ශ්‍රී ලංකාවේ මහ ධනපතියෝ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහනය උත්කර්ෂයට නංවති

විජිත් සමරසිංහ විසිනි, 2019 නොවැම්බර් 25

නොවැම්බර් 16, ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරන ජයග්‍රහනයෙන් පසු, ශ්‍රී ලංකාවේ මහා ධනපතියන්, බැංකු හා සංගත වල නියෝජතයන් මෙන්ම, ධනේශ්වර විශ්ලේෂකයන් හා මාධ්‍ය ආයතන, “‍ශක්තිමත් ආන්ඩුවක්”‍ ඇතිකර ගැනීමට හැකිවෙතැයි බලාපොරොත්තුවෙන් ඔහු වටා පෙලගැසෙමින් ඇත. හිටපු හමුදා නිලධාරියෙකු හා ආරක්ෂක ලේකම් වරයෙකු වන රාජපක්ෂට මිලිටරි පන්නයේ දැඩි පාලනයක් පිහිටුවා ගැනීමට පිටුබලය දී එමගින් නැගෙමින් ඇති මහජන අරගල රැල්ල මැඩලීමට හැකිවේය යන්න ඔවුන්ගේ ගනන් බැලීමයි.

රාජපක්ෂ තම ධුරයේ දිවුරුම් දුන් නොවැම්බර් 18 දින ම, කොලඹ කොටස් වෙලඳ පොලේ සමස්ත කොටස් මිල දර්ශකය සියයට 1.77 කින් ඉහල ගිය අතර එදින මුලු‍ පිරිවැටුම රුපියල් බිලියන 2.4 ඉක්මවීය. මෙය 2019 වසර කොටස් වෙලඳපොලේ ඇතිවූ ඉහලම වර්ධනයයි. රාජපක්ෂගේ ජයග්‍රහනය ගැන කොටස් වෙලඳපොල “‍සව්දිය පිරූ බව”‍ සන්ඬේ ටයිම්ස් වාර්තා කල අතර ස්ථාවර ශ්‍රී ලංකාවක් පිලිබඳ ආයෝජකයන් තුල දැල්වී ඇති බලාපොරොත්තු කොටස් වෙලඳපොලේ මේ හදිසි වර්ධනයෙන් ප්‍රකාශ වන බව ලංකා බිස්නස් ඔන්ලයින් හා ඬේලි එෆ්ටී ආදී ප්‍රධාන ව්‍යාපාරික පුවත්පත් හා වෙබ් අඩවි මගින් වර්නනා කරන ලදී.

වානිජ මන්ඩල හා ව්‍යාපාරිකයන්ගේ සංවිධාන රැසක් මැතිවරන ප්‍රතිඵල නිකුත්වූ විගසම නව ජනාධිපතිවරයාගේ ජයග්‍රහනය උත්කර්ෂයට නංවමින් ඔහුට සුබපැතීමට ඉදිරිපත්වුයේ, ආර්ථිකයේ “‍නව යුගයක්”‍ ආරම්භ වන බවට විශ්වාසය පල කරමිනි. ලංකා වානිජ මන්ඩලය, රාජපක්ෂට සුභපැතුම් ලිපියක් යවමින්, එය “‍ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතා හා පොදුවේ ජාතික අවශ්‍යතා සපුරාලීම සඳහා ආන්ඩුව සමග එක්ව වැඩ කිරීමට බලාපොරොත්තු වන”‍ බව පැවසීය.

ජාතික වානිජ මන්ඩලය නිවේදනයක් නිකුත් කරමින්, රාජපක්ෂට ලංකාව “‍වෙලඳ හා ව්‍යාපාරික වර්ධනයේ නව ඉහලකට ඔසවා තැබීමට හැකිවන”‍ බවට විශ්වාසය පලකල අතර, ජාතික අපනයනකරුවන්ගේ මන්ඩලයේ සභාපතිනි රම්‍යා වීරකෝන් කියා සිටියේ “‍නව ජනාධිපති වරයා ‘ක්‍රියාවේ මිනිසෙක්‘ බව තම සංවිධානය හොඳින්ම දන්නා”‍ බැවින්, අපනයනයට හිතවත් වන දීර්ඝ කාලින, ස්ථාවර හා තාර්කික ප්‍රතිපත්ති ඔහු විසින් ක්‍රියාවේ යොදනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

කොලඹ වානිජ මන්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන අචාර්ය අමිල කන්කානම්ගේ ඬේලි නිව්ස් පුවත් පතට කරනු දක්වමින් කියා තිබුනේ “‍රාජපක්ෂගේ පුලූල් ජයග්‍රහනය, ‘යහපාලන ආන්ඩුවේ' ඇල්මැරුනු නායකත්වය හා පාලනයේ අසාර්ථකත්වයට සාක්ෂි දරන බවයි. යුද්ධය අවසන් කිරීමෙන් පසු ලබාගත හැකිව තිබු වර්ධනය අත්පත් කරගැනීමට අසමත් වීම ගැන පසුගිය සිරිසේන-වික්‍රමසිංග ආන්ඩුවට චෝදනා කරන ඔහු, ගෝඨාභය රජපක්ෂ ‍මහජනතාව බහුතරයක් දෙනාගේ අවශ්‍යතා සපුරාලූ හා ප්‍රතිපල ලබාදෙන්නෙක් ලෙස වාර්තාවක් සහිත අයෙක්”‍ ලෙස වග වර්නනා කලේය.

කොටස් වෙලඳ පොලේ ප්‍රධානතම තැරව්කාර සමාගමක් වන “‍සිලෝන් ඇසෙට් මැනේජ්මන්ට්”‍ සමාගමේ අධ්‍යක්ෂකයෙක් වන රෙයිනර් මයිකල් ප්‍රීස්, ඬේලි මිරර් පුවත්පතට ලිපියක් ලියමින් පැවසුවේ “‍නව ජනාධිපති වරයා ශ්‍රී ලංකාවට ස්ථාවරත්වයේ හා වර්ධනයේ නව යුගයක් කැඳවාගෙන පැමින සිටින”‍ බවයි. පසුගිය රාජපක්ෂ පාලන කාලය තුල, අවුරුදු 25ක සිවිල් යුද්ධය නිමාකර සාමය ගෙන ඒම හා කොලඹ ආසියාවේ සුන්දරතම නගරයක් බවට පරිවර්තනය කිරීම, ඔවුන් පිලිබඳව විශ්වාසය තහවුරු වීමට තුඩුදුන් බව ඔහු සඳහන් කරයි. පසුගිය සිරිසේන-වික්‍රමසිංහ පාලනය තුල ඇතිවූ පරාජයන් වැලක් හා දුර්වල වෙලඳපොල ක්‍රියාකාරිත්වය, ආපසු හරවා ආයෝජකයින් ගේ විශ්වාසය යලි පිහිටුවීමට, රාජපක්ෂගේ ජයග්‍රහනය ඉතා වැදගත් බවත් ඔහු පවසයි.

ලංකාවේ ධනපති පන්තියේ ප්‍රමුඛතම නියෝජිතයින් හා විශ්ලේෂකයින් වැලක් පලකරන මේ අදහස් වල ප්‍රධාන අවශ්‍යතා දෙකක් ගැබ්වෙයි. පලමුවැන්න, පසුගිය රාජපක්ෂ පාලන කාලය තුල පැවති ආකාරයේ මිලිටරි පන්නයේ දඩබ්බර ක්‍රමවේදයන් මගින් ගෙනගිය පාලනයේ ප්‍රමුඛ ක්‍රියා කලාපයක් ඉටුකල රාජපක්ෂ බලයට පත්කර ගැනීම මගින් අධිපතිවාදී පාලනයක් ස්ථාපිත කර ගත හැකිය යන්නයි. දෙවැන්න, ජාත්‍යන්තර ආයෝජකයන්ට ඉඩ සලසා දීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යෝජිත පුද්ගලීකරනය හා සුබසාධන ක්‍රියාමාර්ගවල ඉතිරිය ද කපා හැරීම සහ ශ්‍රම සුරාකෑමේ නව කොන්දේසි ක්‍රියාවට දැමීම වේගවත්ව ඉදිරියට ගෙනයාමයි.

ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය එක අතකින් ලෝක ධනේශ්වර ආර්ථිකයේ ඇතිවෙමින් ඇති ආපසු හැරවිය නොහැකි බිඳ වැටීමෙන් , බරපතල ලෙස අර්බුදයට ගොස් ඇති අතර ලංකාව තුලත් ලෝකය පුරාමත් පැතිරෙමින් ඇති කම්කරු අරගල වලින් භීතියට පත්වී සිටිති. මේ වසරේදී ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සියයට 2.7 ටත් අඩු ප්‍රමානයකට පහල වැටෙනු ඇතැයි ගනන් බලා ඇති අතර, රුපියල් ට්‍රිලියන 13 ක් ඉක්ම්වූ විදේශ නය ප්‍රමානයක් ගෙවීමේ අර්බුදයට රජය මුහුන දී සිටී.

මේ ආර්ථික අර්බුදයේ බර කම්කරු පීඩිත මහජනතාව මත පැටවීම, කලින් පැවති මහින්ද රාජපක්ෂ පාලනයත්, මැතිවරනයෙන් පරාජයට පත්වුනු සිරිසේන-වික්‍රමසිංහ පාලනයත් යන දෙකම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානය යටතේ ක්‍රියාවේ යෙදවූ වක්‍ර බදු ඉහල දැමීම, සෞඛ්‍ය- අධ්‍යාපන ආදී පොදු සේවා කප්පාදුව, රාජ්‍ය දේපල පුද්ගලීකරනය ආදී කප්පාදු පිලිවෙත් වලට දැවැන්ත මහජන විරෝධයක් එල්ල විය.

වසර තිස් ගානකට පසු ලංකාවේ ඇතිවූ විශාලතම වැඩවර්ජන හා කම්කරු සටන් රැල්ල 2018-2019 කාලය තුල ඇවිලී ගිය අතර, වරාය, ප්‍රවාහනය, බලශක්ති හා වැවිලි යන ක්ෂේත්‍ර ගනනාවක් මේ අරගල මගින් අඩපන කෙරිනි. පන්ති අරගලයේ මේ යලි තීව්‍ර වීම නිසා සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව දෙකඩ වී අභ්‍යන්තර ගැටුමක් දක්වා වර්ධනය වී, අවසාන කාලයේ ඇතිවූ බරපතල දේශපාලන අර්බුදය නිසා පාලක පන්තියේ සැලකිය යුතු කොටසක් පාලනයේ බරපතල වෙනසක් ඇතිකර ගැනීමට උත්සුක වූහ. ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහනය ගැන ධනපති නියෝජිතයෝ සැනසුම් සුසුම් හෙලන්නේ මෙබැවිනි.

මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිත්වය යටතේ, බෙදුම්වාදී එල්ටීටිය පරාජය කර 30 වසරක වර්ගවාදී යුද්ධය ම්ලේච්ච ලේවැකි අවසානයක් කරා ගෙනා ඒමේදී, 40,000 කට අධික සිවිල් දෙමල ජනයා මරනයට පත්කෙරුනු බව එක්සත් ජාතීන්ගේ සවිධානය ගනන් බලා ඇත. යුද්ධය අවසන් වීමෙන් පසු, රාජපක්ෂගේ පාලන තන්ත්‍රය, එම මිලිටරිය හා පොලිසියම යොදවා ගනිමින් අරගල වලට එන කම්කරුවන් හා පීඩිතයන් මැඩලීම--එම ප්‍රහාරවලදී පස්දෙනෙකු මරා දැමුනි--, සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුලු‍ මාධ්‍යවේදීන් හා දේශපාලන ප්‍රතිවාදීන් මැඩීම හා පැහැරගෙනයාම ආදියෙන් සංලක්ෂනය වුනු මර්දනකාරී පාලනයක් පිහිටුවාගන්නා ලදී.

යුද්ධයෙන් පසුව, කොලඹ නගරයේ දුගී පෙදෙස් වල ඉඩම් ආයෝජකයන්ට විකිනීම; දැවැන්ත විදේශ නය ලබාගෙන, ආයෝජකයන්ට අවශ්‍ය වන වරාය, අධි වේගී මාර්ග ආදී යටිතල ව්‍යූහ මහජන වියදමින් තැනීම ආදිය ආරම්භ විය. මේ සඳහා මිලිටරිය හා පොලිසිය යොදා ගනිමින් නාගරික පවුල් දහස් ගනනක් නෙරපා හැර ඔවුන්ගේ නිවාස කඩා දමන ලද අතර, යටිතල ව්‍යුහයන් ඉදිකිරීමෙන් පීඩාවට පත්වන පවුල් වල විරෝධතාද මඩින ලදී. ආයෝජකයන්ගේ අවශ්‍යතා සඳහා ඉදිවන ව්‍යාපෘති වල පිරිවැය නය ලෙස කඳු ගැසුනි. මහජන අවශ්‍යතාවක් පිරිනොමසන මේ සමහර ව්‍යාපෘති සඳහා ඩොලර් බිලියන ගනන් වියදම් කරද්දී අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වූ අයවැය ප්‍රතිපාදන තියුනු ලෙස කපා දමන ලදී.

එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයාව සිටි නව ජනාධිපති මේ සියලු‍ පියවරයන්ට සම්බන්ධ විය. යුද්ධය තීව්‍ර කිරීමේදී ඔහු ඍජු කාර්යභාරයක් ඉෂ්ට කලා පමනක් නොව, ඉන් පසුව සිදුකල නගර අලංකරනය, දුගී නිවාස ඉවත් කිරීම හා සමහර යටිතල පහසුකම් ව්‍යාපෘති ආදිය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරන ලද්දේ මිලිටරි විධික්‍රම යොදා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ය.

රාජපක්ෂගේ මෙම අතීත වාර්තාව “‍නායකත්ව ගුනාංගයක්”‍ ලෙස සලකන ධනපති පන්තිය, කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ අරගල මැඩ, ස්ථාවර පොලිස් රාජ්‍ය පාලනයක් තහවුරු කිරීමට ඔහුට හැකිවනු ඇතැයි සලකති.

කලින් පැවති මහින්ද රාජපක්ෂ පාලන කාලය තුල ගෙනගිය කුඩා කන්ඩායමක් අත බලය ගොනු කෙරුනු පාලනය, ධනපති පන්තියේ ඉහල ස්ථරයන්ට ගෝචර නොවීය. චීනය දෙසට ඇදෙමින් සිටි රාජපක්ෂ බලයෙන් පහකර, තමන්ට හිතවත් ආන්ඩුවක් කොලඹ පිහිටවා ගැනීමට 2015 ජනාධිපතිවරනයේදී වොෂින්ටන්ටය ගෙනගිය තන්ත්‍ර මාරු කුමන්ත්‍රනයට ධනපති පන්තිය ලබාදුන් කොන්දේසි විරහිත සහයෝගයට මෙය එක හේතුවක් විය. නමුත් ඉක්බිතිව පිහිටවූ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව කෙටි කලකින්ම නැගුනු බරපතල මහජන විරෝධය හා පාලනය අස්ථාවර වීම් තුල, පාලක ප්‍රභුවේ කොටසක් යලි රාජපක්ෂ දෙසට හැරී ඇත.

එසේවුවත් නව රාජපක්ෂ පාලනය ඉතා කෙටිකලකින්ම අර්බුද වල එරීයාම නොවැලක්විය හැක්කකි. කඳු ගැසී ඇති අර්බුදය නිසා නොපමාවම ඔහුට කප්පාදු වැඩ පිලිවෙල ක්‍රියාවට දැමීමට බලකෙරුනු ඇතුවා පමනක් නොව කම්කරු පන්තිය එම ප්‍රහාරයන්ට එරෙහි බරපතල අරගලයන්ට එලඹෙනු ඇත.

Share this article: