පුත්තලමේ ශ්‍රීමාපුර ජනයා ගංවතුර විපත හා ජීවන ප්‍රශ්න ගැන ලෝසවෙඅට විස්තර කරති

සෝමසිරි වතුගෙදර සහ කපිල ප්‍රනාන්දු විසිනි, 2019 නොවැම්බර් 04

මාසයකට වැඩි කාලයක් පුරා අඛන්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් රටපුරා දහස් ගනන් කම්කරුවන් සහ දුගී ජනයා තම නිවාස, මං මාවත් ජලයට යට වීමෙන් සහ තම ජීවෝනෝපායන් ඇන හිටීමෙන් දැඩි පීඩාවකට ලක්ව සිටී. නායයෑම්වලින්, ගස්කඩා වැටීමෙන් මරන කිහිපයක් වාර්තා වී තිබේ. වැලිමඩ කම්කරු නිවසක් මතට ගසක් කඩාවැටී සමතලාවීමෙන් තිදෙනෙක් මියයති.

ජලය බැස යන පරිදි කානු හා මංමාවත් ඉදි නොකිරීම හා දිලිඳු ජනයා ජීවත් වන ගරාවැටෙන නිවාස, වාසයට නොසුදුසු ස්ථානවල නිවාස ඉදිරි කිරීම යන කරුනු සුලු‍ ගංවතුරකින් වුව ආපදාව වැඩි කරන සාධකයන් ය. මෙතක් රටපාලනය කල පක්ෂ මහජනයාගේ ජන ජීවිත ව්‍යසනයන්ට ලක්වන කොන්දේසි කිසිසේත්ම වෙනස් කර නැත. එසේ වුව ද එම පක්ෂවල ඉදිරි ජනාධිපතිවරනයේ අපේක්ෂකයෝ මහජනයාට මේ දිනවල දෙන යලිත් බොරු පොරොන්දු දෙති.

ආන්ඩුව මුහුන දී තිබෙන ඉහල යන නය අර්බූදය නිසා පසුගිය මාසයේ මහාභාන්ඩාගාරය රජයේ වියදම් සියයට 10 කින් ද ජුනි මාසයේ ප්‍රාග්ධන වියදම් සියයට 15 න් කපා හැරීමට නියෝග කර තිබේ. ජනාධිපතිවරනයෙන් බලයට පත්වන කවරෙකුගේ වූවත් න්‍යාය පත්‍රය වන්නේ තවදුරටත් කප්පාදුව ඉදිරියට ගෙන යෑමයි.

වසරකට ආසන්න කාලයක් දැඩි නියඟයකට ලක්ව සිටි වියලි කලාපයේ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනයා මේවන විට අඛන්ඩව ගංවතුරට ගොදුරු වී සිටී. ආපදා කලමනාකරන මධ්‍යස්ථානයට අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම, කල්පිටිය, මදුරන්කුලිය, බංගදෙනිය, හලාවත, මාදම්පේ හා මහවැව, නාත්තන්ඩිය වැනි ප්‍රදේශවල ජලය බැස නොයෑමෙන් පුද්ගලයන් 31,318 විපතට පත්ව සිටියි.

පුත්තලම් දිස්ත්‍රික්කයේත් රටපුරාත් සැබෑවටම ආපදාවට ලක් වී සිටින පිරිස නිල සංඛ්‍යාලේඛනවලට වඩා ඉහල බව නිසැක ය. ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින දහස් සංඛ්‍යාත ජනයා සඳහා රජයේ සහන වැඩපිලිවල විටින් විට ලබා දෙන බත් පැකට්ටුවකට හා පාන් ගෙඩියකට සීමා වී තිබේ. නිවාස ජලයෙන් යටවීමෙන් මැසි මදුරුවන් බෝ වීම හා කුඩා දරුවන් උන, කැස්ස සහ උදරයේ අබාධවලට ලක්වීම ඉහල යමින් තිබේ. ඩෙංගු වසංගත මට්ටමට පැතිරීම ඉන් ප්‍රධාන අවදානමකි.

පුත්තලම මදුරන්කුලිය නගරයට ආසන්නව පිහිටි ශ්‍රීමාපුර ගම්මානයේ පීඩිත ජනයා සමගලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) පසුගිය දා ඔවුන්ගේ කටුක ජීවන තත්වයන් පිලිබඳවත් ලෝක දේශපාලන තත්වය පිලිබඳවත් සාකච්ඡාවක නිරත විය. කොලඹ සිට කිලෝ මීටර් 111 දුරින් කොලඹ පුත්තලම ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටා ඇති ශ්‍රීමාපුර, දෙමල ජනයාට එරෙහි වර්ගවාදී යුද්ධය සමයේ අවතැන් වූ මුස්ලිම් ජනයා සඳහා 1994 වසරේ දී අටවන ලද “අවතැන් කඳවුරකි”. පුත්තලමේ තවත් එවැනි “කඳවුරු” කිහිපයක් පිහිටුවා තිබේ.

කාමර දෙකක් සහිත කුඩා නිවාසයක පවුල් දෙක බැගින් පදිංචි කොට ඇති මෙම ගම්මානයේ නිවාස 60 ක් පමන ඉදි කොට තිබේ. පලමුව පවුල් 110 ක් පමන වාසය කලත් දැන් සිටින්නේ පවුල් 85 ක් පමනි. බිත්ති පුපුරා වහලවල් ගැල වී ඇති මෙම “නිවාස” වාසයට නුසුදුසු අනාරක්ෂිත තත්වයේ පවතී. යාපනය, මඩකලපුව සහ මන්නාරම් යන ප්‍රදේශවල ජනයා මුලදී මෙම නිවාසවල පදිංචි වී සිටියත් ඇතැම් පවුල් තම මුල් ගම්බිම් කරා ගොස් තිබේ. පරිම්පරා කිහිපයක් තමන්ට කියා නිවාසයක් අහිමිව ජීවත් වන දිලිඳු පවුල් කිහිපයක් පසුව එම නිවාස මිල දී ගෙන තිබේ.

හැට දෙහැවරිදි එම්. ජෙෆ්රි කැඩුම් බිඳුම් වෙදකමින් ජීවිකාව ගත කල අයෙක් වන නමුත් ඔහුට දැන් එමගින් ජීවිකාව ගත කර ගත නොහැකි තත්වයේ පසුවෙයි. ත්‍රිකුනාමලය කින්නියා ප්‍රදේශයේ මුල් පදිංචිකරුවකු වන ජෙෆ්රි පසුගිය දශක කිහිපයේ සිය අත්දැකීම් මෙසේ විස්තර කලේ ය: “1997 යුද්දේ දවස්වල හමුදාවට, එල්ටීටීඊයට බයේ අපි කැලේත් ඉඳලා තියෙනවා. අපිට ඉන්න බැරිම තැන තමයි ගම්බිම් අතහැරලා ආවේ. අතේ සතයක් වත් නැතුව පයින්ම ආවා. මම මුලින්ම කුරුනෑගලට ඇවිල්ලා කඳවුරුවල ඉදලා තමයි ශ්‍රීමාපුරට ආවේ. යුද බය නැති වුනාට අපි අන්ත දුක්ඛිත තත්වයක ඉන්නේ. කින්නියාවේ මගේ ගෙදර සියලු‍ දේ යුද්දෙන් විනාශ වෙලා. දැන් ඒවගේ ගෙයක් හදන්න ලක්ෂ 25 ක් වත් යනවා. දැන් මට ආයේ ගෙවල් හදන්න හයියක් නෑ”.

ජෙෆ්රි සිය බිරිඳගේ අකල් මරනයෙන් පසු, පාසල් යන දරුවා රැකබලා ගැනීම පිලිබඳව කනස්සල්ලෙන් පසුවෙයි. මුස්ලිම් මිනිස්සු දිහා දැන් වෙනස් ඇහෙන් බලන්නේ ඇයි දැයි ප්‍රශ්න කල ජෙෆ්රි පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කල අන්තවාදී තව්හිත් ජමාත් සංවිධානය හෙලා දැක්කේ ය. “අප්‍රේල් 21 දායින් පස්සේ මේ ගමෙත් දෙතුන් දෙනෙක් අරන් ගියා. පස්සේ නිදහස් කෙරුවා. අපිට වෙනස්කම් කරයි කියලා බයයි” යයි ප්‍රකාශ කලේ ය.

එම්. රියාස් - ඔහුගේ නිවස ඉදිරිපිට ගංවතුරෙන් ජරපත්වී ඇති සැටි

තිස් හැවරිදි තිදරු පියෙක් වන එම්.එච්.එම් රියාස් බේරුවල සිට ශ්‍රීපුරට පැමින ඇත්තේ ඔහුට වයස අවුරුදු දහයේ තරම් කුඩා කලයේ දී ය. සිය පියා කඩල විකුනා ජීවත් වූ අයෙක් වන අතර ඔහුට කියා ඉඩමක් කිසිදා නොතිබූ බව රියාස් විස්තර කලේ ය. රියාස් මේ වනවිට මන්නාරමේ මාලු‍ වාඩියක කම්කරුවෙක් ලෙස රැකියාවේ යෙදී දිනකට ලැබෙන්නේ රුපියල් 1,200 ක් වූවත් ඔහුට රැකබලා ගැනීමට අඹුදරුවන් හා සිය මහලු‍ දෙමාපියන් ද සිටී. ඔහුගේ කුඩා දරුවන් තිදෙනාම ජලය හා අපිරිසුදු පරිසරය හේතුවෙන් උන, කැස්ස වැලඳී නිසි ප්‍රතිකාර නොමැතිව සිටී.

“ගංවතුරට කලින් අපි ලොකු පෑවිල්ලකට මූන දීලා හිටියේ. අපි බොන්න, කෑම උයන්න වතුර සල්ලිවලට ගන්නේ වතුර කෑන් එකක් රුපියල් 70 ක් වෙනවා. මේ විදිහට තමයි අවුරුදු විස්සක්ම ගෙවුනේ. අව්වට වේලෙනවා, වැස්සට යට වෙනවා. ඡන්ද කාලේට ඇවිල්ලා බොරු පොරොන්දු දෙන දේශපාලනඥයෝ කවදාවත් මේ කානු හදලා, පිරිසිදු ජලය ලබා දෙන්නේ වත්, අපේ නිවාස හදන්න ආධාර කරන්නේ වත් නෑ. ආයේ ඡන්ද ගන්න තමයි බොරු පොරොන්දු දෙන්නේ” යයි රියාස් වේදනාවෙන් ප්‍රකාශ කලේ ය.

ජාතිවාදී ප්‍රශ්නයක් ඇති වුනොත් අපේ ගෙදරට එන්න කියලා සිංහල මිනිස්සු ඔහුට පවසා ඇති බව පැවසූ රියාස් “අපි ඔක්කොම මිනිස්සු. පාලකයෝ තමයි ජාතිවාදී ආගම්වාදී භේදයන් අවුස්සන්නේ” යයි ප්‍රකාශ කලේ ය.

සිත්ති පාතිමා වයස 52 ක් වන දෙදරු මවකි. ඇගේ විසිහැවිරිදි දුව ජෝර්දානයේ ඇඟලු‍ම් කර්මාන්ත ශාලාවක රැකියාවේ නිරතව මසකට රුපියල් 40,000 ක් උපයන්නීය. ශ්‍රීමාපුර ගමේ කිසිවෙකුටත් ඔප්පු නැති නමුත් ඇය මුදල් වියදම් කොට ඔප්පුවක් හදාගත් නමුත් කිසිදු බැංකුවකින් නය මුදලක් ලබා දීමට එය පිලිනොගන්නා බව පාතිමා පැවසුවා ය.

“අවුරුදු පහකට සැරයක් ඡන්දය එන කොට කියනවා අරක දෙන්නම් මේක දෙන්නම් කියලා. නමුත් මොකුත් නෑ. ටැප් ලයින් එකට සල්ලි බැඳලා අවුරුදු 03 ක් හිටියා වතුර ගන්න. සුපර් මාර්කට්වල, කඩසාප්පුවල කන්න බොන්න අඳින්න දෙවල් තිබුනට අපිට නෑ” යයි ඇය වැඩිදුරටත් විස්තර කලා ය.

ජේ. ඩිලානි

වයස අවුරුදු 20 ක් වන ජේ. ඩිලානි පුත්තලමට උතුරු දෙසින් වන තබ්බෝවේ පදිංචි කාරියක් ය. විවාහ වී සිය සැමියාගේ පවුලේ අසරන මව සහ නංගිලා රැකබලා ගැනීම ඇයට පැවරී තිබේ. “මගේ මහත්තයයි, එයාගේ තාත්තයි දෙන්නම පොල් ලෙලි ගහනවා. රුපියල් දාහක් හොයන්න පොල්ගෙඩි දාහක් ලෙලි ගහන්න ඕනා. ඒක ලේසි වැඩක් නෙමේ. ගංවතුර නිසා හාලු‍ත් ගනන් ගියෝතින් කන්නත් නැති වෙයි“.

ගංවතුරට සිය නිවස තවත් අබලන් වීමෙන් පසු කුලියට ගත් වෙනත් නිවසක වාසය කරන ඩිලානි සිය අනාගතය පිලිබඳව අවිනිශ්චතව “අපිත් ආසයි මනුසයෝ වගේ ජීවත් වෙන්න” යයි කියා සිටියාය.

රෝහිනි මල්කාන්ති

ඩිලානිගේ නැන්දම්මා (41) රෝහිනි මල්කාන්ති දියවැඩියා රෝගය හේතුවෙන් මාසයක් පුරා පාදයේ ඇතු වී තිබෙන තුවාලයකින් පීඩා විඳිමින් සිටින්නී ය. ඇය කොහු මෝලක රැකියාවක් කර තිබේ. “සම්බෝලයි බතුයි, පරිප්පුයි බතුයි තමයි අපි කන්නේ වෛද්‍යවරු කියන විදිහට කෑම ගන්න අපිට විදිහක් නෑ. සීනි අමාරුව වැඩි වෙන්නේ ඒ නිසා” යයි ප්‍රකාශ කලා ය. රෝහිනිගේ වයස අවුරුදු 14 ක් සහ 9 ක් වන දැරියන් දෙදෙනා පසුගිය මාසයේ ම පාසල් ගොස් නැත.

ඒ. මර්සුකා ඇයගේ පියා ඒ. ආප්ඩීන් සමග

ඒ. ආප්ඩීන් සහ ෆාතිමා පර්සිඩා මන්නාරමේ සිට යුද්දෙන් අවතැන් වූ තවත් යුවලකි. ඔහුගේ වැඩිමහල් දුව ඔවුන් සමග එකට වාසය කරන අතර දෙවෙනි දුව ඒ. මර්සුකා දරුවන් තිදෙනෙක් සමග ශ්‍රීපුර කනිෂ්ඨ පාසල අසල ගරාවැටුන තවත් නිවසක ජීවත් වෙයි. “මන්ත්‍රීන්ට මැති ඇමතියන්ට මේ වගේ නිවාසවල ජීවත් වෙන්න පුලු‍වන් දැයි” ආප්ඩීන් ප්‍රශ්න කලේ ය. “සජිත් ප්‍රේමදාස පුත්තලමට ආවා. ගෝටාභය හලාවතට එනවලු‍. ඒ රැස්වීම්වලට කෝටි ගනන් වියදම් කෙරුවාට අසරන මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ කියලා බලන්නෑ” යයි මර්සුකා චෝදනා කලා ය.

ශ්‍රීමාපුර හා ඒ අවට ජනයාගේ ජීවිත, ලංකාවේ යුද්ධය පැවති උතුරු නැගෙනහිර ප්‍රදේශවලත් අනෙකුත් ගම්බද ප්‍රදේශවලත් දිලිඳු ජනයාගේ ජීවිත පිලිබඳ කටුක චිත්‍රය කි. එය බලයට පත් සියලු‍ ධනපති ආන්ඩුවලට එරෙහි තවත් බරපතල චෝදනා පත්‍රයකි.

Share this article: