කම්කරුවන් මුහුන දෙන අන්තරායන්ට ධනවාදය තුල විසඳුම් ඇත්තේ නෑ- පානි විජේසිරිවර්ධන

ගිහාන් ඩි චිකේරා විසිනි, 2019 නොවැම්බර් 8

පහත පලවන්නේ දිනපතා ඉංග්‍රීසි බසින් පලකරන ප්‍රධාන පුවත්පතක් වන “‍ඬේලිමිරර්”‍ පුවත්පත නොවැම්බර් 8දා පලකල, සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධනගේ සම්මුඛ සාකච්ඡාව යි. පුවත්පත වෙනුවෙන් සාකච්ඡාව සිදුකලේ මාධ්‍යවේදී ගිහාන් ඩි චිකේරා විසිනි.

* සුලු‍ පිරිසකගේ ලාභය නොව, සමාජය බහුතරයකගේ අවශ්‍යතා සපුරාලිය යුතු යි

* ධනවතුන්ගේ සිට දුගීන් වෙත ධනය යලි බෙදාහැරිය යුතු යි

* සියලු‍ කම්කරුවන්ට සුරක්ෂිත හොඳ වැටුප් සහිත රැකියා තිබිය යුතු යි

* මෝරුන් මෙන් ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය රටවල් සිසාරා යනවා

* මානව වර්ගයා තුන්වන අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයක තර්ජනයට මුහුන දෙනවා

චිකේරා: ජනාධිපතිවරනයට තරඟ කරන කුඩා පක්ෂවලින් එකක් වුවත් සමාජවාදී සමානතා පක්ෂයට (සසප), ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල අඩ සියවසකට වැඩි ඉතිහාසයක් ඇත. 1964 දී ලංකා සම සමාජ පක්ෂය (ලසසප) සිරිමාවෝ බන්ඩාරනායකගේ සභාග ආන්ඩුවට ඇතුල් වූ විට, සසප පැරනි වාමාංශික පක්ෂයෙන් බිඳී වෙන්වුනි. මෙම බිඳී ගිය කන්ඩායම 1968 දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) බිහිකල අතර, එය 1996 දී සසප ගොඩනැඟු‍වේ ය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන මෙම ට්‍රොට්ස්කිවාදී පක්ෂය, ජාත්‍යන්තර කම්කරු-පන්තියේ සහෝදරත්වය මත පදනම් වන විප්ලවීය සමාජවාදී ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරයි. එලඹෙන මැතිවරනය හා ඉන්පසුව සසපයේ සැලසුම හා ක්‍රියාමාර්ගය පිලිබඳ ව මම සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන සමග කතා කලෙමි. විශ්‍රාම ලත් ගුරුවරයෙක් වන විජේසිරිවර්ධන මහතා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කොලඹ කර්තෘ මන්ඩලයේ සාමාජිකයෙකි.

සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති ‘මහජන වේදිකාවේ’ දී ඔබ පැවසුවා, 2019 ජනාධිපතිවරනයට තරඟ වදින අනෙක් පක්ෂවලින් සසප වෙනස් වන බව. ඔබ වෙනස් වන්නේ කෙසේ ද?

පානි විජේසිරිවර්ධන

පානි: අපගේ වෙනස ප්‍රධාන වසයෙන් රැඳී තිබෙන්නේ අපගේ ක්‍රියාමාර්ගය තුල යි. අපගේ ක්‍රියාමාර්ගය පවත්නා ධනේශ්වර ක්‍රමය ප්‍රතිසංස්කරනය කිරීම නො ව, එම ක්‍රමය අහෝසි කොට සමාජවාදී පද්ධතියකින් එය විස්ථාපනය කිරීම ඉලක්ක කරගත්තක්. සමාජවාදී ක්‍රමය ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන අතර, ඒ නිසා අපගේ ක්‍රියාමාර්ගය ජාත්‍යන්තර යි. ශ්‍රී ලංකාව සඳහා වන වැඩපිලිවෙල එම ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයේ ඒකාග්‍රිත කොටසක්. ශ්‍රී ලංකාව තුල අපගේ ඉතිහාසය සුවිශේෂ යි. පසුගිය 51 වසර තුල කිසිදු ධනේශ්වර පක්ෂයක් හෝ ව්‍යාජ-වම වැනි ධනේශ්වර පක්ෂවල අතකොලු‍ සමග අපි කිසි විටෙක සම්මුති ගසා නැහැ.

කෙටියෙන් කියනවා නම්, එක්සත් ජාතික පක්ෂය (එජාප), ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු‍ සියලු‍ ධනේශ්වර පක්ෂවලටත්, ඔවුන්ගේ ව්‍යාජ-වාම හෙන්චයියන් වන නව සම සමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යන සියල්ලන්ට එරෙහි ව සසප සමාජවාදී ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරනවා.

යුද්ධය, කප්පාදුව සහ ආඥාදායකත්වයේ හා ෆැසිස්ට්වාදයේ තර්ජනය යන මෙරට හා ජාත්‍යන්තර කම්කරුවන් මුහුන දෙන අන්තරායන්ට ධනවාදයේ හා එහි යල් පිනූ ජාතික-රාජ්‍ය පද්ධතියේ රාමුව තුල විසඳුමක් නැති බව අපි අවධාරනය කරනවා. අපගේ විසඳුම, සුපිරි ධනවතුන් සුලු‍ පිරිසකගේ ලාභය නොව මානව වර්ගය‍ාගේ අති මහත් බහුතරයකගේ අවශ්‍යතා ඉටු කරන පරිදි සමාජය ප්‍රතිසංවිධානය කිරීම සඳහා දකුනු ආසියාවේ හා ලෝකය පුරා කම්කරුවන් ඒකාබද්ධ කිරීම මගින් ලාබ පද්ධතිය අහෝසි කිරීම යි.

අප්‍රේල් 21 ප්‍රහාර පිලිබඳ ව ජ්‍යෙෂ්ට ජාතික නායකයන් හා ආරක්ෂක නිලධාරීන් දැනුවත් ව සිට කිසිවක් නො කිරීම මගින් ආන්ඩුවේ හා එහි සහචරයන්ගේ ආන්තික නරුමත්වය අවධාරනය කරනු ලබනවා. තමන්ගේ ම දේශපාලන අවශ්‍යතා සඳහා ඛේදවාචකය ගසා කෑමට, සිය ගනනක් අහිංසක මිනිසුන් සංහාරය කිරීමට ඔවුන් ඉඩ හැරියා.

චිකේරා: ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය ගෝලීය ව්‍යාපාරයක කොටසක් බව ඔබ කියනවා. මෙරට කම්කරුවන් එය විශ්වාස කරනවා ද?

පානි: කම්කරුවන් මෙම වෛෂයික සත්‍යය ග්‍රහනය කරගෙන ඒ අනුව සංවිධානය වීමට නියමිත යි. එය තවමත් ඉෂ්ඨවූ කාරනයක් නෙවෙයි. එහෙත් ඓතිහාසික නීති බලගතු වන අතර, එම නීති සෑම තැනක ම කම්කරු පන්තියේ විඥානය තුලට මාවත සොයාගනිමින් තිබෙනවා. රටක් රටක් පාසා කම්කරු-පන්ති අරගල පුපුරා යමින් තිබෙනවා. වඩාත් මෑතකදී චීලී රටේ හා ලෙබනනයේ අරගල පැනනැඟු‍නා. ගෝලීය ධනවාදයේ ඓතිහාසික හා පද්ධතිගත අර්බුදය තුල මුල් බැස තිබෙන, එක හා සමාන ප්‍රතිවිපාකයන්ට මුහුන දෙන, එකිනෙකින් දුරස්ථ ව පිහිටි මේ රටවල් දෙකම, වැඩකරන ජනයා විසින් ඇන හිටුවනු ලැබුවා. වැඩිකල් යන්නට මත්තෙන් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය තමන් ගෝලීය ව්‍යාපාරයක කොටසක් බව ග්‍රහනය කරගන්නා බව අපට විශ්වාස යි.

තව ද ජාත්‍යන්තර පන්ති අරගලයේ මෙම පුනර්ජීවනය, කම්කරු පන්තියේ වෛෂයික එකමුතුව ප්‍රදර්ශනය කරනවා. එබැවින් අපගේ ජනාධිපතිවරන උද්ඝෝෂනය කේන්ද්‍රගත වන්නේ, ශ්‍රී ලංකාවේ, දකුනු ආසියාවේ හා ගෝලීය ව එලඹෙන අරගල සඳහා හජාජාක අපේ සහෝදර පක්ෂ ද සමග විප්ලවීය කම්කරු-පන්තික නායකත්වයක් ගොඩනැගීම මත යි.

දරිද්‍රතාව, විරැකියාව හා රැකියා අනාරක්ෂිත භාවය ප්‍රධාන උත්සුකයන්. ඔබ මෙය විසඳීමට යෝජනා කරන්නේ කෙසේ ද?

අපගේ මැතිවරන ප්‍රකාශනය මහා ව්‍යාපාර අස්වාමික කොට ධනවතුන්ගේ සිට දුගීන් කරා ධනය යලි බෙදාහැරීමට යෝජනා කරනවා. වැටුපේ කිසිදු අඩු කිරීමකින් තොර ව වැඩ සතිය පැය 30 දක්වා අඩු කිරීම මගින් රැකියා ප්‍රසාරනය කිරීමට අපි යෝජනා කරනවා. මහජන නිවාස, පාසල්, රෝහල් හා මහා මාර්ග ගොඩනැගීමට රාජ්‍ය කර්මාන්ත වැඩපිලිවෙලවල් ක්‍රියාත්මක කිරීම මගින් රැකියා නිර්මානය කල හැකි යි. උද්ධමනයට අනුරූපව ජීවත්විය හැකි වැටුපක් සමගින් සුරක්ෂිත, හොඳ වැටුප් සහිත රැකියා සඳහා සියලු‍ කම්කරුවන්ට අයිතියක් තිබෙනවා. ඒ අතර ම, කොන්ත්‍රාත් ශ්‍රම ක්‍රමය අහෝසි කල යුතු යි.

වර්තමාන ධනවාදය දූෂනයෙන් පිරිසිදු කරගැනීමේ මාවතක් නැහැ. දූෂනය අහෝසි කිරීමට සමස්ත ධනේශ්වර ක්‍රමය පෙරලා දමා සමාජවාදය ස්ථාපිත කල යුතු යි.

ගොවීන්ට හා කම්කරුවන්ට කුඩා පරිමාන ව්‍යවසායකයන් බවට පත්වීමට දිරි දීම ගැන ඔබ හිතන්නේ කුමක් ද?

මහ ව්‍යාපාරික බහුජාතික සමාගම්වල ඉහල යන ලාභය හමුවේ ඊනියා ව්‍යවසායකයන්ට තිබෙන්නේ ඉතා කුඩා ඉඩක්. ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය මෝරුන් මෙන් ලාබ සොයා රටවල් හඹා යනවා. එම තත්ත්වය තුල ගොවීන්ට හෝ කම්කරුවන්ට සාර්ථක කුඩා පරිමාන ව්‍යවසායකයන් බවට පත්විය හැකි යයි කීම මිථ්‍යාවක්. එම කතා මහ ව්‍යාපාරික මාධ්‍ය විසින් මහජනයා රවටා ධනපති ක්‍රමය ආරක්ෂා කිරීමට ඉදිරිපත් කරන ඒවා.

ඒ කෙසේ වුවත්, ගොවීන් දැනට මත් කුඩා-පරිමාන ව්‍යවසායකයන්. අපි ඔවුන් සුලු‍-ධනේශ්වරය ලෙස වර්ගී කල යුතු යි. ඔබ දන්නා පරිදි මෙම පීඩිත ගොවීන් මහ ව්‍යාපාරික බහුජාතික සංගත හා බැංකුවල ග්‍රහනයට ගොදුරු වී සිටිනවා. ශ්‍රී ලංකාවේත් අනෙකුත් ඌන සංවර්ධිත රටවලත් දහස් ගනනක් දෙනා නය ආපසු ගෙවාගත නො හැකි ව දිවිනසාගෙන තිබෙනවා. ව්‍යවසායකත්වය ගැන කීමට තිබෙන්නේත් ඒ දෙය ම යි.

චිකේරා:සමහර අපේක්ෂකයන් ජාතික ආරක්ෂාව ඉස්මතු කර තිබෙනවා. එය කොතරම් වැදගත් ද?

පානි:මහ ව්‍යාපාරිකයේ හා පාලක ප්‍රභූවේ ආරක්ෂකයා වන පීඩක ධනේශ්වර රාජ්‍යයට විරුද්ධ ව වැඩකරන ජනයාගේ ආරක්ෂාව සොයාගත යුතු ව තිබෙනවා. වැඩකරන ජනයාගේ හා තරුනයන්ගේ අභිලාෂයන් මර්දනය කිරීමට ප්‍රධාන පක්ෂ පොලිස්-මිලිටරි රාජ්‍යයන් ස්ථාපනය කිරීමට දඟලනවා. එම නිසා කම්කරුවන්ගේ ආරක්ෂාව සංවිධානය කරගැනීමට වැඩකරන ජනයා වැඩපොලවල තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු යි.

ඒ අතර ම, සමස්ත මානව වර්ගයා අධිරාජ්‍යවාදී තුන්වන ලෝක යුද්ධයක තර්ජනයට ලක් ව සිටිනවා. චීනය වටලමින් සිටින එක්සත් ජනපදය තම ආධිපත්‍යය ආරක්ෂා කරගැනීමට ලෝක යුද්ධයක් ඇවිලවීමට තර්ජනය කරමින් සිටිනවා. ඔවුන් දැනට මත් මැද පෙරදිග හා ඇෆ්ගනිස්තානයේ යුද්ධ අවුලු‍වා තිබෙනවා. න්‍යෂ්ටික බලවතුන් වන ඉන්දියාව හා පකිස්තානය යුද මාවතට එලඹ සිටිනවා. ආරක්ෂක තර්ජනය අහෝසි කිරීමට අධිරාජ්‍යවාදය අතුගා දැමිය යුතු යි.

අනෙක් අතට ත්‍රස්තවාදය, ධනපති පෑගීමට පලවන ප්‍රතිගාමී ප්‍රතිචාරයක්. බොහෝ අවස්ථාවල දී, පාලක පන්තිය ත්‍රස්තවාදය අවුලු‍වා දිරිමත් කරන්නේ පසුව වැඩකරන ජනයාට හා මහජනතාවට එරෙහි ව උපයෝගී කරගැනීමට යි. 30-අවුරුදු වර්ගවාදී යුද්ධයේ දී මහජනයා මෙය අත්දැක්කා. ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් අප්‍රේල් 21දා ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කල ආන්ඩුව විෂඝෝර ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවර ගත්තා. ජ්‍යෙෂ්ට ජාතික නායකයන් හා ආරක්ෂක නිලධාරීන් ප්‍රහාර පිලිබඳ ව දැන සිට කිසිවක් නො කිරීම මගින් ආන්ඩුවේ හා එහි සහචරයන්ගේ ආන්තික නරුමත්වය අවධාරනය කෙරේ. තමන්ගේ ම දේශපාලනික අවශ්‍යතා සඳහා ඛේදවාචකය ගසාකෑමෙ සඳහා සිය ගනනක් අහිංසක ජනයා සංහාරය කිරීමට ඔවුන් ඉඩ හැරියා. පොලිස්-රාජ්‍ය පියවරයන්ගේ ද මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයේ ද සැබෑ ඉලක්කය ත්‍රස්තවාදය නො ව කම්කරු පන්තිය යි.

හොඳ වැටුප් හා අධ්‍යාපන පහසුකම් සඳහා වූ ගුරුවරුන්ගේ විරෝධතාව ඇතුලු‍ වැඩෙන වැඩ වර්ජන හා විරෝධතා රැල්ලක් සැප්තැම්බර් මාසයේදී දැකගත හැකි වි ය.

[ඡායාරූපය නිමලසිරි එදිරිසිංහ විසිනි]

චිකේරා:සමාජ හා ආර්ථික සෞභාග්‍යය උදාකරගැනීමට ශක්තිමත් නායකත්වයක් හා ස්ථාවර ආන්ඩුවක් සඳහා ප්‍රධාන පක්ෂ කැඳවුම් කරනවා. මෙය ඉටු කරගත හැකි ද?

පානි:පාලක පන්තිය සඳහා ශක්තිමත් නායකත්වයක් හා ස්ථාවර ආන්ඩුවක් යන්නෙන් අදහස් වන්නේ, ජාමූඅ නියෝග කරන කප්පාදු පිලිවෙත්වලට එරෙහි කම්කරු පන්තියේ විරෝධය මඩින පොලිස්-මිලිටරි රාජ්‍යයක අවශ්‍යතාව යි. එය ආයෝජන හා ශ්‍රමය නිර්බාධිත ව සූරාකෑම සඳහා රට සුරක්ෂිත ස්ථානයක් බවට ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයට දෙන සහතිකයක්. එම පාලනය රටේ කම්කරු පන්තියේ හා පීඩිත ජනයාගේ වියදමෙන් ලාබ පිපාසිත ධනේශ්වර ප්‍රභූවට සේවය කරනු ඇති.

අපගේ විසඳුම රැඳී පවත්නේ, සුපිරි ධනවතුන් සුලු‍ පිරිසකගේ ලාභය නොව, මානව වර්ගයාගේ අති මහත් බහුතරයකගේ අවශ්‍යතා ඉටු කරන පරිදි සමාජය ප්‍රතිසංවිධානය කිරීම සඳහා දකුනු ආසියාවේ හා ලෝකය පුරා කම්කරුවන් ඒකාබද්ධ කිරීම මගින් ලාබ පද්ධතිය අහෝසි කිරීම තුල යි.

චිකේරා:තවත් සටන් පාඨයක් වන්නේ දූෂනය පිටුදැකීම යි. දූෂනය ඉවත් කලහොත් රට සංවර්ධනය කල හැකි ද?

වර්තමාන ධනවාදය අරටුවට ම කුනු වී ඇති අතර දූෂනය එයට ආවේනික යි. කාරනය වන්නේ, කම්කරු පන්තියෙන් කොල්ලකාගන්නා ලාබයෙන් කොටසක් එක් හෝ තවත් ක්‍රමයකින් සූරාකන්නන්ගේ දූෂිත සගයන් අතර බෙදා දීම යි. උදාහරනයක් හැටියට ව්‍යාපාරික කොමිස් යනු ලාබ බෙදාගැනීමේ කොටසක්. වර්තමාන ධනවාදය දූෂනයෙන් පිරිසිදු කරගැනීමේ මාවතක් නැහැ. එම නිසා මෙම සටන් පාඨය වැඩකරන ජනයා රැවටීමට ඉදිරිපත් කරන එකක් මිස වෙනකක් නෙවෙයි. දූෂනය අහෝසි කිරීමට සමස්ත ධනේශ්වර පද්ධතිය පෙරලා දමා සමාජවාදය ස්ථාපිත කල යුතු යි.

චිකේරා:ජනාධිපති මැතිවරන බොහෝ විට දැකගනු ලබන්නේ ඡන්ද දායකයන් “අඩු නපුර” තෝරාගත යුතු අශ්වයන් දෙදෙනෙකුගේ තරඟයක් ලෙස යි. ඔබ මීට එකඟ ද?

පානි:මෙය විශේෂයෙන් ම ව්‍යාජ-වම ඇතුලු‍ ධනවාදයේ ආරක්ෂකයන් විසින් මහජනතාවට කාන්දු කරන ප්‍රෝඩාවක්.

කම්කරු පන්තියේ අත්දැකීම වී ඇත්තේ ඊනියා අඩු නපුර සෑම විට ම මහා නපුරට මාවත පාදන බව යි. පීඩක තන්ත්‍රයක් බලයෙන් පහකිරීම සඳහා මහජනයා අඩු නපුර යයි සිතමින් ධනේශ්වර විකල්පයකට ඡන්දය දෙන විට ඔවුන් වහා ම අවබෝධ කරගන්නේ, ඊනියා වාමාංශික පක්ෂ හා වෘත්තීය සමිති විසින් ඔවුන් උගුලකට හසුකර ඇති බව යි.

මෙම ක්‍රම හරහා කම්කරු පන්තිය සමාජවාදී විකල්පයකින් එයට අභියෝග කරන තෙක් දිගට ම පැවතීමට ජරපත් ධනවාදය උත්සාහ දරනවා. අපගේ කර්තව්‍යය වන්නේ සමාජවාදී ක්‍රියාමාර්ගයකින් කම්කරු පන්තිය සන්නද්ධ කිරීම යි.

බොහෝ අවස්ථාවල දී කම්කරු පන්තියට හා මහජනතාවට විරුද්ධ ව පසුව උපයෝගී කරගැනීමේ අරමුනින් පාලක පන්තිය ත්‍රස්තවාදය උසිගන්වා දිරිමත් කරනවා

චිකේරා:වාමාංශික පක්ෂ බොහොමයක් තරඟ කිරීම නිසා වර්තමාන සන්දර්භය තුල “වාමාංශික” හා “ප්‍රගතිශීලී” යන්නෙහි අර්ථය කුමක්දැයි යමෙක් විමසිය හැකි යි?

පානි:මෙහි දී ඔබගේ පලමු ප්‍රශ්නය කරා ආපසු යන්නේ නම්, වර්තමාන සන්දර්භය තුල “වාමාංශික” හා “ප්‍රගතිශීලී” යනු ජාත්‍යන්තරවාදී සමාජවාදී ක්‍රියාමාර්ගයක් හා එය ආරක්ෂා කරන පක්ෂය බව අවධාරනය කිරීමට කැමතියි. අනෙකුත් සියල්ලන් එක් හෝ තවත් ක්‍රමයකින් ධනවාදයේ අත්උදව්කරුවන්. අපි ඔවුන් හඳුන්වන්නේ, කම්කරු පන්තිය හැකි ඉක්මනින් දේශපාලනික ව අත්මිදිය යුතු ව්‍යාජ-වම ලෙස යි.

Share this article: