රනිල් වික්‍රමසිංහ අයිඑස්අයිඑස් නායකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඩොනල්ඞ් ට්‍රම්ප් ට සුබ පතයි

සකුන ජයවර්ධන විසිනි, 2019 නොවැම්බර් 1

ඔක්තෝබර් 28 වනදා ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ අයිඑස්අයිඑස් නායක අබුබකර් අල් බග්දාදි ඇමරිකාවේ විශේෂ මෙහෙයුමකින් ඝාතනය කෙරුනු වහාම ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට සුබ පතා ට්විටර් පනිවුඩයක් නිකුත් කලේය.

“‍ත්‍රස්තවාදයට එරෙහි සටනේදී මෙම සාර්ථක වූ මෙහෙයුමට”‍ සුබ පතන බව කී වික්‍රමසිංහ එමගින් “ලෝකය ආරක්ෂිත ස්ථානයක් බවට පත්වනු ඇතැ”‍ යි ස්තෝත්‍රයක් ලීවේය. අප්‍රේල් 21 ලංකාවේ අයිඑස්අයිඑස් මෙහෙයුමෙන් සිදුකෙරුනු බෝම්බ ප්‍රහාරය සඳහන් කරමින් වික්‍රමසිංහ තව දුරටත් සඳහන් කලේ මෙම සංවිධානය ලෝකය පුරා “‍භීතිය සහ ත්‍රස්තවාදය”‍ වපුරමින් සිටින බවයි. වික්‍රමසිංහගේ “සුබපැතුම”‍ ට්‍රම්ප් ප්‍රමුඛ ඇමරිකානු අධිරාජ්‍යවාදී ප්‍රභුවගේ හා ලංකාවේ පාලක ප්‍රභුවේ ලේ සේදීමට කරන වංචනික වෑයමකි.

ඔක්තෝබර් 27 වන ඉරිදා ඩොනල්ඞ් ට්‍රම්ප් අයිඑස්අයිඑස් නායක අල් බග්දාදි ඝාතනය කල බව ප්‍රකාශ කලේ ඔහු සහ ඔහුගේ අනුගාමිකයින් “‍ම්ලේච්ඡ රාක්ෂයින්”‍ සහ “පරාජිතයින්”‍ ලෙස නම් කරමිනි. සිරියාව තුල ඇමරිකාවේ විශේෂ මෙහෙයුම් මගින් ලෝකය ආරක්ෂිත ස්ථානයක් බවට පත්වනු ඇති බව ඔහු කීවේය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කල පරිදි, ට්‍රම්ප්, වික්‍රමසිංහ ආදීන් “රාක්ෂයින්”‍ ලෙස නම් කරන අයිඑස්යිඑස් සංවිධානය බිහි වීමට හේතු වූ කාරනා සම්බන්ධයෙන් දේශපාලන සංස්තාපිතය හා ජන මාධ්‍යය කුහක ලෙස මුනිවත රකිති.

අයිඑස්අයිඑස් සංවිධානය ම්ලේච්ඡ ත්‍රස්තවාදී විධික්‍රම භාවිතයට ගත් බවට කිසිදු සැකයක් නොමැත. ඔහු නායකත්වය දුන් සංවිධානය මිනිසුන් දහස් ගනනක් මරා දැමීම සම්බන්ධයෙන් බග්දාදි වගකිව යුතු ය. නමුත් වඩා වැදගත්ම සහ නොතකා හරින කාරනාව වන්නේ මෙම සංවිධානයේ බිහිවීම ඇමරිකා එක්සත් ජනපදය මැද පෙරදිග තුල ගෙන යන නිමක් නැති යුද්ධ සමග බැඳී ඇති බවයි. එනම්, 1991 ගල්ෆ් යුද්ධයෙන් ඇරඹී 2001 ඇෆ්ගනිස්ථානය ද 2003 ඉරාක ආක්‍රමනයන් ද, සිරියාව සහ ලිබියාව තුල තන්ත්‍ර මාරු කිරීම් සඳහා ගෙනයන යුද්ධ සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් විසින් ම ප්‍රකාශිත අයිඑස්අයිඑස් සංවිධානයට එරෙහි යුද්ධයන් සමග අයිඑස්අයිඑස් සංවිධානයේ වර්ධනය බැඳී පවතී.

මෙම යුද්ධ මිලියන ගනනකගේ ජීවිත විනාශ කොට තවත් මිලියන ගනනකට උන්හිටි තැන් අහිමි කර දෙවන ලෝක යුද්ධයෙන් පසු විශාලතම සරනාගත අර්බුදය මතු කලේය. අයිඑස්අයිඑස් සංවිධානය බිහි වූයේ අධිරාජ්‍යවාදීන් මෙම මැද පෙරදිග කලාපය තුල ගෙනගිය රුදුරු යුද්ධයන්ගේ අතුරුඵලයක් ලෙසය. අයිඑස්අයිඑස් සංවිධානයේ පසුගාමී සහ රුදුරු දෘෂ්ටිවාදය ඉස්මත්තට ගැනීමට හැකියාව ලැබුනේ ඉරාකයේ සිදු කල විනාශයන් සහ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විසින් දැනුවත්ව ම අවුස්සන ලද නිකායික ප්‍රකෝපකරනයන්ගෙනි.

ඇමරිකා එක්සත් ජනපදය සිය ගෝලීය ආධිපත්‍යය ගොඩනගාගැනීම සඳහා මැද පෙරදිග මෙන්ම ආසියානු කලාපය තුලද මෙහෙයුම් වල නිරත වී සිටී. “ආසියාවට හැරීමේ”‍ පිලිවෙත එහි කොටසකි. අධිරාජ්‍යවාදීන් මත වාරුවීගෙන සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ වික්‍රමසිංහ බලයට පත් වූයේ ඒ අනුව ක්‍රියාත්මක කල තන්ත්‍ර මාරු මෙහෙයුමකිනි. රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට හා යුද්ධයට සහයෝගය දුන්නත් ඔහු චීනය සමග ඇති කරගෙන තිබුනු සමීප සම්බන්ධතා වලට විරුද්ධ වූ වොෂින්ටනය 2015 ජනාධිපතිවරනයේදී තමන්ට වඩා හිතැති ආන්ඩුවක් බලයට ගෙන ඒමට පසුබිමේ සිට ක්‍රියා කලේය. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව පසුගිය කාලය තුල ඇමරිකාවේ යුද සැලසුම්වලට ලංකාව ගැට ගසා ඇත.

ඇමරිකානු ජනාධිපතිගේ හොරනෑවක් ලෙසින් වික්‍රමසිංහ, බග්දාදී ඝාතන මෙහෙයුම ලෝකය “ආරක්ෂිත”‍ ස්ථානයක් බවට පත් කරන බවට නිකුත් කර ඇති සහතිකය ව්‍යාජයකි. ඉන් සලකුනු වන්නේ අනිවාර්යයෙන්ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ලෝකය සිය ආධිපත්‍යයට යටත් කර ගැනීමේ ලෝක යුද ධාවනය වේගවත් වීමයි. අයිඑස් සංවිධානය සිය පලිගැනීමේ ප්‍රහාර ද සිදු කරනු ඇත.

අධිකරන ක්‍රියාමාර්ගයට පිටතින් කෙරෙන මෙවන් සාහසික ඝාතන ජාත්‍යන්තරව පැන නැගී ඇති අරගල රැල්ල මර්දනය කිරීමට මෙවලමක් ලෙස යොදාගනු ඇත. වික්‍රමසිංහ ප්‍රීතියට පත්ව සිටින්නේ එවන් ප්‍රචන්ඩ ක්‍රියාවලට තමන්ට ලැබෙන තල්ලු‍ව නිසා ය.

අයිඑස්අයිඑස් සංවිධානයේ අනුදැනුම සහිතව ලංකාවේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය අප්‍රේල් 21 වනදා බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම වික්‍රමසිංහ, සිරිසේන හා රාජපක්ෂ ඇතුලු‍ පාලක ප්‍රභුවේ මුදුන් කල්තියා දැන සිටියේය. ඔවුන් එම මිනීමරු ප්‍රහාර එල්ල වන්නට ඉඩහැරියේ ඉන් උද්ගතවන කොන්දේසි රටතුල මර්දනකාරී පියවර ගැනීමට හා මුස්ලිම් විරෝධී භීතිකාවක් වැපිරීම සඳහා යොදා ගැනීමට ය. එහි ඉලක්කය කම්කරු පන්තියේ නැගෙමින් පැවති අරගල රැල්ල යටපත් කිරීම ය.

වෛෂයික නියාම බලවත් ය. ජාත්‍යන්තරව කම්කරු අරගල නැගී ඒමේ කොටසක් ලෙස ලංකාවේ අරගල නැගී එයි. පොලිස් පාලනයකට අර අදිමින් ලංකාවේ පාලක ප්‍රභුවේ පක්ෂ කම්කරුවන් තලා දමන පාලනයකට මාරුවීමට වෙර දරති. මේ පක්ෂ ඊනියා ජාතික ආරක්ෂාවේ නමින් කැස කවන්නේ ජනාධිපතිවරනය එම සූදානමට පිනුම් පිත්තක් කරගැනීම සඳහා ය.

Share this article: