වතු කම්කරු අයිතීන් අහෝසිකරන ඊනියා ආදායම් බෙදීමේ ක්‍රමය ක්‍රියාවට දැමීමට වතු සමිති ධනපති ජනාධිපති අපේක්ෂකයන් සමග එකඟ වෙයි

එම්. දේවරාජා විසිනි, 2019 නොවැම්බර් 14

ජනාධිපතිවරනයෙන් පසු වතු සමාගම් විසින් යෝජිත ආදායම් බෙදීමේ ක්‍රමය මුලු‍මනින් ක්‍රියාවට දැමීම සඳහා වතු වෘත්තීය සමිති ප්‍රධාන ධනපති පක්ෂ දෙකේ අපේක්ෂකයන් වන එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) ගෝඨාභය රාජපක්ෂ වෙත තම එකඟතාවය ප්‍රකාශ කර ඇත.

දැනටමත් වතු කම්කරුවන්ගේ බරපතල විරුද්ධත්වයට තුඩු දී ඇති මෙම ක්‍රමය ක්‍රියාවට දැමුවොත් ඔවුන් සිය අතීත අරගල මගින් දිනාගෙන ඇති සුලු‍ සමාජ සහන පවා අහිමි කෙරෙමින් වතු සමාගම්වලට කඹුරන අඳ ගොවියන් බඳු තත්වයකට පරිවර්තනය කෙරෙනු ඇත.

එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ පාර්ශවකරුවන් වන ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොන්ග්‍රසය (ඩීඩබ්ලිව්සී), ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) සහ කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) විසින් පිහිටුවා ගෙන ඇති දෙමල ප්‍රගතිශීලී පෙරමුනේ (ටීපීඑෆ්) නායකයෙකු වන මනෝ ගනේෂන් නොවැම්බර් 2 වෙනිදා වීරකේසරී පත්‍රයට මෙලෙස පවසා තිබුනි: “වතු ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරනය කරනු ලැබීමට සහ නිශ්චිත ඉඩම් කට්ටි කම්කරුවන්ට පවරන ආදායම් බෙදීමේ ක්‍රමය ක්‍රියාවට දැමීම පිලිබඳව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ (එන්ඩීඑෆ්) ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමග අපි එකඟතාවයකට පැමිනියෙමු . මෙම ක්‍රමය දිගටම ක්‍රියාවට දැම්මොත් ඔවුන් කොන්ත්‍රාත්කරුවන් බවට පරිවර්තනය වන අතර ඔවුන්ට කිරි ගොවිතැනත් කල හැකියි. මෙම ක්‍රමය යටතේ කම්කරුවා ගැමියෙකු බවට පත්වෙනව”‍ මෙම පදනම් මත “‍වැටුප් ප්‍රශ්නයට වඩා ප්‍රතිසංස්කරනය වැදගත්”‍ බව ද ඔහු පැවසීය.

වතු සමාගම් සමග වැටුප් සාමුහික ගිවිසුමට අත්සන් කරන ප්‍රධාන වෘත්තීය සමිතියක් වන ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) නායක ආරුමුගම් තොන්ඩමන් ද වීරකේසරී පුවත්පතට එබඳුම ප්‍රකාශයක් කර ඇත: “‍අපේ ඉල්ලීම් 32 ක්‍රියාවට දැමීමට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුනේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ එකඟවුනා. සාමුහික ගිවිසුම සමග බැඳී තිබෙන නිසා වැටුප් ප්‍රශ්නය එම ඉල්ලීම් 32 ට ඇතුලත් කලේ නැහැ ”‍ කෙසේ නමුත් වතු කම්කරුවන් “‍සුලු ඉඩම් හිමියන්”‍ බවට පරිවර්තනය කිරීම එම ඉල්ලීම් ලැයිස්තුවේ ප්‍රධාන ඉල්ලීමකි.

එමෙන් ම 2016 අත්සන් කල වැටුප් සාමුහික ගිවිසුමේදී, ආදායම් බෙදීමේ ක්‍රමය ක්‍රියාවට දැමීමට, ගිවිසුමට අත්සන් කල සීඩබ්ලිව්සී ඇතුලු‍ සමිති පමනක් නොව වතුකරයේ සියලු‍ සමිති එකඟ වීය.

ඉඩම් කට්ටිකර කම්කරුවන්ට බලාකියාගන්ට දී ඒවායේ නිෂ්පාදනය සමාගම්වලට අත්කර ගැනීමට ඉඩ සලසන මෙම ක්‍රමය ක්‍රියාවට දැමීමට ජනාධිපති අපේක්ෂකයින් එකඟ වූ බවට සමිති නායකයින් ඔජවඩන්නේ කම්කරුවන්ට මහා ජයග්‍රහනයක් ලැබුනා සේ ය. එහෙත් එම ක්‍රමයේ දුර්විපාක වලට මුහුන දෙන කම්කරුවන් ඊට විරුධත්වය දක්වා පසුගිය කාලයේ ගෙනගිය විරෝධතා අරගල, සමිති විසින් පාවාදෙනු ලැබීය. මතුරට, කැලනිවැලි සහ බොගවන්තලාව ඇතුලු‍ සමහර වතු සමාගම් මෙම ක්‍රමය ක්‍රියාවට දැමීම ආරම්භ කර ඇත්තේ, කම්කරුවන්ගේ බරපතල විරුද්ධත්වය නොතකමිනි.

කම්කරුවන්ගේ ශ්‍රමය වෙනත් වහල් ක්‍රමයකට සූරාකෑමේ අලු‍ත් වැඩපිලිවෙල ඉදිරිපත් කරනු ලැබුවේ සමාගම් විසිනි. ජනාධිපති අපේක්ෂකයින් ඒවාට එකඟත්වය ප්‍රකාශ කිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ඔවුන් මහ ධනපති ව්‍යාපාරිකයින්ගේ ඒජන්තයින් බවයි. සමිති යුහුසුලු‍වී ඇත්තේ එය ක්‍රියාවට දැමීමට උදව් කරන කාර්මික පොලිසියක් ලෙස ය.

වතු කම්කරු දෛනික වැටුප් රුපියල් 1000 ක් කරන බවට රාජපක්ෂ “පොරොන්දු වී”‍ ඇති අතර තමන් එය 1,500 ක් කරන බව ප්‍රේමදාස පවසා ඇත. රුපියල් 500 ක් වූ සිය දෛනික වැටුප 1000 දක්වා වැඩිකරන ලෙස පසුගිය වැටුප් අරගලයේ දී කම්කරුවන් කල ඉල්ලීම වතු සමාගම් සහ ආන්ඩුව විසින් දැඩිව ප්‍රතික්ෂේප කෙරුනි. වෘත්තීය සමිති විසින් 200,000ආසන්න වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය දුෂ්ට ලෙස පාවා දුන් අතර වැවිලි කර්මාන්තය “පාඩුලබන තත්වයක් තුල”‍ රුපියල් 1000 ඉල්ලීම “‍අසාධාරන”‍ බව ඔවුන්ගේ පොදු අදහස විය.

වීරකේසරී පත්‍රයට කල ප්‍රකාශයේ දී තොන්ඩමන් එය යලිත් අවධාරනය කර ඇත. “‍වතු කම්කරුවන්ට රුපියල් 1000 ක් දෙනව කියල ගෝඨාභය කිව්වට මා එහෙම කිව්වේ නැහැ”‍ යි ඔහු කියා ඇත. මින් පෙන්නුම් කෙරෙන්නේ රාජපක්ෂගේ පොරොන්දුව ඇස්බැන්දුමක් පමනක් බවයි.

වැවිලි සමාගම් නිරතුරුව අවධාරනය කරන්නේ නිෂ්පාදන වියදම අඩුකිරීම සඳහා වැටුප් කප්පාදු කිරීම හා ආදායම් බෙදීමේ ක්‍රමය හඳුන්වාදීම ගැන ය. කෙන්යාව, චීනය, ඉන්දියාව හා වියට්නාමය ඇතුලු‍ තේ නිපදවන සෙසු රටවල තේ කිලෝවක නිෂ්පාදන වියදම ශ්‍රී ලංකාවට වඩා අඩු බවත්, ලෝක වෙලඳපොලේ තරඟ කාරිත්වයට මුහුනදීමට නම් නිෂ්පාදන ඉලක්කයන් ඉහල දැමීම හා වියදම පහත දැමිය යුතු බවත් වැවිලි සමාගම් කියා සිටී.

ආදායම් බෙදීමේ ක්‍රමය යටතේ කම්කරු පවුලකට තේ පඳුරු 1000 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සහිත ඉඩම් කට්ටි පවරනු ලැබෙයි. පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය හා උපකරන ඇතුලු‍ දෑ වතු සමාගමෙන් සැපයෙයි. එම තේ ඉඩම් කට්ටිය කම්කරු පවුල විසින් නඩත්තු කල යුතු අතර මහල්ලන් සහ ලමයින් ඇතුලු‍ පවුලේ සියලු‍ දෙනාටම ඒ සඳහා ශ්‍රමය වැගිරීමට බලකෙරෙයි. අවසානයේ කම්කරුවාගේ නිෂ්පාදනය අඩුමිලකට අත්පත් කරගන්නා සමාගම ලාභ ගරා ගනී.

අතිශය දුෂ්කර වැඩ කොන්දේසි නිසා ඇබෝට්ස්ලි සහ ටිලරි වතුවල කම්කරුවන් තමන්ට පවරනු ලැබූ එවන් ඉඩම් කට්ටි ආපසු බාර දී ඇත. “එම ඉඩම් කට්ටි නඩත්තු කිරීම සහ දලු‍ කැඩීම සඳහා අපේ පවුල්වල අයට කිසිම විවේකයක් නැතිව අසීමිත කාලයක් වැඩ කරන්න සිදුවුනා. අපිදෙන දලු‍ කිලෝවකට මුලදී රුපියල් 90 ක් ගෙව්වා. දැන් රුපියල් පනහයි ගෙවන්නේ. අපිට පාඩුයි”‍ ටිලරි වත්තේ කම්කරුවෝ කීහ.

ජනාධිපතිවරනයෙන් කවරෙකු ජයග්‍රහනය කල ද බලයට පත්වන ආන්ඩුවේ සහ වෘත්තීය සමිති වල සහයෝගය ඇතිව ශ්‍රම සුරාකෑම තීව්‍ර කිරීමේ මෙම සැලසුම් වැවිලි සමාගම් විසින් ක්‍රියාවට දමනු ඇත. වෘත්තීය සමිති ධනපති පක්ෂවල අපේක්ෂකයන් පිටුපස පෙල ගැසී සිටින්නේ තමන්ගේ ආර්ථික සහ දේශපාලන වරප්‍රසාද රැක ගැනීමට සහ වැඩි දියුනු කර ගැනීමට මිස වතු කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට හෝ ඔවුන්ගේ ජීවන තත්වයන් වැඩි දියුනු කිරීම සඳහා නොවේ.

Share this article: