පාර්ලිමේන්තු තේරීම්කාරක සභා වාර්තාව පාස්කු ඉරිදා ව්‍යසනයේ වගකීමෙන් පාලක ප්‍රභූව නිදහස් කරයි

වසන්ත රූපසිංහ විසිනි, 2019 නොවැම්බර් 12

කාන්තාවන්, ලමුන් ඇතුලු මිනිසුන් 270කට පමන ජීවිත අහිමි කල, අප්‍රේල් 21දා අයිඑස්අයිඑස් (ඉරාකය සහ සිරියාව සඳහා ඉස්ලාමීය රාජ්‍යය) ත්‍රස්තවාදී සංවිධානයේ මෙහෙයවීමෙන් ජාතික තවුහීද් ජමාත් (එන්ටීජී) විසින් සිදුකල පාස්කු බෝම්බ ප්‍රහාරවලින් මාස හයක් ගතවෙන විට, ඒ පිලිබඳ විමර්ශනය කිරීමට පත් කල පාර්ලිමේන්තු තේරීම්කාරක සභා (පා.තේ.ස) වාර්තාව ඔක්තෝබර් 23දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනි.

පාස්කු බෝම්බර ප්‍රහාර පිලිබඳව පූර්ව අනතුරු ඇඟවීම් කෙරී තිබුනත් ආරක්ෂක අංශ හා දේශපාලන සංස්ථාපිතය ඒවා නිර්බාධිතව සිදුවීමට ඉඩහැර තිබුනේ ය යන්න හෙලිදරව් වීම මගින් මහජනයා තුල දැල්වූ  වෛරය හා කෝපය සමනය කිරීම සඳහා මෙම කමිටුව පත් කලේ, පාර්ලිමේන්තුවේ කතා නායක කරු ජයසූරිය විසිනි. සැසි24ක දී සාක්ෂිකරුවන් 55කගෙන් ලබාගත් සාක්ෂි මත වාර්තාව සකසා ඇත. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මෙහි මූලිකත්වය දැරූ අතර, කැබිනට් අමාත්‍යවරුන් වන එක්සත් ජාතික පක්ෂයේ රවි කරුනානායක හා ශ්‍රී  ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ රවුෆ් හකීම්, දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී  එම්. ඒ්. සුමන්දිරන් හා ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී  නලින්ද ජයතිස්ස කමිටු සාමාජිකයෝ අතර වූහ.

දැනටමත් මහජනයාට හෙලිදරව් කෙරී පවතින කාරනයක් වන ආරක්ෂක අංශ හා බුද්ධි අංශ ප්‍රහාර ගැන කල්තියාම දැන සිටි නමුත් ඒවා වැලක්වීමට කිසිදු පියවරක් නොගත් බව පා.තේ.ස වාර්තාව මගින් නැවත වතාවක් තහවුරු කෙරුනත්, සමස්ථ දේශපාලන සංස්ථපිතය කොක්කෙන් ගලවා යැවීම එහි අරමුන වූ බව පැහැදිලි ය.

ප්‍රහාර සැලසුම් පිලිබඳ මුල්ම තොරතුර රාජ්‍ය බුද්ධි සේවා (එස්අයිඑස්) අධ්‍යක්ෂ විසින් ලබා ගෙන තිබූනේ අප්‍රේල් 4දා වුවත්, ඒ ගැන අදාල බුද්ධි අංශ හා ආරක්ෂක නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර නැති බව වාර්තාව කියයි. එන්ටීජී නායකයා යැයි සැලකෙන සහ්රාන් හෂීම්ගේ ක්‍රියාකාරකම් පිලිබඳ එස්අයිඑස් 2018 අප්‍රේල් 8දා තරම් ඈත කාලයේ දී දැන සිටියත් ඒ පිලිබඳ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වී නැත. මේ අනුව ප්‍රහාරය නොනැවත්වීම සම්බන්ධයෙන්, එස්අයිඑස් අධ්‍යක්ෂ "ප්‍රමුඛතම වගකීම"දරන අතර ආරක්ෂක ලේකම්, පොලිස්පති, සීඑන්අයි (ජාතික බුද්ධිඅංශ ප්‍රධානී) ඩීඑම්අයි (මිලිටරි බුද්ධි අංශ අධ්‍යක්ෂ) ඔවුන්ගේ "වගකීම් ඉටුකිරීමට අසමත්වී" තිබේ යැයි පා.තේ.ස වාර්තාව සදහන් කරයි.

"බෝහෝ අවස්ථාවලදී නායකත්වය සම්පාදනය කිරීමට ජනාධිපති අසමත්වූ" බවත් ඔහු "වේල පිරිමසා ගන්නා ආකාරයෙන් එන්එස්සී (ජාතික ආරක්ෂක මන්ඩල) රැස්වීම් පැවැත්වීම හා එම රැස්වීම්වලින් මූලික පුද්ගලයින් බැහැර කිරීම ඇතුලුව, අත්‍යවශ්‍ය එන්එස්සී (ජාතික ආරක්ෂක මන්ඩල) රැස්වීම් පැවැත්වීම ඇතුලුව ආන්ඩුව සහ පද්ධති ක්‍රියාශීලිව දුර්වල කල" බවත් පා.තේ.ස වාර්තාව නිරීක්ෂනය කරයි.

ඔක්තෝබර් 29දා වාර්තාව කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කල අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එය ප්‍රතික්ෂේප කලේ, ප්‍රහාරයෙන් ඇතිකල විනාශයට තමන්ගේ පැත්තෙන් අංශුමාත්‍රයකින් හෝ වගවීමට සූදානම් නැති බව ප්‍රදර්ශනය කරමිනි.

අගමැති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂාව පිලිබඳ රාජ්‍ය ඇමති සහ නීතිපති දෙපාර්තමේන්තුව ඔවුන්ගේ "රාජකාරී ඉටු කිරීමට අසමත්ව ඇත" යනුවෙන් ද වාර්තාව සඳහන් කරයි. කෙසේවෙතත්, මෙම සැඳහුම් ප්‍රහාරයේ වගකීම සම්බන්ධයෙන් සෘජු දේශපාලන වගකීම ඔවුන් වෙත නොපරනවා පමනක් නොව, එය තමන්ගේ "රාජකාරිය පැහැරහැරීම" පිලිබඳ ආයතනික කාරනයක් බවට ලඝු කර තිබේ.

වාර්තාවේ තවත් කැපී පෙනෙන කාරනයක් වන්නේ සහ්රාන්ට අයිඑස්අයිඑස් සංවිධානය සමග "සෘජු සම්බන්ධයක් තිබූ බවට සාක්ෂි නොමැති" බවට කරන සඳහන යි. අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී සංවිධානය විසින් පාස්කු ප්‍රහාරයේ වගකීම සෘජුවම භාර ගැනීම පිලිබඳ කතාව බැහැර කලත්, ජාත්‍යන්තර මාධ්‍ය හා ශ්‍රී  ලංකාවේ විශ්ලේෂකයන් ගනනාවක් ම අයිඑස්අයිඑස් සංවිධානය මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බව කරුනු සහිතව පෙන්වා දී තිබේ. මෙම කාරනය වසන් කිරීම හරහා පා.තේ.ස වාර්තාව බලාපොරොත්තු වනවා ඇත්තේ, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ ශ්‍රී  ලංකාව එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ චීනයට එරෙහි මිලිටරි-මූලෝපායික සැලසුම්වට සමීපව ඒකාග්‍ර කිරීම හේතුවෙන් අයිඑස්අයිඑස් සංවිධානය මෙරට ඉලක්ක කර ගත්තේය යන කාරනාව යට ගැසීමට යි.

අයිඑස්අයිඑස් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාවලට හවුල්කර ගත හැකි පරිදි මුස්ලිම් තරුනයින් කන්ඩායමක් ඉස්ලාමීය අන්තවාදය කරා මෙහෙයවීමෙහිලා ප්‍රතිගාමී  සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය ඉෂ්ට කල විෂකුරු භූමිකාව උඩින් මත්තෙන් සටහන් කිරීමට ප.තේ.ස වාර්තාව සීමා වේ. 2018 සිංහල වර්ගවාදීන් මහනුවර දිගන ප්‍රදේශයේදී මුස්ලිම් ජනයාගේ නිවාස, දේපල ගිනිබත් කරමින් සිදුකල වාර්ගික ප්‍රචන්ඩ ක්‍රියාවලින් පසුව "ඔවුන්ගේ අරමුනු ඉෂ්ට කරගැනීමට ප්‍රචන්ඩ ක්‍රියාවලට යොදාගැනීමට මුස්ලිම් තරුනයින් රැඩිකලීකරනය කිරීමට හා උසි ගැන්වීමට උද්ඝෝෂනයක් සහ්රාන් විසින් ආරම්භ කල" බව වාර්තාව සඳහන් කරයි. කෙසේවෙතත්, යුද්ධය අවසානයේ සිට කොලඹ පාලක පන්තිය, විශේෂයෙන්ම සුලුතර මුස්ලිම් ජනයා එල්ල කොට ක්‍රමානුකූලව දියත් කල මුස්ලිම් විරෝධී ප්‍රහාර මගින් මෙවන් ඉස්ලාම් අන්තවාදී සංවිධානවල පැනනැගීමට කොන්දේසි නිර්මානය කෙරුනේය යන කාරනාව වාර්තාව යට ගසයි.

පාස්කු ප්‍රහාර ගැන කල් තියා තොරතුරු ලැබී තිබිය දීත් ඒවා සිදුවන්නට ඉඩ හැරීමේ බලධාරින්ගේ සාපරාධී ක්‍රියාකලාපය කිසියම් කුමන්ත්‍රනයකට ලඝු කිරීමට පා.තේ.ස වාර්තාව මෙසේ උත්සාහ දරයි: "මෙම වසරාවසානයේදී ජනාධිපතිවරනයක් පැවත්වීමට නියමිතව තිබියදී, රටතුල අවුල් සහගත තත්වයක් නිර්මානය කොට භීතිකාව වපුරමින් අස්ථාවරභාවයක් ඇති කිරීමේ අරමුනින් යටිඅරමුනු සහිත පුද්ගලයින් බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක නොවුනේ ද යන්න තවදුරටත් විමර්ශනය කල යුතුයැයි පා.තේ.ස නිර්දේශ කරයි. ත්‍රස්තවාදය පිලිබඳ එවන් ක්‍රියාවන්ට වැටබැඳීමට පාලන තන්ත්‍රයේ මාරුවක් සඳහා කැඳවුම් කිරීමට එවන් තත්වයක් මෙහෙය වෙනු ඇත." දේශපාලනිකව ගත්කල මෙම පේලි මගින් විපක්ෂයේ දේශපාලකයන්ගේ අනුදැනුම මත පාස්කු ප්‍රහාර සිදුවීමට ඉඩ හැර ඇති බවක් ඇඟවුම් කරයි. එමගින් උත්සාහ කරන්නේ අගමැති වික්‍රමසිංහ ඇතුලු ආන්ඩුවේ නායකයන්ගේ වගකීම යට ගැසීමටයි. විශේෂයෙන්ම, ප්‍රහාරය සිදු වීමට ඉඩ හැර කම්කරු පන්තියේ, තරුනයන්ගේ හා පීඩිත ජනයාගේ වැඩෙන සමාජ අරගලයන්ට එරෙහිව මර්දනකාරී පියවර තරකිරීම පිනිස එය යොදා ගැනීම සම්බන්ධයෙන් ආන්ඩුවේ හා විපක්ෂයේ නායකයන්ගේ දුෂ්ට ක්‍රියාකලාපය එමගින් ආවරනය කෙරෙයි.

කෙසේ වෙතත්, වාර්තාවේ අග හරියට වන්නට පෙලගස්වා ඇති විෂකුරු"නිර්දේශ" මගින් පෙන්නුම් කරන්නේ, පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් නිර්මානය කෙරුනු වාතාවරනය ගසාකමින් කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත ජනයාගේ වැඩෙන අරගලයන්ට විරුද්ධව පොලිස් රාජ්‍ය සැලසුම් තර කිරීමේ පාලක පන්තියේ ඉලක්කය යි. නිදසුනක් ලෙස, "ආරක්ෂක අභියෝග ක්‍රමානුකූලව හඳුනාගැනීම අත්‍යවශ්‍ය වන ජාතික ආරක්ෂක උපදේශකයෙකුගෙන් සමන්විත ස්වාධීන හා ප්‍රබල ජාතික ආරක්ෂක කවුන්සිලයක්" ස්ථාපිත කිරීමේ තීරනාත්මක අවශ්‍යතාව පා.තේ.ස නිර්දේශවලින් ප්‍රමුඛ එකකි.

තව ද "ව්‍යාජ පුවත් පිටුදකිමින් වගකීම් සහිත වාර්තාකරනයක්" තහවුරු කිරීමේ "නෛතික ප්‍රතිසංස්කරන" මෙන්ම "මිනිසුන් පරීක්ෂා කිරීමේ සංකීර්න පද්ධතියන් හඳුන්වාදීම " ද වාර්තාව යෝජනා කරයි. මේ වනාහී, මාධ්‍ය වාරනය කිරීමේ නීතිමය පියවර සහ ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල් දේශපාලන විරුද්ධත්වය මර්දනය කිරීම සඳහා දැනටමත් ක්‍රියාවට දමා තිබෙන සංකීර්න ආරක්ෂක වැඩපිලිවෙලවල් මෙරට තුල ආරම්භ කිරීමට නිර්දේශ කිරීමකි.

උක්ත පියවරවලට සමගාමීව, පා.තේ.ස යෝජනාව , "අන්තවාදය හා වෛරී කථනයට අනුබල දෙන සමාජ මාධ්‍ය මන්ඩප සුපරීක්ෂාවට ලක්කිරීමේදී බුද්ධි අංශ මුහුන දෙන අභියෝගයන්" ගැනද සඳහන් කරමින් ඒ පිලිබද "අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරන හඳුන්වා දිය යුතු" බව ද නිර්දේශ කරයි. මෙම "ප්‍රතිසංස්කරනවලින්" අදහස් කරන්නේ, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල විමර්ශනයට ලක් කිරීම මගින් දේශපාලන සංස්ථාපිතය පිලිබද විවේචන පල කිරීම පිනිස ඒවා යොදා ගන්නා පුද්ගලයන් දඬු ගැසීමේ එල්ලය සහිත නීති රෙගුලාසි බව නිසැකය.

මෙම ගොරතර ප්‍රජාතන්ත්‍ර-විරෝධී පිලිවෙත් පිලිබඳ තවත් කාරනයක් ගැන සඳහන් නොකරම බැරිය. එනම්, "ජාතික මට්ටමේදී බහුවිධ අරමුනු සාක්ෂාත් කර ගැනීමට මධ්‍යගත සහ ඒකාග්‍ර මහජන තොරතුරු පද්ධතියක් ගොඩනගා ක්‍රියාත්මක කිරීම අනිවාර්ය ජාතික අවශ්‍යතාවක්" ය යන කාරනාව යි. එවන් පද්ධතියක් නොතිබීම, "ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් (ඇතුලු තවත් අපරාධ) ක්‍රියාශීලිව අවහිර කිරීමට බාධාවක්" බවත් පාස්කු බෝම්බ ප්‍රහාරවලින් අනතුරුව එවන් පද්ධතියක අවශ්‍යතාව "අන් කවරාදටත් වඩා තදින් දැනී ඇති" බවත් එය සඳහන් කරයි. මෙයට අදාලව "තීරනාත්මක ව්‍යාපෘති 13ක්" නම් කරන වාර්තාව, "විද්‍යුත් ජීවමිතික ජාතික හැඳුන්පතක් (ඊ-නික්), විද්‍යුත් ජීවමිතික විදෙස් ගමන් බලපත්, සිම් කාඩ්පත් ලියාපදිංචිය සහ මධ්‍යම දත්ත පද්ධතියක්, අධිතාක්ෂනික සීසීටීවී සහ වීඩියෝ පාලන හා අනදෙන මධ්‍යස්ථානයක්, කෘතීම බුද්ධිය යොදාගනිමින් සියලුම මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පෝස්ටු (ඒවායේ ප්‍රසිද්ධ කරන දේවල්) හසුකර ගැනීමට සුවිසල් දත්ත හා විශ්ලේෂක ("ඕනෑම අසාමාන්‍ය ආකරයේ හා සාවද්‍ය සංනිවේදනයක් පිලිබඳව අනතුරු ඇඟවෙනු ඇත"), රියදුරු බලපත්‍රයට සම්බන්ධ කෙරුනු මුහුනු හඳුනාගැනීමේ පුරවැසි හැඳුනුම්පතක් යනාදී මූලික කරුනු 13ක් ඉදිරිපත් කරයි. කෙටියෙන් කියතොත්, මේ ක්‍රමය හරහා රටේ සමස්ත ජනගහනයම මිලිටරි බුද්ධි අංශවල අනවරත සුපරීක්ෂාකාරීත්වය යටතට පත් කරනු ඇති අතර ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන විරුද්ධවාදීන් පහසුවෙන්ම දඩයම් කිරීමට පහසුකම් සැලසෙනු ඇත.

බෝම්බ ප්‍රහාර, හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට හා විෂඝෝර ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන් පැටවීමට ආන්ඩුව විසින් ගසා කෑ බව පාස්කු ප්‍රහාරය සිදුවූ තැන් පටන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා පලකල දුසිම් ගනනක් ලිපි මගින් එක දිගට අවධාරනය කලේ සමාජවාදී සමානතා පක්ෂයම පමනකි. මෙම කාරනය සසප ජනාධිපතිවරනය ප්‍රකාශයේදී පහත පරිදි අවධාරනය කර තිබේ:

"ආන්ඩුවේ හා විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් මෙන් ම ආරක්ෂක නිලධාරීන් ද එල්ල වීමට නියමිත ප්‍රහාරය පිලිබඳව දැන සිට කිසිවක් නොකිරීම මගින් පෙන්නුම් කෙරුනේ ඔවුන් සියල්ලන්ගේ නරුම දුෂ්ටත්වය යි. සියගනනක් අහිංසක ජනයා සංහාරයට ලක්කිරීමට ඔවුන් ඉඩදුන්නේ, සිය ප්‍රතිගාමී දේශපාලන උවමනාවන් සඳහා ඛේදවාචකය ගසාකෑමට යි. පොලිස්-රාජ්‍ය පියවරයන්ගේ ද ඒ හා අත්වැල් බැඳගත් මුස්ලිම්-විරෝධී භීතිකා උද්ඝෝෂනයේ ද සැබෑ ඉලක්කය වන්නේ ත්‍රස්තවාදය නො ව, කම්කරු පන්තිය යි."

පා.තේ.ස වාර්තාවේ නිර්දේශමත් සනාථ කරන්නේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මගින් පාලක ප්‍රභූව අත්කරගැනීමට බලාපොරොත්තුවූ දේශපාලන අරමුනු පිලිබඳ සසප සිදුකල විශ්ලේෂනයේ නිවැරැදි බව යි.

Share this article: