එම්සීසී ගිවිසුම සහ ව්‍යාජ අධිරාජ්‍යවාදී විරෝධය

සකුන ජයවර්ධන විසිනි, 2019 නොවැම්බර් 14

ලංකාවේ සිරිසේන-වික්‍ර‍මසිංහ ආන්ඩුව ඇමරිකාව සමග අත්සන් කිරීමට සූදානම් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේශන් (එම්සීසී) නම් ගිවිසුම, ධනපති සහ ව්‍යාජ-වාම පක්ෂවල ජනාධිපතිවරන වේදිකාවේ කේන්ද්‍රීය ප්‍ර‍ස්තූතයක් බවට පත්ව තිබේ.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පොදුජන පෙරමුන සහ එය වටා රොක්ව සිටින සිංහල-බෞද්ධ දක්ෂිනාංශික නඩ, ගිවිසුමෙන් රට ඇමරිකාවට පාවාදෙන බවට ආන්ඩුවට චෝදනා කරමින් ඊනියා දේශප්‍රේමිත්වය අවුලු‍වා ඡන්දය ගරා ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටී. එම චෝදනාව ප්‍ර‍තික්ෂේප කරන ආන්ඩුව, ගිවිසුමෙන් රට දැවැන්ත ආර්ථික සංවර්ධනයකට යොමු කෙරෙන බවට සහතික වෙයි.

ගිවිසුම‍ අනුව, “ඉඩම්”‍ හා “‍ප්‍රවාහන”‍ ක්ෂේත්‍ර සංවර්ධනය සඳහා වසර පහකට ඇමරිකානු ඩොලර් මිලියන 480 ක් ප්‍රදානය කිරීමට නියමිතය. උග්‍ර මූල්‍ය අර්බුදයක ගිලී සිටින ආන්ඩුව එය පියවා ගැනීමට මෙම මිලියන 480 ක ආධාර ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ගැනීමට කඩිනමින් ක්‍රියා කලේය. ගිවිසුම සූදානම් කෙරුනේ ඇමරිකාව සමග දිගු කාලයක් තිස්සේ ගෙන ගිය සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙසය. පසුගිය 6 වනදා ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබීම සම්බන්ධයෙන් ප්‍රසාදය පලකල ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කලේ නොවැම්බර් 16 වනදා ජනාධිපතිවරනයෙන් පසුව ගිවිසුමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.

ඇමරිකාව මෙම ආධාර මුදල ලබා දෙන්නේ ලංකාව තුල තම බලපෑම තවදුරටත් වර්ධනය කර ගැනීමට නොවන බව මුදල් ඇමති මංගල සමරවීර ඇතුලු ආන්ඩුවේ පිරිස් නැවත නැවතත් ශපථ වුවද, මෙම මුදල් “‍ඇමරිකා එක්සත් ජනපද නීතිය සහ ප්‍රතිපත්තිය”‍ උල්ලංඝනය වන ක්‍රියා සඳහා යොදා නොගැනීමට වගබලාගත යුතු බව ගිවිසුමේ සඳහන් වෙයි. ඒ අනුව මෙම ආධාර “ඇමරිකාවේ නිශ්පාදන වෙලඳපොලට හෝ රැකියා වලට”‍ හානි වන අයුරින් යොදා ගැනීම සීමා කර ඇත. එමෙන්ම ගිවිසුමට අනුව, එම්සීසීයට සහ එහි නිලධාරීන්ට, මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවන පාඩුවක් හෝ හිමිකම් පෑමක් සඳහා ලංකාවේ අධිකරනය හරහා ඇමරිකානු ආන්ඩුවට එරෙහිව ක්‍රියාමාර්ග ගත නොහැක.

රජයේ සහ පෞද්ගලික ඉඩම් වලට ප්‍රවේශ වීමේ අපහසුතාව දේශීය සහ විදේශීය ආයෝජන සඳහා “සැලකිය යුතු”‍ ලෙස බලපාන බව ද ගිවිසුමේ සඳහන් වෙයි. ඉඩම් සඳහා ආයෝජනය සහ ඉඩම් වෙලඳපොල ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව ද එහි සඳහන් ය.

මෙම ගිවිසුමේ අරමුන “වානිජ සබඳතා ශක්තිමත් කිරීම”‍ බව ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් ජූනි මාසයේදි ව්‍යාපාරික කවුන්සිලයක් අමතමින් ප්‍රකාශ කල ද, එහි සැබෑ අරමුනු වටහාගත හැක්කේ සමස්ත භූ-දේශපාලනික සහ ආර්ථික සන්දර්භය තුල එය පිහිටුවීමෙනි.

ලෝක දේශපාලනය අරක් ගෙන තිබෙන්නේ ඇමරිකාව සිය ගෝලීය ආධිපත්‍යය රැක ගැනීම සඳහා චීනයට සහ රුසියාවට එරෙහිව සිදු කරන ආර්ථික සහ මිලිටරි වැටලීම් වලිනි. චීනය, ආර්ථික සහ මිලිටරි වශයෙන් වටලෑමේ ඇමරිකානු මූලෝපාය වන “ආසියාවට හැරීමේ”‍ කොටසක් ලෙස ඇමරිකාව පසු ගිය දශක දෙක තුල දකුනු ආසියානු කලාපය පුරා සිය ක්‍රියාකාරකම් වර්ධනය කර ඇත.

එහි ප්‍ර‍තිඵලයක් ලෙස, ඉන්දියාව චීනයට එරෙහි කලාපීය ප්‍ර‍තිභාරය ලෙස ප්‍ර‍වර්ධනය කරමින් තම ප්‍ර‍ධාන මූලෝපායික සහකරුවෙකු ලෙස පරිවර්තනය කර ගැනීමට ඇමරිකාව සමත්ව තිබේ. එමෙන්ම තම මූලෝපායික කර්තව්‍යයන්හිදී වඩාත් වැදගත් ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දැක ගන්නා ඇමරිකාව, පසුගිය වසර කීපය තුල එය තම කක්ෂයට වඩවඩාත් ඇතුලුකර ගෙන ඇත.

ඇමරිකාවේ මිලිටරි වැඩකටයුතු වලට පහසුකම් සපයමින් 2007 දී රාජපක්ෂ ආන්ඩුව අත්සන් කල ප්‍රවේශ හා ප්‍රති සේවා ගිවිසුම (ඒසීඑස්ඒ) ට අමතරව, ඇමරිකානු හමුදාවන්ට ලංකාව තුල නිදහසේ සැරිසැරීමට ඉඩකඩ සලසන හමුදා තත්ව ගිවිසුම (සෝෆා) සඳහා පිඹුරුපත් සැකසී ඇත.

මෙම වැඩකටයුතු පිලිබඳ උත්සුකයෙන්, දකුනු ආසියාව පිලිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් ජී. වෙල්ස්, ඔක්තෝබරයේ දී, විදේශ කටයුතු සම්බන්ධ නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ අනු කමිටුව ඉදිරියේ පැවසුවේ, “ශ්‍රී ලංකාව වැදගත් සමුද්‍ර බලයක් සහ ඉන්දු-පැසිෆික් හවුල්කරුවෙකු” බවයි. “ඊලඟ මාසයේ මැතිවරනයෙන් ජයග්‍රාහකයා ලෙස මතුවන කුමන හෝ අපේක්ෂකයකු” සමග වැඩ කිරීමට ඇමරිකාව සූදානම් බවද ඇය පැවසුවාය.

මේ අර්ථයෙන් ගත්කල, එම්සීසී ගිවිසුමේ සැබෑ අරමුන වනුයේ, චීනයට එරෙහි ඇමරිකානු මූලෝපායික වැඩකටයුතු වලට ලංකාව වඩවඩාත් ඒකාග්‍ර‍කර ගැනීම බව පැහැදිලිය.

මෙම තතු තුල, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම රහසේ අත්සන් කිරීම හෙලා දකින බව ප්‍රකාශ කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කලේය. ජනාධිපතිවරනයට ආසන්න සමයකදී මෙවන් ගිවිසුම් අත්සන් නොකල යුතු බවත්‍, ගිවිසුම ජනාධිපතිවරනයෙන් පසුව අත්සන් කල යුතු බවත් ඔහු සඳහන් කලේය. විදේශ රටක් සමග ජනතාවට සහ පාර්ලිමේන්තුවට හොරෙන් ගිවිසුම් අත්සන් නොකල යුතු බව පැවසෙන පූච්චානමක් ද එහි අන්තර්ගතය.

ඊනියා අධිරාජ්‍ය විරෝධයක් මවා පෑමට උත්සාහ කරන මහින්ද රාජපක්ෂ ඇතුලු පොදුජන පෙරමුනේ කොටස් පෙර පැවති ආන්ඩුව සමයේ ඇමරිකාව සමග මිලිටරි ගිවිසුම් පවා ඇති කරගත්තේය. ඔවුහු 2007 දී ඇමරිකාව සමග මිලිටරි ප්‍රවර්ධනයන්ට පහසුකම් සපයන ප්‍රවේශ හා ප්‍රති සේවා ගිවිසුම (ඒසීඑස්ඒ) අත්සන් කලහ.

කෙසේ නමුත්, අර්බුදයේ ගිලී සිටි රාජපක්ෂ, ආර්ථික ප්‍ර‍තිලාභ උදෙසා චීනය සමග ඇති කරගත් සම්බන්ධතා නිසා ඇමරිකාවෙන් දුරස් වීම හේතුවෙන්, 2015 ජනාධිපතිවරනයේදී ඔහු බලයෙන් පහකොට තමාට හිත පක්ෂපාතී තන්ත්‍ර‍ක් බලයට ගෙනඒමට වොෂින්ටනය ක්‍රියා කලේය. පසුගිය වසර කිහිපය තුල රාජපක්ෂ උත්සාහ දැරුවේ එක්සත් ජනපදයට සිය පක්ෂපාතීත්වය තහවුරු කිරීමටය.

2016 නොවැම්බර් මාසයේ ඇමරිකාවේ ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වූ විගසම සුබ පැතුම් පනිවිඩයක් යවමින් රාජපක්ෂ ප්‍රකාශ කලේ “‍රිපබ්ලිකන් පාලනය”‍ තුලින් ලැබුනු සහයෝගය, “‍සිය ආන්ඩුවට දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීමට”‍ උදව් වූ බවයි. ඉන් පසුව 2018 ඔක්තෝබර් මාසයේදී, ජනාධිපති සිරිසේන විසින් ව්‍යවස්ථාමය කුමන්ත්‍ර‍යක් හරහා තමා අගමැති ධුරයට පත් කල අවස්ථාවේ විදෙස් රටවල් සිය ආන්ඩුව පිලිබඳ “‍වැරදි ප්‍රතිරූපයක්”‍ මවාගෙන සිටින බව ප්‍රකාශ කරමින් රාජපක්ෂ සිය දූතයින් ව ඇමරිකානු තානාපති කාර්යාලය වෙත යැවීය.

ජූලි මස 23 වනදා ඇමරිකානු තානාපතිනි ටෙප්ලිට්ස් රාජපක්ෂ හමුවීමට ගියේය. එදින ට්විටර් පනිවිඩයක් නිකුත් කල රාජපක්ෂ සඳහන් කලේ “‍රටවල් දෙක අතර ගොඩනගාගෙන ඇති සබඳතා වර්තමාන දේශපාලන තත්වය තුල වැඩි දියුනු කරගත හැකි ආකාරය”‍ සාකච්ඡා කල බවයි.

ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක 6 වනදා පැවති ජන රැලියකදී සඳහන් කලේ මේ ගිවිසුමෙන් “‍සුරංගනා ලෝකයක්”‍ බිහි නොවන බව සහ ගිවිසුම “‍පෙන්වන වර්ගයේ බිල්ලෙක්”‍ නොවන බවයි. ගිවිසුමේ ඉඩම් සම්බන්ධ කොටසට එකඟ නොවන නිසා තමන් බලයට පත් වුවහොත් “‍ගිවිසුමෙන් ඉවත් වන බව”‍ ඔහු තවදුරටත් පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම අධිරාජ්‍ය ගැති පිලිවෙත ක්‍රියාවට දැමීමට විරුද්ධව “‍ජන බලයක්”‍ ගොඩනැගිය යුතු බවයි. ඊනියා අධිරාජ්‍ය විරෝධයක් මවා පෑමට උත්සාහ කරන මොවුන් ඇමරිකාව සහාය දුන් 2015 තන්ත්‍ර මාරුවට හවුල් විය.

මෙම එම්සීසී විරෝධී උද්ඝෝෂනය උත්සන්න වන තතු යටතේ ආන්ඩුව එය ජනාධිපතිවරනයෙන් පසුව අත්සන් කරන බව සඳහන් කලේය.

ලංකාවේ ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ කොටස් මෙම ගිවිසුමට විරුද්ධව ව්‍යාජ හඬතැලීම් සිදු කලද ඔවුන්ට අධිරාජ්‍යවාදයට විරුද්ධව සටන් කිරීමේ කවර හෝ ඓතිහාසික ශක්‍යතාවයක් හෝ වාර්තාවක් නොමැත. ඔවුන් ඉතිහාසය පුරා ක්‍රියාත්මක වී ඇත්තේ ඒ හෝ මේ අධිරාජ්‍යවාදීන්ගේ සහ ඔවුන්ගේ පිලිවෙත් වල සෘජු ආවතේව කරුවන් ලෙසිනි. පාලක පන්තියේ කාකොටාගැනීම් උග්‍ර වන තතු යටතේ ඔවුන් අධිරාජ්‍ය-විරෝධී පූච්චානම් සිදු කලද විශාල බලවත් අධිරාජ්‍යවාදී බලය සමග ගැටගැසීම හැරෙන්නට ඔවුන්ට ඉන් ස්වාධීන පිලිවෙතක් නොමැත.

අනෙක් අතට, අධිරාජ්‍යවාදීන්ගේ ඒජන්තයන් වන ලංකාවේ ධනපති පක්ෂ සහ සංවිධාන සමග විවිධ පෙරමුනු අටවා ගනිමින්, මියැදෙමින් පවතින ධනපති ක්‍ර‍මය තුල ප්‍ර‍තිසංස්කරන දිනාගත හැකිය යන මිථ්‍යාව වපුරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම නඩවල, අධිරාජ්‍යවාද විරෝධය මුලු‍මනින්ම වංචනිකය. ජාතික ධනේශ්වරයෙන් මුලු‍මනින්ම ස්වාධීන වෙමින්, ධනපති ක්‍ර‍මය රටතුලත් ලෝක පරිමානවත් පෙරලා දැමීමට, එනම් ජාත්‍යන්තර සමාජවාදයට සටන් වැදීම හැර අධිරාජ්‍යවාදයට විරුද්ධව සටන් කිරීමේ අන් මගක් නොමැත. මෙවර ජනාධිපතිවරනයේදී එම වැඩපිලිවෙල ඉදිරිපත් කරමින් සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනි.

Share this article: