ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනය: පොලිස්-රාජ්‍ය පාලනයකට මාරුවීමේ පියවරයන්ට එරෙහි ව සටන් කිරීමට කම්කරුවන් සූදානම් විය යුතු යි

Sri Lankan presidential election: Workers must prepare to fight moves towards police-state rule

කේ. රත්නායක විසිනි, 2019 නොවැම්බර් 16

ගැඹුරු වන දේශපාලන, ආර්ථික හා සමාජ අර්බුදයක් මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ මිලියන ගනනක් ජනයා අද දින ජනාධිපතිවරනයේ දී ඡන්දය ප්‍රකාශ කරති.

ප්‍රධාන ධනේශ්වර අපේක්ෂකයන් දෙදෙනා වන පාලක එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සජිත් ප්‍රේමදාස හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) ගෝඨාභය රාජපක්ෂ මහජනයා රැවටීම පිනිස විවිධාකාර ව්‍යාජ පොරොන්දු දෙන අතර “ශක්තිමත් ආන්ඩුවක්” ස්ථාපිත කරන බවට පාලක පන්තියට සහතික වී ඇත.

අයිඑස්අයිඑස් පිටුබලය ලත් ජාතික තවුහීත් ජමාත් සංවිධානය විසින් අප්‍රේල් 21දා එල්ල කෙරුනු ත්‍රස්තවාදී ප්‍රහාර මෙම අපේක්ෂකයන් දෙදෙනා ම යොදාගෙන ඇත්තේ, ඔවුන්ගේ ප්‍රමුඛතාව දැන් “ජාතික ආරක්ෂාව,” “නීතිය හා සාමය” හා “විනයගරුක සමාජයක්” ශක්තිමත් කිරීම යයි ප්‍රකාශයට පත්කිරීම සඳහා ය.

පොලිස්-රාජ්‍ය පාලන ක්‍රමයන් වර්ධනය කිරීම පිනිස සංඥා පදයන් වන “ශක්තිමත් ආන්ඩුවක්” සඳහා වන ඉල්ලීම, කම්කරු පන්තියේ වැඩෙන වර්ජන හා විරෝධතා කෙරෙහි භීතියට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ධනපතියන්ගේ ප්‍රතිචාරය යි. ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ අනවරත දකුනට හැරීම පන්ති අරගල පැන නැගීමත් සමග සෑම රටක ම පාලක පන්තීන් ගනිමින් සිටින පියවරයන්හි පිලිබිඹුවකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ වත්මන් ආන්ඩුව 2015 දී බලයට පැමිනියේ, වොෂින්ටනය විසින් ක්‍රියාවට දැමූ දේශපාලන මෙහෙයුමක් හරහා ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට චීනය සමග ඇතිකරගෙන තිබූ සබඳතාවන්ට විරුද්ධ වූ එක්සත් ජනපදයට ඔහු බලයෙන් ඉවත් කිරීම අවශ්‍ය විය. ව්‍යාජ-වම, “සිවිල් සමාජ” කන්ඩායම් හා ශාස්ත්‍රාලිකයන් ස්ථරයක් මෙම දේශපාලන තන්ත්‍ර-මාරුව වැලඳගත්තේ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව රාජපක්ෂ ආන්ඩුව යුද සමයේ කල අපරාධයන් සහ දිවයින පුරා ප්‍රජාතන්ත්‍ර හා සමාජ අයිතීන් මර්දනය කිරීම් කෙරෙහි වූ මහජන විරෝධය සිරිසේන මැතිවරනයෙන් දිනවීම සඳහා ඔහු වෙතට හරවා යවමිනි.

මුදල් හිඟයෙන් පෙලු‍නු සිරිසේන-වික්‍රමසිංහ පාලනය වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නය ඉල්ලාගෙන එහි කප්පාදු නියෝග පැටවීමට පොරොන්දු විය. එහෙත් පාලක පක්ෂ 2018 පෙබරවාරියේ පලාත් පාලන මැතිවරනයේ දී අන්ත පරාජයකට මුහුන පෑ අතර ආන්ඩුවේ සමාජ ප්‍රහාර කෙරෙහි වූ මහජන විරෝධය රාජපක්ෂ නායකත්වය දෙන ශ්‍රීලපොපෙ විසින් ගසාකෑවේය.

සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ගිය කන්ඩායමක් විසින් තනාගත් ශ්‍රීලපොපෙ, ආරම්භයේ පටන් ම සිංහල ප්‍රජාගනවාදය ඇවිලවීම සඳහා බෞද්ධ අන්තවාදීන් සමග ක්‍රියාකලේ ය. එල්ටීටීඊයට එරෙහි මිලිටරි ජයග්‍රහනය පාවා දී ඇති බවටත් මානව හිමිකම් කන්ඩායම්වල ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් සන්නද්ධ හමුදා දඩයම් කරන බවටත් එය ආන්ඩුවට චෝදනා කලේ ය.

පසුව වික්‍රමසිංහ සමග සභාගයෙන් බිඳුනු සිරිසේන, 2018 ඔක්තෝබරයේ හදිසියේම ඔහු අගමැති ධුරයෙන් නෙරපා රාජපක්ෂ එම තනතුරට පත්කලේ ය. සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රනයේ ප්‍රකාශිත අරමුන වූයේ “ශක්තිමත් ආන්ඩුවක්” ස්ථාපිත කිරීම යි. රාජපක්ෂ චීන-හිතවාදී යයි සැලකූ වොෂින්ටනය ඔහු යලි බලයට පත්වීමට විරුද්ධ වීමත් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරනය පාර්ලිමේන්තුව විසිරවීම අවලංගු කිරීමත් නිසා එම කුමන්ත්‍රනය අසාර්ථක විය.

වැඩෙන වැඩ වර්ජන රැල්ල හා ඉහල යන ආන්ඩු-විරෝධී මනෝගතිය මධ්‍යයේ සිදු වූ අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාර, කොලඹ ප්‍රභූවේ සෑම කන්ඩායමක් විසින් ම ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී න්‍යාය පත්‍රයන් ඉදිරියට දැමීම සඳහා ඩැහැගත්තේ ය.

සිරිසේන විසින් හදිසි නීති පැනවීමට හා රටපුරා මිලිටරිය දිගේලි කිරීමට ශ්‍රීලපොපෙ පූර්න අනුමැතිය දුන්නේ, අනෙක් අතට ආන්ඩුව මිලිටරි ඔත්තු සේවා යාන්ත්‍රනය දුර්වල කර ඇති බව හා ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලට මග පාදා ඇති බවට චෝදනා කරමිනි.

ඉන් අනතුරු ව ශ්‍රීලපොපෙ මහින්දගේ සහෝදරයා වූ ගෝඨාභය රාජපක්ෂ එහි ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කලේ ය. මිලිටරියේ කොටස්, බලගතු මහ ව්‍යාපාරික හා පුද්ගලික මාධ්‍ය කන්ඩායම්, රාජ්‍ය නිලධරය තුල ස්ථර සහ බොදු බල සේනා වැනි සිංහල වර්ගවාදී හා ෆැසිස්ට්වාදී කන්ඩායම් විසින් ඔහුට පිටුබලය දෙනු ලැබේ.

හිටපු ආරක්ෂක ලේකම් වන ගෝඨාභය රාජපක්ෂ, 2009 මැයි මාසයේ දී එල්ටීටීඊයට එරෙහි යුද්ධය “ජයග්‍රහනය කිරීම” උත්කර්ෂයට නංවනු ලැබේ. එක්සත් ජාතීන්ගේ වාර්තාවන්ට අනුව, කුරිරු ප්‍රහාරයේ අවසන් මාස කිහිපයේ දී අවම වසයෙන් දෙමල සිවිල් වැසියන් 40,000ක් මරා දමා තවත් බොහෝ දෙනෙක් අතුරුදන් කරන ලදී.

දිවයිනේ දකුනේ, කම්කරුවන්ගේ හා දුගීන්ගේ වැඩ වර්ජන හා විරෝධතා මැඩීමට මිලිටරිය හා පොලීසිය දිගේලි කරන ලද අතර, ආන්ඩුවට විවේචනය කිරීමට ඉදිරිපත්වීම නිසා සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම ඇතුලු‍ ජනමාධ්‍යවේදීන්ට පහර දීම් සිදු විය. පාලක ප්‍රභූවේ කොටස්වලට අනුව, මෙම ප්‍රචන්ඩ මෙහෙයුම් ගෝඨාභය රාජපක්ෂගේ “නායකත්ව ගුනාංග” ප්‍රදර්ශනය කලේ ය.

මැතිවරනයේ “ඉදිරියෙන් සිටින්නා” ලෙස ශ්‍රීලපොපෙ අපේක්ෂකයා සැලකීම, කම්කරු පන්තිය හා දුගීන් මුහුන දෙන යෝධ අන්තරායන් පෙන්නුම් කරයි. ගෝඨාභය රාජපක්ෂගෙන් ඔහුගේ ප්‍රමුඛතාවන් මොනවාදැයි පසු ගිය සතියේ සන්ඬේ ටයිම්ස්විමසූ කල ඔහු ඍජු ව ම ප්‍රකාශ කලේ එය “ජාතික ආරක්ෂාව සහ නීතිය හා සාමය ප්‍රතිස්ථාපනය කිරීම” බවයි.

තම ප්‍රතිවාදියා සමග තරඟ කිරීමට හා මිලිටරියෙන් මැතිවරන මුක්කුවක් ලබාගැනීමට උත්සාහ දරන එක්සත් ජනපද-හිතවාදී එජාපයේ ජනාධිපති අපේක්ෂක ප්‍රේමදාස, ෆීල්ඞ් මාර්ෂල් හා ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා තමන්ගේ ආරක්ෂක ඇමති වනු ඇතැයි නිවේදනය කර තිබේ. බුද්ධාගමේ ප්‍රමුඛස්ථානය ආරක්ෂා කරන බවට බෞද්ධ ධුරාවලියට සහතික වෙමින් සිටින ප්‍රේමදාස, මෑත සති කිහිපයේ දී සිංහල ප්‍රජාගනවාදී කොටස්වලට වඩ වඩා ආයාචනා කර ඇත.

ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය යෝධ ආර්ථික අර්බුදයකට මුහුන දෙයි. පසුගිය වසරේ සියයට 3.2ක් වූ ආර්ථික වර්ධනය මේ වසරේ සියයට 2.7ට ඇද වැටී ඇත්තේ, රාජ්‍ය නය දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 83ක් බව ද විදේශ නය දකුනු ආසියාවේ ඉහලම මට්ටම්වල පවතින බව ද තක්සේරු කෙරෙන තත්වයක ය.

ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය අනුකම්පා විරහිත ව ක්‍රියාවට දැමිය යුතු බව ශ්‍රී ලංකාවේ චින්තන තටාකයකට මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මෑතක දී කීවේ ය. “යමෙක් (බැංකුවේ විධානයන්ගෙන්) අපසරනය වන්නේ නම්, අපට මුදල් රැස් කරගැනීමට නො හැකි ව ගැඹුරු කප්පාදුවේ අන්තරායන්ට මුහුන පෑමට සිදුවනු ඇති. මම මූලික ව අදහස් කරන්නේ එය ග්‍රීසියේ වැනි තත්ත්වයක් උද්ගත කරනු ඇති බව යි.”

පසුගිය මාස දොලහ තුල රැකියා, වැටුප් හා සේවා කොන්දේසි රැක ගැනීමට කම්කරුවන්ගේ වර්ජනවලට එලඹීමෙන් පෙන්නුම් කෙරෙන්නේ කොලඹ ආන්ඩුවට ජාමූඅ නියෝගයන් සාමකාමී ව හෝ ප්‍රජාතන්ත්‍රවාදී ව ක්‍රියාවට දැමීමට ඉඩ නොලැබෙන බවයි. ජාත්‍යන්තර කම්කරුවන්ගේ අරගල මෙන් ම, ශ්‍රීලපොපෙ, එජාප හා ප්‍රජාගනවාදීන් ඔවුන් ව බෙදීමට දරන උත්සාහයන් නො තකා, ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ වර්ජන වාර්ගික හා ආගමික භේද නොතකා වර්ධනය වී ඇත.

සසප එහි මැතිවරන ප්‍රකාශය තුලත්, මැතිවරන උද්ඝෝෂනය පුරාත් අවධාරනය කර ඇති පරිදි, පොලිස්-රාජ්‍ය පාලනයක් කරා කොලඹ ප්‍රභූව ගන්නා පියවරයන්ට එරෙහි ව කම්කරු පන්තියට ඉදිරියට යා හැක්කේ, ධනපති ලාබ පද්ධතියට අභියෝග කිරීමෙන් පමනි. මේ සඳහා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් හා විප්ලවවාදී පක්ෂයක නායකත්වය යටතේ කම්කරුවන් බලමුලු‍ගැන්වීම අවශ්‍ය කෙරේ. සසප මැතිවරන ප්‍රකාශය සඳහන් කරන පරිදි:

“කම්කරුවෝ වෘත්තීය සමිතිවල යකඩ සැට්ටයෙන් බිඳීම සඳහා තීන්දු ගැනීම තමන්ගේ ම අතට ගත යුතු ය. කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරාගන්නා ස්වාධීන ක්‍රියාකාරී කමිටු වැඩපොල හා නිවහන් ප්‍රදේශවල පිහිටුවා ගන්නා ලෙස සසප කැඳවුම් කරයි. ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර ව අනෙකුත් කර්මාන්තවල කම්කරුවන් වෙත ප්‍රවේශ විය යුතු එම කමිටු තරුනයන් හා ගම්බද දුගීන් බලමුලු‍‍ගන්වා ගැනීමට සටන් කල යුතු ය....

“එවන් ක්‍රියාකාරී කමිටුවලට, ගම්බද ජනයාගේ නායකත්වයේ පිහිටා ධනවාදය පෙරලා දමා, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දැමීම පිනිස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලනික බලමුලු‍‍ගැනීමට පදනම සැකසිය හැක.

“දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් තැනීමට සසප කැඳවුම් කරයි. විදේශීය හා දේශීය මහා සමාගම්, විශාල වතු හා බැංකු කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කරනු ඇති එවන් ආන්ඩුවක්, විදේශ නය අහෝසි කොට නිෂ්පාදනය හා බෙදාහැරීම සමාජවාදී පිලිවෙත් ඔස්සේ ප්‍රතිසංවිධානය කරනු ඇත.”

සසපට බැඳී එය කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනැගීමේ මෙම සටන සියතට ගන්නා මෙන් අපි සියලු‍ කම්කරුවන්ට හා තරුන ජනයාට කැඳවුම් කරමු.

Share this article: