එක්සත් ජනපදය නව ශ්‍රී ලංකා ජනාධිපතිට රතු එලිය දල්වයි

US puts new Sri Lankan president on notice

කේ. රත්නායක විසිනි, 2019 නොවැම්බර් 20

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එවන ලද ජාත්‍යන්තර සුභ පැතුම් පනිවුඩ අවධාරනය කරන්නේ, සියල්ලට ඉහලින් කලාපය තුල චීනයේ අනුහසට වලකැපීමේ හා යුද්ධයට සූදානම් වීමේ වොෂින්ටනයේ අධිෂ්ටානය මත කේන්ද්‍රගත වී තිබෙන භූ-දේශපාලනික ප්‍රතිමල්ලවතා තුල, මූලෝපායික ව පිහිටා තිබෙන දිවයින පටලැවී ඇති බව යි.

ගෝඨාභය රාජපක්ෂ [අනුග්‍රහය: AP Photo]

හිටපු හමුදා නිලධාරියෙකු හා වසර 10 ක් ආරක්ෂක ලේකම් ධූරය දැරූවෙකු වන රාජපක්ෂ, ඔහුගේ සොහොයුරු හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙන් තරඟ වැදී මැතිවරනය ජයගත්තේ ය. “ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය” ශක්තිමත් කිරීමේ දක්ෂිනාංශික උද්ඝෝෂනයක් මත ඔහු මැතිවරනය ජයගත්තේ ශ්‍රී ලංකාව තුල වර්ධනය වන පන්ති අරගල මධ්‍යයේ ය.

වොෂින්ටනය, නව ජනාධිපතිවරයා සමග “වැඩ කිරීමට සූදානම්” බව, තම සුභ පැතුම් පනිවුඩය තුල ප්‍රකාශ කල එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, “යහපාලනය ගැඹුරු කරමින් හා සාධාරනත්වය, සංහිඳියාව හා මානව හිමිකම් දිරිමත් කරමින් සියලු‍ රටවලට සමෘද්ධිමත් විය හැකි නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් පෝෂනය කිරීමට” දී සහයෝගය දක්වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේ ය.

පොම්පියෝ රාජපක්ෂට එවූ පනිවුඩයේ “මානව හිමිකම්” පිලිබඳ ප්‍රකාශයකින් සරසා තිබුන ද වොෂින්ටනයේ සැබෑ උත්සුකය වන්නේ නව ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාව චීනය දෙසට හරවනු කරනු ඇතැයි යන්න ය. “නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයකට කැපවීම” සඳහා කරන කැඳවුම, ආසියාව පුරා චීනයට එරෙහිව තම ආධිපත්‍යය තහවුරු කිරීම පිනිස වන ආක්‍රමනශීලී පියවරයන් සාධාරනීකරනය කිරීමට එක්සත් ජනපද ප්‍රචාරනය තුල නිරන්තරයෙන් භාවිතා කරන වැකියකි.

“මානව හිමිකම්” ගැන පොම්පියෝ කරන සඳහන, ගෝඨාභය රාජපක්ෂ බෙයිජිනයට සමීප වුවහොත්, 2015 මැතිවරනයේ දී තන්ත්‍ර-මාරු මෙහෙයුමකින් ඔහුගේ සහෝදර මහින්ද රාජපක්ෂ පහකිරීමට යොදාගත් පරිදි ඔහුට විරුද්ධ ව මානව හිමිකම් ගසාකෑමට කරන තර්ජනයකි.

2009 දී අවසන් වූ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධයේ දී මිලිටරිය සිදුකල යුද අපරාධ හා බරපතල ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝනය කිරීම් තුල රාජපක්ෂ සහෝදරයින් දෙදෙනා ම ඍජු ව පටලැවුනි. එක්සත් ජනපදය, කෙසේ නමුත්, එල්ටීටීඊ යට එරෙහි යුද්ධයට පිටුබලය දුන් අතර, රාජපක්ෂ තන්ත්‍රයේ අපරාධ සම්බන්ධයෙන් මුනිවත රැක්කේ ය.

යුද්ධයෙන් පසුව ආන්ඩුව බෙයිජිනය දෙසට පැහැදිලි මාරුවක් සිදුකිරීමෙන් පසුව පමනක් වොෂින්ටනය “මානව හිමිකම්” ඉස්මතු කිරීම ඇරඹී ය. මහින්ද රාජපක්ෂට විරෝධය පල කරනු වස්, “යහපාලනය” හා “මානව හිමිකම්” සමගින් ජීවන කොන්දේසි වර්ධනය කරන බවට දුන් ව්‍යාජ පොරොන්දුවලින් සමන්විත වූ උද්ඝෝෂනයක් හරහා, ඔහුගේ එක් ප්‍රධාන ඇමතියෙකු වූ මෛත්‍රීපාල සිරිසේනගේ අපේක්ෂකත්වය හා ජයග්‍රහනය සැකසීමට එක්සත් ජනපදය උදවු කලේ ය.

බලයට පත් වූ සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහගේ සහයෝගය ද සහිත ව රටෙහි විදෙස් පිලිවෙත එක්සත් ජනපදය මෙන් ම එහි කලාපීය මූලෝපායික සගයා වන ඉන්දියාව දෙසට හදිසියේ වෙනස් කලේ ය.

ශ්‍රී ලංකාවේ මිලිටරිය, විශේෂයෙන් ම එහි නාවික හමුදාව, එක්සත් ජනපදයේ ඉන්දු-පැසිෆික් බලකාය සමග සමීප ව ඒකාග්‍ර වී සිටී. පෙබරවාරියේ දී ඉන්දු-පැසිෆික් බලකා ප්‍රධානී අද්මිරාල් ෆිලිප් ඬේවිඞ්සන්, එක්සත් ජනපද සෙනෙට් සන්නද්ධ සේවා කමිටුවට කියා සිටියේ, ශ්‍රී ලංකාව “ඉන්දියානු සාගරය තුල වැදගත් මූලෝපායික අවස්ථාවක් ලෙස පවතින අතර අපගේ හමුදා අතර සබඳතාව දිගට ම ශක්තිමත් වෙමින් පවතින” බව යි.

එක්සත් ජනපද මිලිටරියට දිවයින වෙත නිදහසේ ප්‍රවේශ වීමට අවසර දෙන හමුදා තත්ත්ව ගිවිසුම (සෝෆා) අලු‍ත් කරන ලෙස වොෂින්ටනය ජූලි මාසයේ තල්ලු‍ව දෙමින් සිටි නමුත් මහජන උද්ඝෝෂනය හේතුවෙන් එය නතර කරනු ලැබී ය. නිසැක වසයෙන් ම නව ජනාධිපතිවරයා පිලිබඳ මූලික පරීක්ෂාවක් ලෙස නව සෝෆා ගිවිසුමක් ගැන අවසන් තීරනයකට පැමිනීම වොෂින්ටනය විසින් දැකගනු ඇත.

තමන් මුහුන දෙන තර්ජනයන් ගැන ගෝඨාභය රාජපක්ෂ හොඳින් ම දැනුවත් ය. නොවැම්බර් 18දා පැවති ඔහුගේ දිවුරුම් දීමේ උත්සවයේ දී තමන්ට “බලගතු ජාතීන් අතර බල අරගලයන්ට සම්බන්ධ වීම අනවශ්‍ය” බව ඔහු ප්‍රකාශ කලේ ය. “අපගේ විදේශ සබඳතාවල දී මධ්‍යස්ථව සිටිය යුතු අපි ලෝක බලයන් අතර ගැටුම්වලට මැදිහත් නො විය යුතු” යි තව දුරටත් කී ඔහු, “රටෙහි ඒකීය භාවයට හා ස්වෛරීත්වයට ගරු කරන ලෙස සියලු‍ ජාතීන්ගෙන්” ඉල්ලා සිටියේ ය.

එහෙත් ශ්‍රී ලංකාවට “මධ්‍යස්ථ” ව සිටීමට ඉඩදීමේ අභිප්‍රායක් නැති එක්සත් ජනපදය, චීනයට එරෙහි කලාපීය එක්සත් ජනපද සගයන්ගේ හා මූලෝපායික සහකරුවන්ගේ ජාලය තුලට ඒකාග්‍ර වීම තහවුරු කිරීමේ ක්‍රම සක්‍රීය ව සොයනු ඇත. එහි අවශ්‍යතාවන්ට තර්ජනයක් ලෙස දැකගන්නා ඕනෑම රටක ස්වෛරීත්වය ආක්‍රමනය කිරීම් හා යුද්ධ ඇතුලු‍ ක්‍රම යොදාගෙන බිඳ දැමීමේ දිගු ඉතිහාසයක් එයට තිබේ.

චීනය තමන්ගේ පැත්තෙන් එක්සත් ජනපදයට විරෝධය පෑමට උත්සාහ දරනු ඇත. ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිට එවූ සුභ පැතුම් පනිවුඩය තුල චීන ජනාධිපති ෂී ජිංපිං ප්‍රකාශ කලේ “අපගේ ද්වි-පාර්ශවික සබඳතාවල වර්ධනයට ඉමහත් වැදගත් කමක්” තමන් දෙන බව යි. “චීන-ශ්‍රී ලංකා මූලෝපායික සහකාරක හවුල්කාරීත්වයේ නව පරිච්ඡේදයක් ඇරඹීමට එක් මාවතක් එක් තීරුවක් ආරම්භකත්වයේ (බීආර්අයි) රාමුව ඇතුලත ප්‍රායෝගික සහයෝගය” ගැඹුරු කිරීම සඳහා ඔහු කැඳවුම් කලේ ය.

චීනයේ තීරුවක් හා මාවතක් ආරම්භකත්වය යුරේසියානු භූ-ස්කන්ධය මෙන් ම අප්‍රිකාව ද සම්බන්ධ කරන යෝධ යටිතල පහසුකම් සැලසුමක් වන අතර, එහි ඉලක්කය වන්නේ චීනය මූලෝපායික ව වටලෑමේ හා එයට ආර්ථික ව වලකැපීමේ එක්සත් ජනපද උත්සාහයන් බාධනය කිරීම යි. සිරිසේන හා වික්‍රමසිංහ බීආර්අයි වෙත සහයෝගය ප්‍රකාශ කල ද පැවති ආන්ඩුව බීආර්අයිට සම්බන්ධ කිසිදු සුවිශේෂී වැඩසටහනකට හෝ ගිවිසුමකට අත්සන් තැබුවේ නැත.

ආරම්භයේ දී සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බෙයිජිනයෙන් තියුනු ලෙස ඈත්වූ නමුත් ගැඹුරු වන ආර්ථික අර්බුදයකට මුහුන දෙමින් මූල්‍යාධාර පතා චීනය වෙත හැරුනේ වොෂින්ටනය හා නව දිල්ලිය වෙතින් විවේචන අවුලු‍වමිනි.

ශ්‍රී ලංකාවට ආපසු ගෙවිය නො හැකි වූ චීන නයවලින් ගොඩනැගූ හම්බන්තොට වරාය චීනය වෙත 99-අවුරුදු බද්දකට ප්‍රදානය කිරීමට 2017 දී ගත් තීන්දුව සම්බන්ධයෙන් එක්සත් ජනපදය විශේෂයෙන් හතුරු විය. එක්සත් ජනපදය විසින් පාලනය කිරීමට අධිෂ්ටානවත් ව සිටින ඉන්දියානු සාගරයේ මූලික නාවික ගමන් මාර්ගවලට යාබද ව ශ්‍රී ලංකාවේ දකුනු කෙලවරේ මූලෝපායික ස්ථානයක මෙම වරාය පිහිටා තිබේ.

ශ්‍රී ලංකාව වැනි රටවල් “නය උගුලකට” හසු කරගැනීම ගැන බෙයිජිනයට පහර දුන් වොෂින්ටනය, ශ්‍රී ලංකාව චීනය මත මූල්‍යමය වසයෙන් වඩ වඩා රැඳී සිටීම වැලැක්වීමට උත්සාහ දරනු ඇත. මැතිවරනයට යන්තම් සති කිහිපයකට පෙර, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් නමැති එක්සත් ජනපද ආයතනය යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 480ක් ප්‍රදානය කලේ ය.

චීනය මූලෝපායික තරඟකරුවෙකු ලෙස සලකන හා එක්සත් ජනපදය සමග පෙලගැසී ඇති ඉන්දියාව, රාජපක්ෂගේ තේරී පත්වීමට ප්‍රතිචාර දැක්වීමට යුහුසුලු‍ විය. නව ශ්‍රී ලංකා ජනාධිපතිට සුභ පතමින් ට්විටර් පනිවුඩයක් එවූ පලමු තැනැත්තා වූ අගමැති නරේන්ද්‍ර මෝදි, “සාමය, සෞභාග්‍යය මෙන් අපගේ කලාපීය ආරක්ෂාව” සඳහා වන සබඳතා ගැඹුරු කරගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බව පැවසී ය. රාජපක්ෂ මුනගැසීමට ඊයේ ශ්‍රී ලංකාව වෙත පියාසර කල ඉන්දීය විදේශ ඇමති එස්. ජයිශන්කර් මෝදි මුනගැසීම සඳහා නොවැම්බර් 29දා ඉන්දියාවට පැමිනෙන ලෙස ආරාධනා කලේ ය.

නොවැම්බර් 18දා ප්‍රකාශයක් නිකුත් කල යුරෝපා සංගමය ද රාජපක්ෂට සුභ පැතී ය. “මූලික අයිතීන් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතීන් කෙරෙහි ශ්‍රී ලංකාවේ කැපවීම ආරක්ෂා කිරීමටත් ආන්ඩුකරනය, මානව හිමිකම් හා සංහිඳියාව වර්ධනය කිරීම ඉලක්ක කරගත් ප්‍රයත්නයන්හි දිගට ම නිරත වීමටත්” ඔහු සමග ක්‍රියාකිරීම අපේක්ෂා කරන බව පවසමින් එය වොෂින්ටනය ප්‍රතිරාවය කලේ ය.

දකුනු ආසියාව තුල ඔවුන්ගේ ම අවශ්‍යතා සහිත ප්‍රන්සය හා ජර්මනිය ඇතුලු‍ යුරෝපා සංගමයේ රටවල්, 2015 දී මහින්ද රාජපක්ෂ ඉවත් කිරීමට හේතු වූ එක්සත් ජනපදය නායකත්වය දුන් “මානව හිමිකම්” උද්ඝෝෂනයට පිටුබලය දුන් හ. විශේෂයෙන් ම යුරෝපය වෙත අපනයනය කල ඇඟලු‍ම් හා මාලු‍ නිෂ්පාදන ඇතුලු‍ එහි අපනයනයන්ට දරුනු ලෙස බලපෑම් කරමින් යුරෝපා සංගමය ජීඑස්පී වෙලඳ සහනයන් ඉවත් කලේ ය. සිරිසේන බලයට පැමිනීමෙන් යන්තම් මාස කීපයකට පසු එම කීරනය ආපසු හැරවින.

“රාජපක්ෂගේ ජයග්‍රහනය ශ්‍රී ලංකාව පසුපසට ඇදීමේ තර්ජනය එල්ල කරයි” යන හිසින් නොවැම්බර් 18දා ලන්ඩනයේ පලවන ෆයිනෑන්ෂල් ටයිම්ස් හි කතුවැකියක්, ඔහුගේ සහෝදරයා “(ජනාධිපති ලෙස) සිවිල් යුද සමයේ සිදුකල අපරාධ පිලිබඳ වගවීම ප්‍රතික්ෂේප කිරීම බටහිර සමග සබඳතා දුර්වල කලේ ය” යි ප්‍රකාශ කරමින් නව ජනාධිපතිවරයාට එහි පනිවුඩය අවධාරනය කලේ ය.

කෙසේ නමුත්, ගෝඨාභය රාජපක්ෂ බෙයිජිනය වෙත හැරෙනු ඇතැයි යන්න කතුවැකියේ ප්‍රධාන උත්සුකය වන අතරේ, එය චීනයේ මූල්‍ය පෙලඹවීම්වලට එරෙහි ව සහයෝගී ප්‍රයත්නයක් සඳහා කැඳවුම් කලේ ය. “තනි රටවල්, ජාමූඅ හා අනෙකුත් අයගෙන් ලබාගන්නා ප්‍රදානයන් හා නය -දේශපාලන පරිවර්තනය මත එහි ගලායාම භව්‍ය කරමින් -මනා ලෙස සම්බන්ධීකරනය කිරීමෙන්, චීනයේ පිරිවැයට විරුද්ධ ව ක්‍රියා කල හැකි යැ” යි එය යෝජනා කලේ ය.

ශ්‍රී ලංකාවේ මැතිවරනයෙන් ඉක්බිත්තේ භූ-දේශපාලනික ප්‍රතිමල්ලවතා ක්ෂනික ව ඉස්මතු වීම, ශ්‍රී ලංකාව පමනක් නො ව සමස්ත කලාපය මූලෝපායික ආධිපත්‍යය සටන් බිමක් බවට හරවා ඇති එක්සත් ජනපදය නායකත්වය දෙන චීනය සමග මුනගැටුමේ අභිවර්ධිත ස්වභාවය අවධාරනය කරමින්, යුද්ධයේ අන්තරාය ඉස්මතු කර දක්වයි.

Share this article: