ජනාධිපතිවරනයේ දී නසසපය දක්ෂිනාංශික එජාප අපේක්ෂකයා වැලඳ ගනියි

විලානි පීරිස් විසිනි, 2019 නොවැම්බර් 5

නව සමසමාජ පක්ෂය (නසසප) ඉදිරි ජනාධිපතිවරනය සඳහා පක්ෂ සාමාජිකයෙකු වන නන්දිමිත්‍ර බැද්දගමගේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීම සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ (නප්‍රපෙ) අපේක්ෂක සජිත් ප්‍රේමදාසට “චන්දය හරවාදීමට”‍ බව, ගගන වෙබ් අඩවියට ඔක්තෝබර් 10 දා සම්මුඛ සාකච්චාවක් දෙමින් නසසප නායක වික්‍රමබාහු කරුනාරත්න ප්‍රකාශ කලේ ය. නප්‍රපෙ පිහිටුවා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායකත්වයෙනි.

ගතවූ දශක දෙකකට ආසන්න කාලයක සිට දක්ෂිනාංශික එජාපයේ සහ එහි නායක වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ ගේ සමීප හවුල්කරුවකු ලෙස ක්‍රියාකරන නසසප නායකයාගේ අලජ්ජි නිවේදනය පුදුමයට කරුනක් නොවේ. ඉන් පෙන්නුම් කෙරෙන්නේ ආන්තික දේශපාලන කුනුවීමක් තුලින් ගමන් ගන්නා මෙම ව්‍යාජ වාම සංවිධානය කම්කරු පන්තියෙන් ධනපති පන්ති පාලනය ආරක්ෂා කිරීමට කැපවී සිටින තුච්ච ආකාරයයි.

කරුනාරත්න තමන්ගේ තීන්දුව යුක්ති සහගත කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොපෙ) අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ “‍දරුනු ෆැසිස්ට්වාදියෙක් හා ජාතිවාදියෙක් ලෙස මේ රට කඳුලු‍ ගංගාවක්”‍ කිරීමට සූදානම් නිසා එය වැලැක්වීමට “ඔහුට විරුද්ධව ප්‍රබල ක්‍රියාකාරීත්වයක් ඉදිරිපත් කරන”‍ සජිත් ප්‍රේමදාසට සහයෝගය දෙන බව ප්‍රකාශ කරමිනි.

මීට පෙර ඔක්තෝබර් 5 දින ලියූ ලිපියක කරුනාරත්න මෙසේ ප්‍රකාශ කරයි. “සියලු‍ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ, ෆැසිස්ට්වාදයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන ලෙසත්, ෆැසිස්ට් පාලකයෙක් බලයට පත්වීම නතර කරන ලෙසත් සියලු‍ සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටිති.”‍ ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබුනේ ප්‍රේමදාස “‍වඩාත්ම ජනප්‍රිය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂකයා”‍ හා “අවංක සහ කැපවූ ජනප්‍රිය ලිබරල්වාදියෙක්”‍ බවයි.

එජාපයේ අපේක්ෂකයාට සහයෝගය දෙන්නේ, “ෆැසිස්ට්වාදය නතර කිරීම සඳහා”‍ බවට කරුනාරත්න කරන ප්‍රකාශය දුෂ්ටතම දේශපාලන ප්‍රෝඩාවකි.

ශ්‍රීලංපොපෙ සහ එහි ජනාධිපති අපේක්ෂකගෝඨාභය රාජපක්ෂ මිලිටරිය හා ෆැසිස්ට්වාදී සිංහල වර්ගවාදී නඩ මත වාරුවූ ඒකාධිපති පාලනයකට අරඅඳිමින් සිටීම තමන්ගේ ප්‍රතිගාමී උද්ඝෝෂනය යුක්ති සහගත කිරීමට කරුනාරත්න යොදාගෙන ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු‍ ශ්‍රීලංපොපෙ නායකයින් පසුගිය ආන්ඩුව සමයේ සිංහල වර්ගවාදය අවුස්සමින් දෙමල විරෝධී යුද්ධය කුරිරු ලෙස ගෙනයන අතර ම කම්කරුවන් හා දුගීන් මැඩීමට එය යොදාගත් බවද ගෝඨාභය රාජපක්ෂ එහි කප්පිත්තෙක් වූ බවද නොරහසකි. දැන් මෙම දක්ෂිනාංශික නඩය ආන්ඩුවේ කුජීතවීම ගසාකමින් බලය අල්ලා ගැනීමට සැරසෙයි.

ගෝඨාභය රාජපක්ෂට මුවාවෙන කරුනාරත්න, “‍ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙකු”‍ ලෙසට සුදු හුනුගාමින් ප්‍රේමදාසගේ ප්‍රතිගාමී වාර්තාව යට ගසයි. ප්‍රේමදාස නියෝජනය කරන එක්සත් ජනපද ගැති එජාපය, දෙමල හා මුස්ලිම් විරෝධී වර්ගවාදය අවුස්සා කම්කරු පන්තිය භේද කොට පාලනය කිරීමේ මූලිකත්වය ගත් බවත් අනෙකුත් ධනපති පක්ෂවල සහයෝගය ඇතිව දෙමල විරෝධී යුද්ධය ඇරඹුවේ එම පක්ෂයේ ආන්ඩුව බවත් කම්කරුවන්ට තරුනයින්ට අමතක නැත. 1977 පටන් විවෘත වෙලඳපොල ප්‍රතිපත්ති මගින් කම්කරු පන්තිය දිනාගත් අයිතීන්ට කෙටීම සඳහා උත්සන්න වෙමින් යන ප්‍රහාර ඇරඹුවේ එජාප ආන්ඩුවයි. එහි ප්‍රතිගාමී වාර්තාව තවත් දීර්ඝ එකකි.

සජිත් ප්‍රේමදාස දැන් ගෝඨාභය සමග කරට කර හෝ ඊටත් එහා සිටින බව පෙන්වීමට “ජාතික ආරක්ෂාව”‍ නමැති මන්ත්‍රය ජපකරමින් තමන් ද පොලිසිය හා මිලිටරිය බලගැන්වූ පාලනයක් ඇතිකරන බවට දිවුරයි.

ලංකාවේ ආර්ථික අර්බුදය තීන්දුවී ඇත්තේ අවපාතයක් දෙසට ලු‍හුටා යන ලෝක ධනවාදී පද්ධතියේ අර්බුදයෙනි. මෙම අර්බුදය තුල එජාප හා ශ්‍රීලංපොපෙ හා එහි අපේක්ෂකයන් ඉටුකරන බවට දෙන කප්පරක් පොරොන්දු අමු බේගල් ය. මොනම මූලික පොරොන්දුවක් වත් ඉටු කිරීමට මෙම ධනපති පක්ෂවලට නො හැකිය. ලංකාවේ පාලක පන්තිය ගැඹුරු දේශපාලන අර්බුදයකට ඇදහෙලනු ලැබ ඇත්තේ ජීවන හා සමාජ කොන්දේසිවලට කලක් තිස්සේ එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව, ජාත්‍යන්තර ව පන්ති අරගලයේ නව නැගීම සමග ලංකාව තුල කම්කරුවන් අරගලයට ඇදී ඒම විසිනි. කම්කරු සටන් සමග දුගී ගොවීන්ගේ හා සිසුන්ගේ අරගල ද එක දිගට වර්ධනය වෙමින් පවතී.

අන් රටවල මෙන්ම ලංකාවේ ද පාලක පන්තිය සූදානම් වන්නේ මෙම අරගල තලා දමා අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පටවන ආඥාදායක පාලනයකට මාරුවීමට ය. “‍ජාතික ආරක්‍ෂාව ශක්තිමත් කිරීම”‍ හා “‍ශක්තිමත් ස්ථාවර පාලනයක් තහවුරු කිරීම”‍ තමන්ගේ න්‍යාය පත්‍රවල අංක එක බව ගෝඨාභය රාජපක්ෂ හා ප්‍රේමදාස ප්‍රකාශ කර ඇත්තේ එම සූදානම අඟවමිනි.

කම්කරු පන්තියට හා දුගීන්ට මෙම ධනපති පක්ෂවල අපේක්ෂකයින් අතරින් තෝරා ගත යුත්තෙක් නැත. මොවුන් අතර කුමන මතභේද තිබුනත් ධනපති පන්ති පාලනය රැක ගැනීම සඳහා මර්දනකාරී පාලනයක් ඇටවීම සඳහා ඒක මතික ය.

නසසප අපේක්ෂක බැද්දේගම රූපවාහිනී කතාව පවත්වමින් තම පක්ෂ නායකයාගේ ප්‍රකාශ පුනරුච්චාරනය කලේය. “2015 ජනතා ජයග්‍රහනයේ අපේක්ෂාවන් ඉදිරියට ගෙනයාමට සපත කරන ප්‍රවනතාවය”‍ සමග, ප්‍රජාතන්ත්‍රවාදය වැඩිදියුනු කරන ප්‍රවාහය සමග එක්ව නසසපය කටයුතු කරන බවට ඔහු පම්පෝරි ගැසුවේ ය.

කරුනාරත්න හා ඔහුගේ චක්ගෝලයා හුවා දක්වන ඊනියා 2015 ජනතා ජයග්‍රහනය නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ආ, රාජපක්ෂ ඉවත් කෙරුනු ආන්ඩු මාරුවයි. රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වැඩුනු මහජන විරෝධය බොරු පොරොන්දු රොත්තක් දුන් සිරිසේන බලයට ගෙන ඒම සඳහා හරවා යැවීමට සෑහෙන වැඩකොටසක් සිදුකලේ එජාපය වටා රොද බැඳගත් නසසප ඇතුලු‍ ව්‍යාජ වාම සංවිධාන විසිනි. ඔවුන් සැබෑ වසයෙන් නම් පෙල ගැසුනේ, වොෂින්ටනය ලංකාව සිය භූ-දේශපාලන උපාමාරු සමග පෙලගස්වා ගැනීමට ගෙනගිය තන්ත්‍රමාරු මෙහෙයුමක් සමගයි. රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට සහයෝගය දුන් නමුත් වොෂින්ටනය ඔහු බෙයිජිනය පවත්වා ගෙනගිය සම්බන්ධතාවලට විරුද්ධ විය.

“නසසප අපේක්ෂකයා කයිවාරු ගසන” ‍ජනතා ජයග්‍රහන කවරේ ද? බලයේ හරිබරි ගැසී වැඩි කල් යන්ට මත්තෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නය ගත් ආන්ඩුව කප්පාදුව පටන් ගත්තේ ය. ආන්ඩුව සියයට 107කින් පඩි වැඩි කල බවට කයිවාරු ගසයි. එහෙත්, පසුගිය අවුරුදු දෙකේ රාජ්‍ය අංශයේ පමනක් 2017 සහ 2018 මූර්ත වැටුප සියයට 7කින් හා සියයට 2 කින් අඩුවිය. දැන් ජීවන හා සමාජ අයිතීන් කප්පාදුවට එරෙහිව අරගලයට එන්නට පටන් ගත් කම්කරුවන් මැඩීමට අත්‍යවශ්‍ය සේවා නියෝග එල්ල කිරීම ඇරඹු ආන්ඩුව සිසු අරගල මැඩීමට පොලිසිය මුදා හැරියේය.

රාජපක්ෂ ආන්ඩුව සිදුකල දෙමල ජනයාගේ මානව අයිතීන් උල්ලංඝනය විභාග කරන බව කී සිරිසේන හා වික්‍රමසිංහ සැබවින්ම සිදු කලේ යුද අපරාධ මුලු‍මනින්ම යටගැසීමයි. උතුරු නැගෙනහිර පලාත්වල හමුදා වාඩිලා ගැනීම දිගටම යයි. ලංකාවේ මිලිටරිය ඇමරිකානු අධිරාජ්‍යවාදීන් චීනයට එරෙහිව එලන මිලිටරි දැලට සම්බන්ධ කොට ඇත.

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව කුනු කුඩයට දැමු සිරිසේන හා වික්‍රමසිංහ ඒ වෙනුවට ජනාධිපති බලතලවලින් කිහිපයක් කප්පාදු කෙරුනු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනවුත් අත සෝදා ගත්තේය.

“2015 ජනතා ජයග්‍රහන”‍ ඒවා ය. කරුනාරත්න ජනවාරි 8 දා සිරිසේන චන්දයෙන් දිනීම හැඳින්වූයේ “පෙබරවාරි විප්ලවය”‍ ලෙසයි. එම “‍විප්ලවය”‍ රැක ගැනීමේ නමින් ඔහු කම්කරුවන් තම අයිතීන් දිනා ගැනීමට දියත් කල අරගල හැඳින්වුයේ ප්‍රතිගාමී “‍කුමන්ත්‍රන”‍ ලෙස ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇනවු කප්පාදු වැඩපිලිවෙල ඔහු හැඳින්වූයේ සංවර්ධනයට අත්‍යවශ්‍ය පියවර ගැනීමක් ලෙසයි.

අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසු කැඳවූ සියලු‍ පක්ෂවල රැස්වීමට සම්බන්ධවූ කරුනාරත්න හදිසි නීතිය පනවා මිලිටරිය රටපුරා දිගේලි කිරීමට මුලු‍මනින් සහයෝගය දුන්නේ ය.

වඩවඩාත් දකුනට ගිය නසසප නායකයා සමාජවාදී වැඩපිලිවෙලට සටන් කිරීමට ගරහමින් සිටියේ පලමුව “ප්‍රජාතන්ත්‍රවාදය”‍ රැකගත යුතු බව ප්‍රකාශ කරමිනි. “‍ප්‍රජාතන්ත්‍රවාදය රැකීම”‍ යනු ඔහුට එජාප පාලනය රැකීම විය. නසසප ජනාධිපති අපේක්ෂකයා සිය රූපවාහිනි කතාවේදී සමාජවාදය සඳහා අරගලයට නරුම ලෙස පහර දුන්නේ එම ක්‍රියාමාර්ගය ඉදිරිපත් කරන්නන් “‍හුදු සමාජවාදය ගැන ප්‍රලාප දොඩවමින් ... ජනතාවගේ චන්ද වලින් කොටසක් ඩැහැගෙන කුනුබක්කියට”‍ හෙලා ජාතිවාදී ෆැසිස්ට් බලවේගයන්ට වාසි සලසන්නන් ලෙස හෙලා දකිමිනි.

මෙම ව්‍යාජ වාම සංවිධානයෙන් ප්‍රකාශවී ඇත්තේ ධනපති පන්තිය සමග පෙල ගැසීගත් ඉහල මධ්‍යම පන්තිය වර්ධනයවන කම්කරු පන්තියේ අරගල හා සමාජවාදය සඳහා සටන කෙරෙහි දක්වන රුදුරු වෛරයයි.

කම්කරු පන්තිය සූදානම් විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස යන දෙදෙනාගෙන් කවුරු බලයට පැමිනියත් සූදානම් කරනු ඇති ප්‍රතිවිප්ලවවාදී ප්‍රහාරයට එරෙහිව සටන් කිරීමට සූදානම් වීමයි. කම්කරු පන්තියට ඒ හෝ මේ ධනපති අපේක්ෂකයා පිටුපස බඩ ගෑමෙන් එය කල නොහැකි ය. විප්ලවවාදී පන්තිය වන කම්කරු පන්තියට ප්‍රතිගාමිත්වයට එරෙහිව සටන් කල හැක්කේ ධනපති පන්තියේ සෑම කොටසකින්ම දේශපාලනිකව ස්වාධිනවී ගම්බද දුගීන් ඇතුලු‍ව ධනවාදයෙන් බැටකන සියලු‍ පීඩිතයින් තමන් වටා රැලි කරගෙන සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීමෙනි.

සමාජවාදී සමානතා පක්ෂය ජනාධිපති අපේක්ෂක ලෙස පානි විජේසිරිවර්ධන ඉදිරිපත්කර පාලක පන්තියේ සෑම කන්ඩායමකට ම එරෙහිව සටන් වදින්නේ ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ එම වැඩ පිලිවෙලටයි.

නසසප හා එහි නායක වික්‍රමබාහු නියෝජනය කරන්නේ සියවස් තුන්කාලකට පමන පෙර හතරවන ජාත්‍යන්තරයෙන් හා එහි ට්‍රොට්ස්කිවාදී ක්‍රියාමාර්ගයෙන් බිඳී ගිය පැබ්ලෝවාදී ප්‍රවනතාවයයි. සෑම රටකම එහි ඉතුරුබිතුරු කන්ඩායම් ඒ ඒ රටවල ධනපති පන්තියට හා අධිරාජ්‍යවාදී පාලක පන්තීන්ට මුක්කුව දෙති. ලංකා සම සමාජ පක්ෂය 1964 දී ජාත්‍යන්තර සමාජවාදී මූලධර්ම පාවාදී ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සභාගයකට ඇතුලුවූයේ එම පැබ්ලෝවාදී දේශපාලනයට එක් වීම නිසාය.

නසසපය සංවිධානය කිරීමට මූලිකත්වය ගත් වික්‍රමබාහු කරුනාරත්න ඉඳහිට ට්‍රොස්කිවාදය ගැන කතා කලත් ඔහු දේශපාලනය පටන් ගත්තේ ම සමසමාජ පැබ්ලෝවාදී පාවාදීම අනුමත කරගෙන ය. ඔහු ඇතුලු‍ කන්ඩායමක්, 1970 ගනන් අග ශ්‍රීලනිප- ලසසප හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ සභාගයට එරෙහිව කම්කරු පන්තියේ පෙරලිකරිත්වය නැගෙද්දී ලසසපයෙන් බිඳී නසසප අටවා ගත්තේ ය.

වාම මාධ්‍යමිකයන් ලෙස සටන්කාමී පූච්චානම් දොඩවමින් එම පක්ෂය කම්කරුවන් කන්ඩායමක් නොමග යවා පක්ෂය තුල රුවා ගත්තේය. එසේ වුවද මෙම පක්ෂයේ සැමදා ලාංචනය වූයේ කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය පාවාදෙමින් ඒ හෝ මේ ධනපති පක්ෂය සමග පෙල ගැසීමයි. එහි වාර්තාව ලිවීම දින ගනනක් ගතවන කාර්යයකි. සාමාජික සංඛ්‍යාව අතේ ඇඟිලි ගනනට පල්ලම් බැස ඇති මේ සංවිධානය දැන් එජාපයේ උපාංගයක් වී ඇත.

සමාජවාදී සමානතා පක්ෂය හා එහි පූර්වගාමි විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, 1953 පැබ්ලෝවාදීන්ගෙන් ට්‍රොට්ස්කිවාදය බේරාගෙන පිහිටුවූ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව ලෙස කම්කරු පන්තිය ධනේශ්වරයෙන් ස්වාධීන කර ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවල මත බලමුලු‍ ගැන්වීමට සටන් කල සංවිධානයයි. කම්කරුවන් තරුනයන් හා ප්‍රගතිශීලි බුද්ධිමතුන් සසපට බැඳී එය පලල් ලෙස ගොඩ නැගීමට එක්වීම කල්පමා කල නොහැක. කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල පැනනගින කාල පරිච්චේදයකට අපි අවතීර්නව සිටිමු.

එම දේශපාලන අරගලය ඉදිරියට ගෙනයාමට එක්ව ජනාධිපතිවරනය සඳහා සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කර ඇති අපේක්ෂකයා වන පානි විජේසිරිවර්ධනට සහයෝගය දෙන්න.

Share this article: