වීඩියෝව: 2019 ජනාධිපතිවරන උද්ඝෝෂනය තුලදී සමාජවාදී සමානතා පක්ෂය හා එහි වැඩපිලිවෙල සම්බන්ධයෙන් මතු කෙරෙන ප්‍රශ්න කිහිපයක් අලලා, සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස් සමග ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරු වසන්ත රූපසිංහ නොවැම්බර් 12දා පැවත්වූ සම්මුඛ සාකච්ඡාව.

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 නොවැම්බර් 14

මෙහි පලකරන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරු වසන්ත රූපසිංහ කල සාකච්චාවයි.

“‍අධිරාජ්‍යවාදී යුද්ධයට, කප්පාදුවට හා ආඥාදායකත්වයට එරෙහි ව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමට එක් වන්න”‍ යන මැයෙන් ගෙන යනු ලබන සසප ජනාධිපතිවරන උද්ඝෝෂනය තුල දී නිරන්තරයෙන් විමසන ප්‍රශ්න කීපයක් සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස්ට යොමු කරමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛකයෙකු වන වසන්ත රූපසිංහ ඔහු සමඟින් නොවැම්බර් 12 දා පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝ පටයට අදාල පෙල පහතින් පල කරමු.

***

වසන්ත රූපසිංහ:

මෙවර ජනාධිපතිවරනයට අපේක්ෂකයන් 35 දෙනෙක් ඉදිරිපත් වී සිටිනවා. සෙසු අපේක්ෂකයන් 34 දෙනාගෙන් සසප අපේක්ෂකයා ඉදිරිපත් කරන වැඩපිලිවෙල වෙනස් වන්නේ කෙසේ ද?

විජේ ඩයස්:

අනික් සියලු‍ අපේක්ෂකයන්ගෙන් වෙනස් වූ වැඩපිලිවෙලක් සහිත ව සසප අපේක්ෂකයා තරග වදිනව ය කියන කාරනාව ජනාධිපතිවරන උද්ඝෝෂනය පුරා ම අපි අවධාරනය කරල තියෙනවා. අපේ වැඩපිලිවෙල වෙනස් වෙන්නෙ අපි ජාත්‍යන්තර සමාජවාදී ප්‍රතිපත්ති උඩ මහජනතාව ආමන්ත්‍රනය කරන නිසා. මේ කාල පරිච්ඡේදයේ දී කම්කරුවන් හෝ වේවා, ගම්බද දුගීන් හෝ වේවා, ප්‍රජාතන්ත්‍රීය අයිතීන් අහිමි කරනු ලැබූ සුලු‍තර ජන කන්ඩායම් හෝ වේවා මුහුන දෙන මොන ප්‍රශ්නයක්වත් සමාජවාදී වැඩපිලිවෙලක් සහ එම වැඩපිලිවෙල ජයග්‍රහනය කරවීමට අවශ්‍ය ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක් නොමැතිව විසඳා ගැනීමේ ඉඩක් නෑ.

මේ කර්තව්‍යය ඓතිහාසික ව පැහැදිලි කර ගත යුතුයි. නොයෙකුත් සමාජ ක්‍රම පසු කරලා අද ලෝකය අවතීර්න වෙලා ඉන්නේ ධනේශ්වර සමාජ ක්‍රමයටයි. මේ සමාජය තුල ධනපති පන්තිය සංවිධානය වී ඇත්තේ ගෝලීය ආර්ථිකයක් මතයි. විශේෂයෙන් ම විසි වැනි සියවස ආරම්භයෙන් පටන් ගෙන, 1970 ගනන් අග භාගයේ සිට මෙහා පැත්තට අතිශය තීව්‍ර ලෙස ගෝලීය සමාජ ක්‍රමයක් හැටියට ධනපති සමාජ ක්‍රමය සංවිධානය වී පැවත එනවා.

කම්කරු පන්තිය හා දුගීන් තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම පිලිබඳ කාරනාවේ දී තමන්ගේ ප්‍රතිවාදියා හැටියට මුහුන දෙන්නේ ගෝලීය ලෙස සංවිධානය වී සිටින ධනේශ්වර පද්ධතියකට සහ එම පන්තියේ පාලනයටයි. මෙම ප්‍රතිවාදීන්ට එරෙහි ව තමන්ගේ අරගලය ගෙනයාමට නම්, කම්කරු පන්තිය, දුගී ජනතාව සහ තරුනයන් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලකින් තමන් සන්නද්ධ විය යුතු යි. එම නිසයි අනික් හැම අවස්ථාවක දී ම මෙන් ම මෙම මැතිවරනයේදීත් සසප ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කර ඇත්තේ.

ධනපති පන්තිය දේශපාලනික ව සංවිධානය වී තියෙන්නේ ජාතික රාජ්‍ය ව්‍යුහය තුල නිසා, මෙම රාජ්‍ය ව්‍යූහය තුල ජාතිකවාදී ලෙස වැඩ කිරීම සඳහායි සියලු‍ ම ධනපති පක්ෂ වගේ ම ධනපති ගැති ඊනියා වාමාංශික පක්ෂ සියල්ල තම වැඩපිලිවෙල ඉදිරිපත් කර ඇත්තේ. ඔවුන් තම වැඩපිලිවෙල මහජනතාව ජාත්‍යෝත්තමවාදයෙන්, වර්ගෝත්තමවාදයෙන් මුසපත් කර ඔවුන් ව ජාතිකවාදී රැහැනින් බැඳ ගෙන ධනපති පාලනය ස්ථාපිත කරවීමට දක්කා ගැනීම සඳහා හැඩගස්වා ඇත.

මීට එරෙහි ව සසප ධනපති ක්‍රමය විස්ථාපනය කිරීමට සටන් වදින ගෝලීය වශයෙන් සංවිධානයවූ ජාත්‍යන්තර වයාපාරයක -එනම් හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ- ශඛාවක් ලෙසයි සංවිධානය වී ක්‍රියා කරන්නේ.

වසන්ත රූපසිංහ:

1991 දී සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ෆ්‍රැන්සිස් ෆුකුයාමා වැනි න්‍යායාචාර්යවරුන් “‍ඉතිහාසයේ අවසානය”‍ නිවේදනය කරමින් සමාජවාදයට එරෙහි ව විවිධ මතවාද ඉදිරිපත් කලා. සසප ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වදිනවා ය කියන කාරනාව මෙම සන්දර්භය තුල තව දුර පැහැදිලි කලොත්?

විජේ ඩයස්:

පැරනි සෝවියට් සංගමය බිඳ විසිර ගියා නොවේ. ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය එය හිතා මතා දැනුවත් ව බිඳ විසුරුවා හැරියා. ඒ හිටි ගමන් ම හිදිසියේ ගත් පියරක් වශයෙන් ද නොවේ. 1920 ගනන් සිට ම තනි රටේ සමාජවාදය කියන ඓතිහාසික විරෝධී ප්‍රතිගාමී වැඩපිලිවෙල කර පින්නා ගත් ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය එක දිගට ම වැඩ කලේ ජාත්‍යන්තර පන්ති අරගලයෙන් හා සමාජවාදයෙන් සෝවියට් සංගමයේ කම්කරු පන්තිය බිඳ වෙන් කරන්න. ඒ මගින් ඔවුන් සෝවියට් ජාතිකවාදය තුල කොටු කරන්න. මේ වැඩපිලිවෙලේ අවසාන මුදුන හැටියට තමයි අපිට 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීම සම්මුඛ වන්නේ.

නිල වශයෙන් සෝවියට් සංගමය බිඳ දමනු ලැබීම ලෝක පරිමාන ව දැවැන්ත පරිමාන බලපෑමක් ඇති කල සංසිද්ධියක්. ලෝක අධිරාජ්‍යවාදී පද්ධතිය, ලෝක ධනේශ්වර පද්ධතිය සමස්තයක් හැටියට මින් ලොකු ආස්වාදයක් ලබා ගත්තා. මොකද ඔවුන්ට එතෙක් පෙනී ගියේ තමන්ගේ ප්‍රතිවාදී කඳවුර හැටියට සෝවියට් සංගමය ප්‍රමුඛ බල සංස්ථාව වටා සමාජවාදයත්, ජාත්‍යන්තරවාදයත් සඳහා මහජන ආකර්ෂනයක් ගොනුවෙමින් පැවතීම. සෝවියට් සංගමය බිඳ විසුරුවා දැමීමත් සමඟ මෙය අවසානයකට එලඹේ ය, සෝවියට් කඳවුරත්, අධිරාජ්යවාදී කඳවුරත් හැටියට බල කඳවුරු දෙකක් වශයෙන් පැවතිච්ච ලෝකය මින් ඉදිරියට තමන් තනි ඒකාධිකාරී බලයක් දරන ලෝකයක් හැටියට පවතී ය යන උද්දාමයට 1991 දී අධිරාජ්‍යවාදීන් පත් වුනා.

මේ උද්දාමයේ අධිරාජ්‍යවාදීන්ගේ කථිකයෙක් වශයෙන් ෆුකුයාමා මෙම නියමය ඉදිරිපත් කලා. දැන් පන්ති අරගලය අවසානයට එලඹ ඇත, මින් මතුවට පවතින්නේ ධනේශ්වර ලිබරල්වාදී පාලන තන්ත්‍ර, ඒවාට අභියෝග කල හැකි කිසිදු බලවේගයක් නැත, මින් එහාට ලෝකය සුමට ව ගමන් කරයි ආදී වශයෙන්.

මෙය අමූලික ප්‍රලාපයක් ය යන්න සනාථ වීමට මාස කීපයකට වඩා ගත වුනේ නෑ. ඇමරිකානු අධිරාජ්‍යවාදය ඉරාක යුද්ධය අරඹමින් තමන්ගේ විනාශකාරී වැඩපිලිවෙල පෙරට ගෙන යාම ආරම්භ කලා. මින් ඇරඹුනු පශ්චාත්-සෝවියට් කාල පරිච්ඡේදය යුද ව්‍යායාමයන්ගෙන් ඇලලී ගිය ලෝකයක් නිර්මානය කලා. මේක ඒකධ්‍රැව සාමකාමී පන්ති අරගල විරහිත ලෝකයක් නොවේ ය කියන කාරනාව ඇස් කන් තියෙන ඕනෑ ම කෙනෙකුට පිලිගන්න සිද්ධ වෙනවා. ඒ කාරනාව මේ මහා පන්ඩිතයත් තමන්ගේ න්‍යාය සාවද්‍යයි කියලා පිලිගන්න තැනට පත් කරනු ලැබ තියෙනවා.

මාක්ස්වාදයේ ඉදිරි දර්ශනයට අනුව, පන්ති අරගලය අවසානයට එනවැයි කියන කාරනාව, සමාජවාදී ආන්ඩුවක්, කොමියුනිස්ට් පාලන තන්ත්‍රයක් පැවතී ගෙන ගිහිල්ලත් ඒක අවසානයේ එලඹෙන තත්ත්වයක් හැටියටයි විශ්ලේශනය කරනු ලැබ පවතින්නේ.

දැන් අධිරාජ්‍යවාදී පද්ධතියක් පවතින ලෝකයක පන්ති විරහිත සමාජ තත්ත්වයක්, ඒ නිසා ම, පන්ති අරගලවලින් තොර සමාජ තත්ත්වයක් කිසිසේත් ම බලාපොරොත්තු විය නොහැකි යි. මාක්ස්-එංගල්ස් කොමියුනිස්ට් ව්‍යාපාරයේ ආරම්භක ලියවිල්ල හැටියට ඉදිරිපත් කල කොමියුනිස්ට් ප්‍රකාශනයේ ම සඳහන් කරන්නේ “‍මෙතෙක් පැවති සමස්ත ඉතිහාසය ම පන්ති අරගලයන්ගේ ඉතිහාසයයි”‍ යනුවෙන්. පන්ති සමාජයක් පවතින තාක් දුරට පන්ති අරගල නතර විය නොහැකියි. පන්ති අරගලය හරහායි පන්තීන්ගේ විපරිනාමයත්, පන්ති පාලනයේ වෙනස්කම් ද මෙතෙක් කල් සිද්ධ වෙලා තියෙන්නේ. මේ නිසා ම ධනපති පන්තියක් පාලනය කරන තත්ත්වයක් යටතේ ඔවුන්ගේ ප්‍රතිවිරුද්ධ බලවේගය හැටියට කම්කරු පන්තියක් පවතින තත්ත්වයක් යටතේ පන්ති අරගල රහිත සමාජයක් බලාපොරොත්තු විය නොහැකියි. එම නිසා ධනපති විශ්ලේෂකයන් කියන පරිදි, ඉතිහාසය අවසානයකට පැමිනිය නොහැකියි; ලිබරල්වාදී සාමකාමී කාල පරිච්ඡේදයක් ඇති විය නොහැකියි. මෙය අවසාන විග්‍රහයේ දී අධිරාජ්‍යවාදය විසින් ඉදිරිපත් කෙරුනේ කම්කරු පන්තිය ස්වාධීන ව තමන්ගේ දේශපාලන බලය ස්ථාපිත කර ගැනීමේ අරගලයේ යෙදීමෙන් අස්ථානගත කරවීමට. කම්කරු පන්තියේ දේශපාලනය අයථා ය; ඒකට තවත් වලංගු බවක් ඇත්තේ නැත කියන කාරනය තහවුරු කරන්න; එ මගින් කම්කරු පන්තිය දේශපාලනික ව නිරායුධ කරන්න.

පන්ති අරගලයේ අවසානයක් වෙනුවට අපි අත්දකින්නේ කම්කරු පන්ති අරගල ලෝකය පුරා නිමක් නැති ව විවිධ රූපයන්ගෙන් පැන නැගීමයි. මධ්‍යම පන්තික කොටස් ද ඇතුලු‍ ව පීඩිත මහජනතාවන් එම අරගලවලට සම්බන්ධ වී සිටිනවා. එවැනි අරගල ඈත පෙරදිග හොංකොංවල සිට බටහිර ලෝකයේ කෙලවර වන ඇමරිකානු මහාද්වීප දක්වා එක පෙලට පුපුරා යමින් පවතින තත්ත්වයකටයි අපි මුහුන දීලා සිටින්නේ.

එම නිසා ෆුකුයාමා ඉදිරිපත් කලේ ඉතිහාස විරෝධී නියාමයක්. කම්කරු පන්තිය දේශපාලනික ව නිරායුධ කිරීමේ අපේක්ෂාවෙන් අධිරාජ්‍යවාදීන් විසින් පතුරුවා හරින ලද ප්‍රලාපයක් හැටියටයි එම න්‍යාය හැඳින් විය යුතු ව තිබෙන්නේ.

ඊට එරෙහි ව යථා ලෝක තත්ත්වය වග විභාග කිරීමේ ප්‍රමුඛ ආස්ථානයක් ගත්තේ හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව යි. පන්ති අරගලය කෙලවරකට ගේන්න නම් ධනපති ක්‍රමය පරස්පර විරෝධයන්ගෙන් තොර ක්‍රමයක් බවට පත් විය යුතු ව තිබෙනවා. මෙය යථා ලෝක තත්ත්වය නොවේ ය කියන කාරනාව පැහැදිලි කර දෙමින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව සෝවියට් සංගමය බිඳ දමනු ලැබීමේ පාඩම හැටියට වඩාත් තීව්‍ර ව අපට මුන ගස්වලා තියෙනවාය කියන කාරනය අවධාරනය කලේ ජාත්‍යන්තර කමිටුව.

මේ නිසයි අපි අපේ වැඩපිලිවෙල ෆුකුයාමා වැන්නන්ගේ ප්‍රලාප න්‍යාය විදාරනය කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) හරහා ලෝක කම්කරු පන්තියට පැහැදිලි කරලා තියෙන්නේ.

වසන්ත රූපසිංහ:

ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල සඳහා සටන් වදින සසප සහ එහි පූර්වගාමී සංවිධානය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ලංකාවේ දේශපාලන ඉතිහාසය තුල දරන්නේ කවර ස්ථානයක් ද කියලා පැහැදිලි කලොත්?

විජේ ඩයස්:

විකොස ආරම්භ කෙරෙන්නේ 1968 ජූනි මාසයේ දී. එය අවරුදු හතරක දීර්ඝ දේශපාලනික සූදානම් වීමේ කාල පරිච්ඡේදයක අවසානයේ ගනු ලැබූ ඉතා තීරනාත්මක තීන්දුවක් සහ ස්ථානගත වීමක්.

එවකට අපි තවමත් අධ්‍යාපනය ලබමින් හුන් ශිෂ්‍යයන් වශයෙන් ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) තරුන ව්‍යාපාරයේ කොටස් වශයෙනුයි ක්‍රියාත්මක වෙමින් සිටියේ. නමුත් අපට කිසිසේත් ම ඉවසුම් නොදෙන ප්‍රතිගාමී පන්ති සම්මුතිවාදී තීන්දුවකට 1964 දී ලසසප ගමන් කලා. බලගතු කම්කරු පන්තික පක්ෂයක් වශයෙන් ට්‍රොට්ස්කිවාදී නමින් පෙනී සිටි ලසසප තුල බරපතල අර්බුදයක් මින් නිර්මානය වුනා. එහි දී කම්කරු පන්තියේ විවිධ සටන්කාමී කොටස් ලසසපෙන් බිඳී වෙන් ව ගියා. 1964 දී සභාග තීන්දුවට එලඹීමත් එක්ක ම ඔවුන් විප්ලවකාරී සම සමාජ පක්ෂය පිහිටුවා ගත්තා. අපිත් පන්ති සම්මුතිවාදී සභාග දේශපාලනයේ විරුද්ධවාදීන් හැටියට එයට එක් වුනා. නමුත් එම පක්ෂය තුලත් අපි දුටුවේ ලසසප සභාග දේශපාලන තීන්දුව කරා මෙහෙයවනු ලැබූ ක්‍රියාමාර්ගය ම තව දුරටත් ක්‍රියාත්මක වන ආකාරයයි. එ නිසා මින් වෙනස් මාවතක් සොයා ගත යුතු ව තියෙනව ය කියන තැනට අපි තරුන කොටස් එලඹුනා.

1964 ලසසප මහා පාවා දීමට එරෙහි අරගලයට මූලිකත්වය ගත් හජාජාක සහ එහි ප්‍රමුඛ ශාඛාව වූ බ්‍රිතාන්‍යයේ සෝෂලිස්ට් ලේබර් ලීගය මේ තරුන කොටස් අතර ඉතා බලගතු දේශපාලන බලපෑමක් ඇති කලා. එහි ලේකම් හැටියට ක්‍රියා කල ජෙරී හීලි සහෝදරයා 1964 ලසසප සම්මේලනයට සහභාගි වී එහිදී ගැනීමට නියමිතවූ දුෂ්ට සභාග තීන්දුව වෙනස් කිරීම සඳහා අරගලයකට ප්‍රවිෂ්ට වෙන්න ලංකාවට පැමිනියා. ඔහුට සම්මේලනයට සහභාගී වීමට අවසර ලැබුනේ නෑ. ඔහු සම්මේලන ශාලාවේ දොරටුව ලඟ නතර කෙරුනා. එසේ වුවත් ඔහු සම්මේලන ශාලාවෙන් පිටත කම්කරුවන් තරුනයන් හා සාකච්ඡාවන් ගනනාවක් පැවැත් වූවා. සම්බන්ධකම් ගොඩ නගා ගත්තා.

නැවත බ්‍රිතාන්‍යයට යාමෙන් පසු ව “‍සිලෝන්: ද ග්‍රේට් බිට්‍රේල්”‍ නම් පොත් පිංචක් නිකුත් කලා. මෙය සම සමාජ පාවා දීමේ මූලයන් පැහැදිලි කලා. මෙය තරුනයන් වූ අපට විශාල ආශ්වාදජනක අලෝකයක් සම්පාදනය කලා. ජෙරී හීලි මෙම ලියවිල්ල තුල ලසසප දේශපාලනය ජාත්‍යන්තර දේශපාලන ප්‍රවාහයක ද්‍රෝහී වැඩපිලිවෙලේ ප්‍රකාශනයක් බව ඉතා දැඩි ලෙසත් සුපැහැදිලි ලෙසත් පෙන්නුම් කලා. ඔහු එම වැඩපිලිවෙල පැබ්ලෝවාදී වැඩපිලිවෙල වශයෙන් හඳුන්වා දුන්නා. එයට එරෙහි ව ට්‍රොට්ස්කිවාදී හතර වැනි ජාත්‍යන්තරය තුල ම 1953 පටන් ආරම්භ කෙරී කර ගෙන ගිය අඛන්ඩ අරගලයක් පැවතියා ය කියන කාරනය පැහැදිලි කලා. පැබ්ලෝවාදයේ විෂඝෝර දේශපාලනික ඉදිරි දර්ශනය ඔහු එහි දී කම්කරුවන්ට තරුනයන්ට මුන ගැස්සුවා.

එයින් ආස්වාදය ලැබ ලසසප (විප්ලවකාරී) කන්ඩායම තුල පැබ්ලෝවාදයට එරෙහි තිරසර අරගලයක යෙදුන විල්ෆ්‍රඞ් පෙරේරා හෙවත් ස්පයික් සහෝදරයා මෙම තරුන කන්ඩායමට මුන ගස්වනු ලැබුනේ ඉන් පසුවයි.

මේ ඉදිරි දර්ශන සම්පාදනය අපට ඉතා විශාල පිටිවහලක් ලබා දුන්නා අප විසින් ගත යුතු විප්ලවවාදී සමාජවාදී මාවත මොකක් ද කියන කාරනාව පැහැදිලි කර ගන්න. 1917 ඔක්තෝබර් විප්ලවයට නායකත්වය සම්පාදනය කල ලෙනින්ගේ හා ට්‍රොට්ස්කිගේ දේශපාලන ව්‍යාපාරයේ මූලාශ්‍ර හදාරමින් 1964 ලසසප මහා පාවා දීමට එරෙහි ව නව මාවත කෙසේ සකසා ගත යුතු ද යන අධ්‍යාශයෙන් අප ප්‍රේරනය වනු ලැබුනා. මේ මතයි, අපි 1968 දී හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වශයෙන් ම විකොස පිහිට වනු ලැබීමේ ශක්‍යතාව සහිත දැනුවත් සාමාජිකත්වයක් ගොඩ නගා ගැනීමට සමත් වුනේ. මේ කන්ඩායමේ වඩාත් දේශපාලනිකව හා න්‍යායිකව ශක්තිමත් තරුනයෙකුවූ කීර්ති බාලසූරිය විකොසෙහි ප්‍රථම ප්‍රධාන ලේකම් තනතුරට පත් කර ගැනුනා.

එම ජාත්‍යන්තර ව්‍යාපාරයේ කොටසක් වශයෙන් ලංකාවේ කම්කරු පන්තිය දුගීන් තරුනයන් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලින් බලමුලු‍ ගන්වා ගැනීම සඳහා උගන්වා ගැනීමට අපේ ව්‍යායාමය නිරන්තරයෙන් ඉදිරියට ගෙන ගියා. අපි ඒ ව්‍යාපාරය තුල පැන නැගුනු න්‍යායික දේශපාලනික අරගලවලට ක්‍රියාකාරීව සම්බන්ධ වුනා. අපට මූලික දැනීම ලබා දීම සඳහා මූලිකත්වය ගත් බ්‍රිතාන්‍යයේ සෝෂලිස්ට් ලේබර් ලීගයම ඒ වන විට කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) වශයෙන් යලි වතාවක් පැබ්ලෝවාදය කරා, පන්ති සම්මුතිවාදය කරා -ජාත්‍යන්තරවාදයට එරෙහි ව ජාතිකවාදය කරා- පල්ලම් බසිමින් පැවතුනා ය කියන කාරනය එලිදරවු කිරීමට මූලිකත්වය ගත් ඇමරිකාවේ වර්කර්ස් ලීගයේ සහෝදරවරුන් සමඟ එකට එකතු වී 1982-85 කාල පරිච්ඡේදය තුල හතර වැනි ජාත්‍යන්තරය කවිපයෙන් මුදා ගෙන නොනවතින විප්ලව න්‍යාය මත පාදක වූ ඉදිරි දර්ශනය පෙරට ගෙන යාමට අප විශේෂයෙන් මූලිකත්වය ගත්තා.

විකොස, ඒ අරගලයේ නිරත ව්‍යාපාරයක් වශයෙන් පැවතී ගෙන විත් අපි 1996 දී සමාජවාදී සමානතා පක්ෂ යන නමින් පෙනී සිටීමේ විශාල දේශපාලන අර්ථයක් පවතිනවා. එය ජාත්‍යන්තර කමිටුව විසින් පැහැදිලි කෙරුනා. අපි දැක්කේ, ලෝක පරිමාන වශයෙන් අධිරාජ්‍යවාදයේ අර්බුදය උග්‍ර වී ගෙන එන පරිමානයට අධිරාජ්‍යවාදයේ අත් උදවුකාරයන් බවට පත්වූ සියලු‍ සංශෝධනවාදී ජාතිකවාදී ව්‍යාපාර පරිහානිගත වන තත්ත්වයක්. එවන් තත්ත්වයක දී ප්‍රතිසංස්කරනවාදී ලසසප ව්‍යාපාරය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය එහෙම නැති නම් ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ හෝ ඒවායෙන් බිඳුනු ව්‍යාපාරවලට බලපෑම් දාලා ඉන් කොටස් විප්ලවවාදී මාවතට දිනා ගැනීම හැටියට ගෙන ගිය දේශපාලනයේ අයාථා භාවයක් පෙනී ගියා. මූලික වශයෙන් කම්කරුවෝ එම දුර්නායකත්වයන් පිටිපස්සෙ ගාල් වෙලා ඔවුන් එක්ක දේශපාලනයට සහභාගී වෙනව ය කියන සංකල්පය උඩ පිහිටුවා ගත්ත සංගම් ලෙස විප්ලවාදීන් තව දුරටත් පැවතීමේ යථා බවක් ද තිබ්බෙ නෑ. විශේෂයෙන් ම සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීම, එනම් ජාතිකවාදී සමාජවාදී දේශපාලනයේ ප්‍රමුඛයා හැටියට ඉස්මත්තට ඇවිත් පැවතුනු ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයේ පිපිරී යාමෙන් එම නිගමනය කරා ජාත්‍යන්තර කමිටුව එලඹවනු ලැබුනා.

ට්‍රොට්ස්කිවාදය සනාථ වීමක් හැටියට ඒ කරුන අපි දැක ගැනීම මගින් එ වැනි තත්ත්වයක් තුල තව දුරටත් ලසසප ව්‍යාපාරයට, කොමියුනිස්ට් පක්ෂ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවලින් කොටස් දිනා ගැනීම ඉලක්ක කර ගත්ත සංගම් හැටියට අපේ පැවැත්ම අයථා ය; ඒ වෙනුවට ආරම්භකත්වය අප විසින් ගන්නා විප්ලවවාදී පක්ෂ ලෙස ම කම්කරුවන්, පීඩිත දුගීන් තරුනයන් ඉදිරියේ පෙනී සිටිය යුතු ව තියෙනව ය කියන නිගමනයේ ප්‍රකාශනය ලෙසයි, ජාත්‍යන්තර කමිටුවේ ශාඛා වශයෙන් පැවති සියලු‍ ම සංගම් සමාජවාදී සමානතා පක්ෂ බවට පරිවර්තනය කරනු ලැබුනේ.

ලෝක පරිමාන ව ඒකායන ඉදිරි දර්ශනාත්මක ඉලක්කයක් සහිත ව්‍යාපාරයක් ගොඩ නැගීමේ ඉදිරි දර්ශනය යටතේ ලෝක සමාජවාදී විප්ලවයේ කර්තව්‍යයන්ට උදවුකාරක වන මාධ්‍යය හැටියට විවිධ භාෂාවලින් වැඩ කරන දිනපතා යාවත්කාලීන කරන මධ්‍යගත ලෝක ප්‍රකාශනයක් හැටියට 1998 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය පිහිට වනු ලැබුනා.

වසන්ත රූපසිංහ:

ධනේශ්වර පක්ෂ මතු කරන කාරනාවක් තමයි මේ මැතිවරනය “‍අතිශය තීරනාත්මකයි”‍ යන්න. මේ මැතිවරනය -“අන්තිම අවස්ථාව”‍ වශයෙන් ද මැතිවරන වේදිකාවල දී හඳුන්වනු ලැබීම අපට ඇසෙනවා. ඇත්තට ම මේ මැතිවරනය‘ කම්කරු පීඩිතයන්ට හිමි ව ඇති “‍අවසන් අවස්ථාව”‍ ද? ඒ වගේ ම සසප මෙම මැතිවරනය සම්බන්ධයෙන් කම්කරු පන්තියට ලබා දෙන්නෙ මොන වගේ පනිවිඩයක් ද?

විජේ ඩයස්:

අපි කලිනුත් සඳහන් කලා වගේ ලෝක ධනේශ්වර පද්ධතියේ ම අර්බුදය තව දුරටත් සමහන් කල නොහැකි විතරක් නෙවෙයි දිනෙන් දින වඩ වඩාත් ගැඹුරු වන අර්බුදයක් හැටියට විශේෂයෙන් ම දැන් වෙන කොට අවුරුදු 11ක් තිස්සේ අසාධ්‍ය ආර්ථික කොන්දේසි යටතට පත් ව තිබෙනවා.

මෙයට එරෙහි ව ලෝක කම්කරු පන්තියේ අරගල පුපුරා යාමක් අපි අත්දකිනවා.

මේ තත්ත්වය යටතෙයි ලෝක ආර්ථිකයේ කොටසක් හැටියට, ලෝක දේශපාලනයේ කොටසක් හැටියට ලංකාව තුල අර්බුදය උග්‍ර වීම අප සලකා බැලිය යුතු ව ඇත්තේ.

අධිරාජ්‍යවාදී පද්ධතියේ මූලික පරස්පර විරෝධයන් පුපුරා යන කොන්දේසි යටතේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය තමන් ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලය හැටියට, ගෝලීය පද්ධතිය තුල තම අධිකාරී බලය යලි පිහිටු වීම සඳහා ආසියානු කලාපය ද ඇතුලත් ව ලෝකයේ විවිධ කලාපවල මිලිටරි මැදිහත් වීම් කර ගෙන යනවා. විශේෂයෙන් ම ආසියානු කලාපයේ දී චීනයට එරෙහි ආක්‍රමනකාරී පිලිවෙතකට එලඹීමට ඉන්දියාව, ලංකාව වැනි රටවල් ඇමරිකානු අධිරාජ්‍යවාදී, අධිකාරීවාදී මූලෝපාය යටතේ පෙල ගස්වා ගැනීමේ වැඩ කටයුතු මේ වන විට තීව්‍ර කර තිබෙනවා.

මේ ලෝක අර්බුදයේ ප්‍රකාශනයක් හැටියටයි ලංකාවේ ආර්ථිකය එක දිගට ම කඩා වැටෙන්නෙ. දල ජාතික නිශ්පාදිතය අවුරුද්දෙන් අවුරුද්ද පහත වැටෙන ගැඹුරු වන අර්බුදයකට පත් වෙලා තියෙන්නෙ. මෙය ඒ හෝ මේ ආන්ඩුවේ හෝ ජනාධිපතියගේ හෝ අගමැතියගේ හෝ කැබිනට්ටුවේ හෝ වැරැද්දක් ලෙස ඉදිරිපත් කරන අය නිශ්චිත ව ම වහංගු කරන්නේ ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බුදයක් තියෙනව ය, එය ලංකාව තුල පුපුරා ගොස් තියෙනව ය කියන කාරනාවයි. කරුනු කාරනා මේ හැටියට ඉදිරිපත් කරන්නේ මහජනතාවට අවශ්‍ය ජාත්‍යන්තර මූලෝපායකින් ඔවුන් ඉවත හරවාලීමේ වැඩපිලිවෙලක කොටසක් වශයෙනුයි.

මේ තත්ත්වයේ දී අපි අවධාරනය කර ගත යුතු ව ඇත්තේ, මැතිවරනයක් පැවතියා හෝ නොපැවතියා හෝ කම්කරු පන්තියට අවශ්‍ය ඉදිරි දර්ශනය ඉදිරිපත් කර ගත යුතු ව ඇති බවයි. එ නිසා මැතිවරනයේ විශේෂ තීරනාත්මක බවක් ඇත්තේ නෑ. මේ ආර්ථික අර්බුදය මේ විදියට ගැඹුරු වෙමින් යන්නට ඉඩ හැරියොත්, මේ විදියට දේශපාලන අධිකාරීත්වය ධනපති පන්තියට අත හැරලා දාලා තිබුනොත් අතිශය විනාශකාරී ලෙසට කම්කරු පන්තිය මතට පීඩිත මහජනතාව මතට අධිරාජ්‍යගැති ධනේශ්වර ඒකාධිපතිත්වයක් ෆැසිස්ට්වාදී රූපයෙන් හෝ පොලිස්-මිලිටරි රාජ්‍ය බලයක රූපයෙන් හෝ පැන නැගීම නොවැලැක්විය හැකි ව පවතිනවා.

එම නිසා අපි හිතනවා මැතිවරනය තිබිය දී ම, ලංකාව මුහුන දීලා තියෙන දේශපාලන තත්ත්වයට ගැලපෙන ඊට සෑහෙන දේශපාලන වැඩපිලිවෙලක් උඩ පීඩිත මහජනතාවගේ නායකයා වශයෙන් ස්වාධීන ව ඉස්මතු වෙමින් කම්කරු පන්තිය දේශපාලනික ව සංවිධානය විය යුතු ව තියෙනව ය කියලා. අපි ඉදිරිපත් කරන්නේ එම මූලෝපායික වැඩපිලිවෙලයි. එය ජාත්‍යන්තර සමාජවාදයේ මූලෝපායයි. මේ මැතිවරන උද්ඝෝෂනය පුරා ම සසප ලංකාවේ උතුරු කොනේ සිට දකුනු කොන දක්වා විවිද පලාත්වල ප්‍රසිද්ධ රැස්වීම් පවත්වමින්, පත්‍රිකා බෙදා හරිමින් විවිධ මාධ්‍ය භාවිත කරමින් ඉදිරියට ගෙන ගොස් ඇත්තේ මේ වැඩපිලිවෙල සඳහා සටනයි.

මේ කාර්යභාරයට එලඹෙන කොට ම අපි දකිනවා යථා දේශපාලන අරමුනුවලින් ඉලක්කවලින් කම්කරු පන්තිය වියෝ කිරීම සඳහා ව්‍යාජ වාම දේශපාලන ප්‍රවනතා වැඩට බැහැලා තියෙනවා කියන එක. අපි ඔවුන්ට නිසි පිලිතුරු දිය යුතු ව තියෙනවා. මෙය කරන්න නම් ඔවුන්ගේ දේශපාලනයේ විවිධ පැති ඒ හැම අංශයකින් ම එලිදරවු කිරීමට ලක් කල යුතු ව තියෙනවා. ඊට විකල්ප වශයෙන් අප අනුගමනය කල යුතු දේශපාලන ඉදිරි දර්ශනය වඩ වඩාත් පැහැදිලි කර ගැනීමේ කාර්යභාරයට වෙහෙස නොතකා උර දිය යුතු ව තියෙනවා.

විශේෂයෙන් ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප), නව සම සමාජ පක්ෂය (නසසප) මේ පක්ෂ සියල්ල ගත්තට පස්සෙ ඔවුන් ඉදිරිපත් කරන මූලික විශම දේශපාලන ඉදිරි දර්ශනයක් තමයි දිගු කාලීන වැඩපිලිවෙලට එරෙහි ව අපි අපේ වැඩපිලිවෙල ආසන්න ක්ෂනික ඉල්ලීම් මත පිහිටුවා ගත යුතු ව තියෙනව ය කියන එක. මොවුන් දිගුකාලීන වැඩපිලිවෙල සහ කෙටිකාලීන වැඩපිලිවෙල වශයෙන් වැඩපිලිවෙල ඛන්ඩනය කරනවා. මෙය අතිශය මරනීය දේශපාලන පීලි පැන්නවීමක්. මේ න්‍යාය ඉදිරිපත් කරන වැඩපිලිවලට එරෙහි ව හැම පැත්තකින් ම සම්මුති විරහිත ව දෘඪතර ව සටන් වැදිය යුතු ව තියෙනවා.

ජනතා විමුක්ති පෙරමුන ධනපති පන්තියේ ම පක්ෂයක් බවට පරිවර්තනයවී ධනපති පාලනයේ අන්ඩක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ ජන බලවේගය ව්‍යාපාරය ඉහල මධ්‍යම පන්තික ස්ථර රැලි කර ගෙන විවිධ වෘත්තීන්හි ඉහල පැලැන්තියෙ ඉන්න වෘත්තිකයන් රැලි කර ගෙන ධනපති ක්‍රමය ප්‍රතිසංස්කරනය කල හැකි ය යන මිථ්‍යාන්ධකාරයේ මහජනතාව ගිල්වා මේ ක්‍රමයේ සියලු‍ විසකුරු අංගයන් සහිත ව එය දිගට ම ඉදිරියට පවත්වා ගෙන යාමට තම වැඩපිලිවෙල ඉදිරිපත් කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂත් සජිත් ප්‍රේමදාසත් ඉදිරිපත් කරන්නා වූ වැඩපිලිවෙලට අනුපූරකය වශයෙනුයි දිසානායකගේ වැඩපිලිවෙල ඉදිරිපත් කර ඇත්තේ.

විදේශීය ආයෝජකයන් කැඳවා ගැනීම සඳහා, අධිරාජ්‍යවාදී බැංකුකාරයන් මේ රටට පටවා ඇති නය බර මුලු‍මනින් ම ඔවුන්ගේ අනට අනුව පියවීම සඳහා දෘඪ කොන්දේසි මහජනතාව මත පැටවීම ඉලක්ක කර ගෙනයි මේ පාලන තන්ත්‍රයන් වැඩ කර ගෙන යන්න බලාපොරොත්තු වෙන්නෙ.

මේ වැඩපිලිවෙල ක්‍රියාවට නැගුනොත් දිසානායක ඔය කතා කරන මධ්‍යම පන්තික කොටස්, සුලු‍ ව්‍යවසායකයන්, සුලු‍ ගොවීන් යන අයගේ පැවැත්ම අතිශයින් ම අන්තරාදායක තත්ත්වයකට පත් වෙනවා. මොකද, මැතිවරනයෙන් කවුරු ජයග්‍රහනය කලත් ධනපති පාලක පන්තියේ කොටස් ඒකාධිකාරී ධනවාදයේ ඒජන්තයන් හැටියට ක්ෂමා විරහිතවයි ක්‍රියාත්මක වෙන්නේ.

රාජපක්ෂ තමන්ගේ හමුදා පසුබිමත් සැලකිල්ලට අර ගෙන සම්පූර්නයෙන් ම මිලිටරියට ප්‍රමුඛත්වය දෙන මිලිටරිය මත පාදක වූ පාලන තන්ත්‍රයකට මාරු වීමට ලෑස්තියි. තම ඉලක්ක වශයෙන් ඔහු කතා කරන්නේ සම්මුති විරහිත ව අන තහවුරු කිරීම, විනය තහවුරු කිරීම, වැඩ ගැනීම ආදියයි.

ප්‍රේමදාස ඊට වඩා ලිහිල් මුහුනක් තියෙනවාය කියලා පෙන්නුම් කලත්, ඔහුගේ ගමන් මාවතත් ඒ විදියටමයි.

මින් සම්පූර්නයෙන් ම ස්වාධීන වූ කම්කරු පන්තිය මූලිකත්වය ගත් දේශපාලන පරිවර්තනයකට මහජනතාව පෙල ගස්සවා ගැනීම අරමුනු කර ගෙනයි සසප වැඩපිලිවෙල සකස් වෙන්නෙ. සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලකට කැපවුනු කම්කරු ගොවි ආන්ඩුවක් ශ්‍රී ලංකා-ඊලම් සමූහාන්ඩුවක රූපයෙන් සමස්ත දකුනු ඉන්දීය කලාපීය සමාජවාදී සමූහාන්ඩුවක කොටසක් වශයෙන් ස්ථාපිත කර ගැනීමකින් තොර ව මහජනතාවගේ කොයි කොටසකගේවත් අවශ්‍යතා ඉල්ලීම් සපුරාලීමේ ඉඩකඩක් ඇත්තේ නෑ.

මේ තත්ත්වයේ දී මම කැමතියි, 1927 දී ලෝක මුල්‍ය පද්ධතියේ දැවැන්ත බිඳ වැටීමකින් පසු ව, ලෝක ධනවාදය ම අතිශය තීව්‍ර දේශපාලන අර්බුදකාරී තත්ත්වයකට පැමිනුනු 1930 ගනන්වල දී, ප්‍රන්ස කම්කරු පන්තිය අමතා ලියොන් ට්‍රොට්ස්කි ඉදිරිපත් කල අදහසක් සිහිපත් කරන්න. තමන්ගේ සටන්කාමී සියලු‍ බලවේගයන් ඉස්මත්තට ගනිමින් ජෙනරල් ස්ට්‍රයිකයක් මගින් ප්‍රන්ස පාලක පන්තියට අභියෝග කරන්න කම්කරු පන්තිය ඉදිරිපත් වූ අවස්ථාවේ දී ඔවුන් ආමන්ත්‍රනය කරමින් ට්‍රොට්ස්කි මෙසේ ප්‍රකාශ කලා. කම්කරු පන්තිය එම තත්ත්වයට මුහුන දීමට මැදිහත් වූ විට විවිධ ධනේශ්වර ගැති දේශපාලන පක්ෂ, විශේෂයෙන් ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය ඔවුන්ව ස්වාධීන මැදිහත්වීමකින් අවමංගත කිරීමට දැරූ උත්සහයන්ට එරෙහි ව යි ට්‍රොට්ස්කි මේ දේශපාලන ඉදිරි දර්ශනය ඉදිරිපත් කලේ.

“මාක්ස්වාදී ප්‍රවාදයක් වන සමාජ ප්‍රතිසංස්කරන වනාහි විප්ලවවාදී අරගලයේ අතුරුඵලයක් පමනක් ය යන්න ධනවාදයේ පරිහානි යුගයේ දී ඉතා සමීපත ම හා දැවෙන වැදගත්කමක් දරා ගනී. කම්කරුවන්ට යම් සොච්චමක් දීමට ධනපතියන් එකඟ වන්නේ තමන්ට සියල්ල අහිමි ව යන්නේ ය යන තර්ජනයට ඔවුන් මුහුන දී සිටින්නේ නම් පමනි.

“කෙසේ වෙතත් ආවෘත අන්තයකට ඇතුලු‍ ව සිටින ධනපති පන්තිය ලබා දීමට සමත් වන ඉහල ම සහනය පවා මහජනතාව ඇද දමනු ලැබ තිබෙන කාලකන්නි බව සහ සමාජ අර්බුදයේ ගැඹුර හා සසඳන විට මුලු‍මනින් ම නොසෑහේ.

“ධනපතීන් අස්වාමික කිරීම හා සියලු‍ නිශ්පාදන බලවේග ජනතා සන්තක කිරීම සියලු‍ ඉල්ලීම් අතරින් වඩාත් ම සමීපත ම ඉල්ලීම වන්නේ මේ නිසා ය.”

ප්‍රශ්නය මේ විදියට මතු කලා ම බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නය තමයි මේක ධනපති පන්තියට ම දරන්න බැරි ඉල්ලීමක් නොවෙයි ද යනුවෙන්. “සත්තකින් ම එය එසේ ය”, ට්‍රොට්ස්කි පිලිතුරු දෙයි. “අප රාජ්‍ය බලය අත්පත් කර ගත යුත්තේ ඒ නිසා ය.”

මෙ නිසයි අප ඉදිරිපත් කරන වැඩපිලිවෙල සංක්‍රමනීය වැඩපිලිවෙලක් වන්නේ. කම්කරු පන්තියේ ආසන්නත ම අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා වන ඉල්ලීම් එම පන්තියේ රාජ්‍ය බලය ස්ථාපිත කර ගැනීමේ කර්තව්‍යය සාක්ෂාත් කර ගැනීම දක්වා ඔවුන්ව මෙහෙයවන ඉල්ලීම් බවට පත් කර ගත යුත්තේ ඒ නිසයි. එම ඉල්ලීම් ධනපති පන්තියට උහුලන්න පුලු‍වන් ද, රුස්සන්න පුලු‍වන් ද කියන කාරනාව නෙවෙයි අපි සැලකිල්ලට ගත යුත්තේ. කම්කරු පන්තියට ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට, ගම්බද දුගීන්ට, පීඩිත ජන කන්ඩායම්වලට, තරුන තරුනියන්ට තමන්ගේ අරමුනු සාක්ෂාත් කර ගැනීම සඳහා කොයි විධිහෙ විසඳුමක් ද අවශ්‍ය කියන එකයි අපි ප්‍රමුඛතාව දී සැලකිය යුතු එක ම කාරනය බවට පත් වන්නේ. ධනපති රාජ්‍ය අතු ගා දැමිය යුතු ව තිබෙන නිසා නිසැක ව ම කම්කරු පන්තිය එම කර්තව්‍යයට මූලිකත්වය ගත යුතු වෙනවා.

සුලු‍ උදාහරනයකින් මේ කාරනය පැහැදිලි කර ගන්න බලමු.

එක්සත් ජාතික පෙරමුනේ නායකයා හැටියට සජිත් ප්‍රේමදාස රට පුරා කියා ගෙන යනවා මේ තරම් සහන දීපු ආන්ඩුවක් ලංකා ඉතිහාසයේ පැවතිලා නැත කියලා. කොහොම වුනත් මහජනතාව අතිශය අතෘප්තිකර තත්ත්වයක ඉන්නව ය කියන එක ගැන කිසි ම සැකයක් ඇත්තේ නෑ. රුපියල් 10, 000ක් දුන්න බව හැබෑව. හැබැයි ඒක වාෂ්ප වෙලා. ඒක කිසිසේත් ම මහජනතාවට තමන්ගේ මාසික වියදම් ගැට ගහගැනීමට උදවු වෙන තත්ත්වයක නෙවෙයි තියෙන්නෙ. එ නිසා මෙ ලෙස සොච්චම් සහන හැටියට දෙන කිසිවකින් මහජනයාට අද මුහුන දීලා තියෙන කාලකන්නි බවෙන් අත් මිදීමට උදවු වෙන සාධකයක් වන්නේ නෑ.

සසප මැතිවරනයට ඉදිරිපත් කල ඉදිරි දර්ශනයේ දී අපේ වැඩපිලිවෙල ඉදිරිපත් කරන්නේ මේ ආකාරයට.

“වැටුප්වල කිසිදු කප්පාදුවකින් තොර ව කම්කරුවන්ගේ වැඩ සතිය පැය 30කට අඩු කිරීම මගින් රැකියා විරහිතයන්ට රැකියා ලබා දීම. මහජන නිවාස, පාසල්, රෝහල් හා මාර්ග ගොඩනගන යෝධ රාජ්‍ය වැඩපිලිවෙලක් මගින් රැකියා නිර්මානය කිරීම.”

මේක ධනපති පන්තියට ඉසිලිය හැකි ද? සත්තකින් ම නොහැකියි. ඔවුන් මෙය ඉවසාවි ද? සත්තකින් ම නෑ. ඒ නිසයි ඔවුන් කම්කරු පීඩිත මහජනතාවට එරෙහි ව ධනපති රාජ්‍ය මිනීමරු මුගුරක් හැටියට යොදා ගෙන ආඥාදායකත්වයක් සඳහා සැලසුම් සකස් කරමින් සිටින්නේ.

මෙයට මුහුන දීමට කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන බල සංස්තාවන් ගොඩ නැගිය යුතු ව තියෙනවා. හැම වැඩපලක ම, කම්කරු නිවහන් ප්‍රදේශයක ම, ගම්බද ව, විශ්ව විද්‍යාල තුල කම්කරුවන්, ගොවියන්, පීඩිතයන් සහභාගී වන ක්‍රියාකාරී කමිටු ගොඩ නැගිය යුතු ව තියෙනව ය කියලා සසප අවධාරනය කරන්නේ මේ සඳහායි. කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට, කලාපීය වශයෙන් සහ ගෝලීයව සමාජවාදී විප්ලවවාදී සමූහාන්ඩු සංගමයක් වර්ධනය කිරීමට මෙවැනි සූදානමකුයි අවශ්‍ය කෙරෙන්නේ.

ලෝක යුද්ධය නතර කල හැක්කේ ඒ විදියටයි. කම්කරු පන්තියට එරෙහි ආඥාදායක්ත්වය නතර කල හැක්කේ ඒ විදියටයි. කම්කරු පීඩිත මහජනතාවගේ අවශ්‍යතාවන් සපුරාලන සමාජ පරිවර්තනයක් ඇති කර ගත හැක්කේ ඒ ආකාරයටයි.

කම්කරු පන්තියේ නායකත්වය ගොඩ නගා ගැනීමට -සසප මහජන දේශපාලන පක්ෂයක් හැටියට ගොඩ නගා ගැනීමට- අවශ්‍ය පියවර ගන්නයි අපේ මැතිවරන ව්‍යාපාරය මෙහෙයවා ඇත්තේ. ඒ සඳහා සාර්ථක ප්‍රතිචාර ලැබෙනවා.

වසන්ත රූපසිංහ:

ස්තූතියි.

Share this article: