කඩා දැමූ පල්ලිය පිලිබඳ තීන්දුවත් සමග ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරනය හින්දු අධිපතිවාදී ප්‍රචන්ඩත්වය නීත්‍යානුකූල කරයි

With ruling on razed mosque:India’s Supreme Court validates Hindu supremacist violence

කීත් ජෝන්ස් විසිනි, 2019 නොවැම්බර් 11

පාලක භාරතීය ජනතා පක්ෂය සහ එහි හින්දු අධිපතිවාදී සගයන්, උත්තර් ප්‍රදේශ් හි අයෝධ්‍යාවේ ප්‍රසිද්ධ මුස්ලිම් පල්ලියක් කඩා දමා ඒ වෙනුවට මිථ්‍යා ප්‍රබන්ධයක් වන රාම් නමැති හින්දු දෙවියන්ට දේවාලයක් ඉදිකරන ලෙසට දශක ගනනාවක් තිස්සේ ගෙනගිය ප්‍රචන්ඩකාරී උද්ඝෝෂනය නීත්‍යානුකූල කර ඇති බව, සෙනසුරාදා ප්‍රකාශයට පත් කල තීන්දුවකින් ඉන්දියාවේ ඉහලම අධිකරනය දැනුම් දී ඇත.

එවකට සිටි ජ්‍යෙෂ්ඨ භාරතීය ජනතා පක්ෂ නායකයින්ගේ ඉල්ලීම පරිදි සහ මහාධිකරනයේ ප්‍රකාශිත නියෝග නොතකා හින්දු වර්ගවාදීහු, 1992 දෙසැම්බර් 6 වන දින බබ්රි මස්ජිදයට කඩා වැදුනු අතර, සියවස් ගනනක් පැරනි ව්‍යුහය පොරෝ හා කුලු‍ගෙඩි යොදාගෙන කඩා බිඳ දැමූහ. 1947 දී උප මහද්වීපය පැහැදිලිවම මුස්ලිම් පාකිස්තානයක් සහ ප්‍රධාන වශයෙන් හින්දු ඉන්දියාවක් ලෙස බෙදා වෙන් කල තතු හමුවේ, බබ්රි මස්ජිඞ් විනාශ කිරීම ඉන්දියාවේ බරපතල වාර්ගික ලේ වැගිරීම් වලට හේතු විය. ජාතිවාදී කෝලාහල හා කුරිරුකම් වලින් දෙදහසකට වැඩි පිරිසක්, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් දුප්පත් මුස්ලිම්වරු, මරනයට පත් විය.

2019 නොවැම්බර් 9වන දින මුම්බායි නගරය රැකවලේ යොදා සිටි පොලිස් නිලධාරියෙක් (AP Photo/Rajanish Kakade)

සෙනසුරාදා තීන්දුවත් සමඟ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරනය විසින් බබ්රි මස්ජිඞ් පල්ලිය නීති විරෝධී ලෙස විනාශ කිරීම නීත්‍යානුකූල කර ඇති අතර රාම් දෙවියන් සඳහා කැපවූ දේවාලයක් එම භූමියේ ඉදිකිරීමට අවසර දී තිබේ. ඇත්ත වශයෙන්ම, ඉන්දියාවේ ඉහලම අධිකරනය විසින් රාම් දේවාලය ඉදිකිරීම අධීක්ෂනය කරන ලෙස භාරතීය ජනතා පක්ෂ රජයට නියෝග කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඔහුගේ භාරතීය ජනතා පක්ෂය සහ එහි ප්‍රධානීන්ගෙන් වැඩි කොටසක් සමන්විත හින්දු ජාතිකවාදී සංවිධානය වන ආර්එස්එස් නායකයින් අධිකරන තීන්දුව ගැන සතුටු වීම පුදුමයක් නොවේ.

“මෙම තීන්දුව මගින් අධිකරන ක්‍රියාදාමයන් කෙරෙහි ජනතාවගේ විශ්වාසය තවදුරටත් ඉහල යනු ඇත” යනුවෙන් මෝඩි ට්වීටර් සටහනකින් ප්‍රකාශ කලේය.

කුහකකමේ උච්චතම අවස්ථාව කරා ලඟා වෙමින් ඉන්දියාවේ අගමැතිවරයා හින්දු අධිපතිවාදී අයිතිය සනාථ කරන සහ තවදුරටත් ධෛර්යමත් කරන තීන්දුවක් ගැන පැවසුවේ, “නීතියෙන් සෑම කෙනෙක්ම එක හා සමාන බව එයින් මනාව පැහැදිලි වේ,”‍ යනුවෙනි.

ආරම්භයේ සිටම, රාම් දේවාලයක් ඉදිකිරීම සඳහා භාරතීය ජනතා පක්ෂය, ආර්එස්එස් සහ ආර්එස්එස්-ශාඛාව වන විශ්ව හින්දු පරාෂාද් විසින් දියත් කරන ලද උද්ඝෝෂනය ආගමික ප්‍රතිගාමිත්වය තුල මුල්බැස තිබුනි. බබ්රි මස්ජිඞ් පල්ලිය පිහිටි බිම මිත්‍යා ප්‍රබන්ධිත රාම් දෙවියා උපන් ස්ථානය යයි පැවසීමෙන් එය පෙන්නුම් කරයි. එය හොඳින් ගනන් බලන ලද වර්ගවාදී දේශපාලන ප්‍රකෝප කිරීමකි. ඉන්දියාවේ “හින්දු ස්වභාවය” එනම් හින්දු ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා, 1990 දී බබ්රි මස්ජිඞ් වෙනුවට හින්දු කෝවිලක් ආදේශ කල යුතුය යන ගිනි අවුලු‍වන ඉල්ලීම ප්‍රචලිත කිරීම සඳහා භාරතීය ජනතා පක්ෂයේ සභාපති එල්.කේ. අද්වානි රටපුරා පෙලපාලි ඇතුලු‍ උද්ඝෝෂන ව්‍යාපාරයක් දියත් කලේය. අද්වානිගේ රාම් රාත් යාත්‍රා මෙහෙයුම, උතුරු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල වර්ගවාදී ප්‍රචන්ඩත්වය අවුලු‍වන ලද අතර 1990 ඔක්තෝබර් මස මුලදී බබ්රි මස්ජිඞ් වෙත කඩාපැන එය සමතලා කිරීමට ගත් උත්සාහය හමුවේ එය කුලු‍ගැන්වුනි.

වසර දෙකකට පසු අද්වානි සහ අනෙකුත් භාරතීය ජනතා පක්ෂ නායකයින්, 1992 දෙසැම්බර් 6 වන දින බබ්රි මස්ජිඞ්ට එරෙහි ප්‍රහාරය උසිගැන්වූ මහජන රැලිය සංවිධානය කොට එය ඇමතීය. එයට භාරතීය ජනතා පක්ෂයේ ඉහල පෙලේ නායකයින් සම්බන්ධ වූ අතර, ”‍කල් තියා සංවිධානය කල කුමන්ත්‍රනයක්”‍ ලෙස රජයේ විමර්ශන කොමිෂන් සභාවක් නිගමනය කලේය. භාරතීය ජනතා පක්ෂය-ආර්එස්එස්-වීඑච්පී ක්‍රියාකාරීන් 16 වන සියවසේ මුස්ලිම් පල්ලිය විනාශ කල අතර උත්තර් ප්‍රදේශ්හි භාරතීය ජනතා පක්ෂ නායකත්වයෙන් යුත් ප්‍රාන්ත රජයේ නියෝග මත පොලිසියේ දහස් ගනනක් ඒවා සිදුවන විට ඔහේ බලා සිටියහ.

එතැන් පටන් ඉන්දියාව හින්දු රාජ් හෝ හින්දු රාජ්‍යයක් බවට පත් කිරීමේ තම ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ ප්‍රධාන පියවරක් ලෙස භාරතීය ජනතා පක්ෂය සහ ආර්එස්එස්, රාම් දේවාලය ගොඩනැගීම පිනිස ඉල්ලීම් කරමින් සිටියහ.

ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව මගින් 2010 අලහබාද් මහාධිකරන තීන්දුවකින් අක්කර 2.77 ක ඉඩම කොටස් තුනකට බෙදා, තුනෙන් දෙකක් හින්දු සංවිධානවලට ද අනෙක් කොටස සුන්නි (මුස්ලිම්) වෆ්ක් සංවිධානයේ මධ්‍යම මන්ඩලයට ද ලබා දී ඇත. එවකට ලෝක සමාජවාදී වෙබ් අඩවිය අලහබාද් අධිකරනයේ තීන්දුව “හින්දු අධිපතිවාදී දෘෂ්ටිවාදය සහ ප්‍රචන්ඩත්වය නීත්‍යානුකූල කරන නින්දිත තීන්දුවක්” ලෙස හැඳින්වීය (බලන්න: (see: Indian High Court abets Hindu supremacists with Babri Masjid ruling) බාබ්රි මස්ජිඞ් තීන්දුව මඟින් ඉන්දියානු මහාධිකරනය හින්දු අධිපතිවාදීන්ට අනුබල දෙයි).

අගවිනිසුරු රන්ජන් ගොගෝයිගේ නායකත්වයෙන් යුත් පස් දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඬුල්ලක් විසින් සෙනසුරාදා නිකුත් කරන ලද ඒකමතික තීන්දුව හින්දු දක්ෂිනාංශයේ ඉල්ලීම්වලට වඩා පැහැදිලිව ගැලපේ. එම තීන්දුව මගින් ඉන්දියාවේ රාජ්‍ය ආයතන හින්දු ජාතිවාදයට කොතරම් දුරට නැඹුරුවී ඇත්ද යන්නත්, ඉන්දියාවේ පාලක ප්‍රභූව මූලික ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම බිඳ දමා ඒකාධිපති පාලන ක්‍රම දෙසට හැරෙමින් සිටින බවත් සනාථ කරයි.

එය කාශ්මීරයට එරෙහි මෝඩි රජයේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රනයට සමීපව යයි. අගෝස්තු 5 වන දින භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව විසින් ඉන්දියාවේ මුස්ලිම් බහුතරයක් වන හුදෙකලා ජම්මු හා කාශ්මීරය (ජේ ඇන්ඞ් කේ) එහි අර්ධ ස්වයං පාලන තත්වයෙන් ඉවත් කොට මධ්‍යම ආන්ඩුවේ කලාප දෙකකට පරිවර්තනය කර කලාපය එහි ස්ථාවර පාලනය යටතට පත් කලේය. මහජන විරෝධය අපේක්‍ෂා කරමින් නවදිල්ලිය, ජේ සහ කේ ප්‍රදේශ දිගින් දිගටම වටලනු ලැබ ඇත. “වැලැක්වීමේ” සමූහ අත්අඩංගුවට ගැනීම්, මිනිසුන්ගේ ගමන් බිමන් සඳහා දැඩි තහංචි පැනවීම සහ බොහෝ ජංගම දුරකථන වලට අන්තර්ජාල ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම ඊට ඇතුලත්ය.

මෙම ක්‍රියාවන්ට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරනය විසින් නැවත නැවතත් කොල එලිය දල්වා ඇත. ඉන්දියාවේ විරුද්ධ පක්ෂ සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් ඉන්දියාවේ ව්‍යාපාරික ප්‍රභූ පැලැන්තියෙන් සිය ඉඟිය ලබාගෙන ඇත. ඉන්දියාවේ මහා බල අභිලාෂයන් ලෝක කරලිය මත තහවුරු කිරීමට සහ ඉන්දියාවේ කම්කරුවන් සහ පීඩිතයින් සූරාකෑම තීව්‍ර කිරීමට “ශක්තිමත් පියවර” මොවුන්ට අවශ්‍ය වී ඇත. ඒ ඔස්සේ ඔවුන් මෝඩිගේ කාශ්මීර ප්‍රහාරයට සහාය දුන්නේය.

අයෝධ්‍යා තීන්දුවට විපක්ෂයේ ප්‍රතිචාරය ද ඒ හා සමාන ය. මෑතක් වන තුරුම ඉන්දියානු ධනේශ්වරයේ වඩාත් ප්‍රිය මනාප ආන්ඩු පක්ෂය වන කොංග්‍රස් පක්ෂය, ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව පිලිගත් අතර කඩා බිඳ දැමූ බබ්රි මස්ජිඞ් භූමියේ රාම් කෝවිලක් ඉදිකිරීමට සහාය ප්‍රකාශ කලේය.

කොන්ග්‍රසය අනාගමිකත්වය රකින තාප්පයක් යැයි කියා සිටියත්, ඇත්ත වශයෙන්ම එය, 1947 දකුනු ආසියාවේ වාර්ගික බෙදීම බලාත්මක කිරීම ඇතුලුව හින්දු දක්ෂිනාංශය සමඟ සම්බන්ධ වීමේ දීර්ඝ හා කුප්‍රකට වාර්තාවකට හිමිකම් කියයි. කොංග්‍රස් අග්‍රාමාත්‍ය නරසිම්හ රාඕ 1992 දී බබ්රි මස්ජිඞ්ට එල්ල කල ප්‍රහාරය ගැන පූර්ව අනතුරු ඇඟවීමක් කල නමුත් එය ඉදිරියට ගෙන යාමට ඉඩ දුන් බවට බොහෝ සාක්ෂි තිබේ. මෑතක් වන තුරුම භාරතීය ජනතා පක්ෂයේ සමීපතම සගයා ව සිටි, ඉන්දියාවේ දෙවන වැඩිම ජනගහනය සහිත මහාරාෂ්ට්‍රයේ ශිවසේනා නායකත්වයෙන් යුත් පාලනයකට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් කොන්ග්‍රසය ෆැසිස්ට් ශිවසේන සමඟ තිරයෙන් පිටුපස සාකච්ඡා පවත්වයි.

භාරතීය ජනතා පක්ෂයට හා හින්දු ආධිපත්‍යයට එරෙහිව සටන් කිරීමේදී අධිකරනය සහ කොන්ග්‍රස් පක්ෂය කම්කරු පන්තියේ මිත්‍ර පාර්ශවයන්ය යන අමූලික බොරුව ඉන්දියානු ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) විසින් ප්‍රචාරය කරනු ලැබේ. අධිකරනයේ උත්තරීතර භාවය පිලිබඳව විශ්වාසය පල කරමින් එය අධිකරන තීන්දුවට සහාය දක්වන දුෂ්ඨ ප්‍රකාශයක් නිකුත් කලේය. ඉන්දියාවේ ඉහලම අධිකරනය විසින් නිකුත් කරන ලද තීන්දුව මගින් හින්දු අධිපතිවාදී සාපරාධීත්වය සහ ප්‍රචන්ඩත්වය නීත්‍යානුකූල කරයි. “සාකච්ඡාමය විසඳුමකට එලඹිය නොහැකි නම්”.අයෝධ්‍යාව පිලිබඳ ආරවුල අධිකරනය විසින් විසඳිය යුතු බවට දිගු කලක් තිස්සේ අනුගමනය කල ස්ථාවරය යලිත් අවධාරනය කරමින් සීපීඑම් නිකුත් කල දේශපාලන ප්‍රකාශයෙන් තීන්දුවේ අංගයන් පිලිබඳව හුදෙක් “සැක සාංකා” පමනක් පල කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව ගත් කල එය නීතිමය විකාරයක් පමනක් විය හැකි වුවත්, එය කලින් තීරනය කල ප්‍රතිපලයක් සමඟ ගොතන ලද්දකි. ඒ, මෝඩි, භාරතීය ජනතා පක්ෂ රජය සහ හින්දු දක්ෂිනාංශයේ අත ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ ප්‍රචන්ඩකාරී හින්දු අධිපතිවාදී රාම් කෝවිල් උද්ඝෝෂනයට නිසැක ජයග්‍රහනයක් ලබා දීමය.

මෙම තීන්දුව ඉන්දියාවේ අනාගමික දේශපාලනය සහ සියලු‍ විශ්වාසයන්හි සමානතාවය පිලිබඳ කුහක කතා යලි තහවුරු කරන ප්‍රකාශ වලින් පිරී තිබේ. 1992 දී බබ්රි මස්ජිඞ් කඩා දැමීම අපරාධයක් බව එය පිලිගනී. මුස්ලිම් වන්දනාකරුවන්ට පල්ලිය තහනම් කිරීම සඳහා ජාතිවාදී හින්දු මහා සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන පලාත් පාලන ආයතනවලට නීතිමය කඩතුරාවක් ලෙස සේවය කල, 1949 දී රාම් ලල්ලා (“ලදරු රාම්”) පිලිම බාබ්රි මස්ජිඞ් වෙත ප්‍රවාහනය කිරීම ද ඒ හා සමාන සාපරාධී ක්‍රියාවකි.

එහෙත් මේ කිසිවකින්, ඒකමතිකව හින්දු-අධිපතිවාදී තීන්දුවක් ලබා දීමෙන් ඉන්දියාවේ ඉහලම අධිකරනය වලක්වනු ලැබුවේ නැත. මුස්ලිම්වරු කිසි විටෙකත් මුලු ප්‍රාන්තයටම බලපාන විශේෂ අධිකරන බලයක් ක්‍රියාත්මක නොකල බවට වූ ව්‍යාජ ප්‍රකාශය මත පදනම්වන හින්දු අධිපතිවාදී තීන්දුව හා මතභේදයට තුඩු දී ඇති ඉඩමේ අයිතිය රාම් ලල්ලා හෝ ලදරු රාම් දෙවියන්ට අයිති බව එය ප්‍රකාශ කලේය.

ඉන්දියාවේ මිලියන 200 ක් වන මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් ගත් කල ශ්‍රේෂ්ඨාධිකරනය අපේක්ෂා කරන්නේ, “සාපරාධී” ලෙස බබ්රි මස්ජිඞ් පල්ලිය විනාශ කිරීම සහ රාම් ලල්ලා කෝවිලක් ඉදිකිරීම තුලින් හින්දු ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා වූ භාරතීය ජනතා පක්ෂ-ආර්එස්එස් ව්‍යාපාරයේ ජයග්‍රහනය ඔවුන් නිහඬව පිලිගනු ඇති බවයි. නිශ්චිත නොවූ ස්ථානයක මුස්ලිම් පල්ලියක් ඉදිකර ගැනීමට අක්කර පහක් වෙන්කිරීමෙන් එසේ වනු ඇතැයි සිතාගෙනය.

බබ්රි මස්ජිඞ් කඩා දැමීම සහ 1992 දෙසැම්බරයේ සිට 1993 ජනවාරි දක්වා වූ කාලයේ ඉන්දියාව අලලාගත් ප්‍රචන්ඩත්වයේ රැල්ල පිලිබඳව අද්වානි හෝ වෙනත් ප්‍රධාන වර්ගවාදීන් සහ සංවිධායකයින්ට විරුද්ධව නඩු පැවරීමට ඉන්දියාවේ ප්‍රාන්ත බලධාරීන්, ආන්ඩු, අධිකරන සහ පොලීසිය අසමත් වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරනය සම්පූර්නයෙන්ම නිහඬය.

“ප්‍රජාතන්ත්‍රවාදී, අනාගමික” ඉන්දියාවේ තත්වය සහ ඉන්දියාවේ ඉහලම අධිකරනයේ 2019 වසරේ මානසිකත්වය එයයි!

Share this article: