ට්‍රම්ප් දෝෂාභියෝගය සහ යුක්‍රේනය තුල එක්සත් ජනපද පිලිවෙත

The Trump impeachment and US policy in Ukraine

2019 නොවැම්බර් 16

ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දෝෂාභියෝගයේ පලමු දින දෙකේ රූපවාහිනියෙන් විකාශනය කරන ලද නඩු විභාගය වොෂිංටනය අලලා‍ගත් ගැටුමේ ස්වභාවය පැහැදිලි කර තිබේ. ඩිමොක්‍රටිකයෝ ජනාධිපතිවරයාට එරෙහිව “අල්ලස්” සහ “බාධා කිරීම්” පිලිබඳ චෝදනා ඉදිරිපත් කරන ගමන් සාක්ෂි වලින් පැහැදිලි කෙ‍රෙන්නේ ඔවුන් දෝෂාභියෝග මෙවලම විදේශ ප්‍රතිපත්ති වල වෙනස්කම් පිරිමසා ගැනීමට භාවිතා කරන බවයි.

පලමු සාක්ෂිකරුවන් වූ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ජෝර්ජ් කෙන්ට්, තානාපති විලියම් ටේලර් සහ තානාපති මාරි යොවනොවිච් යන තිදෙනාම පසු ගිය වසර 15 ක කාලය තුල පෙර සෝවියට් සංගමයේ රුසියාවෙන් පසු දෙවන විශාලතම රාජ්‍යය වූ යුක්‍රේනයේ කුරිරු රූකඩ පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය ගත් වෑයම්වල ප්‍රධාන මෙහෙයුම් භූමිකාවන් ඉටු කර තිබේ.

යුක්රේනයේ හිටපු එක්සත් ජනපද තානාපති මාරි යොවනොවිච් (දකුනේ) සහ ඇගේ නීතිඥ ලෝරන්ස් රොබින්ස් වොෂිංටන්හි කැපිටල් හිල් පිලිබඳ සෙනෙට් ඔත්තු කටයුතු කමිටුව ඉදිරියේ සාක්ෂි දීමට පැමිනේ [අනුග්‍රහය: ඒපී ඡායාරූපය / සුසාන් වොල්ෂ්][Credit: AP Photo/Susan Walsh]

යුක්රේනයේ ආරම්භක එක්සත් ජනපද මැදිහත්වීම වික්ටර් යනුකොවිච්ගේ නායකත්වයෙන් යුත් රුසියානු හිතවාදී පාලන තන්ත්‍රය නෙරපා හැර ඔහු වෙනුවට බටහිර ගැති වික්ටර් යුෂ්චෙන්කෝ පත් කිරීමට මග සැලසූ 2004 “තැඹිලි වර්න විප්ලවය” ලෙස හැදින්වින. එහෙත් යුෂ්චෙන්කෝ ට සහ ගෑස් කර්මාන්තයේ ධනය සොරකම් කිරීම හේතුවෙන් “ගෑස් කුමරිය” ලෙස නම් ලද ඔහුගේ දූෂිත අගමැති යුලියා ටිමොෂෙන්කෝ ට වැඩි කල් නොගොස් ජන සහයෝගය අහිමි වී ගියේය. 2010 දී, යනුකොවිච් දේශපාලනයට නැවතත් පැමින ජනාධිපතිවරනය ජයග්‍රහනය කර, මොස්කව් සමඟ සමීප සබඳතා යලිත් ඇති කර ගත්තේය.

2013-2014 දී වොෂින්ටනය යලිත් වරක් උත්සාහ කල අතර මෙවර රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් වාඩිලාගත් කියෙව්හි මධ්‍යම චතුරශ්‍රයේ නමට අනුව “ක්‍රීඩාංනයේ විප්ලවය” ලෙස නම් කරන ලද උද්ඝෝෂනයක් සමගය. සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලාන්ඞ් සහ යුක්‍රේනයේ එක්සත් ජනපද තානාපති ජෙෆ්රි පියට් අතර ඇති වූ වගට එලිදරවු වූ කුප්‍රකට දුරකථන ඇමතුමකින්, අවසානයේ යනුකොවිච්ව පිටුවහල් කරනු ලැබූ දක්ෂිනාංශික උද්ඝෝෂනය මෙහෙයවීම සඳහා වූ වොෂින්ටනයේ සෘජු කාර්යභාරය වාර්තා ගත කරන ලදී. සිය අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදය යුක්‍රේනයේ ඩොලර් බිලියන 5 ක් වියදම් කර ඇති බවට නූලන්ඞ් පුරසාරම් දෙඩවීය.

ජනමාධ්‍ය විසින් සහ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන දෙවර්ගයේ ම සෙනෙට් ඔත්තු සේවා කමිටුවේ සාමාජිකයින් විසින් ගුනධර්ම සපිරි හා වෘත්තීයමය පරමාදර්ශ චරිත ලෙස වග වර්නනා කල කෙන්ට්, ටේලර් සහ යොවනොවිච් මෙම දීර්ඝ කාලීන සාපරාධී අධිරාජ්‍යවාදී ව්‍යාපාරයේ උරුමක්කාරයෝ සහ ඒවා පෙරට ගෙනයන්නනෝ වෙති. එයට ප්‍රධාන අරමුනු දෙකක් තිබේ: විශාල ස්වාභාවික සම්පත් ඇති මිලියන 40 කට වඩා වැඩි ජනගහනයක් සිටින රටක් වන යුක්රේනය එක්සත් ජනපද බහුජාතික සමාගම් වල සූරාකෑමට විවෘත කිරීම; සහ නැගෙනහිර යුරෝපය සහ මැදපෙරදිග පුරා රුසියාවට ප්‍රතිමුඛ වීමට හා යුරේසියානු භූමි පදාසය මත ඇමරිකානු අධිපති ස්ථාවරය තහවුරු කිරීමට වොෂින්ටනය ගත් පුලුල් උත්සාහයේ කොටසක් ලෙස රුසියානු දකුනු පාර්ශවයේ ඇමරිකානු ගැති බලකොටුවක් නිර්මානය කිරීමෙන් රුසියාව උපායමාර්ගිකව යටපත් කිරීමය.

යොවානොවිච් සිකුරාදා සිය සාක්ෂිය අතරතුර, වත්මන් ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ ඔහුට පෙර ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ යන දෙදෙනාම යටතේ යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වූ (ස්වදේශ පොලිස් ප්‍රධානී) අර්සන් අවකොව්ට පුද කල ප්‍රශංසාව තුලින් මෙම අතිශය ප්‍රතිගාමී අධිරාජ්‍යවාදී ගැති භූමිකාව ගෙනහැර පෑවේය. දෙවන ලෝක යුද්ධ සමයේ සෝවියට් සංගමයට එරෙහිව නාසීන් සමඟ සහයෝගයෙන් කටයුතු කල යුක්‍රේනියානුවන් උත්කර්ෂයට නැංවෙන අසොව් බලඇනිය වැනි ෆැසිස්ට් මිලීෂියාවන්ගේ ප්‍රධාන අනුග්‍රාහකයකු වන්නේ අවාකොව් ය. වෙනත් වචන වලින් කිවහොත්, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නන් ලෙස මාධ්‍ය තුල වර්නනාවට ලක්වන රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් සැබවින්ම යුක්‍රේනයේ ෆැසිස්ට්වාදීන් සමඟ එක්ව කටයුතු කරයි.

යොවානොවිච් අවකොව්ට ප්‍රශංසා කරන අතරේ එක්සත් ජනපදයේ ආරක්ෂාව සඳහා පෙල ගැසී සිටින සංක්‍රමනිකයන් අතර ඔහුගේ වීරයන් ලෙස කෙන්ට් සඳහන් කලේ, විසිවන සියවසේ දෙවන භාගයේ විශාලතම යුද අපරාධකරුවන් දෙදෙනෙකු වන ස්බිග්නිව් බ්‍රෙසින්ස්කි සහ හෙන්රි කිසිංගර් ය.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මෙම මුල් පෙලේ ක්‍රියාධාරීන්ගේ හා ඔත්තු සේවා අංශ වල උවමනාවන් වෙනුවෙන් කතා කරන ඩිමොක්‍රටිකයින් ගේ මතය වන්නේ ට්‍රම්ප් යුක්රේනය තුල එක්සත් ජනපදයේ දැනටමත් ඉතාමත් අස්ථාවර තත්වය අනතුරට ලක් කරමින් සිටින බවය. මෙය අදාල වන්නේ බිඩෙන්ට සහ ඩිමොක්‍රටිකයින්ට එරෙහිව දේශපාලන උන්ඩ ලබා ගැනීම සඳහා ඔහු සෙලෙන්ස්කිව පීඩාවට පත්කිරීම ට පමනක් නොව කලාපයේ ට්‍රම්ප්ගේ සමස්ත ප්‍රතිපත්තියට මය. 2014 දී රුසියාව ඉන් ඉවත් කෙරුන ජී 8 ඉඳුරා යලි පිහිටුවමින් ඊලඟ ජී 7 සමුලුවට (එක්සත් ජනපදය සත්කාරකත්වය දරන) පුටින්ට ආරාධනා කල යුතු බව ඔහු පවසා ඇති අතර, නාසි ජර්මනියට එරෙහිව සෝවියට් ජයග්‍රහනයේ 75 වන සංවත්සරය සැමරීම සඳහා ලබන මැයි මාසයේ දී මොස්කව් වෙත යාමට ඉඩ ඇතැයි ද සඳහන් කලේය. මිලිටරි ඔත්තු සේවා මෙවලම් වලට අනුව කලින් ඇමරිකානු විශේෂ මෙහෙයුම් භටයන් වාඩිලා සිටි ප්‍රදේශ වලට යාමට තුර්කියට, රුසියාවට සහ අසාද් තන්ත්‍රයට ඉඩ දී ඊසානදිග සිරියාවෙන් එක්සත් ජනපදයට ඉවත්ව යන ලෙස කල ට්‍රම්ප්ගේ නියෝගයෙන් පසු වහාම ඔහු අයිඑස්අයිඑස් නායක අබු බකර් අල්-බග්ඩාඩි ඝාතනය කිරීමේ එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් සම්බන්ධයෙන් ලද රුසියානු සහයෝගීතාවයට ප්‍රශංසා කිරීම ඊටත් වඩා භයානක ය..

බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවක දී සභා කථානායක නැන්සි පෙලෝසි දෝෂාභියෝග මෙහෙයුමේ දී විදේශ ප්‍රතිපත්ති වෙත අවධානය එල්ල වීම ගැන අවධාරනය කලේය. දෝෂාභියෝගයේ චෝදනා පාර්ලිමේන්තුවේ ඡන්දයකට ගෙන ඒමට සහ සෙනෙට් නඩු විභාගයකට බල කිරීමට ඩිමොක්‍රටිකයින් සඵල ලෙස බැඳමින් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය ජනාධිපති රිචඞ් නික්සන්ට ඉල්ලා අස්වීමට බල කෙරුන වෝටර්ගේට් වංචාවට වඩා බෙහෙවින් නරක බව ඇය පැවසුවාය.

පෙලෝසි, “සියලු‍ මාර්ග පුටින් වෙතට යොමු වෙයි” යන වාක්‍ය ඛන්ඩය පුනරුච්ඡාරනය කලේ ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිමය තීරන වල (යුක්‍රේනයෙන් මිලිටරි ආධාර අත්හිටුවීම ඇතුලුව) රුසියානු ජනාධිපතිවරයාට වාසිදායක වීමේ පොදු හුය පටක් ඇති බව අදහස් කරමින්ය. වෙනත් වචන වලින් කිවහොත්, 2016 ජනාධිපතිවරනයේ දී මොස්කව්හි දැවැන්ත මැදිහත්වීමක් පිලිබඳ ව්‍යාජ ප්‍රකාශ මත පදනම් වූ රුසියානු විරෝධී උද්ඝෝෂනය ඇය නව වේශයකින් යලි ප්‍රානවත් කරමින් සිටියාය.

රුසියාව, යුක්රේනය සහ මැදපෙරදිග සම්බන්ධ විදේශ ප්‍රතිපත්ති වෙනස්කම් සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක ආයතන සමඟ ඇති ඔහුගේ ගැටුමට මුලුමනින් ම සීමා කරමින් ට්‍රම්ප්ගේ සැබෑ අපරාධ සියල්ල දෝෂාභියෝග පරීක්ෂනයේ විෂය පථයෙන් බැහැර කිරීමට ඩිමොක්‍රටික් නායකත්වය අධිෂ්ඨාන කරගෙන සිටී. ට්‍රම්ප් සංක්‍රමනිකයින්ට හිංසා පීඩා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රහාර, ධනවතුන් සඳහා ඔහු විසින් කරන ලද බදු කප්පාදුව සහ ජාතිවාදී හා ෆැසිස්ට් ව්‍යාපාරයක් ගොඩනැගීමට ඔහු දරන උත්සාහය සම්බන්ධයෙන් 2020 මැතිවරනය තෙක් බලා සිටිය හැකි බව පෙලෝසි විසින්ම නැවත නැවතත් ප්‍රකාශ කර තිබේ. මෙම තීරනාත්මක කාරනය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති වෙනස් කිරීමට බල කිරීම මිස ට්‍රම්ප් ඉවත් කිරීම ඔවුන්ගේ අරමුන නොවන අතර වොෂිංටනයේ රුසියානු විරෝධී විදේශ ප්‍රතිපත්තියේ සම්මුතියෙන් ඔහු බිඳී යාම නිසා පමනක් දෝෂාභියෝගය වැනි වඩාත් දැඩි පිලියමක් අවශ්‍ය වේ.

“ජනාධිපතිට ඇති ප්‍රතිපත්තියට එදිරිව උමතුව” යන මාතෘකාව යටතේ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති විශේෂඥ හා සීඅයිඒ යේ, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ පෙන්ටගනයේ උත්සුකයන් සඳහා නිතර හැඬවෙන හොරනෑවක් වන ඬේවිඞ් සැන්ගර් විසින් කරන ලද විශ්ලේෂනයක දී දෝෂාභියෝගය සහ විදේශ ප්‍රතිපත්තියේ වෙනස්කම් අතර ඇති සම්බන්ධය සිකුරාදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මුල් පිටුවේ දක්වා තිබේ.

මෙය වඩාත් බරපතල කාරනා සම්බන්ධ වූවක් ලෙස ඉදිරිපත් කරමින් සැග්නර් නික්සන් සහ බිල් ක්ලින්ටන්ට එරෙහිව ගෙන යන ලද දෝෂාභියෝග මෙහෙයුම වර්තමාන මෙහෙයුම සමග සසඳන්නේ වෝටර්ගේට් සිද්ධිය වත් ක්ලින්ටන් ලිංගික සෝලියවත් “ඇමරිකාවේ ජාතික අවශ්‍යතාවන්ට ඔවුන්ගේ යුගවල තිබුන බරපතල ම භූදේශපාලනික ගැටුම් සමග ඈඳුනේ වත් නැති” බව කියමිනි.

වියට්නාමයේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරාජයෙන් කෙලින්ම පැනනැඟු‍න සහ දැවැන්ත දේශපාලන ඔත්තු බැලීම් හරහා යුද විරෝධී හැඟීම් මැඩපැවැත්වීම සඳහා නික්සන් දැරූ වියරු උත්සාහයන්, පෙන්ටගන් පත්‍රිකා ප්‍රකාශයට පත් කිරීම වැලැක්වීමේ වෑයම සහ අවසානයේ ඩිමොක්‍රැටික් ජාතික කමිටුවේ කාර්යාල වලට හොරෙන් රිංගීම සමග හෙලි වූ නික්සන් සහ වෝටර්ගේට් සම්බන්ධිතව මෙම තක්සේරුව විලම්බීතයකි.

එහෙත් ට්‍රම්ප් දෝෂාභියෝගයේ පරදුවට තබා ඇති සැබෑ විදේශ ප්‍රතිපත්තිමය ගැටලු‍ සැන්ගර් විසින් කැපීපෙනෙන ලෙස අමු අමුවේ ප්‍රකාශ කරයි. ඔහු මෙසේ ලියයි, “වෙනත් ආකාරයකින් බෙදී ඇති වොෂිංටන්හි, පසුගිය වසර හය තුල ද්විපාර්ශවීය එකඟතාවයේ කාරනා කිහිපයෙන් එකක් වන්නේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් වී. පුටින්ගේ පුලුල් කඩාකප්පල්කාරී සැලැස්මට එරෙහි වීම ය. එම උත්සාහය ආරම්භ වන්නේ වසර පහක් තිස්සේ නැගෙනහිර දෙස ජංජාලයක්ව පවතින යුක්‍රේනයෙන්ය”

සැන්ගර්ට අනුව ට්‍රම්ප් පෙන්ටගනයේ මූලෝපායික තක්සේරුවක දී එක්සත් ජනපදයේ ප්‍රමුඛතාවය ලෙස විශේෂයෙන් චීනය සහ රුසියාව වෙත යොමු වන “මහා බල තරඟය” මගින් “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” අභිබවා ගොස් ඇති බව ප්‍රකාශ කල ඔහුගේම පරිපාලනය විසින් සකසන ලද රුසියාවට එරෙහි ප්‍රතිපත්තිය පාවා දී ඇත. යුරෝපා සංගමයේ එක්සත් ජනපද තානාපති ගෝර්ඩන් සොන්ඞ්ලන්ඞ්ගේ ප්‍රකාශයේ දැක්වෙන පරිදි ඔහු මෙම ප්‍රතිපත්තිය තම පෞද්ගලික, මැතිවරන අවශ්‍යතා වෙනුවෙන් කැප කලේය, “ජනාධිපති ට්‍රම්ප් යුක්රේනය සහ රුසියාව අතර මිලිටරි ගැටුමට වඩා බිඩෙන්ගේ විමර්ශනය ගැන වැඩි සැලකිල්ලක් දක්වයි”.

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග ව්‍යාපාරයේ ස්වල්ප වශයෙන් හෝ ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ගතයක් නොමැත. මෙය වැඩකරන ජනතාවට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ට්‍රම්ප්ගේ ප්‍රතිගාමී ප්‍රහාරවලින් එකක්වත් ආපසු හැරවීමේ උත්සාහයක් නොවේ. එය අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තියේ දිශාවනතිය සම්බන්ධයෙන් ඇමරිකානු පාලක ප්‍රභූවේ ප්‍රතිගාමී කල්ලි දෙකක් වන ෆැසිස්ට් ට්‍රම්ප් සහ සීඅයිඒ පිටුබලය ලත් ඩිමොක්‍රටික් පාක්ෂිකයින් අතර ගැටුමකි.

ඇමරිකානු කම්කරුවන්ට මේ කල්ලි දෙකෙන් එකක්වත් පිටුපසින් පෙල ගැසී සිටිය නොහැකි අතර සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමගිය සඳහා වන අරගලය මත පාදකව අධිරාජ්‍යවාදී ආධිපත්‍යය, කඩාකප්පල් කිරීම සහ කොල්ලකෑම යන විදේශ ප්‍රතිපත්තියට පටහැනිව තමන්ගේම විකල්ප පිලිවෙතක් ඉදිරිපත් කල යුතුය.

පැට්‍රික් මාටින්

ලියුම්කරු අනුමත කරන ලිපි

ඇමරිකානු ෆැසිස්ට්වාදය එපා! ට්‍රම්ප් බලයෙන් පහකිරීම සඳහා මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න!

Share this article: