සජිත් ප්‍රේමදාසගේ ව්‍යාජ පොරොන්දු වලින් ඔතා ඇත්තේ දක්ෂිනාංශික වැඩපිලිවෙලකි

සමන් ගුනදාස විසිනි, 2019 නොවැම්බර් 14

එක්සත් ජාතික පක්ෂය ප්‍ර‍මුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස “සුබසාධනවාදයක්” නියෝජනය කරන බවත් ඔහුගේ ප්‍ර‍තිවාදී අපේක්ෂකයා ලෙස හුවා දැක්වෙන ගෝඨාභය රාජපක්ෂ සමග සැසඳූ කල ඔහු “අඩු නපුර” බවත් ව්‍යාජ වාම කන්ඩායම්, සිවිල් සංවිධාන හා ‘බුද්ධිමතුන්’ විසින් ප්‍ර‍චාරනය කෙරේ. මෙය නපුරු මුලාවකි. එය සේවය කරන්නේ මූල්‍ය ප්‍රාග්ධනයට අවශ්‍ය ලෙස මර්දනකාරී පාලනයකට පාර කැපීමට ය.

මේ අය 2015 දී හිටපු ජනාධිපති රාජපක්ෂට එරෙහිව ප්‍රගතිශීලි ප්‍රජාතන්ත්‍රවාදී යෙකු ලෙස හැඩවැඩ දැමූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සමග එක්ව කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන්ට විනකෙටූ බව වාර්තාගත ය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ කඳවුරට පැනගත් මෙම ඉහල මධ්‍යම පන්තික කල්ලිවල උදව්වෙන් බලයට ආ ආන්ඩුව, වොෂින්ටනය චීනයට එරෙහිව සිදුකරන ඉන්දු-පැසිෆික් මිලිටරි තර කිරීමට ලංකාවේ සන්නද්ධ හමුදා ගැට ගැසුවේ ය.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාර නිසා මහජනයා අතර පැතිර පවත්නා විරෝධය ගසාකා, එදා ඔවුන් “වැඩි නපුර” ලෙස දැක්වූ රාජපක්ෂලාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන නම්වූ දක්ෂිනාංශික සංවිධානය හිස ඔසවා ඇත. මෙම ව්‍යාජ වාම සංවිධාන හා බුද්ධිමය වංචනිකයින් අද යලිත් “අඩු නපුරක්” මවන්නේ කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය බිලිදී ඔවුන් තවත් උගුලකට හසු කිරීමටයි.

“සජිත් සමාජ විප්ලවය” නම් වූ ඔහුගේ ජනාධිපතිවරන ප්‍රතිපත්ති ප්‍ර‍කාශය ඔක්තෝබර් 31දා මහනුවර රැජින හෝටලයේදී එලි දැක්විනි.

ප්‍රේමදාස කැබිනට් අමාත්‍ය ධූරයක් දරන, පවතින ආන්ඩුව විසින් කම්කරු පීඩිත ජනයාගේ ජීවන මට්ටම් වලට මෙන්ම ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කරමින් ඇති ප්‍රහාරයන් තිබියදීම තමන් “දුප්පතාගේ අපේක්ෂකයා” ලෙස හුවා දක්වා ගනිමින් තමන්ගේ නව ආන්ඩුවක් තුලින් කම්කරුවන්, ගොවීන් ඇතුලු දුගීන් මුහුන දෙන සියලු ප්‍රශ්න විසඳන්නේ යැයි ප්‍රේමදාස හඬ තලයි.

පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින් අසන ලදුව රට වටේ යමින් දෙන පොරොන්දු සදහා මුදල් කොහෙන්ද යන ප්‍ර‍ශ්නයට ඔහු සැපයූ නරුම පිලිතුර මෙන්න: සනීපාරක්ෂක තුවා නොමිලයේ සැපයීමෙන් කාන්තාවන් වැඩි වශයෙන් ශ්‍ර‍ම වෙලදපොලට එක්වීම නිසා ගිනිය නොහැකි තරම් ආර්ථික වර්ධනයක් ලැබේ; මාසික ආදායම දස ලක්ෂ හතරට වඩා අඩු කුඩා ව්‍යවසායන් හට ලබා දෙන වැට් බදු සහන නිසා ඒවායින් ආර්ථික වර්ධනයට ලැබෙන හයිය; මැති ඇමතිවරුන්ට බදු රහිත වාහන දීම වැලැක්වීම වැනි නාස්තිකාර වියදම් කපා හැරීම; මහ බැංකුව දේශපාලනහරනය මගින් මූල්‍ය වෙලදපොලවල විශ්වාසය වැඩි දියුනු කර අඩු පොලියට නය ගැනීම, යනාදිය යි.

දැනටම රට දැවැන්ත නය උගුලක හිරවී ආර්ථික වර්ධනය කඩා වැටී ඇති තතු තුල මුදල් සොයා ගැනීමේ මෙම විධික්‍ර‍මවල හිස්කම පිලිබදව අටුවා ටීකා ලිවීම අනවශ්‍ය ය.

“ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත. එක්ව ගමන යමු” යනුවෙන් ඔජ වඩවා ඇති ප්‍ර‍තිපත්ති ප්‍ර‍කාශයේ ඇති; වී, එලවලු, පලතුරු, හේන්, අපනයන භෝග, පොල් හා තේ ඇතුලු සියලුම වගාකරුවන්ට නොමිලේ පොහොර ලබා දීම, ජාතික පාසල් 30ක්, පාසල් නිල ඇදුම් දෙකක්, සපත්තු යුගලයක් සහ නොමිලේ පෝෂ්‍යදායි දිවා ආහාරයක් සිසුන්ට ලබා දීම, “සැමට නිවහනක්“, කාන්තාවන්ගේ ප්‍ර‍ශ්න විසදීම ආදියට අමතරව මැතිවරන රැස්වීමක් ගානේ ඇද බාන පොරොන්දු මාලාව ප්‍රේමදාස බලයට පත් වුවහොත් ඉතා වේගයෙන් අකාමකා දැමීමට ක්‍රියාත්මක වනු ඇත. මන්ද යත්, ආන්ඩුවට මුදල් නැති නිසා මෙන්ම ජාමුඅ එවන් වැඩපිලිවෙලකට විරුද්ධ නිසා ය.

ප්‍රේමදාස කොටස්කරුවකු වන වත්මන් ආන්ඩුවේ ඉහල නායකයන් දැනුවත්ව සිටිය දී එල්ලවූ අප්‍රෙල් 21 ත්‍ර‍ස්ත බෝම්බ ප්‍ර‍හාරය පසුව එය යොදාගැනීමට ඉදිරිපත්වූ ආකාරය දේශපාලන වාතාවරනය තම වාසියට හරවා ගැනීමේ පාලක පන්තියේ ලේවැකි ක්‍රමෝපායන් පිලිබද උදාහරනීය වේ. එම ප්‍රහාරය දඩමීමා කර ගනිමින් පැනවූ හදිසි නීතිය හා අත්‍යවශ්‍ය සේවා නියෝග යොදා ගැනුනේ, එලඹෙමින් පැවති කම්කරු පන්තියේ අරගල යටපත් කරමින් කම්කරුවන් හා දුගීන් රාජ්‍ය හමුදා පොලීසි වල ත්‍ර‍ස්ත කිරීම්වලට නතු කිරිමට ය. එය හිතු පරිදි ඉටු කර ගන්නට ආන්ඩුවට ඉඩ නොදෙමින් කම්කරුවෝ යලි අරගලවලට පිවිසියහ.

සියලු පූච්චානම් හා පොරොන්දු මාධ්‍යයන් තුල රැව් දෙන අතර ජාත්‍යන්තර මූල්‍ය කතිපයාධිකාරයන්ගේ කසකරුවා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, 2016දී අනුමත කල ඇ.ඩො. බිලියන 1.5ක නය මුදලේ හයවන වාරිකය මුදා හරිමින් නොවැම්බර් 1දා නිකුත් කල එහි ප්‍රකාශයේ මෙසේ සඳහන්වේ: “දේශීය හා විදේශීය අවිනිශ්චිතතා වැඩිවීම හේතුවෙන් අවදානම් වලට මුහුන දීමේ හැකියාව වර්ධනය කිරීමට... ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ විනය පවත්වා ගෙන යාම අත්‍යවශ්‍ය ය”.

ජාමූඅ සඳහන් කරන “අවදානම” නම් රට බංකොලොත් වීම වන අතර “මූල්‍ය ප්‍ර‍තිපත්තියේ විනය” නම් අන් කිසිවක් නොව කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිතයින් ගේ කුමන අභියෝගයකින් හෝ නොසැලී ජීවන මට්ටම් කප්පාදු කිරීම් වැඩ පිලිවෙල ක්‍රියාවට දැමීම යි.

“ශක්තිමත් දේශයක්, සාධාරන සමාජයක්” ලෙස නම්කර ඇති ප්‍රේමදාසගේ ජනාධිපතිවරන ප්‍ර‍කාශනයේ මුල් කොටසම වෙන් කර ඇති “මත් ද්‍ර‍ව්‍ය, දූෂනය සහ ආගමික අන්තවාදයට එරෙහි දැඩි ප්‍ර‍තිපත්තියක්” යන කොටස අර්ථගන්වා ගත යුත්තේ මෙම සන්දර්භය තුලය. මත් ද්‍ර‍ව්‍ය ජාවාරම්කාරයන්ට මරන දඩුවම ලබා දෙන බව ඔහු මැතිවරන වේදිකාවල පුන පුනා සදහන් කලේය.

තමන්ගේ ආන්ඩුවක් රුදුරු ලෙස ක්‍රියා කරන බව ධනේශ්වර ආයෝජකයන් හට සපථ කිරීමට ප්‍රේමදාස නිවේදනය කලේ, දෙමල ජනයාට එරෙහිව කෲර ලෙස යුද්ධය මෙහෙයවූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා තම ආරක්ෂක ඇමති බවට පත් කර ගන්නා බවයි.

“ආරක්ෂක හමුදා, පොලිසිය සහ බුද්ධි සේවා නවීකරනය කිරීමට හා ආරක්ෂක පද්ධති ශක්තිමත් කිරීමට අපි බලාපොරොත්තුවන්නෙමු” යැයි ප්‍ර‍කාශනයේ සඳහන් ය.

ප්‍රේමදාස හා ඔහු විසින් ඔජ වඩවන ඔහුගේ පියාද සමග එක්සත් ජාතික පක්ෂය, 1948 බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන්ගෙන් ලැබුනු සීමිත නිදහසින් පසු ගතවී ඇති වසර 71 තුල වසර 37 ක් රට පාලනය කර තිබේ. මත් ද්‍රව්‍ය, දූෂනය හා ආගමික අන්තවාදය මෙම ධනපති පාලනයේ ප්‍ර‍තිපල මිස ඕපපාතිකව බිහිවූ දේ නොවේ. තමන්ගේම ආන්ඩු වලින් ඇති කරනු ලැබ ඇති මෙම ව්‍යසනයන් තොරොම්බල් කරමින්, ඉන් රට බේරා ගැනීමේ ව්‍යාජයක් පෙන්වමින්, දැන් මෙම ධනපති නායකයා ඡන්දය ඉල්ලා සිටියි.

ජනාධිපතිවරන ප්‍ර‍කාශනය තුල “බහු වාර්ගිකත්වය, බහු සංස්කෘතිකභාවය, බහු භාෂිකත්වය හා බහුත්වවාදී ස්වභාවය” නිරූපනය කරන නව ආන්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිලිබඳව සඳහන් කෙරේ. බෙදා හැරීම සහතික කිරීම වෙනුවෙන් පලාත් සභා නියෝජිතයින්ගෙන් සමන්විත දෙවන සභාවක් එනම් සෙනෙට් සභාවක්ද යෝජිත ය.

මෙම බහුත්වවාදී පූච්චානම් තිබියදීම, ප්‍රේමදාස ප්‍රතිපත්ති ප්‍රකාශය එලි දක්වමින් කල කතාව තුලදී සිංහල-බෞද්ධ වර්ගෝත්තමවාදය ඔජ වැඩුවේ ඒකීය භාවය, ස්වෛරීත්වය, භෞමික අඛන්ඩතාව මෙන්ම බුදු සසුනට මුල් තැන දෙන මාතෘ භුමියක් ගොඩ නගන බව කියමිනි. ඊයේ තකහනියක් මහ නුවර මල්වත්තේ ප්‍රධාන සංඝ නායක තෙමේ බැහැ දුටු ප්‍රේමදාස, බුද්ධාගමට දී ඇති ප්‍රමුඛත්වය එලෙසම පවතින බවට ලිඛිත පොරොන්දුවක් දුන්නේය.

ජනාධිපතිවරන ප්‍ර‍කාශයේ “තරගකාරී ආර්ථිකයක්” යන කොටස තුල ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ හා එහි තැරැව්කාර දේශීය ධනපතියන්ගේ සුපිරි ලාභ සදහා තම කැපවීම ප්‍ර‍කාශයට පත් කරයි. එය ආරම්භ වන්නේ, “පෞද්ගලික අංශය වර්ධනයේ එන්ජිමයි” නමැති කාලයක් තිස්සේ ධනපති පාලකයන් පට්ට ගැසූ ප්‍ර‍කාශයකිනි. ඒ අනුව, රාජ්‍ය අංශය පුද්ගලීකරනය කල යුතු බවට ජාමූඅ කර ඇති නියෝග පිලිපදින බව ප්‍ර‍කට කෙරෙන, “රාජ්‍ය විසින් කරනු ලබන්නේ වඩාත්ම මූලෝපායික ව්‍යවසායන් පවත්වාගෙන යාම පමනි” යන වගන්තිය ප්‍රකාශයට ඇතුලු කර ඇත.

ඉතිරි වන රාජ්‍ය ව්‍යවසායන් “මූලික වශයෙන් වානිජ පදනමකින් පවත්වා ගෙන යන, රජ්‍යට හිමි ව්‍යවසාය වෘත්තිය ලෙස කලමනාකරනය කරනු ලබන භාරකාර සමාගමක් යටතට පත් කෙරෙනු ඇත.”

ප්‍රේමදාසගේ ජනාධිපතිවරන ප්‍ර‍කාශය තුල කම්කරු පන්තිය ඇට පොත්තටම සූරා කන්නාවූ “විවෘත ආර්ථික” ප්‍ර‍තිපත්තිය ඔජ වඩවන්නේ මෙලෙසිනි: “ශ්‍රී ලංකාවේ පවා දරිද්‍ර‍තාව නැතිවීම සිදුවූයේ, 1977 දී ආරම්භවූ විවෘත ආර්ථික ප්‍ර‍තිසංස්කරනවල සෘජු ප්‍ර‍තිපලයක් ලෙස ය”. සත්‍ය නම්, සිදු වූයේ ඇති නැති පරතරය දිනෙන් දින පුලුල් වීමයි. 2016 ආන්ඩුවේ සංඛ්‍යාලේඛන අනුව ලංකාවේ ධනවත්ම සියයට 20 සමස්ත කුටුම්භ ආදායමෙන් සියයට 51ක් ලබන අතර, දුප්පත්ම සියයට 20ට ලැබෙන්නේ යන්තම් සියයට 5ක් පමනි.

සෑම පලාතකටම “විශේෂ ආර්ථික කලාප” පිහිටුවමින් හා දැනට තිබෙන ශ්‍ර‍ම සූරා කෑම පිලිබද කුප්‍ර‍කට නිදහස් වෙලද කලාප දෙගුනයක් කරමින්, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට ලාබ ශ්‍ර‍මය පහසුවෙන් සූරා කෑමට කොන්දේසි සකස් කර දීමට ප්‍රේමදාස සහතික වෙයි.

ඒ අතරතුරම, මහා ව්‍යාපාරිකයන්ට බදු සහන ඇතුලු අනෙකුත් පහසුකම් සැපයීම පිලිබදව ද- ප්‍රකාශනය තුල අඩංගුය. “ඩොලර් මිලියන 100 දක්වා සියලු ආයෝජන සදහා සියයට 100ක ක්ෂය වීමට අමතරව අතිරේක සියයට 100 ප්‍රාග්ධන දීමනාවක්” ලැබෙන අතර ඩොලර් මිලියන 150ට වැඩි ආයෝජන සදහා සියයට 150ක අතිරේක ප්‍රාග්ධන දීමනාවක් ලබා දීමට ප්‍රේමදාස සහතික වෙයි.

මහා ව්‍යාපාරයන්ට අවශ්‍ය විට කම්කරුවන් දොට්ට දැමීමට හැකිවන පරිදි කොන්දේසි සකස් කිරීම අර්ථවත් කරමින් සේවා යෝජකයන්ගේ අවශ්‍යතා සපුරාලීමට “වඩාත් නම්‍යශීලී ශ්‍ර‍ම බලකායක්” ඇති කිරීමට ප්‍රේමදාස පොරොන්දු වෙයි. අඩු වැටුපට කොන්ත්‍රාත් කම්කරුවන් සපයන “මිනිස්බල නියෝජිතායතන” නියාමනය කරමින් ප්‍ර‍වර්ධනය කරන බව ප්‍ර‍කාශය කියා සිටියි.

විශ්ව විද්‍යාල සඳහා සිසුන්ට රුපියල් මිලියන 1.6 දක්වා පොලී රහිත නයදීම හරහා පෞද්ගලික අධ්‍යාපනය පුලුල් කිරීම, තව දුරටත් රජයේ විශ්වවිද්‍යාල වල පල්ලට යැවීමේ උත්සාහයකි.

වතු කම්කරුවන් සඳහා වගා ඉඩම් ලබාදීම මගින් මාසික ආදායම රුපියල් 1,500 ක් බවට පත් කරන බව ප්‍රේමදාසගේ ප්‍ර‍තිපත්ති ප්‍ර‍කාශයේ සඳහන් කර ඇත. මෙය වනාහි, කම්කරුවන්ගේ විරෝධය මධ්‍යයේ සූරා කෑම උග්‍ර‍කිරීම සඳහා වතු සමාගම් විසින් ක්‍රියාවට දමමින් කම්කරු අයිතීන් කප්පාදු කෙරෙන හා ආදායමෙන් සොච්චමක් කම්කරුවන්ට දෙන “අඳ ගොවි” ක්‍ර‍මය තහවුරු කිරීමට තමන් පූර්න සහය දෙන බවට පොරොන්දු වීමකි.

‘සුබසාධනවාදයක්” හුවා දක්වා කම්කරුවන්ගේ හා පීඩිතයින්ගේ චන්දය නරුම ගසාකා බලයට පත්ව ඉහත දැක්වූ වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට හැකිවන්නේ, ඊට එරෙහි ප්‍රතිරෝධය තලා දමන ආඥාදායක පාලනයක් මගින් පමනකි. ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස අතරින් තෝරා ගැනීමට විකල්පයක් වැඩකරන ජනතාවට නැත.

කම්කරුවන් කල යුත්තේ, ජාත්‍යන්තර සමාජවාදයේ වැඩපිලිවෙල මත පදනම්ව මේ ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීම සඳහා දුගීන් හා තරුනයන් තමන් වටා රැලිකරගෙන කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවකට සටන් කිරීම යි. සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගෙනයන මෙම අරගලයට එක්වෙමින්, සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධනට සහාය දෙන ලෙස අපි ඔබෙන් ඉල්ලමු.

Share this article: