බ්ලූම්බර්ග් සහ ඔහුගේ කතිපයාධිකාරී සගයන් නීතිය පනවයි: බදු සඳහා තව සතයක්වත් දිය යුතු නැත

Bloomberg and his fellow oligarchs lay down the law: Not a penny more in taxes

2019 නොවැම්බර් 14

ඇමරිකාව සතු කර ගෙන ඇති සහ එය තමන්ගේ නින්දගම් ප්‍රදේශය ලෙස සලකන බිලියනපතියන් බොහෝ දෙනෙක් ඔවුන්ගේම අයෙක් වන, පසුගිය සතියේ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරඟ කිරීමේ හැකියාව ප්‍රකාශයට පත් කල, මයිකල් බ්ලූම්බර්ග් පිටුපස පෙල ගැසී ඇත.

නිව් යෝර්ක්හි තුන් වතාවක් හිටපු නගරාධිපති සහ බ්ලූම්බර්ග් නිවුස්හි නිර්මාතෘ වන බ්ලූම්බර්ග්ගේ වටිනාකම ඩොලර් බිලියන 53 ක් වන අතර ඔහු ධනවත් ඇමරිකානුවන්ගේ ලැයිස්තුවේ නවවන ස්ථානය ගනී. හිටපු උප ජනාධිපති ජෝ බිඩෙන්ට නාමයෝජනා භාර දී ඇති බව විශ්වාස කල නිසා තමන් ඉදිරිපත් වන්නේ නැති බවට පසුගිය මාර්තු මාසයේදී කල නිවේදනය ආපසු හරවමින්, ඔහු තමන් තරඟයට පිවිසීමට පියවර ගනිමින් සිටින බව දැන ගැනීමට ඉඩ හැරීයේ අවසන් තීරනයකට ඉඩ තබා ගනිමින්‍ ය.

ඔහුගේ නිවේදනය හදිසියෙන් මතු කිරීමට හේතු වූයේ, වර්තමාන අපේක්ෂකයින් අතරින් ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතය සහ වෝල් වීදිය අනුග්‍රහය දක්වන දක්ෂිනාංශිකයා වන බිඩෙන් පරයමින් එලිසබෙත් වොරන් ජන මත විමසීම්වලදී ඉහල යාමයි. පලමු ප්‍රාථමික ප්‍රාන්ත දෙක වන අයෝවා සහ නිව් හැම්ප්ෂයර්හි වොරන් ඉදිරියෙන් සිටින බව මත විමසීම් වලින් පෙනී යන අතර බිඩෙන් බුටිගිග් සහ සැන්ඩර්ස් පසුපසින් සිව්වන ස්ථානයට පත්ව ඇත.

මයිකල් බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කථා කරයි (ඒපී ඡායාරූපය / ජෝන් ලොචර් ගොනුව)

දෙවන සිදුවීම නම්, “සියල්ලන්ට මෙඩිකෙයාර්” සැලැස්මේ කොටසක් ලෙස ඩොලර් බිලියනයකට වඩා වැඩි ධනය සඳහා සියයට 6 ක බද්දක් වොරන් විසින් නොවැම්බර් 1 වන දින නිවේදනය කිරීමයි. එම බද්ද ඩොලර් මිලියන 50 ට වැඩි වත්කම් හිමිකරුවන්ට පැනවීමට යෝජිත සියයට දෙකක බද්දට තවත් අමතරවය.

මෙම බදු දෙකම මහා ව්‍යාපාරික පක්ෂ දෙකෙන් එකක් වත් සම්මත නොකරන බව වොරන් දනී. එය බර්නි සැන්ඩර්ස්ටද සත්‍ය වෙයි. ඔහු ධනවතුන් මත බදු වැඩි කිරීම මගින් “සියල්ලන්ට මෙඩිකෙයාර්” තම සැලැස්ම සඳහා වැය වන මුදලින් කොටසක් සපයා ගන්නා බව කියා පායි. වැඩෙන කම්කරු පන්තියේ ප්‍රතිරෝධය සහ ධනවාදී විරෝධී හැඟීම් දියකර හරිමින් යටපත් කරගත හැකිවීමට ඩිමොක්‍රටික් පක්ෂය පිටුපස අවමංගත කිරීම සඳහා අපේක්ෂකයින් දෙදෙනාම ජනතාවාදී වාචාලකම්වල යෙදීගෙන සිටිති.

එහෙත්, සුපිරි ධනවතුන්ගේ ලෝකයේ වෙසෙන නූතන වංශාධිපතියෝ හා පතිනියෝ සෞඛ්‍ය රැකවරනය, අධ්‍යාපනය, නිවාස හා ජීවත්විය හැකි පරිසරය වැනි දේ වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා තම ධනයෙන් කොටසක් අතහැර දැමීමට ඇති හැකියාව ගැන කෝප වෙති. සමාජ අසමානතාවයේ දැවැන්ත මට්ටම්වලට එරෙහිව මහජන කෝපය විප්ලවවාදී නැගිටීම් තුලින් පුපුරා යෑමෙ හැකියාව ගැන ඔවුහු භ්‍රාන්තව සිටිති.

“මගේ ඇටකටුවලටම ධනපතියෙකු” යනුවෙන් ස්වයං විස්තර කල වොරන්ට හෝ දීර්ඝකාලීන ඩිමොක්‍රටික් පක්ෂ ක්‍රියාකාරිකයෙකු වන සැන්ඩර්ස්ට, ප්‍රතිසංස්කරන යෝජනා විසින් සමාජ විරෝධය දිරිගැන්වීමේ සඳහා ඇති හැකියාවට තරම් සුපිරි ධනපතියෝ බිය නොවෙති. මොවුන්ට අවශ්‍ය වන්නේ සමාජ අසමානතාව පිලිබඳ ප්‍රශ්නය 2020 මැතිවරනයෙන් බැහැර කිරීම සඳහා ඔවුන්ගේ අපේක්ෂකත්වය අවහිර කිරීමටයි.

මෙම පරපෝෂිත ප්‍රභූ පැලැන්තියට නාස්ති වන ධනයේ මට්ටම තේරුම්ගත නොහැකි තරම් ය. ආර්ථික විද්‍යාඥ බ්‍රැන්කෝ මිලානොවික් විසින් 2016 දී සිය ගෝලීය අසමානතාව යන කෘතියේ මෙසේ සඳහන් කලේය:

බිලියනයක් වැනි සංඛ්‍යාවකින් සැබවින්ම අදහස් කරන්නේ කුමක්දැයි වටහා ගැනීම ඉතා අපහසුය. එය සැබවින්ම ඉතා විශාල මුදලකියි යන්න හැරුනුකොට, ඩොලර් බිලියනයක් යන්න පෘථිවියේ සිටින සෑම කෙනෙකුගේම පාහේ සුපුරුදු අත්දැකීමට පිටින් ඇති අතර එයින් ගම්‍ය වන ප්‍රමානය පහසුවෙන් වටහා ගත නොහැකිය. දැන් ඔබට ඩොලර් මිලියනයක් හෝ ඩොලර් බිලියනයක් උරුම වී ඇතැයිද සහ ඔබ දිනකට ඩොලර් 1,000 ක් වියදම් කල බවද සිතමු. පලමු අවස්ථාවේ දී ඔබේ උරුමය වැය කිරීමට ඔබට වසර තුනකටත් අඩු කාලයක් ගතවනු ඇති අතර, දෙවන අවස්ථාවෙහිදී ඔබේ උරුමය වාෂ්ප කර හැරීමට වසර 2,700 කට වඩා (එනම් හෝමර්ගේ ඉලියඩ් වෙතින් අපව වෙන් කරන කාලය) ගත වේ.

එහෙත්, එක්සත් ජනපදයේ ඩොලර් බිලියනයකට වඩා වැඩි වත්කමක් ඇති පුද්ගලයින් 607 ක් සිටිති.

ගබ්සාව, තුවක්කු පාලනය සහ පරිසරය වැනි ඊනියා සමාජ ගැටලු පිලිබඳ ලිබරල්වාදියෙකු වන බ්ලූම්බර්ග් කම්කරු පන්තියේ දරුනු සතුරෙකි. 2002 සිට 2014 දක්වා නිව්යෝර්ක් නගරාධිපතිවරයා වශයෙන් ඔහු නගර සේවකයින්ට ප්‍රහාර එල්ල කරමින්, ගුරුවරුන් දහස් ගනනක් සේවයෙන් ඉවත් කරමින්, සමාජ සුභසාධන වැඩසටහන් කපා හරිමින්, කම්කරු පන්තියේ සිට වෝල් වීදිය කරා නගර ඉතිහාසයේ විශාලතම ධනය මාරු කිරීමේ කාර්යයේ මුලසුන දැරීය. කම්කරු පංතියේ තරුන තරුනියන්ට එරෙහිව කෲරත්වය ක්‍රියාවේ යෙදවීමට පොලීසිය දිරිගැන්වූ වෛරයට බඳුන්වූ “නවත්වා සෝදිසි කිරීමේ” ප්‍රතිපත්තිය ඔහු පුලුල් කලේය.

පසුගිය ජනවාරියේදී ඔහු ඩොලර් මිලියන 50 ට වැඩි ධනයට බදු අය කිරීමේ වොරන් ගේ යෝජනාව “බොහෝ විට ව්‍යවස්ථා විරෝධී” යැයි හෙලා දුටුවේය. ට්‍රම්ප්ගේ සමාජවාද විරෝධී ප්‍රචාරය ප්‍රතිරාවය කරමින් ඔහු එම සැලැස්ම බැරෑරුම් ලෙස අනුගමනය කිරීමෙන් “රටේ සමෘද්ධිය විනාශ කල හැකි” බවට අනතුරු ඇඟවූ අතර වෙනිසියුලාවට ඇඟිල්ල දිගු කලේ “සමාජවාදයේ” අසාර්ථකත්වය යැයි කියනු ලැබෙන්න ගැන උදාහරනයක් ලෙසය.

පසුගිය මාස කිහිපය තුල අවම වශයෙන් බිලියනපතියන් 16 දෙනෙකුවත් ධනවතුන් සඳහා වන බද්දක් සඳහා වූ යෝජනා වලට විරුද්ධ වී තිබේ. වොරන්ගේ මෙඩිකෙයා සැලැස්ම නිකුත් කිරීමෙන් පසු මෙම ගායනය වඩාත් උච්ඡ හඬින් වර්ධනය වී තිබේ.

ජේපී මෝර්ගන් ප්‍රධාන විධායක නිලධාරි ජේමි ඩිමොන්, “නිදහස සහ නිදහස් ව්‍යවසාය එකිනෙකට හුවමාරු කල හැකි” බව ප්‍රකාශ කරමින්, වොරන් “සාර්ථක පුද්ගලයින් අපකීර්තියට පත් කරන” බවට පසුගිය සතියේ සීඑන්බීසී මගින් මැසිවිලි නැගී ය.

පුද්ගලික ධනය ඩොලර් බිලියන 108 ක් වන - ඔහුගේ වොෂිංටන් පෝස්ට් පුවත් පත , ධනය මත බදු , හරිත නව ගනුදෙනුව සහ වෙනත් යෝජිත ප්‍රතිසංස්කරන හෙලා දකිමින් කතුවැකි මාලාවක් පල කර ඇති - ජෙෆ් බෙසෝස්ට පසු එක්සත් ජනපදයේ දෙවන තැන ගන්නා මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පසුගිය සතියේ පැවසුවේ, "මම හිතන්නේ ඔබ වැඩිපුර බදු අය කරන්නේ නම්, ප්‍රාග්ධනය ගොඩනැගීම, නවෝත්පාදනයන්, එක්සත් ජනපදය නවෝත්පාදන සමාගම් කිරීමට සුදුසුම ස්ථානය ආදිය ඔබ අවදානමට ලක් කරන බවයි."

වොරන් “යථාර්ථයෙන් අවධානය වෙනතකට හැරවීම සඳහා දිලිසෙන වස්තූන් විකුනමින් සිටින” බව ට්වීට් මගින් දැක්වූ බිලියනපති මාක් කියුබන්, ඇයගේ වැඩසටහනේ පිරිවැය ගැන ඡන්දදායකයින් “නොමඟ යවන” බවට චෝදනා කලේය.

ඩොලර් බිලියන 3.2 ක් වටිනා හෙජ් අරමුදල් (ආයෝජන රක්ෂන අරමුදලේ) හිමිකරු ලියොන් කූපර්මන් සීඑන්බීසී නාලිකාවෙහි පෙනී සිටිමින් පැවසුවේ, “එලිසබෙත් වොරන් හෝ රජය මගේ මුදල් බෙදාදීම මට අවශ්‍ය නොවේ. [වොරන්] සහ බර්නි සැන්ඩර්ස් සදාචාරාත්මක හා සමාජීය වශයෙන් බංකොලොත් අදහස් රාශියක් මහජනයාට ඉදිරිපත් කරති.” යනුවෙනි. දින කිහිපයකට පසු ඔහු බ්ලූම්බර්ග්ගේ විභව්‍ය (විය හැකි) අපේක්ෂකත්වය සඳහා තම සහාය ප්‍රකාශයට පත් කලේය.

ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයේ හොරනෑව වන නිව්යෝර්ක් ටයිම්ස්, වෝල් වීදියේ මූල්‍යකරු -සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද දූෂන චෝදනා හේතුවෙන් ඔටෝ කාර්ය සාධක බලකායෙන් (ඔටෝ ටාස්ක් ෆෝස්) ඉවත් කෙරෙන තෙක් ඔබාමාගේ 2009 ජීඑම් සහ ක්‍රයිස්ලර් සමාගම්වලට ඇප ලබා දීමට නායකත්වය දුන් ස්ටීවන් රැට්නර්ගේද ඇතුලු- වොරන්ගේ ධන බදු යෝජනාව හෙලා දකිමින් කතුවැකිය-ඉදිරිපස-ලිපි (op-ed) කිහිපයක් පල කලේය. ඔහු මන්ඩලයේ සිටියදී, අලුතින් බඳවා ගත් ජීඑම් සහ ක්‍රයිස්ලර් කම්කරුවන්ගේ වැටුපෙන් සියලුම දේට අදාල වන සියයට 50 ක කප්පාදුවක් පැනවීය.

නමුත් කතිපයාධිකාරීන් කෙරෙහි අධික යටහත්පත්කමක් දැක්වීම, කම්කරු පන්තිය කෙරෙහි ඇති කුරිරුකම සහ සමාජ නොසන්සුන්තාවයෙන් බේරීමට ඒකාධිපති ගැලවුම්කරුවෙකු සඳහා ඇති ආශාව නිසා, “මම මයික්ට කැමති ඇයි” යන මාතෘකාව යටතේ ටයිම්ස් හි පලවූ තෝමස් ෆ්‍රීඩ්මන් විසින් ලියැවුනු මේ සතියේ තීරුව පරාජය කිරීම දුෂ්කර ය.

ව්‍යවසායකයින් හා ව්‍යවසායකත්වය උත්සවාකාරයෙන් සැමරීම හා වර්ධනය කිරීම” සඳහා ඔහු කැඳවුම් කරමින් මෙසේ ලියයි: “මට අවශ්‍ය වන්නේ මේ සියලු අරමුනු ප්‍රවර්ධනය කිරීමට සූදානම් ඩිමොක්‍රටික් අපේක්ෂකයෙකු මිස අපගේ වඩාත්ම සාර්ථක ව්‍යවසායකයින් යක්ෂාවේශ ගැන්වීම මගින් (සමාජ) පාදම කුපිත කිරීමට උත්සාහ කරන අයෙකු නොවේ. … වැඩි වැඩියෙන් ඩිමොක්‍රටික වම රැකියා නිර්මාපකයින්ගේ සමස්ත කන්ඩායමටම සතුරු බවක් දක්වයි. ඔවුන් ව්‍යාපාර විරෝධී පක්ෂයක් මෙන් හඬ නංවයි. … ඩිමොක්‍රටිකයන්ට ද ශක්තිය පෙන්විය හැකි අපේක්ෂකයෙකු අවශ්‍ය ය. මිනිසුන් පීඩනයට හා බියට පත්වන විට ඔවුන්ට ශක්තිමත් නායකයෙක් අවශ්‍ය කරයි.”

මෙය වන්නේ වෝල් වීදියේ වාර්තාගත කොටස් මිල ගනන් සහ සමාජ අසමානතාවයේ දිනෙන් දින ඉහල යන කොන්දේසි යටතේ ය. ආර්ථික විද්‍යාඥ ගේබ්‍රියෙල් සුක්මන් විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙලි වූයේ ධනවත් ඇමරිකානුවන් 400 දෙනා රටේ පහලම සියයට 60 හි වැඩිහිටියන් මිලියන 150 සතු ධනයට වඩා වැඩි ප්‍රමානයක් හිමි කර ගෙන ඇති බවයි. 1980 දශකයේ සිට කතිපයාධිකාරීන්ගේ පංගුව තුන් ගුනයකින් වැඩි වී තිබේ.

අසාධාරනය පිලිබඳ විජයග්‍රහනය, නමැති ඔවුන්ගේ නව පොතේ, සුක්මන් සහ සායිස්, 2018 දී, එක්සත් ජනපද ඉතිහාසයේ ප්‍රථම වතාවට, ධනවත්ම කුටුම්භයන් අනෙක් සෑම ආදායම් කාන්ඩයකට වඩා - ෆෙඩරල්, ප්‍රාන්ත සහ දේශීය - බදු වලින් අඩු බදු අනුපාතයක් ගෙවා ඇති බව පෙන්නුම් කරයි. 1980 සිට ඇමරිකාවේ ධනවතුන් සඳහා වන සමස්ත බදු අනුපාතය අඩකින් කපා දමා සියයට 47 සිට අද සියයට 23 දක්වා පහත වැටී ඇත.

එක්සත් ජනපදය කිසිදු සැබෑ අර්ථයකින් ප්‍රජාතන්ත්‍රවාදයක් නොවේ. එය තුනී එහෙත් ඇදහිය නොහැකි ලෙස ධනවත් ප්‍රභූවක් විසින් ආර්ථික හා දේශපාලනික වශයෙන් ආධිපත්‍යය දරන කතිපයාධිකාරී සමාජයකි.

කතිපයාධිකාරීන් තමන්ගේ සම්පත්තීන්ගෙන් කොටසක් කපා හැරීමේ සැන්ඩර්ස් සහ වොරන්ගේ මලානික යෝජනා වලට දැක්වූ රෞද්‍ර ප්‍රතිචාරය අවධාරනය කරන්නේ ධනවාදයේ රාමුව තුල බරපතල ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කිරීම පිලිබඳ ඔවුන්ගේ කතාවේ බංකොලොත් භාවයයි. සැන්ඩර්ස්ගෙ කරත්තය මතට කකුල් දෙකෙන්ම පැන ගෙන ඇති ඇමරිකාවේ ඩිමොක්‍රටික් සමාජවාදීන් සහ සමාජවාදී විකල්පය වැනි ව්‍යාජ වාම සංවිධාන පිලිබඳවද මෙය ම සත්‍ය වන අතර අතර , ඔවුන් , වොරන් නාමයෝජනා දිනා ගන්නේ නම් ඇය වෙත මාරු වනු ඇති බවට සැකයක් නැත.

සංගත-මූල‍්‍ය වංශාධිපතියන් විසින් සමාජය මත හෙලා ඇති ග්‍රහනය සෘජුවම බිඳ දැමීමකින් තොරව සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, නිවාස, පරිසරය සහ යුද්ධයේ හදිසි ගැටලු වලට විසඳුම් සෙවිය නොහැක. ඔවුන්ගේ ධනය අත්පත් කර ගත යුතු අතර ජනගහනයෙන් අතිමහත් බහුතරයක් වන කම්කරු පන්තියේ සමාජ අවශ්‍යතා තෘප්තිමත් කිරීම සඳහා ඒවා යොමු කල යුතුය.

සංගත සහ බැංකු පෞද්ගලික ග්‍රහනයෙන් ඉවතට ගෙන කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ මහජනයාට අයත් උපයෝගීතාවන් බවට පරිවර්තනය කරනු ලැබිය යුතු අතර එමඟින් භාන්ඩ නිෂ්පාදනය හා බෙදා හැරීම පුද්ගලික ලාභය සඳහා නොව තාර්කිකව හා මානුෂීයව මානව අවශ්‍යතා සපුරාලීම සඳහා සංවිධානය කල හැකිය.

මෙය විප්ලවීය කාර්යයකි. එහි ජයග්‍රහනය සඳහා යතුර වන්නේ එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව වැඩෙන පන්ති අරගලයයි. මෙම ව්‍යාපාරය පුලුල් වනු ඇත, නමුත් එයට සවිඥානික දේශපාලන නායකත්වයක් අවශ්‍යය. සමාජවාදයේ අවශ්‍යතාවය දකින අය සමාජවාදී සමානතා පක්ෂයට බැඳී එම නායකත්වය ගොඩනැගිය යුතුය.

බැරී ග්‍රේ

Share this article: