ශ්‍රී ලංකාවේ දෙමල පක්ෂ එජාප හා ශ්‍රීලංපොපෙ ජනාධිපති අපේක්ෂකයන්ට ආයාචනා කරන්නේ ඇයි?

Why the Sri Lankan Tamil parties appeal to the UNP and SLPP presidential candidates

සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන විසිනි, 2019 නොවැම්බර් 4

ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයේ (එජාප) හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) ජනාධිපති අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාසට හා ගෝඨාභය රාජපක්ෂට දෙමල ජාතික සන්ධානය (දෙජාස) නායකත්වය දෙන දෙමල දේශපාලන පක්ෂ ඉල්ලීම් 13ක් ඉදිරිපත් කර ඇත.

යෝජනාවලට අත්සන් තැබූවන් අතර, ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ), දෙමල ඊලම් මහජන විමුක්ති සංවිධානය, දෙමල ඊලම් විමුක්ති සංවිධානය, ඊලම් ජනතා විප්ලවවාදී පෙරමුන යන දෙජාසහි එක්වී සිටින සංවිධාන ද දෙමල ජනතා සංසදය (ටීපීඑෆ්) ද වෙති.

යාපනයේ හා නැගෙනහිර විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය සංගම් විසින් ඉල්ලීම් 13 පෙරමුනට ආරම්භකත්වය ගනු ලැබී ය. “ෆෙඩරල් ව්‍යවස්ථාවක්,” විදේශගත වූවන් හා ජාත්‍යන්තර ආයතන විසින් ඍජු ආයෝජන සහ උතුරේ හා නැගෙනහිර මූල්‍ය හා සංවර්ධන ක්‍රියාකාරකම් “ඡන්දයෙන් පත්වුනු නියෝජිතයන්” විසින් පාලනය කිරීම එමගින් ඉල්ලා සිටී. මෙය වනාහි කම්කරු පන්තිය ඒකාබද්ධ ව සූරාකෑම සඳහා දෙමල ප්‍රභූවට වරප්‍රසාද සහතික කරමින් කොලඹ පාලක පන්තිය සමග බලය බෙදීමේ ගනුදෙනුවක් සඳහා වන නිහීන ආයාචනයකි.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි 30-අවුරුද්දකට ආසන්න ලේවැකි වාර්ගික යුද්ධයට සම්බන්ධ සුජාත ඉල්ලීම් සමග මෙම ආයාචනය ඒකාබද්ධ කර තිබේ.

එම ඉල්ලීම් අතරට යුද අපරාධ විභාග කිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රනයන් ස්ථාපිත කිරීම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) අහෝසි කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, බලහත්කාරී අතුරුදන් කිරීම්වලින් බලපෑමට ලක්වූවන්ට සාධාරනය ඉටුකිරීම, මිලිටරිය විසින් අල්ලාගත් ඉඩම් නිදහස් කිරීම සහ උතුරු හා නැගෙනහිර පලාත්වල “බෞද්ධ හා සිංහල ජනපදකරනය” නැවැත්වීම ඇතුලත් වේ. මුර්ග දෙමල විරෝධී ගැටුමේ දී 100,000කට අධික ජනකායක් ඝාතනය කරන ලද අතර, 2009 මැයි මාසයේ අවසන් වූ යුද්ධයේ අවසන් මාසවල දී අවම වසයෙන් දෙමල සිවිල් වැසියන් 40,000ක් මියගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තක්සේරු කරයි.

අපකීර්තියට පත්ව සිටින දෙමල ධනේශ්වර පක්ෂ ප්‍රධාන ධනපති පක්ෂ අපේක්ෂකයන් දෙදෙනාට මෙම මංමුලා සහගත ආයාචනාවන් ඉදිරිපත් කරන්නේ ඇයි?

එය කිසිසේත් ඔවුන් දෙමල කම්කරුවන් හා දුගීන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් සඳහා සටන් වැදීමට අධිෂ්ඨානවත් වීම නිසා නො ව, උතුරු හා නැගෙනහිර සැලකිය යුතු ඡන්ද ප්‍රමානයක් ඇති හෙයින් එම වැසියන්ගේ ඡන්දවලට ඊලඟ ජනාධිපති කවුදැයි තීරනය කිරීමට බොහෝ දුරට හැකියාව තිබෙන නිසා ය.

දෙමල කම්කරුවන් හා තරුනයන් තමන් මැතිවරන කේවලයක ලන්සුවක් ලෙස යොදාගැනීමේ මෙම ප්‍රතිගාමී උත්සාහය ප්‍රතික්ෂේප කරමින්, සිය ප්‍රජාතන්ත්‍රීය හා සමාජ අයිතීන් ජයගත හැකි එකම මාවත වන අව්‍යාජ සමාජවාදී ඉදිරිදර්ශනයක් වෙත හැරිය යුතු ය.

දෙමල ධනේශ්වර පක්ෂ උත්සාහ දරමින් සිටින්නේ, සමස්ත දේශපාලන සංස්ථාපිතය කෙරෙහි කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන හතුරුකම අපසරනය කොට ප්‍රතිගාමී ජාතිකවාදී මාවතකට හැරවීමට යි. සිය කොලඹ සහකරුවන් මෙන් ම දෙමල ප්‍රභූව ද ආන්ඩුව ක්‍රියාවට දමන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් වලට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව වැඩෙන කම්කරු-පන්තික විරෝධය කෙරෙහි භීතියෙන් පසු වේ.

පසුගිය වසර පුරා උතුරේ හා නැගෙනහිර දෙමල කම්කරුවන් දකුනේ ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමග ඒකාබද්ධ ව ක්‍රියාවන්ට පිලිපන් ව ඇත්තේ, ඔවුන් දෙමල, සිංහල හා මුස්ලිම් වාර්ගික රේඛා ඔස්සේ බෙදීමට දියත් කර ඇති වාර්ගික උද්ඝෝෂනයක් මධ්‍යයේ ය. මෙම අරගල කම්කරු පන්තියේ ගෝලීය පුනර්ජීවනයක කොටසකි.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන් වූ තම ආදරනීයයන්ගේ ඉරනම ගැන විමසීම සහ යුද අපරාධකරුවන්ට දඬුවම් දීම හා ශිෂ්ට සම්පන්න ජීවන කොන්දේසි ඉල්ලමින් දෙමල ජනයා විරෝධතාවන්හි නියැලී සිටිති. යුද්ධය විසින් අවතැන් කෙරුනු දෙමල වැසියන් දහස් ගනනක් මූලික පහසුකම්වලින් තොර ව තවමත් තාවකාලික පැල්පත්වල ජීවත් වෙති.

දෙමල පක්ෂ එජාප හා ශ්‍රීලපොපෙ ජනාධිපති අපේක්ෂකයන්ට ආයාචනා කිරීම අතිශයින් කුහක ක්‍රියාවකි. සජිත් ප්‍රේමදාස හා ගෝඨාභය රාජපක්ෂ මෙම ඉල්ලීම් එකහෙලා ප්‍රතික්ෂේප කර ඇත්තේ, ඔවුන් සතුව ඔවුන්ගේ ම “විසඳුම්” තිබෙන බව ප්‍රකාශ කරමිනි. 1948 ශ්‍රී ලංකාවේ නාමික නිදහසේ පටන් දෙමල හා මුස්ලිම් වැසියන්ට එරෙහි දශක ගනනක වාර්ගික වෙනස්කම් කිරීම්වලට මෙන් ම 30-අවුරුද්දකට ආසන්න යුද්ධය දියත් කිරීම ගැන ද ඔවුන්ගේ පක්ෂ වගකිව යුතුය.

පසුගිය මාසය පුරා දෙමල පක්ෂවල නායකයෝ තමන් සහයෝගය දිය යුත්තේ කවර අපේක්ෂකයාටදැයි තීන්දු කිරීම පිනිස කිහිප වතාවක් මුනගැසුනත්, එම සාකච්ඡා “විසඳුමකින් තොර ව” අවසන් විනි. පසුගිය බ්‍රහස්පතින්දා තැපැල් ඡන්ද ආරම්භ වූ විට, දෙමල ඡන්ද දායකයන් “තමන්ට කැමති” අපේක්ෂකයාට සහයෝගය දිය යුතු ය යන “තාවකාලික තීරනය” ඔවුන් විසින් නිවේදනය කෙරුනි. එහෙත් ආර්. සම්බන්ධන් නායකත්වය දෙන අයිටීඒකේ ප්‍රේමදාසට ඡන්දය දෙන ලෙස ඊයේ ඉල්ලා සිටියේ, ඔවුන්ගේ ප්‍රධාන උත්සුකය එක්සත් ජනපද-හිතවාදී පාලක එජාපය බලයේ තබා ගැනීම වන නිසා ය.

ඔවුන්ගේ උපායාත්මක මතභේද නො තකා ජාත්‍යන්තර ප්‍රජාවට -ප්‍රධාන වසයෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට හා එහි කලාපීය සගයා වන ඉන්දියාවට - ආයාචනා කිරීම්වල දී දෙමල පක්ෂ ඒකාබද්ධ වන්නේ, ඔවුන්ගේ ජාතිකවාදී උවමනාවන්ට සහාය ලබාගැනීම පිනිස යි. වෙනත් වචනවලින් කියතොත්, එක්සත් ජනපදයේ භූ-දේශපාලනික අවශ්‍යතාවන්ට පිටුබලය දීම මගින් තම වරප්‍රසාද ආරක්ෂා කරගැනීමට දෙමල ධනේශ්වරය අපේක්ෂා කරයි.

දෙමල කම්කරුවන් හා තරුනයන් 2015 ජනාධිපතිවරනය අමතක නො කල යුතු ය. ජනාධිපති රාජපක්ෂගේ යුද අපරාධ හා සමාජ අයිතීන්වලට එල්ල කෙරුනු ප්‍රහාර නිසා නැගුනු මහජන කෝපය අපසරනය කිරීමට දෙජාස හා අනෙකුත් දෙමල පක්ෂ උදවු කල හ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස පත්වුව හොත් දෙමල ජනයා මුහුන දෙන ගැටලු‍ විසඳනු ඇතැයි ඔවුහු කියා සිටිය හ.

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ), ශාස්ත්‍රාලිකයන්ගේ හා ව්‍යාජ-වාම කන්ඩායම්වල උදවු ඇති ව එජාපය හා අනෙකුත් කොලඹ ධනේශ්වර පක්ෂ එලෙස ම සිය සහයෝගය සිරිසේන වටා ගොනුකල හ.

එක්සත් ජනපදය ක්‍රියාවට දැමූ රාජපක්ෂ බලයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමට හා චීනයට එරෙහි වොෂින්ටනයේ භූ-දේශපාලනික හා මිලිටරි තරකිරීම් සමග ශ්‍රී ලංකාව පෙලගැස්වීමේ දේශපාලන උපාමාරුවලට මේ සියලු‍ පක්ෂ සහයෝගය දුන් හ.

පසුගිය වසර හතර පුරා, දෙජාස සිරිසේන-වික්‍රමසිංහ පාලනයේ තථ්‍ය සහකරුවෙක් ලෙස ක්‍රියා කර ඇත්තේ, එහි අයවැයට හා ජාමූඅ කප්පාදු පිලිවෙත්වලටත්, කිසිදු යුද අපරාධ විමර්ශනයක් මැඩලීමට කොලඹ ආන්ඩුව දරන උත්සාහය ඇතුලු‍ එහි අනෙකුත් මර්දනීය ක්‍රියාවන්ටත් අනුමැතිය දෙමිනි. අතුරුදන් වූවන් පිලිබඳ ක්‍රියාකිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා මිලිටරිය අල්ලාගෙන සිටින ඉඩම් ආපසු දීම ගැන මහජන විරෝධතා පැනනැගුනු විට පමනක් දෙජාස ව්‍යාජ උත්සුකතාවක් පලකලේය.

සී. වී. විග්නේස්වරන් වැනි විවිධාකාර දෙමල දේශපාලනඥයන් හා පක්ෂ විසින් දෙජාස ද්‍රෝහීත්වය හෙලාදැකීම්වල ඉලක්කය වන්නේ දෙමල ජාතිකවාදය ඇවිලවීම යි. හිටපු දෙජාස නායකයෙක් හා උතුරු පලාත් සභාවේ මහ ඇමති වන විග්නේස්වරන් සහ දෙජාස කන්ඩායම් කිහිපයක් දෙමල ජනතා සංසදය (ටීපීඑෆ්) තනා ප්‍රතිගාමී එලු‍හ තමිල් (දෙමලු‍නි නැගිටිවු) ව්‍යාපාරය පනගැන්වූහ.

වාර්ගික රේඛා ඔස්සේ දෙමල ජනයා අපසරනය කිරීමට ඉල්ලීම් 13 පෙරමුන දරන උත්සාහය කෙරෙහි දකුනේ පක්ෂවල හා සිංහල වර්ගවාදී කන්ඩායම් වල ප්‍රතිචාරය වී ඇත්තේ ලංකාව “එල්ටීටීඊ ත්‍රස්තවාදය” හා දෙමල බෙදුම්වාදය යලි හිස ඔසවන බවට ව්‍යාජ ප්‍රචාරයක් උත්සන්න කිරීමයි.

වැඩෙන නය අර්බුදයකට හා ගෝලීය අවපාතය විසින් වර්ධනය කෙරුනු ආර්ථික අර්බුදයකට මුහුන දෙන ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව, කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක පුපුරා යාම ගැන බිය වෙමින් වඩ වඩා පොලිස් රාජ්‍ය පාලන රූප වෙත හැරෙමින් සිටී. විෂඝෝර හදිසි නීතිය පැනවීමට හා ජාතික පරිමාන ව මිලිටරිය දිගේලි කිරීමට සිරිසේන විසින් අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාර ගසා කෑ විට, දෙමල පක්ෂ ඇතුලු‍ සියලු‍ දේශපාලන පක්ෂ ක්ෂනික ව හා මුලු‍මනින් එම පියවරයන්ට සහයෝගය දුන් හ.

එම කඩතුරාව ම යොදාගනිමින්, එජාප හා ශ්‍රීලපොපෙ සහ ඒවායේ ජනාධිපති අපේක්ෂකයෝ “ජාතික ආරක්ෂාව” ශක්තිමත් කිරීමට, වඩා මර්දනකාරී නෛතික බලතල හා වඩා “නවීන” අවිආයුධ වලින් පොලිසිය හා මිලිටරිය සන්නද්ධ කරන බව කියා සිටිති.

දෙජාසයට හා ටීපීඑෆ් සංවිධානයට කොලඹ පාලනයේ පොලිස්-රාජ්‍ය සූදානම් වීම් ගැන කිසිදු ප්‍රශ්නයක් නැත. ඉල්ලීම් 13න් එකකින් වත් උතුරින් හා නැගෙනහිරින් මිලිටරිය ආපසු කැඳවන ලෙස ඉල්ලා නො සිටීම කැපීපෙනෙන කරුනකි. අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු උතුරේ හා නැගෙනහිර ශක්තිමත් මිලිටරි තරකිරීමක් ඔවුන් ඉල්ලා සිටියේ, “මෙය හමුදා ඉවත් කිරීමට අවස්ථාව නො වේ!” යි ප්‍රකාශ කරමිනි.

දෙජාස නායකත්වය දෙන පක්ෂවල බංකොලොත් හා ප්‍රතිගාමී ජාතිකවාදී න්‍යාය පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) දෙමල කම්කරුවන්, තරුනයන් හා දුගීන්ගෙන් ඉල්ලයි. එල්ටීටීඊයේ පරාජය ඇතුලු‍ ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ කටුක අත්දැකීම්, තීරනාත්මක දේශපාලන පාඩම් ලබා දී තිබේ. ධනවාදය ආරක්ෂා කරන දෙමල පක්ෂවලට එනිසා ම ශ්‍රී ලංකාවේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර කම්කරුවන්ට හා සූරාකැවෙන මහජනයාට ආයාචනා කරමින් දෙමල-විරෝධී පීඩනයට හා වෙනස්කම් කිරීම්වලට නැගී සිටීමට නොහැකි ය. මෙම සංවිධාන සහයෝගය පතා එක් හෝ තවත් අධිරාජ්‍යවාදී බලයක් වෙත හැරෙන්නේ ඒ නිසා ය.

දශක ගනනක් දිවෙන දෙමල-විරෝධී වෙනස්කම් කිරීමේ මූල හේතුව වන්නේ, ධනේශ්වර ලාබ පද්ධතිය සහ 1947-1948 සමයේ ඉන්දියානු උප-මහාද්වීපය අධිරාජ්‍යවාදී බෙදීමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද ඒකීය රාජ්‍යය යි. කම්කරු පන්තිය දුර්වල කිරීමට හා ධනපති පාලනය රැකීමට වාර්ගික බෙදීම යොදාගන්නා ලදී. එනිසා දෙමල වැසියන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් සඳහා අරගලය ධනවාදය හා අධිරාජ්‍යවාදය පෙරලා දැමීමේ අරගලය සමග බැඳී තිබේ.

සසප හා එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට දෙමල-විරෝධී ප්‍රජාගන වෙනස්කම් කිරීම්වලට හා යුද්ධයට එරෙහි ව සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා සටන් වැදීමේ නො කැලැල් වාර්තාවක් තිබේ. උතුරින් හා නැගෙනහිරින් ශ්‍රී ලංකාවේ මිලිටරිය ඉවත් කරන ලෙසත් හා ඒකීය රාජ්‍ය ව්‍යවස්ථාව හා එමගින් ඇතිකර තිබෙන වෙනස්කම් කිරීම් අහෝසි කරන ලෙසත් එය අඛන්ඩව අරගලය කර ඇත. මේ අරගලය සඳහා, ධනවාදයටත් පොදු පන්ති හතුරාටත් විරුද්ධ ව සමස්ත කම්කරු පන්තියේ එකමුතුව අවශ්‍ය වේ.

වාර්ගික රේඛා කපාගෙන සෑම ධනේශ්වර පක්ෂයකින් ම ස්වාධීනවූ කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ගොඩ නැගීමේ අරගලයටත්, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දැමීමට හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් ස්ථාපිත කිරීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනටත් එක් වන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු. මෙම ආන්ඩුව දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ලෙස පිහිටුවනු ඇත. සමාජවාදී සමානතා පක්ෂයේ ක්‍රියාමාර්ගය මෙය යි. සසප කම්කරු පන්තියේ මහජන පක්ෂය ලෙස ගොඩනැගීමට එයට බැඳෙන ලෙස මම ඔබෙන් ඉල්ලමි.

Share this article: