කලාකරු මාලක දේවප්‍රියගේ මූලික අයිතිවාසිකම් නඩුව ප්‍රතික්ෂේප කෙරේ

විමුක්ති විදර්ශන විසිනි, 2019 නොවැම්බර්2

මාලක දේවප්‍රිය

ශ්‍රී ලංකා පොලීසිය විසින් තම රේඩියෝ නාට්‍ය මාලාවට එරෙහිව ගෙනයමින් පවතින අපරාධ නඩුව යටතේ යම් අවස්ථාවක තමන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම මගින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ අත්‍යාසන්නතාවය යන පදනම මත තමා එලෙස අත් අඩංගුවට ගැනීම වලක්වන නියෝගයක් ඉල්ලා සිටිමින් සම්මානලාභී තරුන කලාකරු මාලක දේවප්‍රිය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඇසීම සඳහා අවසර ලබාදීම බදාදා (30) ශ්‍රේෂ්ඨාධිකරනය ප්‍රතික්ෂේප කලේය.

ඒ අග විනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා සහ ඊ.ඒ.ජී.ආර්. අමරසිංහ යන ශ්‍රේඨාධිකරන විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුවේ කරුනු දැක්වීමෙන් පසුවය.

චිත්‍රපට අධ්‍යක්ෂ දේවප්‍රිය අත්අඩංගුවට ගැනීම වලක්වන අධිකරන නියෝගයක් නිකුත් කර නොමැති තත්ත්වයක් යටතේ පොලීසිය හෝ නීතිපති තීරනය කරන ඕනෑම විටෙක ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත්කිරීමේ අවදානම තවදුරටත් පවතී. පොලිස් විමර්ශන කරගෙන යන 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ ඔහුව අත්අඩංගුවට ගැනුනහොත් “‍සුවිශේෂි කරුනු”‍ යටතේ ඔහුව මහා අධිකරනයක් මඟින් ඇප මත නිදහස් කෙරෙන තෙක්, කාර්ය පටිපාටිමය පමාවීම් ද සැලකිල්ලට ගත්විට, අඩු තරමින් මාස පහකට නොඅඩු කාලයක් සිරගත කර තැබීමේ හැකියාව තිබේ.

පසුගිය වසරේ ජුලි මස සිට දේවප්‍රිය නිෂ්පාදනය හා අධ්‍යක්ෂනය කර රජයේ ස්වාධීන ගුවන්විදුලි සේවය ඔස්සේ ප්‍රචාරනය කෙ⁣රෙමින් තිබූ “කනට පාරක් (Earful of Visuals)” නම් රේඩියෝ කථා මාලාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාශය (සඅනිකො) පුරා වසරකට පෙර පරීක්ෂන ආරම්භ කරමින් කොලඹ මහේස්ත්‍රාත් අධිකරනයට කරුනු වාර්තා කලේය. ඒ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ නීතියක් වන ලංකා දන්ඩ නීති සංග්‍රහයේ 291අ හා 291ආ යන වගන්ති සහ, තවත් මර්දක නීතියක් වන 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති (අයිසීසීපීආර්) පනතේ 3 වගන්තිය යටතට වැටෙන වරදවල් අදාල කරගනිමිනි.

මෙම පොලිස් පරීක්ෂනයට පදනම්ව තිබුනේ කුප්‍රකට වර්ගවාදී අන්තවාදී සංවිධානයක් වන බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ අගුලු‍‍ගල්ලේ සිරි ජිනානන්ද භික්ෂුව 2018 අගෝස්තු මස සඅනිකොට කර තිබූ පැමිනිල්ලකි. දේවප්‍රියගේ නාට්‍ය මාලාවේ “එක් එක් නාට්‍ය සඳහා බුදු දහමේ යොදා ඇති පාරිභාෂිත නාමයන් විකෘති කරමින් නම් යොදා ඇති”බවත් ඒ මගින් “බුදු දහම අපහාසයට හා උපහාසයට” ලක් කොට බෞද්ධ ආගමට හා අගමික හැඟීම් කෙලසීම සඳහා ඒකාන්ත හා ද්වේශ සහගත අදහසින් භාෂිත හෝ ලිඛිත වචනයෙන් හෝ නිරූපන වලින් බෞද්ධ ආගමට හෝ ආගමික විශ්වාස වලට නින්දා කිරීමට හෝ එසේ කිරීමට තැත් කිරීමක් කරන අදහසින් මෙම ගුවන් විදුලි නාට්‍ය මාලාව සකස් කර ඇති බවට පැමිනිල්ල චෝදනා කරයි.

තම ෆෙස්බුක් ගිනුමේ පලකල ඔහුගේ “අර්ධ” නමැති කෙටි කථාවක් මගින් බුද්ධාගමට “අගෞරවයක් හා නින්දාවක්” වන්නේයැයි සම්මානලාභී ලේඛක ශක්තික සත්කුමාරට එරෙහිව වෛරී සහගත පැමිනිලි ඉදිරිපත් කලේද ඉහත කී අගුලු‍‍ගල්ලේ සිරි ජිනානන්ද ඇතුලු‍ බෞද්ධ අන්තවාදී නඩ විසිනි. මාස හතරකට වැඩි කාලයක් සිරගත කර තැබීමෙන් පසු ඇප මත නිදහස්ව සිටින ඔහුට එරෙහිව අධිචෝදනා ගොනුකිරීම සම්බන්ධව නීතිපති විසින් සලකා බැලෙමින් පවතී.

පසුගිය 17 වන දින සඅනිකො දේවප්‍රිය කැඳවා පැය සතරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත්තේය . දේවප්‍රියට හා ඔහුගේ රේඩියෝ කථාවලට එරෙහිව පොලිසිය මෙසේ කඩා පැනීම බෞද්ධ අන්තවාදීන්ගේ උසිගැන්වීම පිට මෙම වසරේ මුල පටන් අලු‍‍ත් මට්ටමකින් කලාකරුවන්ට එරෙහිව මුදාහැර ඇති පොලිස් දඩයමක තවත් අවස්ථාවකි.

අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් හා රඳවා තබාගැනීමෙන් වැලකීමේ, සිතීමේ හා හෘදසාක්ෂියේ නිදහසද, සමානාත්මතාවයේ ද, තමන් කැමති ජීවනෝපායක නිරත වීමේ නිදහස ද යන මූලික අයිතීන් කඩවී ඇතිබවට හෝ කඩවීමට අත්‍යාසන්න බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසටත්, පෙර කී චෝදනාවන්ට පදනම්ව තමන්ව අත්අඩංගුවට ගැනී⁣මෙන් වගඋත්තරකරුවන් වලක්වන නියෝගයන්ද සිය පෙත්සමෙන් දේවප්‍රිය ඉල්ලා තිබිනි.

නීතිඥ උපුල් කුමාරප්පෙරුම හා කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුවේ (කප්‍රනිආක) සභාපති නීතිඥ සංජය ජයසේකර ඇතුලු‍ නීතිඥ කන්ඩායමක් දේවප්‍රිය වෙනුවෙන් උසාවියේ පෙනී සිටියහ. පැමිනිලිකාර භික්ෂුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ද, සඅනිකො, පොලිස්පති හා නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍ය‍ෙෂ්ඨ නීතිඥවරයෙක් ද පෙනී සිටියේය.

නීතිඥ කුමාරප්පෙරුම කරුනු දක්වමින් සඳහන් කලේ අදාල රේඩියෝ නාටක කිසිවකින් බෞද්ධ ආගමට අපහාසයක් සිදුවී නැති බවයි. පැමිනිලිකරුගේ චෝදනාවට ප්‍රතිකූලව මෙම රේඩියෝ නාට්‍ය වල නම් බුදු දහමට කිසිදු සම්බන්ධයක් නැති බවත්, කිසිදු ආගමකට භාෂාවේ වචනවලට තනි අයිතිවාසිකමක් කිව නොහැකි බවත් ඔහු කියා සිටියේය. පොලීසියට මුල් අවස්ථාවේම පරීක්ෂනයක් පැවැත්වීමට හෝ අධිකරනයට කරුනු වාර්තා කිරීමට තරම් බැලූ බැල්මට පෙනෙන නඩුවක් නොපැවතුනු බවත් ඒ තත්වය යටතේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවීමේ අවදානමක් ඇති බවත් කුමාරප්පෙරුම අධිකරනයට පෙන්වා දුන්නේය.

දේවප්‍රිය වෙනුවෙන් තවදුරටත් පෙන්වා දුන්නේ අතීතයේදීද බුද්ධ චරිතය සම්බන්ධව වෙනස් කියවීම් සහිත රචනා ලියා ඇති බවත් ගත්කරු මාටින් වික්‍රමසිංහගේ “බවතරනය”‍ එවන් වඩාත් පැසසුමට ලක්ව ඇති කලා නිර්මානයක් බවයි. මෙවන් නිර්මාන මත කලාකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවහොත් කිසිදු කලාකරුවෙක් කලාත්මක නිර්මාන කිරීමට ඉදිරිපත් නොවනු ඇති බවත් ඔහු සඳහන් කලේය.

ප්‍රකාශනයේ නිදහස අයිතියක් ලෙස තිබෙන නමුත්, යමෙක් එම නිදහස භාවිතා කල යුත්තේ අනෙකාගේ හැඟීම් නොරිදවෙන පරිද්දෙන් බව එහිදී අගවිනිසුරුවරයා ප්‍රකාශ කලේය.

තම පිලිතුරු දේශනය තුලදී දේවප්‍රියගේ රේඩියෝ නාට්‍යවල නම් මගින් පමනක් නොව ඒවායේ අන්තර්ගතයද මගින් බුදු දහමට අපහාස වනබව කියාසිටි ද සිල්වා අධිකරනය කලා විචාරය කිරීමේ ආයතනයක් බවට පත් කිරීමට උත්සාහ කලේ දේවප්‍රියගේ රේඩියෝ කථාවල දෙබස් තැනින් තැනින් උගුල්වා උපුටා දක්වමිනි. එක් නාට්‍යයක එන “රහතන්”‍ යන වචනය බෞද්ධ “රහත්භාවය”‍ පිලිබඳ සංකල්පයට නිග්‍රහ කිරීමට යොදාගෙන ඇති බව ඔහු හාස්‍යජනක ලෙස තර්ක කලේය. “බවතරනය”‍ කෘතිය නැවත මුද්‍රනයක් තබා එය එදා ප්‍රසිද්ධ නොකල යුතු කෘතියක්ව තිබූ බවද ඔහු කියා සිටියේය.

ලංකාවේ සිංහල ස්වෝත්තමවාදී හා ආගමික ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය සඳහන් කරමින් ද සිල්වා අවධාරනය කලේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙමින් බුද්ධ සාසනය ආරක්ෂා කිරීමේ වගකීම රජය සතු වන බවත්, රජය යන්නට ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරනය යන ආයතන තුනම අන්තර්ගත වන බැවින් මෙම ශ්‍රේෂ්ඨාධිකරනය එම වගකීමෙන් බැඳී තිබෙන බවත්ය.

නීතිපති⁣ වෙනුවෙන් පෙත්සමට විරෝධය පලකරමින් කරුනු දැක්වීමේදී මුග්ධ ලෙස ප්‍රකාශ කෙරුනේ මෙම රේඩියෝ නාට්‍ය නම් වල මූලාශ්‍රය බුද්ධාගම බවත් එක් නාට්‍යයක යොදා ඇති පුද්ගල නමක් වන “‍සවිඤ්ඤාන”‍ යන්න බෞද්ධ සංකල්පයකට අවමන් කිරීමක් බවයි. මෙම නාට්‍ය ප්‍රචාරය කිරීමට පෙර නීති උපදෙස් ලබාගත යුතුව තිබූ බවට රජයේ නීතිඥවරයා කියා සිටියේය.

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ මැකෝලි ස්වාමිවරයා විසින් සම්පාදනය කල ඉන්දියානු දන්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලෙස ලංකාවේ මූලික අපරාධ නීතිය වන දන්ඩ නීති සංග්‍රහයට ආගමට අපහාස කිරීම වැලැක්වීම සඳහා යොදා ඇති 291අ හා 291ආ යන වගන්ති නැපෝලියානු දන්ඩන නීතියේ ආදර්ශයෙන් ගලා එන්නක් බවත් වර්තමාන අයිසීසීපීආර් පනත එම නීතියෙන් ඔබ්බට අවශ්‍ය ප්‍රතිපාදන සලසන බවටත් සඳහන් කරමින් ධනපති මර්දන නීතියේ ඓතිහාසික වාර්තාව ඉදිරිපත් කලේ කලාකරුවන් හා කලාවට ද එරෙහිව සූදානම් කෙරුනු දඬු අඬු වශයෙන් ඒවා පවතින බවට ඉඟි කරමිනි. (හිස ගසා දැමීමෙන් ක්‍රියාත්මක කරන මරන දඩුවමද, ජීවිතාන්තය දක්වා සිර දඩුවමද නීතිගත කල නැපෝලියන්ගේ 1810 දන්ඩ නීති සංග්‍රහය 1994 දී අහෝසි කරන තෙක් ප්‍රන්සයේ බල පැවැතිනි.)

පැය දෙක හමාරකට ආසන්න කාලයක් නඩුවේ දැක්වුනු කරුනු අතර නීතිපති වෙනුවෙන් හා අන්තවාදී ⁣⁣භික්ෂුව වෙනුවෙන් ඉදිරිපත් කල තර්ක කම්කරු පන්තියට හා මහජනතාවගේ කලාවට එරෙහි පාලක පන්තියේ මෘග ආකල්පය හෙලිදරව් කරයි.

පොලීසිය විසින් පෙත්සම්කරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර තවම කිසිදු සැකකරුවෙකු හඳුනා ගෙන නැති තත්වයක් යටතේ මෙම නඩුව නිසිකලට පෙර පවරා ඇති බව නියෝගය ප්‍රකාශ කරමින් අගවිනිසුරුවරයා සඳහන් කලේය. දන්ඩ නීති සංග්‍රහය හෝ අයිසීසීපීආර් පනත යටතේ වරදක් හෙලිදරව් වේද යන්න ශ්‍රේඨාධිකරනයට දැනට තීරනය කල නොහැකි බවත් එය නීතියට අනුව කලයුතුව බවතින බවත්, ඒ අනුව මෙම අධිකරනය නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල තීරනය ගැනීමේ බලයට ඇඟිලි නොගසන බවටද නියෝගයේ සඳහන් කෙරිනි.

කලාකරුවන්ට හා මහජනතාවට සත්‍ය⁣ හෙලිදරව් කරන මාධ්‍යවේදීන්ට එරෙහිව මෙම කලාපයේත්, ලොව පුරාත් ධනපති ආන්ඩු ඝාතනය කිරීම්, සිරගතකිරීම් ඇතුලු‍ මර්දනය දිගේලි කරමින් තිබේ. රටක් රටක් පාසා අන්ඩු විසින් ක්‍රියාවට දමමින් පවතින කප්පාදු පිලිවෙත් හා ප්‍රජාතන්තු විරෝධී ආඥාදායක පාලන රූපයන්ට එරෙහිව නව වටයකින් වර්ධනය වන පන්ති අරගල මාලාවන්ට මෙම මර්දනය එකමත සමපාත වේ. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද අපරාධ හෙලිදරව් කල වීකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ට එරෙහිව දැනට බ්‍රිතාන්‍ය තුල පැවැත්වෙන අවනඩු විභාග ලංකාව ඇතුලු‍ සෙසු රටවල ධනපති පන්ති අවශ්‍යතාවයන් රකින ධනපති අධිකරනයේ හැසිරීමට වෙනස් නොවේ.

කම්කරු මහජනතාව වාර්ගික රේඛා ඔස්සේ බෙදා දැමීම සඳහා ⁣බෞද්ධ ආගමික සංස්ථාපිතය යොදා ගන්නා ධනපති ආන්ඩු කලාවට හා සංස්කෘතික ප්‍රගමනයට එරෙහිව එම සංස්ථාපිතයන්ගේ අවශ්‍යතා ඉෂ්ඨ කිරීම සඳහා වාර්ගික ව්‍යවස්ථාව මත වාත්තු වන අතර කලාකරුවන්, මාධ්‍යවේදීන් හා විකල්ප ලෙස ලියන කියන පුද්ලයන්ට එරෙහිව මර්දන යාන්ත්‍රනය දිගේලි කරමින් තිබේ. මෙයට එරෙහිව කම්කරු පන්තියේ පන්ති බලය සමඟ ඒකාග්‍ර කෙරුනු කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරගැනීමේ සමාජවාදී දේශපාලන වැඩපිලිවෙලකට ප්‍රජාතන්ත්‍රීය අයතීන් ආරක්ෂාව සඳහා කැපවෙන සියලු‍ දෙනා එක්විය යුතුය.

සමාජවාදී සමානතා පක්ෂයද, එහි මූලිකත්වය යටතේ පිහිටවනු ලැබූ කප්‍රනිආක ද සටන් වදින්නේ එවන් ක්‍රියාමාර්ගයක් වෙනුවෙනි. එම වැඩපිලිවෙල සමඟ එක්වීමේ බලගතු තීරනය නොපමාව ගන්න.

Share this article: