේක්ෂකයන් සියල්ලෝම බංකොලොත් ජාතික ධනපති රාජ්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් මැතිවරන උද්ඝෝෂනයේ යෙදී ගත්හ.

පසුගිය දශක කිහිපයේදී විවිධ ධනපති ආන්ඩු බලයට ගෙනඒමට කත් ඇදීමෙන් දේශපාලනිකව කුජීතවී සිටින ජනතා විමුක්ති පෙරමුනේ මූලිකත්වයෙන් ජවිපෙ තරම්ම පාරාජිකාවට පත්වූ ඊනියා බුද්ධිමතුන් හා කලාකරුවන් කල්ලියක් විසින් අටවා ගත් ජාතික ජනබලවේගය (ජාජබ), ජවිපෙ සාපරාධී ඉතිහාසයේ ලේ සෝදන උද්ඝෝෂනයක නිරත විය. එපමනක් නොව, “‍තුන්වැනි බලවේගය”‍ එනම්, ධනපති පන්තිය වෙනුවෙන් (කම්කරු පන්තිය සඳහා නොව) “‍විකල්පය”‍ ලෙස මෙම පෙරමුන හුවා දැක්වීම එම උද්ඝෝෂනයේ මූලික අරමුනක් විය.

මැතිවරන උද්ඝෝෂනයේ බඩදඟලවන ස්වභාවයට ප්‍රධානම දායකත්වය සම්පාදනය කලේ, රොත්ත බුරුත්ත පිටින් පැය විසිහතරේ අවිචාරවත් වාර්තාකරනයක් ගෙනගිය විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය යි. කෝටි සංඛ්‍යාත මහජනයා මුහුන දෙන දැවැන්ත සමාජ, ආර්ථික ප්‍රශ්න එමෙන්ම ධනපති පාලනය එල්ල කරන ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාර එකක්වත් ප්‍රධාන ධනපති අපේක්ෂකයන්ට යොමු නොකෙරුනු ඊනියා සංවාද සහ සම්මුඛ සාකච්චා වලින් මාධ්‍යයන් දෝර ගලා ගියේය.

මහජන ආයතනයැයි සැලකෙන ජාතික රූපවාහිනිය සහ අයිටීඑන් නාලිකා වෙන්වෙන්ව නිර්ලජ්ජිත ලෙස රාජපක්ෂ හා ප්‍රේමදාස වෙනුවෙන් ප්‍රචාරක හොරනෑ දෙකක් බවට පරිවර්තනයවූ අතර, බොහෝ පෞද්ගලික රූපවාහිනී නාලිකා එලිපිටම රාජපක්ෂගේ පච වගුරන වාහක බවට පරිවර්තනය කෙරුනි. කිසියම් එක් අපේක්ෂකයෙකුට අනුග්‍රහයක දැක්වීම වැලක්වීමට යැයි කියා මැතිවරන කොමිසම විසින් නිකුත් කල ඊනියා මැතිවරන “උපමාන”‍ ධනපති මාධ්‍යයන් විසින් තුට්ටුවකට හෝ ගනන් නොගැනුනි.

කම්කරු-පීඩිත මහජනයාට ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල ඉදිරිපත් කරමින් මැතිවරනය ව්‍යපාරය පුරා සප්‍රතිපත්තික උද්ඝෝෂනයක නියැලු‍නේ සසප සහ එහි අපේක්ෂක පානි විජේසිරිවර්ධන පමනකි. ඔවුන්ගේ “‍සම අවස්ථා ලබාදීම”‍ නම් ප්‍රෝඩාව තහවුරු කිරීම සඳහා ලබා දුන් සීමිත අවස්ථා හැරුනු විට සසප අපේක්ෂකයාගේ වැඩපිලිවෙල සාකච්ඡා කිරීම ධනපති මාධ්‍ය විසින් වාරනය කෙරුනි.

මැතිවරන උද්ඝෝෂනයට පෙරාතුව දසදහස් ගනන් කම්කරුවන් සම්බන්ධවූ වැඩ වර්ජන, වෘත්තීය සමිති නායකයින් විසින් නවතා දැමුවේ මැතිවරන කොමසාරිස්ගේ ඉල්ලීමට මුවා වෙමිනි. එමගින් කම්කරුවන්ගේ මූලික අයිතීන් හා ඉල්ලීම් මැතිවරන වේදිකාව තුල සාකච්ඡාවට ගැනීම වැලක්වීම සඳහා ආරම්භකත්වය ගැනුනි.

මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂන මධ්‍යස්ථානයේ (මැප්‍රනිම) ජාතික කැඳවුම්කරු මංජුල ගජනායක 13 දා පැවත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී පලකල අදහස් උපුටා දක්වමින්, දි අයිලන්ඞ් පුවත්පත නොවැම්බර් 14 දා වාර්තා කලේ, ජනාධිපතිවරන උද්ඝෝෂනයේදී සියලු‍ම දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් ඇස්තමේන්තුගත ව රුපියල් මිලියන 10,000 ක පමන මුදල් කන්දක් කාබාසිනියා කර ඇති බවයි. මෙම යෝධ මුදල් කන්දට රාජපක්ෂ රුපියල් මිලියන 1,518 කින්, ප්‍රේමදාස රුපියල් මිලියන 1,422 කින්, දිසානායක රුපියල් මිලියන 160 කින් හා ජනසෙත පෙරමුන මිලියන 6 කින් ද දායක වී තිබුනි.

එම මාධ්‍ය සාකච්ඡාවේදී, ගජනායක තවදුරටත් සඳහන් කර තිබුනේ, මූලාශ්‍රයක් සොයාගත නොහැකි උද්ඝෝෂන අරමුදල්, අල්ලස්, දූෂන, රාජ්‍ය දේපල අවභාවිතාව, වෙනස්කම් කිරීම හා මූල්‍ය විශුද්ධිකරනයට මෙහෙයවී ඇති බවයි. මෙයාකාරයේ වියදම්, “ප්‍රජාතාන්ත්‍රික මැතිවරනවලට දැඩිලෙස හානිකර විය හැකි”‍ බවත් ඒ මන්ද යත්, “මැතිවරන ක්‍රියාදාමයේදී අනෙකුත් අපේක්ෂකයන් අවහිර කිරීම සහ ඡන්ද අපේක්ෂකයන් අතර අසමාන ක්‍රීඩාපිටියක් නිර්මානය කෙරෙන ආකාරයෙන් නිශ්චිත ඡන්ද අපේක්ෂකයන්ට මුදල් විසිකිරීමට හැකිවී ඇති නිසා”‍ ය.

මෙම මුදල්වල ප්‍රභවය පිලිබඳ “‍විමර්ශනය කිරීමට”‍ ඔහු මාධ්‍යවේදීන්ට මෙහිදී ආරධනා කලේ ය. ගජනායකගේ මෙම කියාපෑම් හුදෙක් ඔහුගේ ව්‍යාපාරයේ පැවත්ම සඳහා විනා මහජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සුරක්ෂිත කිරීමෙහිලා නම් අබමල් රේනුවකට සේවයක් කරන්නේ නැත. සියල්ලටමත් වඩා, මැතිවරන උද්ඝෝෂනයට මේ සා දැවැන්ත පරිමාන මුදල් වියදම් කිරීමමත් පෙන්නුම් කරන්නේ, ධනේශ්වර දේශපාලන සංස්ථාපිතය කෙරේ මහජනයාට පවතින පිලිකුල හා වෛරය පචවලින් වසා දැමීම සඳහා ධනපති අපේක්ෂකයින් පෙලෙන ග්‍රස්තිය මිස අන් කවරක්වත් නොවේ.

ඇත්ත වසයෙන්ම, ගජනායකගේ සංවිධානය ඇතුලු‍ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම සමස්ත දේශපාලන සංස්ථාපිතයම වඩාත්ම බියට පත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවී තිබෙන තර්ජනය ගැන නොවේ. ඒ වෙනුවට, ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවත මහජනයා ඉදිරියේ වඩවඩාත් ප්‍රදර්ශනය වීම හේතුවෙන්, පවත්නා ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයෙන් පිටත ඔවුන්ගේම විකල්පයක් සෙවීමට මහජනයා යොමුවීමේ ශක්‍යතාව ගැන ධනපති ක්‍රමයේ නියෝජිතයන් හා කන්ඩායම් බියට පත්ව සිටී.

ලෝක ධනේශ්වර ක්‍ර‍මය මුහුන දී සිටින පද්ධතිගත අර්බුදයෙන් පැන නංවා ඇති ලෝක යුද තර්ජනය, එම අර්බුදයේ සමස්ත බර තමා මත පැටවීමට එරෙහිව ලංකාවද ඇතුලු‍ රටක් රටක් පාසා නැගීසිටින කම්කරු-පීඩිත මහජනතාවන් ලෙයින් මැඩීම සඳහා සූදානම් කෙරෙන පොලිස් රාජ්‍ය පියවර ගැන, අන් සියලු‍ම අපේක්ෂකයන් තම උද්ඝෝෂනයේදී දැනුවත්ව වසන් කරද්දී, එම අන්තරායන් මහජනතාවට මුන ගැස්වූයේ සහ ඒවායින් ගැලවීගැනීමේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල ඉදිරිපත් කලේත් සසප සහ එහි අපේක්ෂකයා පමනකි.

සෑම ධනපති අපේක්ෂකයෙක්ම, වැඩෙන ත්‍රස්තවාදයක් පිලිබද භීතිකාවක් නිර්මානය කරමින්, ඊනියා “ජාතික ආරක්ෂාව”‍ තරකිරීමේ නාමයෙන් ගෙනගිය උද්ඝෝෂනය මෙම මැතිවරනයේදී කේන්ද්‍රීය විය. විශේෂයෙන්ම අප්‍රේල් 21දා පාස්කු බෝම්බ ප්‍රහාරවලින් අනතුරුව ආන්ඩුවේ හා විපක්ෂයේ සහයෝගය ඇතිව දියත් කල මුස්ලිම් විරෝධී උද්ඝෝෂනය සමස්ත මැතිවරන උද්ඝෝෂනය පුරාම රඳවා තබා ගනු ලැබිනි.

මෙම මුස්ලිම් විරෝධය තුච්ඡ ලෙසින්ම යොදා ගැනුනේ, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී නඩවල සහ මිලිටරියේ කොටස්වල දක්ෂිනාංශික අපේක්ෂකයා ලෙස ඉස්මතුවූ රාජපක්ෂගේ මැතිවරන උද්ඝෝෂනය තුලදී ය. ඉකුත් කාලවලදී මුස්ලිම්-විරෝධී ප්‍රහාර මෙහෙයවීම හා ඒවා මෙහෙවූ බොදුබල සංවිධානය වැනි ෆැසිස්ට්වාදී කල්ලිවලට අනුග්‍රහය සැපයීම මගින් ගෝඨාභය රාජපක්ෂ සුලු‍තර මුස්ලිම් ජනයා අතර අපකීර්තියට හා පිලිකුලට පත්ව සිටීම මෙයට හේතුවී තිබේ.

ජනාධිපතිවරනයේදී අවශ්‍ය බහුතර බලය ලබා ගැනීම සඳහා තීරනාත්මක වන සුලු‍තර ජනයාගේ ඡන්ද තමන් වෙත ලබා ගැනීමට සියලු‍ම ධනපති අපේක්ෂකයින් ඔවුන්ට ව්‍යාජ පොරොන්දු මාලාවක් ලබා දුන් අතර ගෝඨාභය රාජපක්ෂගේ උද්ඝෝෂනයේදී මේවා පොරොන්දුවලට පමනක් සීමා නොවිනි.

මැතිවරනයේදී රාජපක්ෂට සහාය නොදීම මගින් මුස්ලිම් ජනයාට ඇතිවිය හැකි පලවිපාක පිලිබඳව ඔහුගේ හෙංචයියන් විසින් මුස්ලිම් ජනයාට කරන තර්ජනය කිරීම් ද එම උද්ඝෝෂනයට අඩංගු විනි. ශ්‍රීලංපොප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මහනුවරදී මුස්ලිම් ජනයා අමතා ”‍සියයට 25 ක්වත් ඡන්ද (රාජපක්ෂට) ලබා නොදුන්නොත් අපේ ලඟට ප්‍රශ්න කියන්න එන්න එපා”‍ යැයි තර්ජනාත්මකව ප්‍රකාශ කිරීමත්, රාජපක්ෂගේ උද්ඝෝෂන ව්‍යාපාරයේ ප්‍රමුඛයෙකුවන නීතිඥ අලි සැබ්රි මුස්ලිම් ජනයා අමතන රැස්වීමකදී ගෝඨාභයට ඡන්දය නොදීම මගින් මුස්ලිම් ජනයාට ඇතිවිය හැකි අනිටු පලවිපාක ගැන කල අනතුරු ඇඟවීමත් මෙයට උදාහරන ය.

මේ ආකාරයෙන් බොරු පොරොන්දු, විකෘතිකරන හා තර්ජනයන්ගෙන් පිරුනු මැතිවරන උද්ඝෝෂනයක් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවේ යෙදවීමක් නොව, ඇත්තෙන්ම එහි සැබෑ නිරුවත ප්‍රදර්ශනය කිරීමකි.

මෙය කෙතරම් අපුල සහගතවීදැයි කිවහොත් මෙම සංස්ථාපිතය රැකීමට කැපවී සිටින දක්ෂිනාංශික දි අයිලන්ඞ් පුවත්පතට පවා එය උසුලාගත නොහැකි විය. මහජනයා ගැන උපහාසයෙන් යුතුව “බේගල්, අමුබේගල් හා මැතිවරන ප්‍රකාශ”යන මැයෙන් ලියූ කතුවැකියක දී අයිලන්ඞ් මෙසේ ලීවේ ය: “ජනාධිපති අපේක්ෂකයින් ඉදිරිපත්කර ඇති පොරොන්දු රොත්ත ක්‍රියාවට දැමුවහොත් මේ රට පෘථිවි තලයේ පවතින ජීවත් වීමට හොඳම ස්ථානය වනු ඇත. කපටි දේශපාලනඥයෝ මේ පොරොන්දු මැතිවරන ප්‍රකාශවලට අතුලුකරගෙන හිත යටින් හිනාවෙති, මන්ද යත්, බොහෝ මිනිස්සු මේ පොරොන්දු ගෙඩිපිටින් ගිලගැනීමට තරම් රැවටෙන්නන් බව දන්නා නිසා ය.”

කිසිදු ධනපති අපේක්ෂකයෙක් මහජනයා මුහුන දෙන අතිමූලික ප්‍රශ්න එකක් හෝ බැරෑරුම් සාකච්ඡාවකට නො ගැනීම ඔවුන්ගේ හුදු සටකපටකම පිලිබඳ දර්ශකයකට වඩා, අර්බුදයේ පරිමාව හොඳින් දන්නා ඔවුන් සැබවින්ම එයට මුහුනදීම සඳහා මහජනයා දඬු ගැසීමට සූදානම් වෙමින් සිටින බවට බලගතු සාක්ෂියකි.

Share this article: