හන්තාන වත්තේ කම්කරුවන්ගේ රැකියා සහ නිවාස අයිතිය ආරක්ෂා කරගන්නේ කෙසේද?

ප්‍රදීප් රාමනායක, 2019 නොවැම්බර් 1

රජය සතු ජනතා වතු සංවර්ධන මන්ඩලයට (ජනවසම) අයත් සුවිසල් තේ වතු යායක් වන හන්තාන මහනුවර නගරයේ සිට කිලෝ මීටර් හතරක පමන දුරින් පිහිටා ඇත. කොටස් හතකින් සමන්විත මෙම වතු යාය අනුප්‍රාප්තික ආන්ඩු විසින් සිතාමතාම විනාශ වී යාමට ඉඩහැර දශක දෙකක් තුල, එහි සේවයේ නියුතු කම්කරු සංඛ්‍යාව 2000 සිට 350 ක් දක්වා කපා හැර ඇත.

වත්තට අයත් තේ කම්හල් දෙකම වසා දමා ඉන් එකක්, සංචාරකයන්ගේ ප්‍රදර්ශනය සඳහා වන තේ කෞතුකාගාරයක් බවට පත් කොට ඇති අතර එහි තවත් වතු සංචාරක හෝටල් සහ වෙනත් පුද්ගලික ව්‍යාපෘති සඳහා ලබා දී ඇත. මේ හේතුවෙන් සියගනනක් කම්කරුවන්ට රැකියා අහිමිවී ඇති අතර, වත්තේ බොහෝ කොටස් නඩත්තු නොකිරීම හේතුවෙන් ඒවා වල්බිහි වී තේ වගාව ඇනහිට පවතියි. මේ අතර කම්කරුවන් ලයින් කාමර වලින් ඉවත් කොට, එම ඉඩම් ද පුද්ගලික ආයෝජකයන්ට ලබාදීමේ සැලසුමක් ද ක්‍රියාත්මක වෙයි.

සසප සාමාජිකයෝ හන්තාන වත්තේ උද්ඝෝෂනයේ යෙදුනු අවස්තා

මෙම ක්‍රියාවලිය හන්තානට පමනක් සීමා නොවේ. දෙල්තොට, ගලහ, ගම්පොල, මාතලේ, හුන්නස්ගිරිය සහ මහනුවර ඇතුලු‍ කඳුකර කලාපයේ ජනවසමට අයත් තේ වතු රැසක් ‌පෞද්ගලික අංශයට පැවරීමේ වැඩකටයුතු කාලාන්තරයක් තිස්සේ සියලු‍ අනුප්‍රාප්තික ආන්ඩු ඉදිරියට ගෙන ගොස් ඇත.

2017 වසරේදී රාජ්‍ය ව්‍යවසාය කලමනාකරන අමාත්‍යංශය විසින් ආන්ඩුවට අයත් වැවිලි සමාගම් ප්‍රතිසංවිධානය කිරීම යටතේ ඉදිරිපත් කල යෝජනාවන්ට කැබිනට් අනුමැතිය ද හිමිකර දෙමින් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව මෙම වැඩකටයුතු වේගවත් කලේය. ආන්ඩුවේ මෙම පෞද්ගලීකරන වැඩපිලිවෙල යටතේ තේ වතු වලට අමතරව ගල්ඔය, කුරුනෑගල, හලාවත යන නම්වලින් පෙනීසිටින වැවිලි සමාගම්, ශ්‍රී ලංකා කජු සංස්‌ථාව සහ ජනවසම යටතේ ඇති බොහොමයක් වගාබිම් පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන්ට ලබාදීමේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතියි.

ආන්ඩුවට අයත් තේ වතු ඇතුලු‍ වගාවන් වෙනත් පෞද්ගලික ව්‍යවසායන් බවට හැරවීමට හේතුව ලෙස ආන්ඩු විසින් ඉදිරිපත් කර ඇත්තේ ඒවා බහුතරයක් පාඩු ලබමින් පැවතීමයි. හන්තාන වත්තේ කම්කරුවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසූ පරිදි අනුප්‍රාප්තික ආන්ඩු විසින් කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වූ ඉඩම් ප්‍රමානයන් වෙනුවට, වත්තේ ඈත දුෂ්කර කොටස් වලින් සොච්චම් ඉඩම් කැබලි ලබා දීමට වත්මන් ආන්ඩුව උත්සාහ කරමින් සිටියි. කම්කරුවන් අතර ඊට එරෙහිව තදබල විරෝධයක් පවතී.

හන්තාන ඇතුලු‍ අනෙකුත් වතු සම්බන්ධයෙන් ආන්ඩුව ගෙන යන්නේ ධනපති පන්තිය මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ සියලු‍ බර කම්කරු-පීඩිත මහජනතාවගේ කරමත පැටවීමට වැඩපිලිවෙලකි. එය, වත්මන් ආන්ඩුවේ මෙන්ම අනාගතයේ බලයට පත්වන කවර ආන්ඩුවක වුවත් වැඩපිලිවෙල වනු ඇත. ජනවසම වැනි රාජ්‍ය ආයතන පුද්ගලික අංශයට පැවරීම එම පිලිවෙතෙහි කොටසකි.

හන්තාන ඇතුලු‍ සියලු‍ වතු කම්කරුවෝ තමන්ගේ ඉඩම්, රැකියා සහ වැටුප් ගැටලු‍ විසඳා ගැනීම සඳහා වන අරගලයේදී තීරනාත්මක දේශපාලන ප්‍රශ්න වලට අභිමුඛව සිටිති. තේ වතු කම්කරුවන්ගේ නායකත්වයේ සිටින ප්‍රධාන වෘත්තීය සමිති දෙක වන ලංකා කම්කරු කොන්ග්‍රසය (සීඩබ්ලිව්සී) සහ පාලක එක්සත් ජාතික පක්ෂයට අයත් ලංකා ජාතික වතු කම්කරු සමිතිය (එල්ජේඊඩබ්ලිව්යූ) ශාඛා හන්තාන වත්තේ ද ඇත. ඒවා ක්‍රියා කරන්නේ අනෙකුත් වැවිලි සමාගම්වල මෙන්ම කම්කරුවන්ගේ අයිතීන් යටපත්කර ආන්ඩුවේ සැලසුම් ක්‍රියාවට දැමීමට උදවු වෙමිනි. පසුගිය දශකයේ හන්තාන වත්තේ රැකියා හා අනෙකුත් අයිතීන් කප්පාදුවට මෙම සමිති වගකිව යුතුය.

වෘත්තීය සමිති මෙන්ම කම්කරුවන්ට සතුරු භූමිකාවක නියැලී සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඇතුලු‍ ව්‍යාජ වාම සංවිධාන කම්කරුවන් ස්වාධීන වැඩපිලිවෙලක් වෙත අවතීර්න වීමට වලකපමින් සිටිති. වැටුප් අරගලය තුලදී කම්කරුවන්ගේ සටන්කාමීත්වය මොට කර දැමීම සඳහා පෙසප හා එහි කම්කරු අරගල මධ්‍යස්ථානය තමන්ගේ බංකොලොත් ඉදිරිදර්ශනය වන ආන්ඩුවලට බලපෑම් දැමීමේ විරෝධතා දේශපාලනය තොරොම්බල් කලහ. වතු වැටුප් අරගලය තුලට මැදිහත් වීම සඳහා ඔවුන් විසින් පිහිටුවාගත් “දාහේ ව්‍යාපාරය” කම්කරුවන් නිස්සාර විරෝධතා වටවංගුවලට සීමා කිරීමට ඇටවූ උගුලකි.

තම මූලික දෛනික වැටුප රුපියල් 500 සිට රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පසුගිය වසරේ ගෙනගිය දීර්ඝ සහ අධිෂ්ඨානවත් අරගලය පාවා දෙමින්, වෘත්තීය සමිති නිලධරය, වතු සමාගම් සමග කම්කරුවන්ට හොර රහසේ වැටුප් ගිවිසුම් අත්සන් කලේය. හන්තාන කම්කරුවන් පවසන පරිදි ඔවුන්ගේ නිවාස ප්‍රශ්නය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගවලට අවතීර්න වීමද වෘත්තීය සමිති නායකයන් සම්පූර්නයෙන් අතහැරදමා ඇත.

වැටුප් අරගලයට වතු කම්කරුවන් ප්‍රවිෂ්ට වූයේ ඔවුන්ගේ කකුලෙන් අදින වෘත්තිය සමිති නොතකා ය. සමිති සම්බන්ධයෙන් පවත්නා තදබල කලකිරීමත් තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීම සඳහා ස්වාධීන සංවිධාන ගොඩනගාගැනීමට කම්කරුවන්ට පවත්නා අවශ්‍යතාවයත් එම අරගල තුලදී ප්‍රකාශයට පත්විය.

ජාත්‍යන්තරව පුනර්ජීවනය වන පන්ති අරගලය තුලදී කම්කරුවන් අතරින් මතුවන මෙම ප්‍රවනතාවය හන්තාන වත්තේ කම්කරුවෝද ප්‍රදර්ශනය කර ඇත. එහි ආරම්භක පියවරක් ලෙස සැප්තැම්බර් පලවනදා ප්‍රදේශයේ කම්කරුවෝ සහ තරුනයෝ කන්ඩායමක් තමන් මුහුනදෙන ප්‍රශ්න ජයගන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීමට රැස්වීමක් කැඳවූහ. එම රැස්වීම සංවිධානය කෙරුනේ හන්තාන කම්කරුවන් විසින් ප්‍රදේශයේ අනෙකුත් කම්කරුවන් සහ තරුනයන් අතර දැන්වීම් බෙදාහරිමින් ගෙනගිය ඉතා උනන්දු සහගත ප්‍රයත්නයකින් පසුවයි. ඔවුන් සමග වසර ගනනාවක් පුරා දේශපාලනික සම්බන්ධතාවන් පවත්වාගෙන ගොස් ඇති සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මහනුවර ශාඛාවටද සාකච්ඡාවට ආරාධනා ලැබුනි.

එම සාකච්ඡාවට සම්බන්ධ වූ දාහේ ව්‍යාපාරයේ සාමජිකයන් දෙදෙනෙක් දැක්වූ අදහස් තුලින් යලි වතාවක් හෙලිදරව් කෙරුනේ කම්කරුවන් ව්‍යාකූල කිරීම සඳහා ව්‍යාජ වම විසින් ඉටුකරන නරුම ක්‍රියාකලාපයයි. පෙසප සාමාජිකයන්ගෙන් එක් අයෙක් වූ රනිල් පුෂ්පකුමාර නැමැත්තා කම්කරුවන් පුහු විරෝධතාවලට කොටුකිරීමට එරෙහිව සසප සාමජිකයන් දැක්වූ අදහස් ඉදිරියේ ඉතිහාසයෙන් උපුටා දක්වමින් තමන්ගේ විරෝධතා දේශපාලනය ආරක්ෂා කිරීමට උත්සාහ කලේය.

පුෂ්පකුමාර සඳහන් කලේ 1905 වැඩවසම් සාර් රුසියාවේ මතුවුනු ස්ට්‍රයික් රැල්ල මධ්‍යයේ විරෝධතාකරුවන් පිරිසක් ගැපොන් නම් පූජකයා ප්‍රමුඛ කරගනිමින් ආඥාදායක පාලකයෙකු වූ දෙවන නිකලස් සාර්ට පෙත්සමක් භාරදීමට යාමේදී ඔහුගේ හමුදාව විසින් එම පෙලපාලියට වෙඩි තබා විරෝධතාකරුවන් ඝාතනය කෙරුනු සිද්ධියයි. “ලේවැකි ඉරිදා” ලෙස සඳහන් වන එම සිදුවීමේදී සියගනනක් විරෝධතාකරුවන් ඝාතනය කෙරින. දාහේ ව්‍යාපාරයේ සාමාජිකයාගේ විසකුරු තර්කය වූයේ විරෝධතාවලදී එලෙස ධනපති පාලක පන්තියේ ප්‍රහාරයට ගොදුරුවීමෙන් අනතුරුව ධනපති ආන්ඩුවලින් ඉල්ලීම් කිරීම පලරහිත බව කම්කරුවන් තේරුම් ගන්නා බවයි.

ලෝකය පුරාම මතුවෙමින් පවතින කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ අරගල රුදුරු ලෙස තලාදැමීම සඳහා ඒ ඒ රටවල පාලක පන්තිය පොලිස්-මිලිටරි රාජ්‍යන් ඇටවීම දෙසට තල්ලු‍වෙමින් සිටින තතු තුල වඩ වඩාත් පැහැදිලි වන්නේ කිසිඳු පීඩිත කන්ඩායමක ඉල්ලීම් වලට ඇහුම්කන් දීමට ධනපති පාලකයින්ගේ සූදානමක් නොමැති බවයි. එහෙත් ධනපති ක්‍රමය ආරක්ෂා කිරීමට බැදී සිටින මෙම ව්‍යාජ වම්මු කම්කරුවන්ගෙන් ඒ සත්‍යය සඟවා තබා ගැනීමට නිරන්තරයෙන් උත්සාහයේ යෙදෙමින් මෙවැනි බොරුවලවල් කපති.

ජනාධිපතිවරනයක් ප්‍රකාශයට පත්වීමට නියමිත තත්වයක් යටතේ ආන්ඩුවට එරෙහි විරෝධතා දැක්වීමෙන් යම් සහන දිනාගැනීමට ඉඩ ඇති බව ඔවුන් විසින් එහිදී ඇති කිරීමට තැත්කල තවත් ව්‍යාකුලතාවයකි. ලංකාවේ ආන්ඩුව මුහුන දී සිටින දරුනු ආර්ථික අර්බුදය මධ්‍යයේ කම්කරුවන්ගේ ඉල්ලිම් වලට ඇහුම්කන් දෙනවා වෙනුවට තේරී පත්වන නව ජනාධිපති සහ ඔහුගේ ආන්ඩුව රුදුරු කප්පාදු ප්‍රහාරයක් දියත් කරනු ඇත. ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදය ප්‍රතික්ෂේප කරන ව්‍යාජ වම්මු කම්කරුවන් මෙවැනි මිත්‍යාවන්ගේ ගිල්ලා තබන්නට උත්සාහ කරන්නේ ඔවුන්ගේ අසීමාන්තික ධනපති ගැතිකම නිසාය.

වෘත්තීය සමිතිවල ද්‍රෝහීත්වයටත්, ව්‍යාජ වම්මුන්ගේ මෙවැනි ව්‍යාකූල කිරීම් වලටත් එරෙහිව කම්කරුවන්ගේ ස්වාධීන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම පිලිබඳව හන්තාන කම්කරුවන් සමග සසප සාමජිකයන් විසින් දිගින් දිගටම සාකච්ඡා පවත්වා ඇත. වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය මධ්‍යයේ සසප මූලිකත්වයෙන් හැටන් හි ඇබොට්ස්ලි වත්තේ පිහිටවූ කම්කරු ක්‍රියාකාරී කමිටුවේ අත්දැකීම් පිලිබඳ සාවධාන වූ හන්තාන කම්කරුවන් අතරේ ඒ සඳහා දැඩි උනන්දුවන් මෙන්ම අනුකූලතාවයක්ද ඇතිවිය. සසප සාමජිකයන් සමඟ වර්ධනය කරගත් සාකච්ඡාවල බලපෑමද සහිතව ඔක්තෝබර් 15වනදා ඔවුන් “හන්තාන ක්‍රියාකාරී කමිටුව” නමින් තමන්ගේ ස්වාධීන කමිටුවක් පිහිටුවා ගත්තේ ඒ අනුවයි.

හන්තාන වත්තේ කම්කරුවන් ඇතුලු‍ සියලු‍ කම්කරුවන්ගේද, දුගීන්ගේද අයිතීන්ට එල්ලවන ප්‍රහාරයේ මූලය ධනපතිවාදයයි. ඔවුන්ට තම අයිතීන් දිනාගත හැක්කේ ධනවාදයට එරෙහි ජාත්‍යන්තර අරගලයක කොටසක් ලෙස තම සටන වර්ධනය කර ගැනීමෙනි. කම්කරු පන්තිය විසින් නිෂ්පාදනය කරනු ලබන දැවැන්ත ධනය සමාජ අවශ්‍යතාවය සඳහා යෙදවිය හැක්කේ සමස්ත ආර්ථිකය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනකි.

ඒ සඳහා හන්තාන කම්කරුවන් වෘත්තීය සමිති, ව්‍යාජ වම්මු හෝ වෙනත් ඕනෑම ධනපති ව්‍යාපාරයකින් ස්වාධීනව තමන්ගේ ක්‍රියාකාරී කමිටුව වර්ධනය කල යුතුබව අපි යෝජනා කරමු. එම කමිටුව විසින් සටන් වැදිය යුත්තේ හන්තාන ඇතුලු‍ ලංකාවේ සියලු‍ වතුකර ප්‍රදේශවල කම්කරුවන් සහ කම්කරු පන්තියේ අවශේෂ කොටස්ද, අනෙකුත් පීඩිත කන්ඩායම්ද ජාත්‍යන්තර සමාජවාදය වෙත දිනාගනිමින් ධනපති ක්‍රමය පෙරලා දමන ඒකාබද්ධ අරගලයක් වර්ධනය කිරීම සඳහා ය.

ඒ සඳහා සසප මගපෙන්වීම යටතේ තමන් පිහිටුවාගත් ක්‍රියාකාරී කමිටුව තුල කම්කරු පන්තියේ ඉදිරිදර්ශනය ගැඹුරින් සාකච්ඡා කරමින් ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදයත්, එය විසඳාලීමට සමත් එකම පන්තිය ලෙස කම්කරු පන්තියේ ඓතිහාසික කාර්යභාරයත් දෘඩතර ලෙස වටහා ගැනීම අතිශයින් තීරනාත්මක වේ. එම අවබෝධය සහිතව සසප, විප්ලවවාදී මහජන පක්ෂයක් බවට පත්කිරීමේ සටනට උරදෙන මෙන් අපි හන්තාන වත්තේ කම්කරුවන් ඇතුලු‍ සියලු‍ කම්කරුවන්ගෙන් සහ සිසුන් අතුලු‍ තරුන ජනතාවගෙන් ඉල්ලමු.

Share this article: